මිනීමැරුමකින් කෙළවර වූ පේ‍්‍රමයක්

මිනීමැරුමකින් කෙළවර වූ පේ‍්‍රමයක්

ඉන්දීය පරිපාලන සේවයේ නියුතු උසස් නිලධාරියකුගේ පුතෙකු වූ නිතීෂ් කටාරාට භාරතී යාදෙව් හමුවුයේ ව්‍යාපාරික අධ්‍යයන පාඨමාලාව හදාරණ අවධියේදීය. ඔවුන් දෙදෙනා අතර ඇතිවූ මිත්‍රත්වය පේ‍්‍රම සම්බන්ධයක් බවට පත්වුයේ ඉන් පසුවය. උපාධිය ලැබීමෙන් අනතුරුව නිතීෂ් දිල්ලියේ සුප්‍රකට වෙළඳ සමාගමක විධායක නිලධාරියෙකු වු පසුවද එම පේ‍්‍රම සම්බන්ධය දිගටම පැවතිණ.

සූරූපී භාරති, උත්තර් ප්‍රදේශයේ දේශපාලනඥයකු වූ ඩී.පී. යාදෙව්ගේ දියණිය වුවාය. යාදෙව් දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර නම් දැරූ අපරාධකරයෙකු වු අතර ඒ නිසාම දේශපාලන බලවතයෙකු වූ ඔහු පිළිබඳව බොහෝ දෙනා තුළ යම්කිසි බියක් චකිතයක් ඇතිවීම වැළැක්විය නොහැකි විය.

නීතීෂ් කාටාරා හා භාරතී යාදෙව් ගේ ප්‍රේම සම්බන්ධයට යාදෙව් ඇතුළු පවුලේ උදවිය කිසිසේත් කැමැත්තක් දැක්වුයේ නැත. මෙම සබඳතාව වහාම නවත්වා දමන ලෙස නොයෙකුත් තර්ජන ගර්ජන ඇති වූ නමුත් ඒවා සියල්ලම කාලයත් සමඟ විසඳී යනු ඇතැයි පෙම් යුවල දැඩි ලෙස විශ්වාස කළහ.

එහෙත් සිතා සිටි අන්දමට සියල්ල සිදුවුයේ නැත. 2002 පෙබරවාරි 17 වැනිදා නිතීෂ් හා භාරතී ගාසියා බාද් නගරයට ගියේ ඔවුන් දෙදෙනාගේ හිතවත් මිතුරෙකුගේ මංගල උත්සවයකට සහභාගි වීමටය. භාරතීගේ මැණියන් මෙන්ම ඇයගේ සොහොයුරු විකාස් හා සොහොයුරිය භාවනා ද මීට එක්ව සිටියහ.

විවාහ උත්සවයෙන් පසු විකාස් යාදව් ඔහුගේ ඥාති සොහොයුරු විශාල් සමඟ එක්වී ඔහුගේ ටාටා සෆාරි මෝටර් රථයට නිතීෂ් කාටාරව ද නංවා ගෙන ගිය බවට හෙළි වූ අතර නීතිෂ් සමඟ පැමිණි භාරතී මධ්‍යම රාත්‍රිය පසුවනතුරු නිතිෂ් එතැයි බලා සිට පසුව කුලී රථයකින් නිවසට ගියේ ඔහු නිවසේ සිටිනු ඇතැයි සිතාය. එහෙත් නිතිෂ් නිවසට පැමිණ සිටියේ නැත. පසුව ඇය මේ බව නිතිෂ්ගේ මවට කීවාය. භාරති ද ඒ අවස්ථාවේදී කියා සිටියේ නිතිෂ් ගේ පැමිණිම බොහෝ වේලාවක සිට ඇය බලා සිටින බවය. තම සොහොයුරන් විසින් නිතිෂ් පන්ජාබයට ගෙන ගොස් ඇතැයි සැක කළ භාරතී නිතිෂ්ගේ මව නීලාම් අමතා පැවසුවේ වහාම මේ බව පොලිසියට දන්වන ලෙසටයි.

නීලාම් පොලිසියට ගොස් තම පුතුගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් කළ නමුත් එයින් ප්‍රතිඵලයක් නොලැබීම නිසා ඇය භාරතිගේ පියාට ද කථා කොට ඔහුගේ සහාය ද පැතුවාය. එහිදී විකාස් හා විශාල් ගැන තොරතුරක් කීමට තමා නොදන්නා බව භාරතිගේ පියා යාදෙව් අවධාරණයෙන් පවසා සිටියේය.

