මන්නෙන් කොටා මරලා ඒක පොලිසියටත් කියලා

මන්නෙන් කොටා මරලා ඒක පොලිසියටත් කියලා

ඉකුත් 18 දින මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පණිවිඩයකි.

“සර් මම මගේ මෝනට අනවශ්‍ය විහිළු කරන්න ආපු කෙනකුට මන්නයෙන් ගැහැව්වා. ඌට අමාරු ඇති. “.

ලද පණිවිඩය පොලිස් හදිසි ඇමතුම් ඒකකය මඟින් ක්ෂණිකව හලාවත පොලිසියට දැනුම් දුන්නේය.

ඒ අනුව හලාවත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වී ඇති බව සඳහන් ඉසව්ව සොයා වහාම පිටත් විය. හලාවත සිට සිද්ධිය වී ඇති ස්ථානයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර විස්සක් පමණ ඇත. එම ප්‍රදේශය තරමක් දුෂ්කරය. පැවති අන්ධකාරයත් මධ්‍යම රාත්‍රිය පසු වී හෝරාවක් පමණ ගෙවී ඇති නිසාත් සිද්ධිය වූ ස්ථානයෙන් හෝඩුවාවක් දැන ගැනීමට නිලධාරින්ට තරමක් අපහසු විය.

එම ස්ථානයට නිලධාරින් ළඟා වනවිටත් අසල්වැසියන් කීපදෙනෙක් නිවෙස වටා එක්රොක් වී සිටියහ. නිවසට ඇතුළු වන දොර විවෘතව තිබිණ, දොර ආසන්නයේම ලේ විලක් මත වැතිර සිටින අයෙකි. ඔහුගේ හිස ප්‍රදේශයට තදබල පහරක් එල්ල වී ඇති බව පෙනී යයි. ඔහුගේ නාසයෙන් කටින් හා දෙකන් වලින් අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වෙයි. සිරුර ආසන්නයේ විදුලි පන්දමකි. හිසට පහර දී ඇති මන්නය ද ඒ අසල තිබී හමුවිය. අඩි 02 ක් පමණ දිග එම පිහියෙන් පහර එල්ල කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි විය. ලද පහරින් එම පුද්ගලයා එතැනම මියගොස් ඇති බවට ද ස්ථාන පරීක්ෂාවේදී නිලධාරින්ට වැටහිණ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුමාරකට්ටුව නිවහල්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණකුල පටබැඳිගේ ලදීසා ඇන්ටනී නමැති 53 හැවිරිදි වියේ පසු වූ අයෙකි.

ඝාතනයට ලක් වූ ඇන්ටනී නමැති අය ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ පොල්වත්තක, සුළු රැකියාවක නිරත විය. ඔහුගේ බිරිය නිවසේ රැඳී සිටියාය. ඔවුනට වයස අවුරුද11 ක පුතෙකු සිටින අතර ඔහු කුඩා කළ සිට මවගේ සොහොයුරියගේ නිවසේ ජීවත් විය. ඇන්ටනී අරක්කු බීමට දැඩි ලෙස අබ්බැහි වී සිටියේය. සේවය නිම වී දිනපතාම පාහේ සුපුරුදු මධුවිත පානය අහවර වී නිවසට පැමිණීම ඔහුගේ සිරිත විය. මේ නිසාවෙන්ම ඔවුන්ගේ එකම පුතා සිය සොහොයුරියගේ නිවසේ රඳවා තැබීමට ඇන්ටන්ගේ බිරිය කටයුතු කළාය. තම පුතාගේ අධ්‍යාපන කටයුතු මැනවින් පවත්වා ගැනීමට අවශ්‍ය පරිසරයක් නිවසේ නොතිබූ නිසා ඇය මෙම තීරණය ගෙන තිබිණ.

මේ අතරතුර ඇන්ටනීගේ බිරිය සිද්ධිය වීමට මාස එක හමාරකට පමණ පෙර උදරයේ ඇති වූ ආබාධයකින් රෝගාතුර වූවාය. ඇය හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මීට මාසයකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ. මේ නිසා දිනපතාම පාහේ ඇන්ටනිට සිය බිරිය බැලීමට කොළඹ යාමට සිදුවිය. ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇන්ටනී ඔහුගේ නරක පුරුදු ක්‍රමයෙන් ඈත් කරන්නට විය. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා ගිය දිනයේ සිට ඇන්ටනී මත්පැන් බීම පවා නතර කළේය.

