"ආටිස්"ගේ ඉව හරියටම හරිද?

"ආටිස්"ගේ ඉව හරියටම හරිද?

සොරුන් විසින් කඩා දමන ලද අල්මාරිය අසල වැටී තිබූ හිස් මුදල් පසුම්බිය හොඳින් ඉව කළ “ආටිස්” කාමරය පුරා ඉව කරමින් ඇවිදින්නට විය.

එලෙස කාමරය පුරා ඉව ඇල්ලූ “ආටිස්” සොරුන් විසින් කඩා තිබූ පිටුපස දොරෙන් පිටවිය. එලෙස පිට වූ “ආටිස්” දොර අසලින් දකුණුපසට හැරී ඉදිරියට ගොස් වමට හැරී නිවෙස ඉදිරිපිටට පැමිණියේය.

මෙම නිවෙස පිහිටා ඇත්තේ ගාල්ල උඩුගම පොලිස් වසමේ පියතිලක මාවතේය. ගෙවත්තෙන් පිටව පියතිලක මාවතට පිවිසි “ආටිස්” පියතිලක මාවතේ වම් පසට ගමන් කරන්නට විය.

මෙලෙස මීටර් සියයක් පමණ ඉදිරියට යද්දී මාර්ගයේ දකුණු පස කලු පැහැ ත්‍රිරෝද රථයක් නවතා තිබෙනු දිස්විය. එහි දෙපස වැහි කබා දමා වසා තිබිණි.

ත්‍රිරෝද රථය දෙස බලා පාර මාරු වූ “ආටිස්” ත්‍රිරෝද රථයේ දකුණු පසින් වම් පසට ගොස් පිටුපස අසුන වසා තිබූ රෙද්ද අතරින් උඩට දෑත් තබා යමක් කරන්නට උත්සාහ කළේය. එවිට පොලිසිය දුටුවේ පිටුපස අසුනේ දෙදෙනකු හිඳගෙන සිටින බවත් වම් පස හිඳගෙන සිටින පුද්ගලයා “ආටිස්” ගේ ඉවට හසුව ඇති බවත්ය.

එලෙස..... එම පුද්ගලයා හොඳින් ඉව කළ “ආටිස්” එතන බිම හිඳගත්තේය. ඒ... වෙන කිසිවක් නිසා නොව ඉව ඇල්ලූ පුද්ගලයා පැන ගියහොත් පසුපස හඹා ගොස් අල්ලා ගැනීමට හෝ හාම්පුතාට පහර දීමට ආවොත් ඉදිරියට පැන ඔහු පාලනය කිරීම සඳහාය.

ගාල්ල අපරාධ නිල සුනඛ “ආටිස්” මෙම සොරා සෙවීම සඳහා කැඳවා තිබුණේ උඩුගම පොලිසියෙනි. සොරා සෙවීමේ මෙහෙයුමට උඩුගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරසිරි ද සිල්වා ඇතුලු කණ්ඩායමක් එක්ව සිටියේය.

“ආටිස්” ඉවකළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු පවසා සිටියේ තමා එම නිවෙසට ඇතුලු නොවූ නමුත් හොරෙන් වත්තට පැන රඹුටන් කැඩූ බවයි.

“සර්... මමයි චමින්දයි ඊයේ හවස ඔය වත්තට පැන්නේ රඹුටන් කඩන්න. පිටිපස්සේ තිබුණ රඹුටන් ගහෙන් අපි දෙන්නා රඹුටන් කඩද්දිත් කුස්සිසේ දොර කඩලයි තිබුණේ. අනේ.... සර්... අපි නම් ගේ පැත්ත පලාතට අඩියක් තිබ්බේ නෑ. රඹුටන් කඩාගත්ත විතරයි සර්...”

අත්අඩංගුවට පත් රුවන් එලෙස තමාගේත් තම මිතුරාගේත් නිර්දෝෂි භාවය ඔප්පු කිරීමට උත්සාහ කළේය. එහෙත්.... “ආටිස්” මොහු අසලට ඉව කරගෙන ගියේ ගස යට තිබූ රඹුටන් ලෙලි ඉව කිරීමෙන් නොව නිවසේ තිබූ හිස් මුදල් පසුම්බිය ඉව කිරීමෙනි.

