පිහි පහර් 41 ක් දී එක්දරු මව මැරූ පෙම්වතා පිහියත් අරන් පොලිසි එයි

පිහි පහර් 41 ක් දී එක්දරු මව මැරූ පෙම්වතා පිහියත් අරන් පොලිසි එයි

“මම ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒත් .... එයා මාව අතඇරලා වෙන කෙනෙක් එක්ක ගියා. එයා එහෙම කළාට පස්සේ මම මගේ පාඩුවේ පැත්තකට වෙලා හිටියා. එයා දැන් ඒ මිනිහා අතඇරලා ආපහු මගේ පස්සෙන් එනවා. ඒක මට හරි කරදයක්. බැරිම තැන මම එයාට පිහියෙන් ඇනලා මරලා දැම්මා. මෙන්න පිහිය මේ... එයාගේ හැන්ඩ් බෑග් එක.”

පසුගිය දාහත් වැනිදා රාත්‍රී හතහමාර පසු වී විනාඩි කිහිපයක් ගෙවී යද්දී මිරිහාන පොලිසියට පැමිණි තරුණයකු එලෙස පාපොච්චාරණයක යෙදෙමින් පොලිසියට අවශ්‍ය කරන නඩු භාණ්ඩ ද ඉදිරිපත් කළේය.

මොහු පොලිසියට පැමිණීමට ස්වල්ප වේලාවකට පෙර 119 අංශයෙන් තොරතුරක් ලැබී තිබිණි. ඒ.... පරණ කැස්බෑව පාරේ වැව් පිට්ටනියේ පුද්ගලයකු කාන්තාවකට පිහියෙන් පහර දෙන බවටය. මෙම ස්ථානය අයිති වන්නේ කොහුවල පොලිසියටය. එහෙත්.... තරුණයා පැමිණ භාර වුයේ මිරිහානටය. එබැවින් මිරිහාන පොලිසියේ අපරාධ අංශයේ කණ්ඩායමක් තරුණයා ද සමඟ සිද්ධිය වූ බව කී ස්ථානය බලා පිටත් වුහ.

මිරිහාන පොලිසිය මෙම සිද්ධිය කොහුවල පොලිසියට දැනුම් දුන් අතර කොහුවල පොලිසියේ කණ්ඩායමක් ද ඒ මොහොතේම සිද්ධිය වූ ස්ථානය බලා පිටත්විය.

කොහුවල පොලිස් කණ්ඩායම පැමිණීමෙන් අනතුරුව මිරිහාන පොලිසියේ කණ්ඩායම භා ර වූ පුද්ගලයා ද රැගෙන ගිය අතර කොහුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.

සිද්ධිය වූ බව කී ස්ථානයට ගිය කොහුවල පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් දුටුවේ හොඳින් හැඳ පැළඳගත් කාන්තාවක මුනින් අතට වැටී සිටින අයුරුය. ඇයගේ බෙල්ල දෙසින් ගලා ගිය රුධිරය හිස අවට පස් මත මිදෙමින් පවතී.

ඇය මිය ගොසිනි. එබැවින් ගංගොඩවිල මහේස්ත්‍රාත් මෙන්ම ගල්කිස්ස සොකෝ අංශය ද කැඳවීමට පොලිස් කණ්ඩායම කටයුතු කළේය.ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් රමණී කුලතුංග මහත්මිය ඒ රාත්‍රියේම සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුවාය. අනතුරුව ඇය නියෝග කළේ කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයට සිරුර රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව අධිකරණයට වාර්ථා කරන ලෙසය.

මේ අතර මිරිහාන පොලිසියට භාර වූ සැකකරු එදින රාත්‍රියේම නඩු භාණ්ඩ ද සමඟ කොහුවල පොලිසියට භාර දී තිබිණි.

මෙලෙස මරා දැමුණේ මීගහතැන්න, මතුගම හරහා පහළ හෙවැස්ස ප්‍රදේශයේ පදිංචි කාරියක වූ ඌරු ලියනගේ දෝන ප්‍රසාදිකා සංකල්පනී ගුණසිංහ නමැති විසිපස් හැවිරිදි එක්දරු මවකි. ඝාතනයට ලක්වන විට ඇය පරණ කැස්බෑව පාර, රබර්වත්ත පාරේ නිවෙසක කාමරයක කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිටි අතර හයිලෙවල් පාරේ හෝමාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සහායිකාවක ලෙස සේවයේ නිරතව සිටියාය.

ඇය මරා දැමු පෙම්වතා හෙට්ටිආරච්චිගේ උදාර චතුරංගය. විසිහත් හැවිරිදි ඔහු මතුගම හරහා, පැලවත්ත වෙලහේ වත්ත ලිපිනයේ පදිංචි කරුවෙකි. අවිවාහකයෙකි. මෙම සිද්ධිය වන විට ඔහු නාවින්න ප්‍රදේශයේ කුෂන් වැඩපලක සේවයේ නිරතව සිටි අතර ඒ ආසන්නයේ පිහිටි බෝඩිමක තාවකාලිකව කල් ගත කළේය.

මේ අතර ඝාතනය වූ ප්‍රසාදිකාගේ දේහය කපා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍රන් මහතා අධිකරණයට ඉදිරිපත් කළ වාර්ථාවේ සඳහන්ව තිබුණේ ඇයගේ සිරුරේ පිහි පහර හතලිස් එකක් තිබු බවයි.

එනම්... උදාර චතුරංග ඇයට දිගට හරහට පිහි පහර එල්ලකොට ඇත. මේ තරම් පිහිපහර සංඛ්‍යාවක් එල්ල කිරීමට තරම් ප්‍රසාදිකා කෙරෙහි උදාරගේ සිතේ වෛරයක් හටගත්තේ ඇයි? ඊට හේතුව කුමක්ද?

උදාරගේ කට උත්තර වලිනුත් ප්‍රසාදිකාගේ විවාහක සැමියාගේත් ප්‍රසාදිකාගේ පවුලේ අයගෙන් ලබාගත් තොරතුරු වලිනුත් ඊට හේතු සාධක සනාථ කර ගැනීමට පොලිසියට හැකිවිය.

එලෙස හෙළිකරගත් තොරතුරු වලට අනුව ඝාතනය වූ ප්‍රසාදිකා ගේ මව, පියාගෙන් ඈත්ව විදෙස් ගත වන්නේ මීට වසර ගණනාවකට ඉහතදීය. ඇගේ පියා ගොඩනැඟිලි කොන්ත්‍රාත් කරුවෙකි. පදිංචිය මීගහතැන්නේය.

පියාගේ වැඩිමල් සහෝදරයා එනම් ප්‍රසාදිකාගේ ලොකු තාත්තා පදිංචිව සිටින්නේ අම්පාෙර්ය. මව හැර යාම හේතුවෙන් ප්‍රසාදිකා අම්පාරේ ලොකු තාත්තලාගේ ගෙදර පදිංචියට යන්නේ වයස මාස අටක් සපිරෙද්දීය.

ලොකු තාත්තාට තාත්තා, ලොකු අම්මාට අම්මා කියමින් උස් මහත් වූ ප්‍රසාදිකා යළි මීගතැන්නේ පියා ගේ නිවෙසට එන්නේ පාසල් යන වයසට එළැඹීමෙන් අනතුරුවය.

වයස අවුරුදු පහ සපිරුණු ඇය මතුගම පාසලකට ඇතුලත් කැරිණි. එහෙත්.... ඇයගේ සිත තිබෙන්නේ අම්පාරේ ලොකු තාත්තලා ළඟය. එබැවින්... නිවාඩු ලද වහාම ඇය අම්පාරට ගොස් කල් ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගත්තාය.

අම්පාරේ යමින් පාසල් යාම සිදුකොට මීගහතැන්නට එමින් කල් ගෙවු ප්‍රසාදිකා ටිකෙන් ටික උස් මහත් වෙද්දී දඟකාරියක මෙන්ම හැඩකාරියක ද වුවාය.

නව යෞවන වියට පිවිසි ඇයට මල් හී සර වදින්නට වැඩිකල් ගත වුයේ නැත. මතුගම වෙනත් පාසලක අධ්‍යාපනය ලබමින් සිටි උදාර සමඟ ප්‍රසාදිකා පේ‍්‍රම සම්බන්ධයකට මුල පුරන්නේ වයස අවුරුදු දාසයට පා තැබු මුල් අවදියේදීය.

උදාර සමඟ පේ‍්‍රමයෙන් වෙලී සිටිය ඇය අම්පාරේ යාම එම නම් නතර කළේ නැත.

ඒ ලොකු අම්මා සහ ලොකු තාත්තාගෙන් ලැබෙන අසීමිත මවුපිය සෙනෙහස විඳීම සඳහා විය යුතුය. හැඩකාර, දඟකාර ප්‍රසාදිකා යන එන සෑම තැනකදීම තරුණයන් ගේ ඇස් බැලුම් වලට ගොදුරු වුවාය. ඒ අතර අම්පාරේ දී ඇයට බැල්ම හෙළු තරුණයන් අතරින් එක් අයකු කෙරෙහි ඇයගේ සිත ඇදී යන්නේ උදාර සමඟ පෙමින් වෙලී සිටින අතරතුෙර්ය.

