එක් දරු මවගේ ඝාතනයට පිය පුතු දෙපලක් අල්ලති

එක් දරු මවගේ ඝාතනයට පිය පුතු දෙපලක් අල්ලති

ජීවිතයේ යස ඉසුරු මැද සුවසේ ජීවිතයක් ගොඩනඟා ගැනුමට පෙරුම් පිරූ චන්ද්‍රකාන්ති විදෙස්ගතව සිට යළි මෙරටට පා තබන්නේ ඒ සිහිනය මඳක් හෝ ඉෂ්ට කර ගැනීමෙන් අනතුරුවය. විදෙස්ගතව සිට දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් ඇය අලුත් නිවහනක් සෑදීමට කටයුතු කරන්නේ මේ අතරය. ගඩොලින් ගඩොල ඉහළට බැඳෙමින් ඉදිවන තමන්ගේ සිහින මන්දිරය දෙස ඇය බලා සිටියේ හද පුරා උතුරා ගිය පී‍්‍රතියෙන් යුතුවය. මහපාරට සමීපවම ඉදිවෙමින් තිබු මේ නිවෙසේ පළමු මහල ඉදිවීම නිසා වහලය කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් යුක්ත විය. පාරට සමීපව විවෘතව තිබු පඩිපෙළ එයට සමාන්තරව ඉදි වී තිබිණි. චන්ද්‍රකාන්ති දිරිමත් කාන්තාවක ලෙස සිය පවුල වෙනුවෙන් කෙතරම් ඇප කැපවීමෙන් කටයුතු කළ ද ඇයගේ සැමියා බේබදුකමට ඇබ්බැහි වී සිටීම නිසා නිරතුරුව කරදර කම්කටොලු ඇය වෙත ගෙන එන්නට සමත් විය. මේ කුමක් වුවත් චන්ද්‍රකාන්ති සැමියාට අහිතක් පෙන්වුයේ නැත. ඇය තම පවුල වෙනුවෙන් සියල්ල කරට ගෙන වැඩකටයුතු කරගෙන ගියාය. එහෙත් වැඩිකල් යන්නට මත්තෙන් ඇයට මරුවා ගේ ග්‍රහණයෙන් ගැලවී යාමට ඉඩ ලැබුණේ නැත.

39 හැවිරිදි වියේ පසු වූ චන්ද්‍රකාන්ති, හිටිහැටියේම ඉදිකෙරෙමින් පැවැති දෙමහල් නිවෙසේ පඩිපෙළින් පහළට ඇද වැටී බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව ජීවිතයෙන් සමුගත්තාය. මේ මොහොත වන විට ඇගේ නැගණියද සිටියේ මේ නිවෙසේමය. අක්කා තරප්පු පෙළ නැඟ ඉහළට යන අයුරුද එසැණින්ම ඇය ‘අම්මෝ’ කියා විලාප දී වහළයෙන් බිමට ඇද වැටෙන අයුරුද ඇය දුටුවාය. අක්කා ‘දඩස්’ ගාලා බිම ඇද වැටෙද්දී කිසිවකු විසින් ඇය බිමට තල්ලු කළ බවක් ඇයට පෙනෙන්නට තිබිණි. කිසියම් අයකුගේ අත් දෙකක් ඇය දුටුවේ ඒ මොහොතේය. එබැවින් මෙය මිනී මැරුමක් බව ඇය පුන පුනා කීවාය. ඒ මොහොතේ අක්කා 'එපා, එපා..' යනුවෙන් කෑ ගැසූ අයුරු ද ඇගේ මතකයට ආවාය. කිසිවක් කතා කරගත නොහැකිවම චන්ද්‍රකාන්ති දෙනෙත් පියාගෙන තිබුණේ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුවය. එතැනින් ඔබ්බට ඇගේ මරණය ගැන තොරතුරු සොයාගැනීමට පොලිසිය විමර්ශන කටයුතු සිදුකරමින් තිබුණේ ඇගේ මරණය අනතුරක් ද නොඑසේ නම් ඝාතනයක් ද යන්න තහවුරු කර ගැනීමටය.

මිය ගිය චන්ද්‍රකාන්තිගේ සැමියා බීමට ඇබ්බැහි වූ අයකු නිසා නිරතුරුව බීමත්ව කා සමඟ හෝ රණ්ඩුසරුවල් කිරීම ඔහුගේ සිරිතය. ඇය මිය යන මොහොතේ ඇගේ සැමියා බීමත්ව නිවෙසේ ස්ලැබ් එක මත ගැවසෙමින් කලහකාරී ලෙස සිටි බවට පොලිසියට තොරතුරක් ලැබුණේ ඔය අතරය. පොලිසිය ඇගේ සැමියාගෙන් මේ ගැන විමසූවේය. ඉන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගත් ඇගේ සැමියා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ද සිදුවිය. රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙර ඔහු හඬමින් පුන පුනා කීවේ තමා එවැන්නක් නොකළ බවය.

