"අපි හැමෝම විකිණෙනවා විතරයි"

"අපි හැමෝම විකිණෙනවා විතරයි"

අප දෙදෙනා අතර ඇති වූ එම එකඟතාවයෙන් පසු ඇය මා හා කතාවට එක් වුවාය.

“මම වැඩකරන්නේ මසාජ් ක්ලිනික් එකක.එහෙදි තමයි මට දිස්නා හමුවුණේ . දිස්නා කියන්නේ බර්ගර් කෙල්ලක්. එයා හරි ලස්සනයි. ඒ වගේම ගති ගුණ හොඳයි. ඒ වුණාට අපි හැමෝම වළක වැටුණු අය. අපිට මේ අපායෙන් ගොඩයන්න උවමනාවක් තිබුණත් ඒ කුණුවෙච්ච වළෙන් ගොඩට එන්න අපට පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි සමාජය ඉදිරියේ අවමන් ලබපු අය”......( ජානකි එසේ කියමින් දෑසේ නැගි කඳුළක් පිස දමන්නට වුවාය.)

-ඔයා මොකටද අද හිරගෙදර ආවේ.?

“මම ආවේ දිස්නව බලන්න. මොනවා වුණත් එයා මගේ යාළුවා. අපි එකට කෑවේ බිව්වේ. මේ කරුම ජීවිත ගැන අපි තැවී තැවී දුක් වු‍ණේ එකට. එහෙම හිටපු අපි දෙන්නා තමයි අද මෙහෙම ඉන්නේ.”

-ඇයි එහෙම කියන්නේ?

“අපි හිටියේ මසාජ් ක්ලිනික් එකක කියලා මම කිව්වනේ. මුලදි අපට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් පහුවෙනකොට අපිට ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා අපි කතා වුණා මේ තැන දාලා යන්න. ඒත් අපේ බොස් කැමති වුණේ නැහැ අපි මෙහෙන් යනවට. ඒ නිසා අපි හැම දෙයක්ම ප්ලෑන් කළේ රහසිගතව. අපිට හැම දේටම උදව් කරපු කෙනෙක් හිටියා. ඒ තමයි නිතර දෙවේලේ අපි ගාවට ආව මහත්තයෙක්. එයාට අවුරුදු හතළිහක් විතර ඇති. එයාට හුඟක් සල්ලි තිබුණා. එයත් හිතාගෙන හිටියේ නයිට් ක්ලබ් එකක් දාන්න . එයාට අපිව විශ්වාස නිසා අපි දෙන්නව ඒකට යොදවන්න එයා හිතාගෙන හිටියා. හැම දෙයක්ම අපි කතා කරගත්තේ බොහෝම රහසිගතව. අන්තිමට අපි පැනලා යන්න දවසක් යොදා ගත්තා. ඒත් එදා රෑ එතැනින් පැනලා යන්න පුළුවන් වුණේ දිස්නට විතරයි. දිස්නා තමයි අපේ කෙල්ලෝ අතර හිටපු ලස්සනම කෙල්ල. එයාට කස්ටමර්ස්ලා හරි ආදරෙයි. ඒ නිසා බොස් කවදාවත් කැමති වුණේ නැහැ දිස්නා එහෙන් යනවට. දිස්නා ගියාට පස්සේ අපි ගාවට එන අය අඩුවුණා. ඒ වුණත් දිස්නගෙයි මගෙයි යාළුකම නැති වුණේ නැහැ. අපි නිතර කතා කළා. ඉඳහිටලා හැමෝටම හොරෙන් හමුවුණා. දවසක් මට පණිවුඩයක් ලැබුණා දිස්නට හිරේ යන්න වුණා කියලා. මට ඒ ආරංචිය ලැබුණම‍ හුඟක් කම්පා වුණා. මම කිහිප දවසක්ම දිස්නා බලන්න හිර ගෙදර ආවා. ඒ ආව හැම දවසකම දිස්නා හොඳටම අඬනවා. එයාට දැන් ජීවි‍තේ වෙච්ච දේවල් දරාගන්න බැරිව ඉන්නේ.”

-දිස්නා ගැන ඔයා මොනවද දන්නේ?

“මම හිතන හැටියට මම එයා ගැන හැම දෙයක්ම දන්නවා. දිස්නා ඉපදුනේ කොළඹින් ඈත ගමක. එයාට අයියලා අක්කලා හිටියා . ඉස්කෝලේ යනකාලේ ඉඳලා දිස්නට තිබිලා තියෙන්නේ නිළි පිස්සුවක්. ඒ නිසා එයා ඉස්කොලේ යන කාලේ ඉඳලම ඒ උනන්දුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. දවසක් එයා ඉස්කෝලේ යන්නේ නැතිව චිත්‍රපටයක් හදනවා බලන්න ගිහිල්ලා. එතනදි එයා එක්ක ඒකේ වැඩකරන කොල්ලෙක් යාළු වෙලා. දිස්නා ඒකාලේ දහයේ පන්තියේ ඉඳලා තියෙන්නේ. ඒ කෙනා දවසක් දිස්නව කොළඹ එක්කගෙන ඇවිල්ලා චිත්‍රපටයක චරිතයක් අරගෙන දෙන්නම් කියලා. දිස්නා ගෙදරට හොරෙන් තමයි ඇවිල්ලා තියෙන්නෙ. කොහොමහරි එයාට චිත්‍රපටයක රඟපාන්න ලැබිලා නැහැ. අර මනුස්සයා දිස්නව දවස් ගානක් එයාගේ කාමරයක තියාගෙන ඉදලා. දිස්නට කරන්න දෙයක් තිබිලා නැහැ. ඊට පස්සේ එයා දිස්නව මැඩම් කෙනෙකුට විකුණලා. දිස්නා එතැන ඉන්න බැහැ කියලා ඉන්නකොට තමයි අපේ බොස්ව හම්බවෙලා තියෙන්නේ. අපේ බොස් දිස්නව එයාගේ තැනට ගෙනැල්ලා. දිස්නා හරි කැමැත්තෙන් තමයි මෙතැනට ඇවිත් තියෙන්නේ.”

ඉන් පස්සේ මොකද වුණේ?

දිස්නා කාලයක් අපිත් එක්ක මසාජ් ක්ලිනික් එකේ වැඩකෙරුවා. මම කිව්වේ එයා පැනලා ගියා කියලා. එයා ගියේ මෙතනට ආව කෙනෙක් එක්ක .එයා දිස්නට වඩා වයස වුණාට දිස්නට හරි ආදරෙයි. දිස්නත් ඒවගේ තමයි. එත් ඒ මනුස්සයා බලාගෙන හිටියේ දිස්නව දාලා නයිට් ක්ලබ් එකක් පටන් ගන්න.දිස්නත් ඒකට කැමැත්තේන් හිටියේ.නමුත් එයා මෙහෙන් ගියාට පස්සේ එයාට දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා. දවසක් දිස්නා මට කිව්වා එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මම කිව්වා අපි ඒකට මොනවා හරි කරමු කියලා. දිස්නා ඒකට කැමති වුණේ නැහැ.”

ඒ මොකද?

“ඊට කලිනුත් දිස්නා දරුවෙක් ලැබෙන්න ආවාම ඇබෝෂන් එකක් කරගෙන තිබුණා. ඒ පාර එයාට හුඟක් අමාරුවෙලා. ඒ නිසා එයා ඒ වගේ දේකට කැමති වුණේ නැහැ. ඉන් පස්සේ අපි කතා කළේ නැහැ. දවසක් දිස්නා මාව හමුවෙන්න ආවා. ඒ ආවේ අජිත් එක්ක. අජිත් තමයි දිස්නව තියාගෙන හිටි‍යේ . ඒ වෙනකොට එයා දිස්නව බඳින්න තීරණය කරලා තිබුණේ.”

“මම දිස්නව බඳීනවා. මම අලුත් වැඩක් පටන් ගන්න ඉන්නේ. ඔයත් අපිත් එක්ක එකතු වෙන්න”. අජිත් මට එහෙම කිව්වා . ඒත් මට හිතාගන්න බැරිවුණා දරවෙක් ලැබෙන්න ඉන්න දිස්නව බඳීන්න එයා තිරණය කළේ ඇයි කියලා. මම ඒ දෙන්නගෙන් කෙළින්ම ඒ ප්‍රශ්නය ඇහුවා. දිස්නා මගෙ දිහා බලාගෙන හිටියේ අඬ අඬා.ඒත් උත්තර දුන්නේ දිස්නා නෙමෙයි අජිත්.”

“ඇත්තම කියනවා නම් මේ දරුවා මගෙ නෙමෙයි. කෙහොම උනත් දැන් එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මම දිස්නට කිව්වේ මේ දරුවා ඉපදෙනතුරු ඉවසගෙන ඉන්න කියලා. ඊට පස්සේ අපි කාටහරි දරුවා හදාගන්න දෙමු කියලා කිව්වා. දරුවෝ හොයන අය ඔන තරම් ඉන්නවනේ. ....” අජිත් මට එහෙම කිව්වා. මම හිතුවා දිස්නා ඒ තීරණයට කැමති ඇති කියලා. ඒත් දිස්නා කැමැත්තෙන් ඉඳලා නැහැ එයාට දරුවෙක් ලැබෙනවට. එයාට ඕන වෙලා තිබුණේ ඉක්මනට ඒ කරදරයෙන් නිදහස් වෙන්න. ඒත් ඒ වෙනකොට දිස්නට ලැබෙන දරුවව කාට හරි දෙන්න අජිත් පිළිවෙලක් කරලා තිබිලා තියෙන්නේ. ඒ වුණාට ඒ හැමදේම වෙනස් කළේ දිස්නා. එයා දරුවා ලැබිලා ගෙදර ඇවිත් දවස් දෙකකට පස්සේ දරුවා මරලා කාමරේම වළලලා. ගඳ ගහනකොට තමයි අහළ පහළ අය බලලා තියෙන්නේ . ඒ වෙනකොට දිස්නා ගෙදරින් යන්න ගිහිල්ලා. අජිත්ව පොලිසියෙන් අල්ලගෙන. අජිත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා එයා බේරුණා. නමුත් දිස්නා පොලීසියට අහු වුණා. අන්තිමට එයාට අවුරුදු ගානක සිර දඬුවමක් නියම වුණා.”

-දැන් අජිත් කොහෙද ඉන්නේ.?

“අජිත් එයාගේ පාඩුවේ ඉන්නවා. එයත් දිස්නව බලන්න යනවා. මම දන්න විදිහට නම් අජිත් දිස්නව බඳීවී. මමත් මට පුළුවන් විදිහට දිස්නව බලන්න එනවා. අපි හැමදාම යාළුවෝ. අපේ ජීවිත වල කිසිම එළියක් නැහැ. අපි හැමෝම එකිකෙනාට විකිණෙනවා විතරයි.....”