පසුදින උදයේ ගාසියාබාද් නගරයට කිලෝමීටර් 80ක් පමණ ඈතින් පිහිටි කුර්ජා ප්‍රදේශයේ තිබී දැවී ගිය මළසිරුරක් හමු වී තිබු අතර එම සිරුරේ ආමාශ ප්‍රදේශය පමණක් විවෘත වී තිබිණ.

නිතීෂ්ගේ මව තම පුතුගේ අතුරුදන් වීම පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අදාල තොරතුරු සලකා බැලීමෙන් අනතුරුව විකාස් හා විසාල් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

ඒ අනුව පොලිස් පරීක්ෂක අශෝක් බදෝරියා ඩබ්රා නගරයේදී විකාස් හා විසාල් අත් අඩංගුවට ගත් අතර ගාසියා බාද් හි කවි නගර් ප්‍රදේශයේදී කටාරා පැහැරගෙන බවට ඔවුන් පාපොච්චරණයක් කළ ද පැවති නඩු විභාගයේදී එවැන්නක් සිදු නොවු බව ඔවුහු ප්‍රකාශ කළහ. එහෙත් යාදෙව් සොහොයුරන් පොලිසියට ගෙනා මොහොතේ යාදෙව් සොහොයුරන් විසින් කටාරා පැහැර ගෙන ගොස් මරා දැමු බවට පොලිස් නිලධාරියට පැවසු බව පොලිස් පරීක්ෂකවරයා අධික්ෂණය හමුවේ කියා සිටියේය.

මේ අතර මඩ වගුරක තිබි හමු වූ ශරීරිකොටස් නිතීෂ්ගේ බවට ඩී.එන්. ඒ පරීක්ෂණ මඟින් සනාථ වීමත් ඩබ්රා පොලිසියේ පක්ෂග්‍රාහි ක්‍රියා කලාපය නිසාත් අපරාධය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම උත්තර් ප්‍රදේශ පොලිසියට බාර කෙරිණ.

එම පරීක්ෂණයේදී විකාස් හා විසාල් යාදෙව් යන දෙසොහොයුරන් නිතිෂ් පැහැරගෙන ගොස් පහර දී මරණයට පත්කොට මළ සිරුර ගිනි තැබු අන්දම පාපොච්චරණය කළ අතර ඔවුන්ගේ පාපොච්චරණය රැගත් හඬ පටිය එන්. සී.වී. රූපවාහිිනිය ඔස්සේ ද ප්‍රචාරය කැරිණි. ඒ සමඟම එම අපරාධය පිළිබඳ මහත් ආන්දෝලනයක් ඉන්දියාව පුරා ඇතිවිය.

එහෙත් මෙම පාපොච්චාරණය මහේස්ත්‍රාත් වරයෙකු ඉදිරියේ සිදු නොවීම නිසා එය සාක්ෂියක් ලෙස නඩු විභායේදී ඉදිරිපත් කළ නොහැකි විය.

නිතීෂ් මරා දැමීම සම්බන්ධයෙන් සිදු කළ සෑම පරීක්ෂණයකටම ඩී.පී. යාදෙව් ගේ බලපෑම එල්ල විය.

මේ අතර නඩු විභාගයට අත්‍යවශ්‍ය සාක්ෂියක් ලෙස සලකනු ලැබු අතර නිතීෂ් ගේ පෙම්වතිය වූ භාරති යාදෙව් සම්බන්ධ කර ගැනීම ගැටලුවක් විය. ඒ ඇය ඒ වන විට වැඩිදුර ඉගෙනීම සඳහා එංගලන්තයට ගොස් සිටි නිසාය. එලෙසම සාක්ෂි දීම සඳහා පැමිණිය හොත් තම සොහොයුරන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට සිදුවීම නිසා ඇය උසාවිය නිකුත් කළ නියෝග ප්‍රතික්ෂේප කළාය. ඇය වෙනුවෙන් පෙනී සිටි නිතීඥයින් විසින් ඇය ගේ සාක්ෂිය පිළිබඳ අවධානය යොමු නොකරන ලෙස උසාවියට දන්වා සිටියේය. එසේම පැමිණිල්ලේ නිතීඥවරයා ද ඒ බව ප්‍රකාශ කිරීමත් සමඟ තවත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුයේ පැමිණිල්ලේ නීතිඥයාද ඩී.පී. යාදෙව් ගේ බලපෑමට ලක් වී ඇතැයි යන මතය ජනගත වීමත් සමඟය.

