“තෙල් බැදුම් සුවඳට මම ඇදිලා ආවා”

“තෙල් බැදුම් සුවඳට මම ඇදිලා ආවා”

උත්සාහයෙන්, ධෛර්යයෙන්, කටයුතු නොකර කපටි කමෙන් අධාර්මිකව ජීවත්වන අයට දෙවියෝ උදව් නොකරති. එහෙත් දෙවියන් උදව් කරාවි යැයි මිත්‍යාවෙන් අන්ධ වී පුළුටු පුච්චමින්, අඟුරු දුම් අල්ලමින්, කන්නලව් කරන විට එල්ලෙන්නට වැල් නැතිව අයාලේ ඇවිදින දුක් විඳින මළගිය ප්‍රේතයෝ වහා ඔවුන් වෙත ළඟා වෙති. පේ‍්‍රතයන් තම ශරීරයට රිංගා ගැනීමෙන් පසු බොහෝ අය අසනීප වෙති. ඔවුහු ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දේවල කරා යති. දේවාලකාරයෝ ඔවුන් රවටා මුදල් උපයති. අමාරුවේ වැටී අසරණව තමන් ළඟට එන අය කබලෙන් ලිපට දමන කපටි දේවාල කාරයෝ, කපුවෝ, සාස්තරකරුවෝ හඳුනාගන්නට මිනිසුන්ට කලක් ගත වුවත් දෙවියෝ ඔවුන් හොඳින් හඳුනති. දෙවියෝ මෙවැනි කපටි දේවාලකරුවන්ට කෙසේවත් නොරැවටෙති. උදව් නොකරති. කල දුටු කල වළ ඉහ ගන්නා මොවුන්ට උදව්වට එන්නේ ප්‍රළුටු කෑමට පි‍්‍රය කරන පෙරේතයෝ පමණි.

වාසනා හතළිස් හැවිරිදිය. ඇගේ සැමියා හසිත හතළිස් පස් හැවිරිදිය. මහරගමට නුදුරුව පදිංචි මේ යුවල දියුණුවෙන් පිරිහෙන්නට විය. ඔවුන් කබලෙන් ලිපට වැටී ඇතැයි කීවොත් නිවැරදිය. නිවෙසේ රාත්‍රියට යමෙක් එහා මෙහා ගමන් කරන අඩි සද්ද ඇහෙන්නට විය. ඒ සමඟ ඉසිලිය නොහැකි දුර්ගන්ධයක් පැතිරෙන්නට ද විය . පවුලේ ප්‍රශ්න ආරවුල් දිගින් දිගටම උත්සන්න විය.

කිසිදු හේතුවක් නැතිව මේ තත්ත්වයට උදා වුයේ ඇයි දැයි දැනගන්නට ඔවුහු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණියහ.

ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළැඹ ඇති දුක් විපත් හෙළිදරව් කොට ප්‍රතිකාර පැතූහ. වාසනා බියපත්ව සිටින දුටු ගවේෂකවරයා සිදුකළ පළමු ගවේෂණයේදීම වාසනා ගැහෙන්නට හා පැද්දෙන්නට වුවාය. මොවුන්ට භූත දෝෂයක් ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින දහ හතරක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට කීවේය.

බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ගවේෂණ ආරම්භයේදී ම වාසනාගේ ශරීරියට භූතාත්මයක් ආවිශ්ට වී මහ හඬින් සිනා සෙන්නට විය. ගවේෂකවරයා භූතාත්තමයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරියට ඇතුල්වෙලා ඉන්නේ.?”

“දෙවියෝ”

“මොන දෙවියෝද? මොකක්ද නම?”

“ජේමිස්”

මොනවා ජීවත්ව ඉන්දැද්දි මොනවද කළේ?”

“මම මුරකාරයෙක්.”

“දේවත්වයට යන්න මොනවාද කරපු කුසල්? දන් පැන් දුන්නද? සිල් සමාදන් වුණාද? භාවනා කළාද?”

“.....................................” භූතාත්මය නිහඬය.

ගවේෂකවරයා වේවැල අතට ගත්තේය. “

ඈ බොල පෙරේතයෝ තෝ කොහොමද දෙවියෙක් වුණේ. දෙවිවරු ජරා ශරීරවලට රිංගවනවද? ඔලුව වන වන දඟලනවද? ඇත්ත කියපිය තෝ මොකද මේ අයට කරදර කරන්නේ?”

වේවැල් පහර දෙකක් ගසමින් ගවේෂකවරයා විමසීය.

