ගෑනුන්ගේ රන්මාල කැඩු වොලිබෝල් ක්‍රීඩකයා

ගෑනුන්ගේ රන්මාල කැඩු වොලිබෝල් ක්‍රීඩකයා

ඔලබොඩුව පදිංචි වසන්ති දෙදරු මවකි. ඇය සිය ස්කූටි වර්ගයේ යතුරු පැදියෙන් පාරේ ගමන් කරමින් සිටියාය. පසුපස පැමිණි තවත් යතුරු පැදියක් මොහොතකින් ඇය ඉස්සර කරන්නට විය. එහි ගමන් ගත් පුද්ගලයා එකවරම වසන්තිගේ ගෙල බැඳි රන් මාලය කඩා ගත්තේ ඇයට කිසිවක් හිතන්නට හෝ ඉඩ නොතබාය. කලබල වූ වසන්ති යතුරු පැදියත් සමඟ පෙරලෙන්නට ගියද වාසනාවට ඉන් බේරීමට ඇයට හැකිවිය. මාලය කඩාගත් පුද්ගලයා පැමිණි යතුරු පැදියෙන්ම පලා ගියේය. කර කියාගත හැකි දෙයක් නොහැකි වූ ඇය මේ බව සිය සැමියාට පවසා ඔහු ද සමඟ පොලිසියට ගියාය.

ඒ වනවිට පොලිසියට තවත් කාන්තාවක් පැමිණ සිටියාය. ඇගේ ගෙල බැඳි මාලයද කඩාගෙන ගොසිනි. ලැබුණු පැමිණිලි දෙකම විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා සිදුවීම් දෙකකටම සම්බන්ධ එක් පුද්ගලයකු බවට විශ්වාස කළේය. සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹීමට අපරාධ විමර්ශන අංශයට භාර විය.

ඒ අනුව විමර්ශන නිලධාරින් මුලින් කළේ වසන්තිගේ මාලය කැඩූ ස්ථානය හා ඒ අවට ඇති සි.සි.ටි. වී කැමරා නිරීක්ෂණය කිරීමය. පොලිසියේ ක්‍රියාව නිවැරදි විය. එක් කැමරාවක ඇගේ මාලය කඩාගන්නා ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මාලය කඩාගන්නා පුද්ගලයා හෙල්මටයක් පැළඳ සිටි නිසා හඳුනා ගැනීමට නොහැකි වුවද ඔහු පැදගෙන යන යතුරු පැදියේ අංකය හඳුනාගැනීමට නිලධාරීන්ට හැකිවිය. ඒ ඔස්සේ පරීක්ෂණ ඇරැඹිණි.

ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව යතුරු පැදියේ අංකය ද රැගෙන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිය නිලධාරියකු එම අංකය සහිත යතුරු පැදියේ ලියාපදිංචි හිමිකරු පිළිබඳ විස්තර ලබාගත්තේය. ඒ අනුව එම බයිසිකලයේ අයිතිකරු හොරණ පදිංචිකරුවකු වන එරංග යන අයකු බව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය.

පසුව එරංග කවුදැයි යන්න සෙවීම ඇරඹීණ. ඔහු යුද හමුදා සෙබෙලෙකු බවත් ඒ වන විටත් ඔහු හමුදා සේවයේ නිරතව රාජකාරී කරන බවත් සොයා ගත හැකිවිය. ඔහු වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ද විය. තව දුරටත් කරුණු කාරණා සොයා බැලීමේදී අවිවාහකයකු වූ ඔහු ඥාති කාන්තාවක් සමඟ ජීවත්වෙන බවද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවිය. දින කිහිපයක සිට ඔහු සිය නිවෙසට පැමිණ නැති බවත් ඥාති කාන්තාව සමඟ හෝටල් කාමර වල ලැගුම් ගනිමින් සිටින බවත් පොලිසිය සොයාගත්තේය.

මොහු දින ගණනාවක් තිස්සේ සේවයට ද වාර්තා කර නැත. පසුව මොහු හා එම කාන්තාව ගැන තොරතුරු සොයන්නට නිලධාරීන් දෙතුන් දෙනෙකුට පැවරිණ. එහිදී හෙළි කර ගත හැකි වුයේ මොහුගේ පෙම්වතිය විදේශ ගත වීම සඳහා හොරණ නගරයේ රැකියා එජන්සියකට පැමිණෙන බවය. පොලිසිය ඒ පිළිබඳ සෙවිල්ලෙන් පසුවිය.

“සර් අද ඒ ගෑනු කෙනා ඒජන්සියට ගියා.”