“අනේ දෙවියනේ මං කාන්තිට කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ. කාන්තිට මොකද වුණේ. මාත් කියන්නේ එයාට වෙච්ච දේ කොහොම හරි හොයන්න කියලා....තමයි”

එහෙත් නිලධාරීහු ඔහුගේ වචනය විශ්වාස නොකළහ.

කාලය ගෙවී ගියේය. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නිර්ණාමික පෙත්සමක් ලැබෙන්නේ මේ අතරය. චන්ද්‍රකාන්තිගේ මරණය වෙනත් දෙදෙනකු විසින් සිදු කළ බව එහි සඳහන් වී තිබිණ. එම ඝාතනය සම්බන්ධයෙන් යළි මුල සිට පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් සපයන ලෙසට පොලිස් අධිකාරිවරාය නියෝග කරන්නේ ඉන් පසුවය. ඒ අනුව සැකකටයුතු පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුහු පියා පුතු දෙපොළක් වූහ. ඒ සමඟම තොරතුරු බිඳෙන් බිඳ එළිපෙහෙළියට එන්නේ අබිරහස් ලෙස වැළලීයාමට ගිය ඝාතනයක පසු විපරමක් ලෙසය. අපරාධයට පසුබිම සැකසෙන්නේ මඟුල් ගෙදරකදී සිදු වූ සුළු සිදුවීමක් නිසාය. මිය ගිය චන්ද්‍රකාන්තිත් ඇගේ සැමියාත් අසල්වැසි නිවෙසක විවාහ උත්සවයකට සහභාගි වූහ. ඔවුන්ගේ අල්ලපු ගෙදර පදිංචි පියා, පුතා සහ බෑණා ද එයට සහභාගි වී සිටියහ. මේ සියල්ලෝම මත්පැනට ගිජු වූ මෙන්ම හොඳින් හුරුපුරුදු අය වූහ. මේ බේබදුකම නිසාම චන්ද්‍රකාන්තිගේ සැමියාත් අල්ලපු ගෙදර තිදෙනාත් අතර පුංචි පහේ ආරාවුලක් ඇතිවන්නේ හිටි හැටියේය. ගැටුමේදී චන්ද්‍රකාන්තිගේ සැමියා විසින් අල්ලපු ගෙදර තිදෙනාට ගල් පහරක් එල්ල කළේය. එයින් බෑණාගේ හිස පැලී තුවාල සිදුවිය. එදා ඇති වූ අමනාපය කාගේත් සිත්වලින් පහව ගියේ නැත. එය දිනෙන් දිනම සිත් තුළ වර්ධනය වූවා මිස ඉන් ඉවත්ව ගියේ නැත.

කුරුඳු තැලීම රැකියාව කොටගත් චන්ද්‍රකාන්තිගේ සැමියා ද එදා දවසේ වැඩපළ නිමවා ගෙදරට එන්නේ කටගොන්නක් බීගෙනය. වෙරිමත වැඩි නිසා පැරැණි එදිරිවාදිකම් ඔහුගේ සිහියට ආවේය. නිවෙසේ පඩිපෙළ දිගේ ස්ලැබ් එකට ගොඩ වූ ඔහු අල්ලපු ගෙදර උදවියට නොනවත්වා බැන වදින්නට විය. මේ වන විට ඔහුගේ බිරිය හා නැගණියද නිවෙසෙහි සිටියේය. පිය පුතු දෙදෙනා හැරුණු විට පුතාගේ මිතුරකු ද අල්ලපු ගෙදර සිටිියහ. බැන වැදීම අවසන් වන බවක් නොපෙනුණ තැන අල්ලපු ගෙදර සිටි අය හෙමිහිට චන්ද්‍රකාන්තිලා ගේ පඩිපෙළ දිගේ වහලට ගොඩවුයේ චන්ද්‍රකාන්තිගේ සැමියාට හොඳ පාඩමක් උගන්වන්නට සිතාගෙනය. පිය පුතු සමඟ මිතුරා ද වහලට ගොඩවනු දුටු චන්ද්‍රකාන්තිගේ බීමත් සැමියා බැන වැදීම නවතා හෙමිහිට ගෙට රිංගා ගත්තේය. මෙය චන්ද්‍රකාන්තිගේ නැගණියවත් ඇයවත් දුටුවේ නැත.

වහළට නැගගත් අල්ලපු ගෙදර තිදෙනා බීමත් පුද්ගලයා යළි කැඳවා ගැනීමේ අරමුණින් උපායක් කල්පනා කළහ. ලී කෝටුවක් ගෙන ඉන් දොරට තට්ටු කළේ ඔහු ඉන් කුපිතව යළි දබරයට එනු ඇතැයි සිතාගෙනය. බීමත් තම සැමියා සිහිවිකල්ලෙන් විකාර කරනවා යැයි සිතූ චන්ද්‍රකාන්ති සැමියාට බැන වඳිමින් පඩිපෙළ නැග්ගේ කලබලයෙනි. නැගණියද දොරෙන් එළියට පැමිණ ඒ දෙස බලා සිටියාය. ඒ සමඟම චන්ද්‍රකාන්ති බිම ඇද වැටුණාය. අක්කා කෑ ගසමින් බිම වැටෙද්දීම කිසිවකුගේ අත්දෙක්ද ඇගේ නෙත ගැටිණි. රාත්‍රී 7 පසුවෙමින් තිබියදී කළුවරේ සිදු වූ මෙම සිදුවීම කිසිවකු දැන සිටියේ නැත. එහෙත් පියපුතු දෙදෙනා සමඟ සිටි මිතුරාට මේ සිදුවීම මහත් කම්පාවක් ගෙන දුන්නාට සැක නැත.

“මොකක්ද මාමේ මේ කළේ”

ඔහු ඇසුවේ තම මිතුරාගේ පියාගෙනි. චන්ද්‍රකාන්ති වහලෙන් බිමට ඇද වැටෙනු දුටු ඔහු මහත් කම්පාවට පත්ව සිටියේය.

“උඹ කට වහගෙන හිටපන් කාටවත් කියනව එහෙම නෙමේ.” තම පුතු සමඟ ඔහු ගෙතුළට ගියේ කිසිවක් නොවු අයුරින්ය.

සැමියා සමඟ ඇති කරගත් ආරවුල දුරදිග යාමෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුයේ චන්ද්‍රකාන්තිටය.

මේ අතර විමර්ශන සිදුකළ මාතලේ කොට්ඨාස විමර්ශන පොලිසියට තවත් තොරතුරු අනාවරණය විය. සිද්ධිය වුණ දා අල්ලපු නිවෙසෙහි තවත් පුද්ගලයන් දෙදෙනකුද සිටි බවට තොරතුරු හෙළි විය. අල්ලපු නිවෙසේ සිටි පුතා මිනිරන් කර්මාන්තයේ යෙදී සිටි අයෙකි. එම නිවෙසට එදා පැමිණ සිටි පිරිස ඔහු යටතේ සේවය කරන තරුණයන් පිරිසකි. ඒ සිංහල අවුරුද්දට පෙර වැටුප් ලබා ගැනීම සඳහා ය. නිවසේ සිට වැටුප් රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනකු ඒ අසල වූ කඩය වෙත යමින් සිටියේ ඒ මොහොතේය. බීමත් චන්ද්‍රකාන්තිගේ සැමියා ස්ලැබ් එක උඩසිට කාටදෝ බැන වදින අයුරු ඔවුන් දුටුවේය. දෙදෙනා සිගරට් මිලදී ගෙන අඳුරු මුල්ලකට වී සිදුවන්නේ කුමක්දැයි බලා සිටියහ. සිය හාම්පුතා ඔහුගේ පියා හා මිතුරා වහලට ගොඩවනු ද ඔවුන් දැක තිබිණි. සිය හාම්පුතාගේ පියා විසින් චන්ද්‍රකාන්ති ස්ලැබ් එකෙන් පහළට තල්ලු කරනු ඔවුන් දුටුවද කිසිවක් නොදැක්කා සේ කරබාගෙන නිහඬව සිටියේ හාම්පුතා කෙරෙහි වූ බිය නිසාය.

මේ අතර කොට්ඨාස අපරාධ ඒකකය මේ තරුණයන් දෙදෙනා ගෙන් කට උත්තර ලබාගත්තේය. එම කට උත්තරවලට අනුව නියම අපරාධකරුවන් නිශ්චය කර ගැනීමට පොලිසියට හැකිවිය. ඒ අනුව සිද්ධිය වූ දින පිය පුතු සමඟ සිටි මිතුරාගෙන් ලබාගත් තොරතුරු මත චන්ද්‍රකාන්ති මරණයට ඇගේ සැමියාගේ සබඳතාවක් නැති බවට තහවුරු විය. ඒ නිවසේ සිටි එම තරුණයා සියල්ල අකුරක් නෑර පොලිසිය හමුවේ අනාවරණය කළ නිසාය.

ඒ අනුව පිය පුතු දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණි. පියාට මනුෂ්‍ය ඝාතනය පිළිබඳ චෝදනාවත්, පුතාට ඊට අනුබල දීමේ චෝදනාවත් එල්ල විය.

සැඟවී යාමට ඉඩ තිබු අපරාධයක් ලෝකයට නිරාවරණය වුයේ එසේය.

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී තිලක් අබේසිරිවර්ධන මහතාගේ උපදෙස් මත මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එස්.ආර්. රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන 47343 දමයන්ත, 17909 අතුල සහ නිලධාරිහු මෙම පරීක්ෂණය සිදු කළහ.