අම්පාරේ තරුණයා සමඟ ද පේ‍්‍රමයෙන් වෙලුණ ඇය අම්පාරේදී ඔහු සමඟත් මී ගහතැන්නට පැමිණි පසු උදාර සමඟත් පේ‍්‍රම කරමින්, පාසල් යමින් නිදහස් දඟකාර දිවියක් ගත කළාය.

එලෙස කල්ගෙවමින් සාමාන්‍ය පෙළ විභාගයට ද පෙනී සිටි ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු වුයේ නැත. වයස අවුරුදු දහඅට සපිරෙන්නටත් පෙර ඇය විවාහ දිවියට එළැඹෙන්නේ පළමු පෙම්වතා වූ උදාර සමඟ නොව අම්පාරේ පෙම්වතා සමඟය.

අම්පාරේදී විවාහ වූ ඇය එහිම පදිංචි වූ අතර ඒ වන විට ඇයගේ සැමියා කාර්මික ශිල්පියකු ලෙස රැකියාවක නිරතව සිටියේය. ප්‍රසාදිකා විවාහ වූ බව ආරංචි වූ උදාර දැඩි ලෙස කම්පාවට පත් වූ නමුත් කළ හැකි දෙයක් නොමැති බැවින් සිත හදාගෙන තමන්ගේ පාඩුවේ රැකියාව කරගෙන ජීවත් වීමට වගබලා ගත්තේය.

විවාහයෙන් අනතුරුව මවු පදිවියට ද උරුමකම් කී ඇය මීට වසර පහකට පමණ පෙර දී දියණියක බිහි කළාය. විවාහයෙන් පසුව මුල් වරට ප්‍රසාදිකා සැමියා දරුවා සමඟ මීගහතැන්නට යන්නේ මීට වසරකට එක හමාරකට පමණ ඉහතදීය.

මෙලෙස ගම්පළාතට ගොස් කල් ගෙවද්දී ඇයගේ හැසිරීම් රටාවේ යම් වෙනසක් සිදුවන බව සැමියාට යාන්තමට වැටහිණි. එලෙස දින ගෙවී යද්දී ඔහුට ඇයගේ පැරණි පේ‍්‍රමය පිළිබඳ තොරතුරු ද දැනගන්නට ලැබිණි.

උදාර - ප්‍රසාදිකා පේ‍්‍රම පුරාවත සහසුද්දෙන්ම දැනගත් ඔහු දරුවා ද රැගෙන අම්පාරට යන්නට ගියේ ප්‍රසාදිකාට ඕන නැටුමක් නටාගන්නට ඉඩ කඩ සලසා දෙමිනි.

දරුවාත් රැගෙන සැමියා නික්ම යාම පනින රිලවාට ඉනිමං බැන්දා වැනි විය. යළි උදාර සමඟ කතා බහ කළ ඇය කොළඹ ගොස් රූපලාවන්‍ය පාඨමාලාවක් හැදෑරුවාය. ඒ වන විට උදාර සිටියේ නුගේගොඩ ප්‍රදේශයේය. කොළඹට පැමිණි ප්‍රසාදිකාට නවාතැනක් සොයා දුන් උදාර ඇය පිළිබඳ සොයා බලා ඇයට ළං වුයේ පැරණි මතකය යළි සිහි ගන්වා ගනිමිනි.

පාඨමාලාව හැදැරීමෙන් අනතුරුව නුගේගොඩ පැත්තේ රූපලාවන්‍යාගාරයක රැකියාවක් සොයාගත් ඇය උදාර සමඟ සමීප ඇසුරක් පවත්වමින් නිදහසේ කල් ගත කළාය. උදාර අවිවාහකය. ප්‍රසාදිකා ද නීත්‍යානුකූල දික්කසාද වී නැතත් දැන් තනිකඩය. පාසල් පෙම්වතියට බොහෝ සෙයින් ආදරය කළ ඔහු ගේ බලාපොරොත්තුව වුයේ ඇය විවාහ කරගෙන ජීවිතයේ ප්‍රථම වරට පෙම්කළ ඇය සමඟ ආදරබර යුග දිවියක් ගත කිරීමටය.

“අපි දෙන්නා බෝඩිම් දෙකක සිටියේ ඒත්... හැමදාම වගේ හම්බවෙනවා. අපි අඹු සැමියන් වගේ තමයි පහුගිය කාලේ ජීවත් වුණේ. ඒත්... දැන් ටික දවසක ඉඳලා මට එයාගේ වෙනසක් තේරුණා. මාව මඟහරින බවක් මට දැනුණා.”

ප්‍රසාදිකා මරා මිරිහාන පොලිසියට භාර වූ අවස්ථාවේ පැවසු තොරතුරු වලට පටහැනි සිද්ධි මාලාවක් උදාර කොහුවල පොලිසියේදී හෙළි කරන්නට වුයේ එලෙසිනි.

“එයාගේ ෆෝන් එක පැය ගණන් එක දිගට එන්ගේජ් වෙලා තියෙනවා. වෙනද වගේ නිතරම මාව මුණ ගැහෙන්න එන්නේ නෑ. මාව මඟහරිනවා. එයා වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා කියලා මට තේරුණා. ඒ විතරක් නෙවෙයි මම එයා ඒ කොල්ලා එක්ක බයික් එකේ යනවා එනවා මගේ අතටම අහුවුණා.”

“එදා... ඔය සිද්ධිය වෙච්ච දවස වෙද්දී අපි දෙන්නා මාසයකින් විතර හම්බවෙලා තිබුණේ නෑ. ෆෝන් වලින් කතා කළා විතරයි. ඒ කතා කළෙත් මේ ප්‍රශ්නෙ ගැන තමයි.”

“මට මේක දරාගන්න අමාරුයි. ඉස්කොලේ යන කාලේ මාත් එක්ක යාලුවෙලා ඉන්න ගමන් මටත් නොකියා හොරෙන්ම වෙන කොල්ලෙක්ව කසාද බැඳගත්තා. ඒක කැඩුණට පස්සේ එයා ආපහු මගේ ළඟට ආවම මට හරියට සතුටු හිතුණා. මම එයාව බඳින්න හිතාගෙන තමයි ආපහු ආශ්‍රය කරන්න පටන් ගත්තේ.”

“දෙවෙනි වතාවට සම්බන්ධය පටන් ගත්ත මුල් කාලේ එයත් මාව බඳින්න කැමැත්තෙන් සිටියේ. ඒත්.... පහු පහු වෙද්දී එයා ඒ මාතෘකාව කතා කළේවත් නෑ. අනෙක එයා වෙන තැනක වැඩට ගිහින්. ඒ බව මට කිව්වෙත් නෑ.”

“එයා වෙන කොල්ලෙක් එක්ක යනවා එනවා අතටම අහුවුණාට පස්සේ මම මොනවද කරන්නේ? මම එයාට හමුවෙන්න එන්න කිව්වේ දෙකෙන් එකක් බේරගන්න හිතාගෙන. ඊට දවස් දෙකකට කලින් පිටකොටුවට ගිය වෙලාවේ මම පිහියකුත් අරගෙන ආවා.”

“ඊයේ (17) උදේ මම එයාට කෝල් කරලා කිව්වා මට එයාව හම්බවෙන්න ඕන කියලා. එයා ඒකට කැමති වුණා. මම කිව්වා නාවින්න හන්දියට එන්න කියලා. වැඩ ඉවරවෙලා එන්නම් කියලා එයා කිව්වා. හවස පහමාර හය විතර වෙද්දී එයා නාවින්න හන්දියට ආවා.”

“අපි බයික් එකෙන් වෙනදා කතා කර කර ඉන්න වැව් බන්ට් එක ළඟට ගියා. මම දෙකෙන් එකක් බේරගන්න හිතාගෙනයි හිටියේ. මම හිතුවා එයා ආපහු මාත් එක්ක සම්බන්ධය පවත්වාගෙන යන්න කැමැති වෙයි කියලා. ඒත්... එයාගේ කතාව මම බලාපොරොත්තු වෙච්ච විදියට සිද්ධ වුණේ නෑ.”

“කතා බහ දුරදිග ගියා. අපි දෙන්නා අතර බහින්බස් වීමක් ඇතිවුණා. මගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගියා. මම හංගගෙන හිටපු පිහිය අරගෙන එකපාරටම එයාගේ මුණට ඇන්නා. ඒක බෙල්ලට වැදුණා. එයා පිහිය අල්ලන්න හැදුවා. එයාගේ අත් කැපුණා. පිහි පාරවල් කාගෙන එයා මුනින් අතට බිම වැටුණා. මම එයාගේ ඇඟ හැමතැනටම පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා. “

“එයාගේ දැඟලිල්ල නතර වුණා. වටේ හිටපු අයත් සිද්ධිය දැක්කා. මම එයාගේ අත්බෑග් එකත් අරගෙන මිරිහාන පොලිසියට ගිහින් බාර වුණා.”

