දිලූප පුතුට අත් වූ ඉරණම

දිලූප පුතුට අත් වූ ඉරණම

විවාහ දිවියට ඇතුළත් වීම, දරුවන් සෑදීම, ඔවුන් පෝෂණය කොට උගන්වා යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම, අනතුරුව ඔවුන්ට විවාහයක් කර දීම මෙරට සංස්කෘතියට අනුව මිනිස් සංහතියේ කුල සිරිත්ය.

අතීතයේදී මෙරට පවුල් අතර මේ කුල සිරිත් ඒ ආකාරයෙන්ම සිදු වූ අතර අසම්මත ක්‍රියාවලියක් සිදුවුයේ නම් ඒ කලාතුරකිනි.

වර්ථමානය වන විට මේ කුල සිරිත් ශ්‍රී ලංකීය සමාජයෙන් සහමුලින්ම වාගේ ගිලිහී ගොස් අවසානය. ඉතිරිව ඇත්තේ එක් දෙයක් පමණි. ඒ.... තමන්ට පි‍්‍රය අයකු සමඟ කෙලෙසින් හෝ ලිංගික සම්බන්ධතා පැවැත්වීමය.

ඒ අවශ්‍යතාව ඉටුකර ගැනීම උදෙසා මෙරට වෙසෙන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම නොකරන දෙයක් නැත. මේ දේවල් අතරට බිරිය, සැමියා, දරුවන් අතහැර ලිංගික ආකර්ෂණයට හසු වූ අය සමඟ පැන යාම බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන දෙයකි.

මීට දින කිහිපයකට පෙර මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ ද එවැනි සිද්ධියකි.

ඒ... සැමියා අතහැර ලිංගික ආකර්ෂණය ඇති වූ පුද්ගලයා සමඟ පැනයාම සහ ලිංගික සබඳතා පැවැත්වීමට තිබු නිදහස සීමා කළ දරුවා මරා දැමීමය.

පසුගිය හතරවැනි අඟහරුවාදා සවස දෙකයි දහයට පමණ මින්නේරිය පොලිසියට දුරකථන ඇමතුමක් ලැබිණි. එම ඇමතුම ලබා දුන්නේ හිඟුරක්ගොඩ රෝහල් පොලිසියෙනි. ඇමතුම ලබාදුන් පොලිස් නිලධාරියා පවසා සිටියේ පහරදීමකින් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ දරුවකු මිය ගිය බවයි.

මෙලෙස මියගොස් තිබුණේ මින්නේරිය, මහරත්මලේ අංක 89 දරණ ලිපිනයේ පදිංචිව සිටි යාපා මුදියන්සේලාගේ දිලුප එරංග බණ්ඩාර නම් වු සිව් හැවිරිදි දරුවෙකි.

තොරතුර ලද වහාම ස්ථානාධිපති ඇතුලු කණ්ඩායමක් මහරත්මලේ බලා පිටත්ව ගියේය. පොලිසියේ සිට කිලෝමීටර් දොළහක් පමණ දුරින් පිහිටි එම දුෂ්කර ගම්මානයට ළඟා වීමට ටික වේලාවක් ගත විය. පොලිසිය එම නිවෙස වෙත යද්දී අසල්වාසීන් කිහිප දෙනකු අවට එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.

එය කටුමැටි ගසා සැදු කුඩා පැල්පතකි. ඉදිරිපස දොර ද ශක්තිමත් එකක් වුයේ නැත. එය.... සුළඟට පවා සෙලවෙන සුලුය. විවරව තිබු දොරෙන් පැල්පතට ඇතුලු වූ පොලිස් නිලධාරින්ට දක්නට ලැබුණේ රෙදි කඩමාලු ටිකක්, කලු පැහැ වූ වලං කිහිපයක් සහ තවත් බඩු මුට්ටු කිහිපයකි.

එම පැල්පතට පොලිස් ආරක්ෂාව යොදා අපරාධ ස්ථානයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා හිඟුරක්ගොඩ රෝහල බලා පිටත්ව ගියේය.

පොලිස් කණ්ඩායම යන විට මිය ගිය දරුවාගේ මවත්, සුලු පියාත් එනම් මවගේ අනියම් පුරුෂයාත් රෝහලේ සිටියහ. පහරදීමෙන් තුවාල ලැබු දරුවා රෝහලට රැගෙන විත් තිබුණේ මේ දෙදෙනා විසිනි. දරුවාට පහර දී තිබුණේ ද මේ දෙදෙනාමය. පොලිසිය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ පහර දී දරුවා මරා දැමීමේ චෝදනාව යටතේය.

“ඇයි මේ ළමයට මේ විදිහට ගැහුවේ.”

පොලිස් නිලධාරින් ඇසු එම පැනයට දෙදෙනාම නිරුත්තරය.

මෙලෙස මුනිවත රැකීමට මොවුන් දෙදෙනා උත්සාහ කළ ද පොලිසිය ඊට ඉඩ දුන්නේ නැත. පහර දීමට හේතු මොනවාදැයි දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය.