ඔත්තුකරුවෙකු පොලිසියට මේ බව දැනුම් දුන්නේය. සිවිල් ඇඳුම් ලාගත් නිලධාරීන් හොරණ රැකියා ඒජන්සියට ගියේ වෙස් වලාගෙනය. ඒජන්සිය අසළ පාළු තැනක සැකකරුගේ යතුරු පැදිය නතර කර තිබිණ. එහි අංකය නිලධාරීන් හොඳින් දැන සිටියේය. නිලධාරියකු සයිකලයේ උඩ වාඩි වී සිටියේ සැකකරු කොයි මොහොතක හෝ එතැනට එන බව දන්නා නිසාය.

මොහොතකින් තරුණයකු කාන්තාවක් ද සමඟ මෝටර් සයිකලය වෙත පැමිණියේය. නිලධාරියා වහා හිඳගෙන සිටි එම සයිකලයෙන් ඉවත් විය. ඒ සමඟම සයිකලයට නැගුණු ඔහු එය පණ ගැන්වීමට උත්සාහ කළේය. තැන තැන රැඳුණු නිලධාරිහු වහා ඔහු වට කරගත්හ. එක් අයෙකු සැකකරුගේ දෑතට මාංචු දැම්මේය.

“ඇයි සර්..මොකද?”

“ඒක පොලිසියට ගිහින් බලාගන්න පුළුවන්”

“මම ආමි....”

“හරි අපි ඒවා ගැන ගිහින් කතා කර ගමුකො.”

නිලධාරියකු ඔහුට කීවේය. සැකකරු සමඟ සිටි කාන්තාවද තුෂ්නිම්භූත වී සිටියාය. තම පෙම්වතා පොලිසියට රැගෙන යද්දී ඇයට කිසිවක් කරකියා ගත නොහැකි විය.

පොලිසියට රැගෙන ගිය සැකකරු මුලින් කීවේ මාල කැඩීමට තමා සම්බන්ධ නැති බවය. එහෙත් ඔහුට දිගටම බොරු කීමට නොහැකි වුයේ සි.සි.ටී.වී දර්ශන ඔහුට පෙන්වු විටය. පසුව ඔහු වරද පිළිගත්තේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සිය පෙම්වතියට සයිප්‍රස් යන්න චාන්ස් එකක් තියෙන බවත් ඒ සඳහා මුදල් අවශ්‍ය නිසා රන් මාල දෙක තුනක් කැඩීමට තීරණය කළ බවත්ය.

“එහෙනම් උඹ ගෑනු දෙන්නෙක්ගේම මාල කැඩුවේ.”

ස්ථානාධිපතිවරයා සැකකරුගෙන් විමසූවේය.

“දරුවත් එක්ක පාරේ ගිය ගෑනු කෙනෙක් ගේ මාලයක් තමයි මම මුලින්ම කැඩුවේ. ඒක කඩලා සාක්කුවේ දාගත්තා. ඒත් ගෙදර ගිහින් බලද්දී ඒක සාක්කුවේ නැහැ වැටිලා. ඒ පාර තමයි අර බයිසිකලේ යන ගෑනු කෙනාගේ මාලය කැඩුවේ.”

සැකකාර සෙබලා පොලිසිය හමුවේ කියා සිටියේය.

තව දුරටත් කරුණු කාරණා සෙවීමේදී අනාවරණය වුයේ මොහු අවිවාහකයකු බවත් ඔහු සමඟ පෙමින් බැඳි පලාගොස් සිටි ඇය දෙදරු මවක් බවත්ය. ඇය මොහුගේ ළඟම ඥාතියකුගේ දියණියකි. ඇගේ සැමියා විදේශගතව සිටියි. ඒ අතරතුර ඇය තවත් පුරුෂයකු හා පෙමින් වෙලි සිටියදී ඒ බව දැනගත් මෙම සෙබලා එය නතර කරන්නට ගත් උත්සාහය අවසානයේ කෙළවර වී ඇත්තේ දෙදෙනා අනියම් ඇසුරක් අරඹමිනි.

ඥාති දියණියගේ අනියම් ඇසුරට ලොල් වූ ඔහු ඇයව විදේශ ගත කිරීමේ උවමානව මත අවශ්‍ය මුදල් සොයාගැනීමට මාල කැඩුවද ඇය ඒ බවක් දැන සිට නැත. කඩාගත් මාලය රුපියල් තිස් පන්දහස්කට උකස් කොට තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කෙරිණ.

සහකාර පොලිස් අධිකාරි ජනක නන්දන මහතාගේ අධීක්ෂණය මත මොරගහහේන පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්නාධිපති චමිල නිශ්ශංක හා උපපොලිස් පරීක්ෂක ගාමිණී රාජපක්ෂ සැරයන් අනුර (27061) හා කොස්තාපල්වරුන් රණසිංහ (14247) අමරජීව (80100) හා පුෂ්ප කුමාර (41150) නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.