නව යොවුන් වියේ හදේ උපන් කුලුඳුල් පේ‍්‍රමයට පිටු පෑ ප්‍රසාදිකා දෙවැනි වතාවටත් තමා රැවැට්ටීම නිසා දැඩි ලෙස කෝපයට පත් උදාර ඒ කෝපය පිටකර ගත්තේ යළිත් වරක් ඇය තවෙකෙකුට හිමි වන්නට ඉඩ නොතබමිනි. එනම්... හිතේ වූ තරහව, වෛරය පිටවන තුරුම ඇයගේ සිරුර පුරා පිහි පහරවල් එල්ල කරමිනි.

නුල කැඩුණු සරුංගලයක් සේ නොඑසේ නම් “ගාල කඩාගත් හරකකු සේ” නිදහසේ තම හිතු මනාපයට අනුව ජීවත් වන්නට උත්සාහ කළ එක් දරු මවට අවසානයේ අත්වුයේ එවන් ඉරණමකි.

සෙල්ලක්කාර ප්‍රසාදිකාට ආදරයත් සෙල්ලමක් වන්නට ඇත. එහෙත්... උදාර එසේ ආදරය සෙල්ලමකට ගත්තේ නැත. ඔහු... මීට වසර හතකට පමණ පෙර ඇය අනෙකකු සමඟ විවාහ වීමෙන් අනතුරුව පාඩුවේ කල් ගත කරන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

ඔහු .... පෙම්වතියක සොයා ගත්තේ නැත. වෙනත් කාන්තාවක හා විවාහ වීමට උත්සාහ කළේ ද නැත. ප්‍රසාදිකාගේ විවාහය දෙදරා ගිය විට ඔහු ඇයට සමීප වන්නට ඇත්තේ ඇය කෙරෙහි ඒ වනතුරුත් නොබිඳී තිබු ආදරය නිසා විය යුතුය.

දැන්නම් ඇය යළි තමා හැර නොයනු ඇතැයි ඔහු සිතන්නට ඇත.

ඒ.... ඇය පළමු විවාහයෙන් මට්ටු වූ නිසාය.

එහෙත්... එවැන්නක් සිදුව තිබුණේ නැත. ඇයගේ සෙල්ලක්කාර කමෙහි අඩුවීමක් දක්නට ලැබුණේ නැත. ලැබුණු නිදහසින් උපරීම ප්‍රයෝජන ගත් ඇය උදාර සිටිය දී තවත් තරුණයකුට ළං වන්නට ඇත්තේ ඒ නිසාය.

ඇයට... අකාලයේ ජීවිතයෙන් සමුගෙන යාමට සිදුවිය. උදාරට සදාකාලික සිපිරිගෙදර උරුම විය.

ඇයගේ මරණය පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව, පියා, ලොකු තාත්තා මෙන්ම සැමියා ද කොහුවල පොලිසියට පැමිණ තිබිණි.

දික්කසාද වී නොසිටි බැවින් ප්‍රසාදිකා ගේ අයිතිය ඇත්තේ සැමියාට ය. එබැවින්... ප්‍රසාදිකා ගේ භාරකරු ඔහුය. එහෙත්.... ඔහු.... ඇයගේ මළ සිරුර භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ

“මෙයා මැරුණට නම් කමක් නෑ. ඒත්.... මගේ කෙල්ලට කලු පැල්ලමක් ඇති කරපු එකයි දුක.” යැයි කියමිනි.

ප්‍රසාදිකා ගේ මළ සිරුර භාර ගත්තේ අම්පාරේ ලොකු තාත්තා විසිනි. වයස මාස අටේ සිට තමාගේම දරුවකු ලෙසින් හදාවඩාගත් මල්ලිගේ දුව ප්‍රසාදිකා ට ලොකු තාත්තා බෙහෙවින් ආදරය කරන්නට ඇත. පියාත් පැමිණ සිටිය දී ඔහු ඇයගේ සිරුර භාර ගන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී 1 රංජීත් කොට්ටච්චි ගේ උපදෙස් මත කොහුවල පොලිසියේ ස්ථානාධිපති චමින්ද එදිරිසුරිය ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති එච්.එම්. සිරිවර්ධන. උප පොලිස් පරීක්ෂක ජයසංඛ සැරයන් 30685 චන්ද්‍රදාස කොස්තාපල් වරුන් වන 40380 කපිල, 73019 රංගන, 75707 බණ්ඩාර, 78828 ගීතප්‍රිය 81605 ලක්මාල්, 88714 වීරකෝන්, 89483 ඇරැව්වල මෙම පරීක්ෂණ සඳහා එක්වුහ.