“අපි ඉතිං දරුවට ගැහුවා.”

ඒ හැර වෙන කිසිවක් මොවුන් පවසන්නේ නැත. එහෙත්.... දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමේ දී ද මොවුන් පදිංචි ගම් ප්‍රදේශයේ පදිංචි අසල්වැසියන්ගෙන් ලද තොරතුරු වලින් ද හෙළි වුයේ දරුවාට මාරාන්තික පහර එල්ල කිරීමට මුල් වුයේ මේ දෙදෙනාට ලිංගික සබඳතා පැවැත්වීමට දරුවා බාධාවක් වීම නිසා බවය.

දරුවාගේ මව වන ගමගේ ගෙදර සඳමාලිගේ වයස අවුරුදු විසිහයකි. ඇයගේ සැමියා මහින්ද බණ්ඩාර වයස අවුරුදු හතළිස් අටක පුද්ගලයෙකි. මොහු යුද හමුදාවේ සිවිල් සේවකයකු වන අතර පදිංචිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ, හොරොව්පොතාන, හුරුළුනිකවැව ප්‍රදේශයේය.

මින්නේරිය මහරත්මලේගම පදිංචි හෙට්ටිආරච්චලාගේ රංග සුරේෂ් කුමාර විසිහය හැවිරිදි තරුණයෙකි. රැකියාව වුයේ දවසේ පඩියට කුලී වැඩවල යෙදීමය. විවාහකයකු වූ මොහු මීට ටික කලකට පෙර බිරියගෙන් වෙන් වන අතර දරුවන් සිටියේ නැත. එබැවින් මොහුට බිරිය අතැර දැමීම වඩාත් පහසු කරුණක් විය.

මොහු හුරුළුනිකවැව ප්‍රදේශයට එන්නේ කුලී වැඩ සොයාගෙනය.

මොහුට සඳමාලි හමුවන්නේ කුලී වැඩ සොයමින් ප්‍රදේශයේ කරක් ගහන අතරතුරේදීය. සැමියා මාසයෙන් වැඩි දවසක් ගත කරන්නේ කඳවුෙර්ය. ඔහු සඳමාලිට වඩා වයස අවුරුදු විසි ගණනකින් වැඩිමල්ය. දරුවා ද සමඟ පාළුවෙන් කාන්සියෙන් නිවෙසේ කල්ගෙවන සඳමාලි සුරේෂ් සමඟ හිතවත් කමක් ඇතිකර ගන්නේ සැමියාට වඩා මොහු ළාබාල නිසාත්,තම පාළුව කාන්සිය නිසාත් විය යුතුය.

මේ සම්බන්ධය දුරදිග ගියේය. සුරේෂ් හොර රහසේ සඳමාලි ද රැගෙන මහරත්මල්ගමට පැන යන්නේ රහසේ හමුවනවාට වඩා ගෙදරටම කැන්දාගෙන යාම වඩාත් පහසු වන නිසා විය යුතුය.

සුරේෂ් සමඟඹ පැන යන විට දරුවා ද රැගෙන යාමට සඳමාලි අමතක කළේ නැත.

දරුවකු ද සමඟ මනාලියක ගෙදරට කැන්දාගෙන ආ සුරේෂ් කුලී වැඩවල යෙදෙමින් දවසේ වියදම සොයා ගත්තේය. එහෙත් ටික දිනක් ගතවෙද්දී දරුවා කරදරයක් බව සුරේෂ්ට විය. ඊට මුල් වු කරුණු කිහිපයක් තිබිණි. එකක් දරුවා තමන්ගේ දරුවකු නොවීමය. අනෙක දරුවා සිටින බැවින් හිතෙන හිතෙන වේලාවට හිතෙන හිතෙන ලෙස සඳමාලි සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට නොහැකි වීමය.

එබැවින්.... මේ දරුවා නිතර නිතර සුලු පියාගේ පහරදීමට ගොදුරු වූ අතර ඊට මවගේ සහාය ද ලැබීම දරුවාගේ ජීවිතය අකාලයේ විනාශ වී යාමට මුලික විය.

මතු බුදු වන්නට පෙරුම් පුරන්නේ අම්මාවරුන් යැයි කියති. සඳමාලි ද අම්මා කෙනෙකි. එනම් දරුවකු වදා දහ දුක් විඳ මතු බුදුවන්නට පෙරුම් පුරණ අම්මා කෙනෙකි.

එහෙත්.... මේ අම්මාට දරුවාට වඩා වැදගත් වුයේ අනියම් පුරුෂයා සමඟ හිතෙන හිතෙන වේලාවට යහන්ගත වීමටය අනියම් පුරුෂයා දරුවාට පහර දෙන විට ඇය ද ඊට සහාය වුයේ ඒ නිසාය.

“ඔය ගෑනියි මිනිහයි එකතු වෙලා මේ අහිංසක පොඩි දරුවට නිතරම ගහනවා. දරුවා මැරුණ දවසෙත් දවල් දරුවා කෑගසමින් අඬ අඬ පාර දිගේ දුවනවා. බලද්දී අර කාලකන්නි මිනිහා දරුවට ගහලා ගෙදරින් එලවලා.

“අපි දරුවව ගෙදරට අරගෙන බිස්කටුයි කෙසෙල් ගෙඩියි කන්න දීලා කිරිත් හදලා බොන්න දීලා ටික වේලාවක් තියාගෙන හිටියා. ඉඳලා ගිහින් කිව්වා ඇවිත් දරුවව අරගෙන යන්න කියලා.”

“ඊට පස්සේ දරුවා ගේ අම්මා කියන එකියී අර මිනිහයි දෙන්නම ඇවිත් බැන බැන දරුවට ගගහ ඇදගෙන ගියා.”

දරුවාට සිදු වූ හිරිහැර ගැන එලෙස තොරතුරු හෙළි කළේ අසල්වාසී කාන්තාවකි. ඇයගේ නිවෙස පිහිටා ඇත්තේ මේ දරුවා පදිංචි නිවෙසේ සිට මීටර් පන්සියයක් පමණ දුරිනි. එය... දරුවා පදිංචි නිවෙසට ආසන්නයේම පිහිටි නිවෙසකි. අවුරුදු හතරේ පුංචි දරුවා කිලෝමීටර් භාගයකට වැඩි දුරක් තනිවම දිවගොස් තිබිණි.

මවත්, සුලු පියාත් දරුවාට අතින් සහ කෝටුවකින් පහර දී තිබිණි. පහර කෑමට ලක් වූ දරුවා රෝහලට රැගෙන ගොස් තිබුණේ දරුවා අඩපණ වීමෙන් අනතුරුවය. දරුවා මිය යන්නේ රෝහලේ ප්‍රතිකාර කරන අතරතුරේදීය.

දරුවාගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුයේ සිරුරේ තැලුම් තුවාල හතළිස් අටක් තිබු බවය. දරුවා මියගොස් තිබුණේ හෘදය වස්තුවට රුධිරය ගමන් කිරීම ඇන හිටීම හේතුවෙන් ඇති වු කම්පනය හේතුවෙනි.

එනම් මෙවැනි දරුවකුගේ සිරුරේ තිබෙන්නේ ලේ පයින්ට් එකක පමණ ප්‍රමාණයකි. මේ දරුවා ගේ සිරුරේ තිබු ලේ ප්‍රමාණය ඊටත් වඩා අඩුවන්නට ඇත. ඒ... මාස තුනක පමණ කාලයක් මවගේ හා සුලු පියාගේ නොසලකා හැරීම් වලට භාජනය වීම නිසාය. මේ දෙදෙනා එක්ව කළ පහර දීම් නිසා ඇති වූ තැලුම් තුවාල හතළිස් අට වටා සිරුරේ වු රුධිරය එකතු වීම හේතුවෙන් දරුවාගේ හෘදය වස්තුවට ගමන් කිරීමට රුධිරය ඉතිරි වී නැත. දරුවා මිය ගියේ ඒ නිසාය.

මවු පදවියේ ඇති උතුම් භාවය නොදත්, දරු සෙනෙහස නොතේරෙන කාන්තාවකගේ කුසින් මෙලොවට බිහිවීමේ පාපය හේතුවෙන් පුංචි දිලුප එරංග පුතාට කිසිදා සැපතක් හිමි වුයේ නැත. ඔහුගේ ජීවිතයේ අවාසනාවන්තම කාලය උදාවුයේ මහරත්මල් ගමට ආ දා සිටය. ඒ ගෙවී ගිය දින අනුවක පමණ කාලය නොවිඳිනා දුක් වින්ද පුංචි දිලුප පුතා වයස අවුරුදු හතරක් වෙද්දී ජීවිතයෙන් සමුගෙන ගියේ ඔහුගේ පවුකාර අම්මාත් කාලකන්නි බාප්පාත් නිසාය. පුංචි දිලීපගේ දේහය පියා විසින් බාර ගෙන හුරුළුනිකවැව ප්‍රදේශයට රැගෙන ගියේ හඬා වැලපෙමිනි.

කම්සැප විඳීමට නිදහස සාදා ගැනීම සඳහා දරුවා මැරූ මේ දෙදෙනා අද හිරගෙවල් දෙකකය. දැන් .... කම් සැප කෙසේ වෙතත් හිර ගෙදර හොඳ සැපක් විඳිනවා නොඅනුමානය. සිරගෙවල් වල කල් ගත කරන අපරාධකාරයන් දරුවන් මරා ඇතුළට එන ගැහැනු පිරිමි ඉතා ආදරයෙන් පිළිගන්නා බව කියයි. මේ අම්මාටත්, සුලු පියාටත් සිර ගෙට ගිය විට ඒ සැළකිලි හිමි වු බව නම් නියතය.

මින්නේරිය පොලිසියේ ස්ථානාධිපති ඒ.ජී.බී. පුෂ්පකුමාර ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති පාලිත, සැරයන් 50467 නන්දසිරි, කොස්තාපල් 61568 පුෂ්පකුමාර පරීක්ෂණ සඳහා එක්වුහ.