ඉකුත් 18 වැනි දින ඇන්ටනි සුපුරුදු පරිදි උදෑසන රෝහල වෙත ගොස් සිය බිරිය බලා ආපසු සිය නිවෙස වෙත යමින් සිටියේය. නිවසට මීටර් 500 ක් පමණ දුරින් ඔහු හොඳින් දන්නා හඳුනන අයකුගේ නිවසේ සුරතලයට ඇති කරන බල්ලන් දෙදෙනා ඔහුට බුරමින් සපා කෑමට පැන්නේය. මින් උරණ වූ ඇන්ටනී නිවසේ සිටි කාන්තාවට කතා කොට “උඔලගෙ බල්ලෝ බැඳ ගනිල්ලා. අපි බයිට් නෑ ඕවට” කියා බැණ වැදී ඇත. ඉන් අනතුරුව ඇන්ටනි නිවසට ගොස් රාත්‍රී ආහාරය ගෙන සුපුරුදු පරිදි නිදාගත්තේය. පවතින රස්නය හේතුවෙන් ඔහු නිවසේ දොර විවෘත කර ඒ අසළ බිම නිදා ගැනීමට පුරුදුව සිටියේය.

බල්ලන් සපා කෑමට පැන්න නිවසේ හිමිකරු මේසන් බාස් කෙනෙකි. ඔහු යුධ හමුදාවේ කලක් සේවය කර ඉන් ඉවත්ව මේසන් රස්සාව කරයි. තරමක සැර පරුෂ ගතියකින් යුත් ඔහු නිතර කිපෙන සුළු පුද්ගලයෙකි. සුළු දෙයකට පවා ඔහුට තරහ එයි. අවුරුදු 27 ක් වන මෙම පුද්ගලයාට මාස 06 ක පුතෙකු හා අවුරුදු 03 ක දියණියක් ද සිටී. වැඩ අහවර වී ඔහු ද ඇඟපතේ රුදාවට අඩියක් ගහන අයෙකි. ඔහු එදින මිතුරන් කිහිප දෙනෙක් සමඟ මත්පැන් පානය කොට ගෙදර පැමිණියේය.

හොඳ හැටි මත් වී නිවෙසට ආ ඔහුට බල්ලන් ඇන්ටනීව සපා කෑමට ගිය සිද්ධියත් ඇන්ටනී තමාට බැන වැදුණු ආකාරයත් බිරිය කීවාය. මින් ඔහු කෝපයට පත් විය. ටික වේලාවක් නිවසේ රැඳී සිටි ඔහු කුස්සියට ඇතුළු වී මන්න පිහිය ද රැගෙන සිය යතුරු පැදියෙන් ඇන්ටනිගේ නිවසට ගියේ ඉන් අනතුරුවය.

නිවසේ විවෘතව තිබූ දොර අසල නිදා සිටි ඇන්ටනී ළඟට ගිය ඔහු වචනයකුදු නොදොඩා අත තිබූ මන්නයෙන් ඇන්ටනිගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය. ඔහුගේ පහරින් ඇන්ටනීගේ මුවෙන් හීන් කෙඳිරිල්ලක්වත් පිට වූයේ නැත.

විනාඩි කීපයක් නිසොල්මන්ව ඇන්ටනී දෙස බලා සිටි ඝාතකයාට තමා කළ වරදේ ස්වභාවය දැනුණේ ඉන්පසුවය. ඇන්ටනී මියගොස් නැති බව තේරුම් ගත් ඔහු ඒ අසල පිහිටි ඇන්ටනිගේ සොහොයුරියගේ ගෙදරට ගොස් “මම ඇන්ටනීට ගැහුවා. ඉක්මනින් ඌව ඉස්පිරිතාලෙට ගෙනියපල්ලා.” කියා පවසා ඇත.

“උඹ ගැහැව්වා නම් උඹම ඉස්පිරිතාලෙට ගිහින් දාපන්” තත්ත්වය නොදත් ඇන්ටනීගේ සොහොයුරිය ඔහුට කීවාය.

පසුව ඝාතකයා නිවසට ගොස් බිරිය සහ දරුවන් දෙදෙනා ද රැගෙන යතුරු පැදියෙන් බිංගිරිය වැල්ලන්ව ප්‍රදේශයේ ඔහුගේ මිතුරකුගේ නිවසට ගියේ තමා කොයි මොහොතක හෝ පොලිසියට කොටුවන බව දත් නිසාය. යන අතරතුරදී ඔහුට යළිත් තමන් සිදු කළ අපරාධය සිහි වී යතුරු පැදිය නවතා පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකථන පණිවිඩයක් දී මේ බව කීවේය. ඔහු එසේ කීවේ ඇන්ටනි මිය යන්නට නැති බව සිතාය. සිද්ධිය දැනගත් පොලිසිය එතැනට යන විටත් ඇන්ටනි මරු වැළඳගෙන අවසානය.

හදිසි කෝපය හේතුවෙන් දුරදිග බලා කටයුතු නොකිරීමෙන් සැකකරුගේ දෑතට මාංචු වැටෙද්දී ඇන්ටනීගේ අවසන් කටයුතු කාගේත් ආධාරයෙන් සුසාන භූමියෙදී් සිදු කෙරිණ.

හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි කුමාරපේලිගේ මහතාගේ උපදෙස් හා අධීක්ෂණ යටතේ හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පුෂ්පකුමාර ඇතුළු නිලධාරිහු සිද්ධීය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරති.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය