මල්ලිගේ මරණය අක්කාට සැකයිලූ

මල්ලිගේ මරණය අක්කාට සැකයිලූ

ගස් කැපීම ඇතුලු විවිධ රැකියාවන්හි යෙදී රුපියල් ශත සෙවීමේ යෙදුනු පැටි‍්‍රක් ජයමාන්න සවසට ගෙදර එන්නේ තරමක් දුරට තම වගකීම් අමතක කරමින් මධුවිතට ලොල්වීමෙන් පසුවය.

නිවසට පැමිණි පසු බිරියට දරුවන්ට ඔහුගෙන් කරදරයක් නොවන අවස්ථා විරලය. බිරිය මෙන්ම පාසල්වියේ පසුවන දියණියන් තිදෙනා මේ නිසා ගත කළේ මහත් පීඩාකාරි දිවියකි.

පැටි‍්‍රක් ජයමාන්න නම්වූ තිදරු පියා 2016 වසරේ ඔක්තෝම්බර් මස 2 වැනිදා රාත්‍රී 7.30 ට පමණ නිවසට පැමිණයේද පෙරකී තත්ත්වයෙන්මය. බිරිය හා දරුවන්ට පහර දෙමින් කලකෝලාහල කරන්නටවූයේ් එසේ කිරීම ඔහුගේ විනෝදාංශයක් බවට පත් වී තිබූ නිසාය. බිරිය සැමියාගේ කරදරයෙන් බේරෙන්නට උත්සාහ ගනිමින් දොස් පරොස් කියද්දී දියණියෝ බීයෙන් මුසපත්ව පැත්තකට වූයේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාය.

පියා මව හා කෝලාහල කරමින් සිටියදී පැදුරක පැටලී බිම ඇද වැවිණි. එහෙත් කේන්තියෙන් සිටි බිරිය ඔහු දෙස නොබැලූවේ වෙනදාටත් මේ ආකාරයේ සිදුවීම් වලින් පසුව වෙරි සිඳෙන තුරු එතැනම නින්දට යාම සැමියාගේ සිරිත බව දන්නා නිසාය. ටික වේලාවකින් බලද්දී සැමියා ගේ හිස තුවාලවී ලේ ගලමින් තිබෙනු දුටු බිරිය සියල්ල අමතක කර සැමියාට කතා කළේ මොනදේ සිදුවුවත් දරුවන්ගේ පියා ලෙස ඔහු තමන්ට තවදුරටත් අවැසි නිසාය. නමුත් සැමියා ගෙන් ඊට කිසිදු පිළිතුරක් නැත.

සැමියා කතා බහ නැති නිසා සිද්ධිය බරපතළ බව දත් බිරිය ති‍‍්‍රරෝද රියක් ගෙන්වා ගෙන ඔහු අකරගම රජයේ රෝහලට රැගෙන ගියත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසූහ. ඉන් කලබලයට පත් බිරිය සුජානි මැදියම් රාති‍‍්‍රයේම මේ පිළිබඳ දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් කළාය.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ දිවුලපිටිය පොලිසිය අධිකරණ නියෝග මත මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.එස්.සී. අප්පුහාමි මහතා ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත් වීය. එහිදී මරණයට හේතුව ලෙස බිම ඇද වැටීමෙන් හිසට සිදුවූ තුවාල හේතුවෙන් අධිකව රුධිරය වහනය වීම නිසා බව නිගමනය විය. අනතුරුව ඔහුගේ දේහය බිරියට බාරදී ඇති අතර පසුව එය මිහිදන් කර ඇත.

මියගිය අයගේ අක්කා කෙනෙකු වන රෝහිනි ජයමාන්න තම සහෝදරයාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත බවට අධිකරණයට දිවුරුම් පෙත්සමක් මගින් කළ පැමිණිල්ලක් අනුව මූලික පරීක්ෂණයක් පවත්වා අධිකරණ නියෝගය මත දේහය ගොඩ ගැනීමේ කටයුතු කිරීමට කොටදෙනියාව පොලිසියේ් ස්ථානාධිපති වික‍‍්‍රමසිංහ මහතාට පවරනු ලැබීය. ඒ අනුව දේහය වළ දමා තිබූ සොහොන් බිමට මාසයක පමණ කාලයක් පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

මාස අටකුත් දින දහයකට පෙර මියගිය අයගේ දේහය පසුගිය ජුනි 13 වැනිදා උදේ ගොඩගැනීමට තීරණය කරනු ලැබීය. කොළඹ ප‍‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන්, පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල සහ අධිකරණ වෛද්‍ය නිලධාරි, විෂවේද ආයතනයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ යන මහත්වරුන් ප‍‍්‍රමුඛ වෛද්‍ය මණ්ඩලයක් හා පොලිස් අපරාධ ස්ථාන නීරික්ෂණ නිලධාරින්ගේද සහාය ඇතිව මිනුවන්ගොඩ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කේ.ඒ. ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ දේහය ගොඩ ගැනීම ආරම්භ කෙරිණි.

මියගිය අයගේ ඥාතීන් ඇතුලූ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ගොඩ ගැනීමෙන් අනතුරුව දේහය ඥාතීන් විසින් හඳුනා ගනු ලැබූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මළ සිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය කරා ගෙන යනු ලැබීය.

මියගිය අයගේ බිරිය මෙන්ම සහෝදර පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර තමන්ට යුක්තිය ඉටු කරදෙන ලෙසට ඉල්ලමින් මියගිය අයගේ සහෝදරියක් ආවේගශීලීව හැසිරුණේ සහෝදර පේ‍්‍‍්‍රමය නිසා විය යුතුය.

මීගමුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරල මහතා සහ කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති වික‍‍්‍රමසිංහ මහතා ඇතුලූ පොලිස් නිලධාරීන් මෙම කටයුතු සම්බන්ධිකරණය කරනු ලැබූ අතර දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති සුමිත් පේ‍්‍්‍රමකුමාර මහතා ඇතුලූ නිලධාරීහු ද ඒ සදහා දායකත්වය ලබා දුන්හ.

නීතිඥවරුන් වන අතුල ගුණසේකර , සරල කරුනාරත්න යන මහත්වරු මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ.