මාධවී

මාධවී

කොළඹ කොටුව සිට වව්නියාව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පිටත් වන්නට ඇත්තේ තවත් විනාඩි දෙක තුනකි. ටිකට් පතද රැගෙන මා දුම්රිය වෙත දිවගියේ හිටගෙන හෝ වව්නියාවට යෑමේ අදහසිනි. එම දුම්රිය මඟහැරුණොත් යළි රාත්‍රිය වන තුරු සිටීමට සිදුවන බව මම හොඳින් දනිමි.

කෙසේ හෝ දුම්රියට නැගගත් මම මගී අසුනක් ළඟ නතර වීමි. අසුන් සියල්ලම මඟීන්ගෙන් පිරී පවතී. ඉඳගන්නට පුංචි ඉඩක්වත් නැත. එකවර මගේ දෙනෙත් දිව ගියේ අසුනක කෙළවරක වාඩි වී සිටි ඇය වෙතය. දුම්රියට දුවගෙන පැමිණීම නිසා හති දමමින් සිටින මා දෙස බැලූ ඇයගේ මුවට නැගුණේ සිනහවකි.

ඇය දෙමළ නිළියක් හා සමානය. ඇගේ දෙනෙත් දීප්තිමත්ය. නිල් පැහැතිය. මම ඇය දෙස වරින්වර බැලුවෙමි. ඇය ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ ඇගේ මව විය යුතුය. වරින් වර ඇය මා දෙස බලන්නීය. මා දෙනෙත් ද ඇය අසලම නතර වී ඇත. ඒ නිසා ගමන් විඩාවක් දැනුණේ ද නැත.

මා සිතුවා නිවැරදිය. ඉදිරියෙන් සිටින මව සමඟ කතාබහක වැටෙමින් ඇය ගමන් කළාය. අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් බොහෝදෙනෙක් බැස යාම නිසා මට ඇය ළඟ අසුනේ ඉඳ ගැනීමේ හැකියාව ලැබිණි. ඒ සැණින් යළි ඇය මා දෙස බලා සිනාසුණාය. ඇගේ දෙනෙත් කිසියම් ආරාධනාවක් කරන්නාක් මෙන්ය.

දුම්රිය වේගයෙන් ඉදිරියට ඇදෙයි. ඇය සිය මව අසල තිබූ බෑගයක් ගෙන මොනවාදෝ ඉන් පිටතට ගත්තාය.

“ගන්න.”

ඇය මට දිගු කළේ රස කැවිලිය. මට ඇය ගැන ඇති වූයේ පුදුමයකි.

“ගන්න පුතා ගන්න.”

ඒ ඇගේ මවයි.

“තෑන්ක්ස්”

රස කැවිලි අතට ගත් මම ඇයට කීවෙමි. ඇය ඊට සිහින් සිනහවක් පෑවාය.

“ඔය ගොල්ලෝ වව්නියාවට ද යන්නේ...”

“ඔව්”

මම ඇගෙන් විමසුවෙමි.

“අපි අම්මට බෙහෙත් ගන්න කොළඹ ආවා,.. දැන් ගෙදර යනවා..”

ඇය කතා කරන්නේ කැඩුණු සිංහලෙනි. ඇය දෙමළ යුවතියක බව මම තේරුම් ගතිමි.

“ඇයි අමමට සනීප නැද්ද?”

“ඔව් මෙඩිකල් ටෙස්ට් එකකට තමයි කොළඹ ආවේ...”

අපේ කතාව ඇරඹුණේ එලෙසිනි. වව්නියාවට කිට්ටු වෙද්දී ඇයත් මා අතරත් කුලුපග කමක් ඇතිවි තිබිණි. දුම්රිය වව්නියාවට ආසන්න වී ඇත.

“අයියා ආයෙමත් කොළඹ යන්නේ...”

“තව දවස් දෙකකින් විතර”

“එහෙනම් අයියා යන්න කලින් අපේ ගෙදර එන්න...”

“ඔයාලගේ ගෙවල් තියෙන්නේ...”

“සෙට්ටිකුලමේ... ඉන්න මම අයියට අපේ ගෙදර එන හැටි ලියලා පෙන්වන්න.”

කොළයක් අතටගත් ඇය එහි සටහන් කළේ ගෙදරට එන පාරය. එය ඇය මා අතට දුන්නේ දැඩි සතුටකිනි.

“එහෙනම් එන්න හොඳේ....”

ඇය මගෙන් සමුගනිද්දීත් එලෙස කීවාය. නොපෙනී යනතුරුම ඇය වරින් වර හැරෙමින් මා දෙස බලන්නට වූවාය. ඒ නිසා ඇය ගැන මා සිත තුළ ද ඇති වූයේ කිසියම් සතුටකි. ඇය නැවත දකින්නට මම ද ආශා කළෙමි.

එදා රෑ පුරාම මා සිත තුළ ඇගේ රුව රැඳී සිටීම නිසා පසුදාට පහන්වන තුරුම මා ගත කළේ නිදි වර්ජිතව ඇය ගැන සිතමිනි. ඒ පසුදාට ඇගේ නිවෙසට යන බලාපොරොත්තුවෙනි.

උදෑසන තිබූ කාර්යයන් නිම කළ මා දහවල් වෙද්දී ඇය කී පරිදි ඇගේ නිවසට ගියේ ත්‍රීරෝද රථයකිනි. දැඩි නියඟය නිසා මුළු පළාතම වියළී ගොසිනි. දූවිලි වලින් පිරුණු ගස් කොළන් වලින් හමා එන සුළඟ පවා ගතට දෙන්නේ විඩාවකි. වැට කඩුල්ල පැනගත් මම දහසකුත් සිතුම් මැද ඇය දකින අටියෙන් වත්තට ඇතුළු වීමි. කොහෙන්දෝ දිය නා පැමිණි ඇයට මා දකිද්දී ඇති වුයේ පුදුමයකි.

“අයියා... එන්න...”

අත තිබූ තෙත රෙදි කිහිපයක් බාල්දියට දැමූ ඇය මා පිළිගත්තේ හරියට හුඟ කලක් ඇසුරු කළ එකියක ලෙසිනි.

“මේ මොනවද....?”

“මේවා ඔයාට...”

අත තිබූ පාර්සලය ඇයට දුන් මම ඇය පසුපසින් ගෙට ඇතුළු වීමි.

“කෝ.... අම්මා...”

“අම්මා වැවට ගියා... දැන් ඒවි අයියා.....”

“හරිම රස්නෙයි නේද”

“ඔව් අයියා, දැන් කාලයක ඉඳන් වහින්නේ නැහැ. හරිම රස්නෙයි.”

“ඉතිං..”

“ගේ හොයා ගන්න අමාරු වුණා ද අයියා...”

“නැහැ. එච්චර අමාරු වුණේ නැහැ.”

“අයියා ඉඳගෙන ඉන්න මම එන්නම්...”

එසේ කී ඇය යළි නිවෙස තුළට ගියාය. ඇය එන්නට මොහොතක් ගතවේ යැයි සිතූ මා සිටි තැනින් නැගිට ගියේ සාලයේ එල්ලා තිබූ පිංතූර රාමු කිහිපයක් දැකබලා ගන්නටය. එහි වූයේ ඇගේ රුව රැගත් පිංතූර කිහිපයකි. ඒ අතරින් මාගේ දෙනෙත් එක රාමුවක් අසල නතර විය. ඒ තවත් තරුණයෙක් සමඟ ඇය එකට සිට ගත් ඡායා රූපයකි. ඒ රූපය මට ගෙන දුන්නේ ප්‍රශ්නයකි. ඒත් ඒ බවක් නොපෙන්වා මම නැවත පෙර සිටි අසුනට බර වූණෙමි.

“ආ.... අයියේ...”

ඇය මා ඉදිරියේ තැබුවේ කෑම ජාති කිහිපයකි.

“අයියා එන හින්දම අම්මා මේවා හැදුවා.”

ඇය මට ඒ සියල්ල පිළිගැන්වූයේ දැඩි සතුටිනි.

ඉන්පසු ඇය මා ළඟින්ම අසුන් ගත්තාය.

එතැන් පටන් බොහෝ වේලාවක් අපි කතා බස් කළෙමු.

කෙසේ හෝ එතැන් පටන් ඇය මට කීවේ ඇගේ දුක්බර කතාවයි. ඇය නමින් මාධවී ය. වව්නියාව මහ විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඇය ඉන් පසුව රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා ඇත. ඒ අතරදී ඇගේ පියා මිය ගොස් තිබේ. මව සමඟ තනි වු ඇයට විවාහ යෝජනාවක් ගෙන ආ තරුණයෙක් විය. ඒ ඇගේ ලස්සනට ඔහුද වශී වූ නිසාය. ඔහු කුමාර්ය. විවාහ යෝජනාවට කැමැති වූ මාධවී අවසානයේ ඔහු හා දීගෙක ගියාය. ඉන්පසු ඇය සැමියාගේ ගමට ගියාය. කෙසේ වෙතත් ඇයට සැමියා සමඟ වැඩි කාලයක් දීග කන්නට හැකිවූයේ නැත.