පොලිසිය මොහුගෙන් ප්‍රශ්න කළ ද මොහු නිවෙස බිඳ මුදල් සහ රන් ආභරණ සොරා ගැනීමේ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

පොලිසිය මොහුත් මොහුගේ මිතුරාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එහෙත්... මේ සොරකම මේ දෙදෙනා කළ බව සහතිකය. එබැවින්... පොලිසිය සොරාගත් රන් ආභරණ සහ මුදල් සොයා මෙහෙයුම් වල නිරතව සිටී.

නිවෙසක් බිඳ මුදල් හා රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බැවින් නිල සුනඛයා ද කැඳවාගෙන පැමිණෙන ලෙසට කොස්තාපල් (54387) පී.ඩී. ගුණදාසට පණිවුඩයක් ලැබුණේ පසුගිය දොළොස්වැනිදා රාත්‍රියේදීය.

එම දැනුම් දීමට අනුව ඊට පසුදින එනම් දහතුන්වැනිදා උදේන්ම ගුණදාස, “ආටිස්” ද රැගෙන උඩුගම බලා පිටත් විය. ඒ වනවිට උඩුගම පොලිසිය පරීක්ෂණ අරඹා තිබිණි.

මෙම නිවෙසේ හිමිකරුවන් පසුගිය දොළොස්වැනිදා දහවල් වරුවේ දොර ජනේල වසා අගුලු දමා ඥාති නිවෙසකට ගොස් තිබිණි. එදින රාත්‍රිය උදා වීගෙන එද්දී පැමිණ ඉදිරිපස දොර විවර කොට නිවෙසට ඇතුලු වූ ඔවුන් දැක තිබුණේ සාලය පුරා රඹුටන් ලෙලි සහ ඇට විසිරී තිබෙන අයුරුය.

ඉන් කලබලයට පත්ව තවදුරටත් නිවෙස සෝදිසි කරද්දී කාමරයේ අල්මාරිය කඩා ඇති බවත් රුපියල් හතලිස් දෙදහසක් දමා තිබූ කුඩා කාන්තා මුදල් පසුම්බිය බිම වැටී තිබෙන අයුරුත් දැක ඇත. නිවෙසේ පිටුපස දොර ද කඩා දමා ඇති බව දුටු නිවැසියන් පොලිසියට පැමිණිල්ලක් කරන අතර පරීක්ෂණ ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

පසුම්බියේ තිබූ මුදල් අතුරුදන්ය. අල්මාරියේ තිබූ රන් ආභරණ සොරා රැගෙන ගොසනි. මේ හොරා කවුරුන් ද යන්න පොලිසියට වඩා නිල සුනඛයාට සොයා ගැනීම පහසුය. නිල සුනඛ “ආටිස්” කැඳවන්නේ ඒ නිසාය.

“ආටිස්” තමන්ට ලැබුණු ඉව ඔස්සේ ගොස් එක් පුද්ගලයකු පෙන්වා දුන්නේය. පොලිසිය තවත් අයකු අත්අඩංගුවට ගත්තේ ඔහුගේ කට උත්තරය අනුවය. මේ දෙදෙනා නිවෙස බිඳ සොරකම් කළ බව පිළිගත්තේ නැත. එහෙත්... කාට බොරු කළ ද නිල සුනඛයාගේ ඉවට බොරු කිරීම නම් මිහිපිට කාටවත් කළ නොහැකිය. එසේ කරනවා නම් නිල සුනඛයා යන මඟ බලෙන් වෙනස් කරවිය යුතුය.

එහෙත්... “ආටිස්” ගියේ ලැබුණ ඉව ඔස්සේය. එබැවින්... “ආටිස්”ට කිසිසේත්ම වරදින්නට ඉඩක් නැත. අත්අඩංගුවට පත් රුවන් විසිහත් හැවිරිදි විවාහකයකු බවත් චමින්ද තිස්තුන් හැවිරිදි විවාහකයකු බවත් පොලිසිය කීවේය.

විවාහකයන් වුණාට මොවුන්ට රැකි රක්ෂා නැත. එසේනම් පවුල් නඩත්තු කරගෙන ජීවත් වන්නේ කෙසේද? සොරකම් කිරීමෙනි. මොවුන් උඩුගම හොර කල්ලියක සාමාජිකයන් දෙදෙනකු බව ද පරීක්ෂණවලදී හෙළි වී ඇත.