“ගහන්න එපා... ගහන්න එපා... මම ඇත්ත කියන්නම්. මුන් දෙන්නා දියුණුවෙන්න දේවාල ගනෙ ගියා දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලන්න. ඒක දේවාලෙකින් නියෝග කළා. ගේ ඉදිරිපිට පොඩි දේවාලයක් හදාගෙන පහන් දල්වලා පුද පුජා තියන්න. මුන් දෙන්නා උදේ හවස පූජා තියලා ආරධනා කළා. කන්නලව් කළා. ලේ බින්දු කීපයකුත් පූජාවට තිබ්බා. තෙල් බැඳුම් සුවඳට ආපු මට ලේ රහ වැටුණා. මම මුන්ගෙ දේවාලෙට වෙලා හිටියා. ප්‍රශ්න ඇති කළා. මුන් දෙන්නා අඩදබර කෙරෙව්වා. මුන් ගහගත්තා. ඒ නිසා මුන් නිතරම තුවාල වුණා. ඒ තුවාල වලිනුත් මම ලේ බිව්වා". ප්‍රේතයා කියාගෙන ගියේය.

“අනේ.... අනේ.... උත්සාහයෙන් ධෛර්යයෙන් රස්සාවක් කර ජීවත්වෙන්න නැතුව කැලේ ඉන්න නයි අල්ල ගෙන රෙද්ද අස්සෙ දා ගෙන දැන් කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. නේද?”

ගවේෂකවරයා හසිතගෙන් විමසුවේය.

ඔහු බිම බලාගෙන ලැජ්ජාවෙන් නිහඬව සිටියේය.

“අසරණ වෙලා මා ළඟට ආපු නිසා උදව් කරනවා."

අසිත දෙස බලා එසේ කී ගවේෂකවරයා වාසනා පියවි සිහියට පත්කොට දෙදෙනාට ම අවවාද කළේය.

“දැන් ගෙදර ගිය ගමන් ඔය දේවාලෙ තියෙන දේවරූප අර උපදෙස් දුන්න දේවාලෙම තියලා කතා නොකර ආපහු එන්න ඕනෑ. දේවාලේ හෙඳට ශුද්ධ පවිත්‍ර කරලා බුදු පිළිමයක් තියලා උදේ සවස මල් පහන් පුජා කරන්න. තුන් සුත්‍රය, කඳ පිරිත හා ජය පිරිත සජ්ඣායනා කරන්න. අන්තිමට මෛත්‍රී භාවනාව වඩා පොදුවේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.” ගවේෂකවරයා ඔවුන්ට අවවාද දෙමින් කීවේය.

ඒ සමඟම නැවත පේ‍්‍රතයා ආවිශ්ට වී අඩන්නට විය.

“ඉතින් මම කොහේ යන්නද? මම කන්නෙ බොන්නෙ කොහොමද? මහත්තයා. හරිම අසාධරණයක් මට කළේ.”

පේ‍්‍රතයා දොස් කියන්නට විය.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට පේ‍්‍රතයා දවා දුර්වල කොට තවත් වේවැල් පහරක් ගසා “උඹ බෝධියක් ළඟට ගිහින් මිනිස්සු කරන පින් දහම්වලට අත හිත දී පී‍්‍රතිය භුක්ති විඳ ජීවත් වෙන්න බලපන්. නැත්තම් සොහොනකට පලයන්.” යැයි කියමින් භූතාත්මය පන්නා දැම්මේය.

බුදු කුටියේ වන්දනා පටන්ගෙන දෙසතියකින් නැවත එන්නැයි අඹු සැමි යුවළට ගවේෂකවරයා නියම කළේය.

දෙසතියකට පසු ඔවුහු නැවත පැමිණියහ. දැන් ගෙදර තත්ත්වය යහපත් අතට හැරී ඇති බවත් දහවල් කෑම පාර්සල් අලෙවියක් පටන් ගත් බවත් හසිත ගවේශකවරයාට පැවසීය.

අවබෝධයකින් තොරව නොදන්නා දෙවියන් ගෙන් දියුණු වෙන්නට සාත්තර කියන්නට ශාන්ති කර්ම කරන්නට යන බොහෝ දෙනෙකුට වන්නේ ඔය ටික බව පෙන්වාදුන් ගවේශකවරයා ඔවුන් අමනුෂ්‍යයන් නිසා විනාශවී යන බවද මෙනෙහි කර දුන්නේය.