කෙසේ වෙතත් ඩී.පී.යාදෙව්ගේ බලපෑම අධිකරණ කටයුතු කෙරේ ද එල්ල වීම නිසා නිතිෂ්් ගේ මෑණියන් නඩු විභාගය ගාසියාබාද් උසාවියෙන් දිල්ලියට මාරු කරන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේය. දිල්ලි අධිකරණය නැවතත් භාරතීගේ සාක්ෂිය ලබාගැනීම කෙරේ යොමු වූ නමුත් එය අපහසුවීම නිසා විදේශ ආමාත්‍යංශය ඔස්සේ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කරලීමට අධිකරණය ක්‍රියා කළේය. මෙම සාක්ෂිය ලබාගැනීම සඳහා වසරක පමණ කාලයක් ගත කිරීමට සිදු වූ අතර අවසානයේදී ලන්ඩන් නරගයෙන් පිටුවහල් කිරීමේ තත්ත්වයක් උද්ගත වූ බැවින් භාරතී සාක්ෂි දීමට ඉන්දියාවට පැමිණියාය.

නිතිෂ් සමඟ පේ‍්‍රම සම්බන්ධයක් නොතිබු බව පැවසු ඇය ඔවුන් ඉතා සමීප මිතුරන් බව එහිදී පවසා සිටියාය. එහෙත් ඇය විසින් ඔහු වෙත යවනු ලැබු විද්්‍යුත් තැපැල් පණිවිඩ හා නොයෙකුත් තෑගි සලකා බැලීමෙන් අනතුරුව නිතිෂ් සමඟ පැවති සම්බන්ධය කුමන අන්දමේ එකක් ද යන්න පැහැදිලි කර ගැනීමට අධිකරණයට හැකිවිය.

මේ අතර නිතිෂ් මරා දැමීම සඳහා බාරදුන් සුක්දේව් පෙහල්වාන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සඳහා දිල්ලි අධිකරණය අජේකුමාර් නමැත්තෙකුගේ සාක්ෂිය යොදා ගත්තේය. තම මෝටර් සයිකලය මහ මඟ ක්‍රියාවිරහිත වූ අවස්ථාවේ කවිනගර් පොලිස් ස්ථානය දෙසින් සෆාරි මෝටර් රථය පදවාගෙන විකාස් පැමිණි බවත්, එම රථයේ සිටි අනෙකුත් තිදෙනා ගැනත් ඔහු අධිකරණය හමුවේ විස්තර කළ අතර තමාට සාක්ෂි දීමෙන් වලකින ලෙස තර්ජන ගර්ජන කළ බවත් හෙතෙම අධිකරණයට පැවසීය. එසේම ඔහුගේ ජීවිතය අනතුරේ බව පැවසීම නිසා ඔහුට විශේෂ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකු ලබාදෙන ලෙස අධිකරණය නියෝග කළේය.

සියලුම කරුණු හා සාක්කි සලකා බැලු දිල්ලි අධිකරණය විකාස් යාදෙව් හා විසල් යාදෙව් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කළ අතර එක අයෙකුට රුපියල් 160,000 දඩයක් ගෙවන ලෙසටත් නියෝග කළේය.

මේ අතර ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කිරීමේ නියෝගයට එරෙහිව දිල්ලි ඉහළ අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබු අතර එයද ප්‍රතික්ෂේප කොට ඉහළ උසාවියෙන් දූන් තීන්දුව ශ්‍රේෂ්ඨාකරණය අනුමත කරමින් මිනීමැරීම හා සාක්ෂි විනාශ කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වසර 25 ක සිර දඬුවමක් විකාස් යාදෙව්ට හා විසාල් යාදෙව්ට අලුත් නියෝගයක් ලබාදීමට අධිකරණය ක්‍රියා කළේය. එසේම කොන්ත්‍රාත් මීනිමැරුවා වූ සුක්දෙව් පෙනාල්වාන්ට වසර 20 ක සිර දඬුවමක් නියම විය.