ඒ කුරිරු යුද්ධය පැවති සමයයි. ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මෝටර් බෝම්බයක් ඇගේ නිවෙසට යාබදව වැටීමෙන් තරුණ සැමියා ජීවිතක්ෂයට පත්විය. එදා සිට ඇය සිටියේ හැඬු කඳුළෙනි. ඒ නිසා ඇගේ මව ද රෝගාතුර වීය. අවසානයේ ඇය සියල්ල දමා යළි සිය නිවෙසට ආවාය. ඒ ඇගේ මව සමඟය.

“එයා තමයි ඒ පොටෝ එකේ ඉන්නේ...”

මගේ සිතෙහි වූ සැකය ඇය දුරු කළේ එලෙසය. මම යළිත් එතැනට ගොස් ඒ රූපය අතට ගෙන හොඳින් බැලුවෙමි. දහසකුත් බලාපොරොත්තු සමඟ යුග දිවියට පිවිසි ඇය එදා සිට සැමියකු පැතුවේ නැත. කිහිපවතාවක්ම දිවි තොර කර ගැනීමට ගියද වයෝවෘද්ධ මව ඒ නිසා තවත් අසනීප වනු ඇතැයි සිතූ ඇය ඒ සිතිවිල්ල අතැහැර දැමුවාය.

එදා පටන් ඇය සිටියේ පාළුව තනිකම මැදය. එහෙත් ඇගේ ලස්සන රූපය නිසාදෝ ඇයට තවත් විවාහ යෝජනා ආවාය.

“ඇයි ඉතින් කැමති වුණේ නැද්ද?”

“නැහැ... එයාලා මාව බඳින්නේ ලස්සනට විතරයි. ආදරයට නෙමෙයි.

“ඒ වුණාට අයියේ අම්මා නැතිවුණ දවසට මම ආයෙත් තනිවෙනවනේ....”

“ඒකනම් ඇත්ත...”

ඇගේ දෙනෙත් කඳුළු වලින් පිරෙන්නට වූවාය. මම ඇය දෙස බලා සිටියෙමි.

“අපි කොහොමටත් කවදාහරි තනි වෙනවානේ... ඒක තමයි අපේ ජීවිත වල හැටි...”

මම ඇය අස් වැසීමට නොයෙකුත් දේ කීවෙමි.

“ඒ වුණාට මට දැන් තනිකමක් දැනෙනවා අයියේ..”

ඇය කුමක් හෝ කියන්නට වෙර දරන බව මට හැඟිණි.

“හරි අදින් පස්සේ ඔයාට මම ඉන්නවනේ”

ඒ සමඟම ඇය මා දෙස පුදුමයෙන් බලා සිටියාය.

අපි ජාති දෙකක අයියේ”

“ජාති බේද ආදරයට බලපාන්නේ නැහැනේ මාධවී...”

“අයියේ...”

“ඇයි”

“මගේ මහත්තයගෙන් පස්සේ මට ආදරයෙන් කතා කළේ ඔයා විතරයි...”

“ඒක තමයි මම කිව්වේ ආදරයට ජාති බේද නැහැ කියලා...”

“මට තේරෙනවා අයියේ... ඒත් මට ටිකක් හිතන්න ඕන...”

එදා දහවල් කෑම ද ඇගේ මව සකසා තිබුණාය. එය අතිශය රසවත් කෑමකි. ඇයත් මාත් කෑම ගත්තේ එකටය. ඇයගේ මව අප දෙස බලා සිටියේ සතුටින්ය.

“දුව සතුටින් නම් මට නිදහසේ ඇස් දෙක පියා ගන්න පුළුවන් පුතේ...”

“බය වෙන්න එපා අම්මේ එයා ඉන්නේ සතුටින් තමයි...”

මා එදා ඇගෙන් සමුගත්තේ පසුදාට කොළඹ යාමට තිබෙන නිසාය.

“මම ගිහින් එන්නම් අම්මේ...”

මම ඇගේ මවට දෑත් එක්කොට වඳිමින් කීවෙමි.

“දෙවි පිහිටයි පුතේ.. ආයෙත් අපිව බලන්න එන්න...”

“හොඳයි අම්මේ..”

“මම යනවා මාධවී.”

මම නැවතත් කීවෙමි.

“ආයෙත් එන්න... මම බලාගෙන ඉන්නවා අයියේ...”

දුරකථන අංකය මා අත තැබූ ඇය මා නොපෙනී යනතුරු බලා සිටි අයුරු තවමත් මගේ මතකයේ තිබේ.

කීර්ති මෙන්ඩිස්