සෝමලතාට වෙච්ච දේ

සෝමලතාට වෙච්ච දේ

හැත්තෑ හැවිරිදි සෝමාවතී විශ්‍රාමික රජයේ සේවිකාවකි. ඇය අවිවාහකය. ගාල්ල ඉමදුව පැත්තේ ඉපදී හැදී වැඩුණු ඇය විශ්‍රාමික සුවය ලැබීමත් සමඟ ගමේ තිබු ඥාාති සබඳකම් අතහැර දැමුවාය. සැමියෙක් හෝ දරුමල්ලෙක් හෝ නැති ඇය මීට වසර කිහිපයකට පෙර මොරගහහේන පොලිස් වසමට අයත් කුඹුක්වත්ත ප්‍රදේශයට පදිංචියට ආවාය. ඒ තනිවමය. කුඹුක්වත්තේ වෙන්දේසි ඉඩමක් මිලයට ගත් ඇය එහි දෙමහල් මැරදුක් තැනීමට පටන් ගත්තාය.

එහෙත් මේ දෙමහල් මන්දිරයේ වැඩ නිම කර ගැනීමට ඇයට හැකි වුයේ නැත. වයෝවෘද්ධ ඇය බලා කියාගන්නට ද කව්රුත් සිටියේ නැත. එහෙත් ඇය තනිවම නිවසේ විසුවා මිස අහළ පහළ පදිංචි කා සමඟ හෝ කතා බහට හෝ ඇසුරට ගියේ ද නැත. තියෙන දෙයක් උයාපිහාගෙන කා ඇය එහි තනිවම පිටත් වූවාය. දෙමහල් මන්දිරය නිම කරගැනීමට නොහැකි වුවද ඇය එහි පහළ මාලයේ කාමරයක රැඳි සිටියාය. වයෝවෘද්ධ කම නිසාදෝ ඒ කාමරය පවා තිබුණේ අපිළිවෙලටය.

කාලය මෙසේ ගෙවී ගියේය. තමන්ගේ පාඩුවේ සිටි සෝමලතාට ගමේ කාගෙන්වත් හිරිහැරයක් වුයේ ද නැත. ඇය ද තමන්ගේ පාඩුවේ කල් ගෙව්වාය.

මෑතකදී සේමාලතාට අලුත් අදහසක් පහළ විය. ඒ තම නිවෙසේ දෙවන මහලට නැග ගැනීම සඳහා අවශ්‍ය පඩිපෙළ නංවා ගැනීමය. ඇයට ඒ සඳහා බාස් කෙනෙකු අවශ්‍ය විය. තම නිවෙසට යාබඳව පදිංචි සමීර බාස් මේ සඳහා හොඳයැයි සිතූ ඇය ඔහු කැඳවා තම අදහස කීවාය.

“අඩු තරමින් ලක්ෂ එකහමාරයක්වත් යාවී....”

සමීර බාස්සුන්නැහේ සෝමලතාට කීවේය.

“එච්චර වැඩියි...”

“නැහැ මෝනා ඔය ගාන කොහොමටත් යනවා.”

කරන්න දෙයක් නැති තැන සෝමලතා ඊට එකඟ වුවාය.

“මට තනියම කරන්නත් බැහැනේ මෝනා. මම ගෝලයෙකුත් ගන්න එපැයි.”

සමීර බාස් කීවේය. ඇය ඊට විරුද්ධ වුයේ නැත.

දවස් දෙක තුනක් යද්දී සමීර බාසුන්නැගේ සෝමලතාගේ නිවෙසේ තරප්පුපෙළ සැකසීමේ වැඩ පටන්ගත්තේය. ඒ ගෝලයකු ද සමඟය. ගෝලයා බාස්ගේ දන්නා කියන හිතවතෙක් විය. මීට කලින්ද ඔවුන් වෙනත් තැන්වල එකට වැඩකර තිබිණ.

තරප්පු පෙළ ක්‍රම ක්‍රමයෙන් ඉදිවෙයි. ඒ ලක්ෂ එක හමාරක කොන්ත්‍රාත්තුවටය. මේ නිසා සමීර බාස්සුන්නැහේට මෙන්ම ගෝලයාට ද සෝමලතා සමඟ හිතවත් වන්නට වැඩි කළක් ගියේ නැත. සමහර දිනවල දී ගෝලයා තනිවම සෝමලතාගේ නිවෙසට පැමිණ ඇය සමඟ කතාබස් කරමින් අත් උදව් වැඩ කළේය. සමීර බාස්සුන්නැහේ මෙය දුටුවද එතරම් ගණනකට ගත්තේ නැත. මහන්සි වී වැඩපළ කිරීම ගැන සෝමලතා ද ගෝල බාස් කෙරෙහි පැහැදී සිටියාය.

ඒ ඉකුත් දහයය වනදාය. 119 හදිසි ඇමතුම් අංශය හරහා මොරගහහේන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකි. “කුඹුක්වත්තේ ගෙදරක වයසක අම්මා කෙනකුට පිහියෙන් ඇනලා.”

ලැබු තොරතුර මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙනු ලැබීය. ඔහු වහා කුඹුක්වත්තට ගියේය. ඒ වන විටත් පිහි ඇනුම් කෑ වයෝවෘද්ධ සෝමලතා රෝහලට රැගෙන ගොසිනි. ස්ථානාධිපතිවරයා කෙලින්ම ගියේ රෝහලටය. ඒ වන විටත් සෝමලතාට පණ තිබිණ. ස්ථානාධිපතිවරයා ඇගෙන් කරුණු විමසිය.

“කවුද මේක කළේ...”

“අර ගෝලයා මහත්තයෝ....”

ඇය ගෝලයාගේ නමද කීවාය. එහෙත් වැඩි වේලාවක් ඇයට මෙලොව රැඳී සිටීමට ඉඩක් නොලැබිණි. ඇය ඊට මොහොතකට පසු අවසන් හුස්ම හෙළුාවාය. එහෙත් ඇගේ මරණාසන්න ප්‍රකාශය ස්ථානාධිපතිවරයා සතු විය.

විමර්ශන ඇරැඹුණේ ඉන් පසුවය. සහකාර පොලිස් අධිකාරි ජනක් නන්දනගේ උපදෙස්මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කැඳ වූ ස්ථානාධිපතිවරයා ඔවුන්ට විමර්ශනය පිළිබඳ උපදෙස් දෙමින් අත් උදව් බාස් කෙනකු වන සුරේෂ් නමැත්තා කවුදැයි සොයාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

නිලධාරින් ඉන්පසු කුඹුක්වත්තට ගියේ සුරේෂ්ව සොයාගෙනය. සෝමලතාගේ නිවෙස අවට පදිංචි කරුවන්ගෙන් ඔහු පිළිබඳ විමසද්දී සෝමලතාගේ නිවසේ තරප්පුපෙළ හදන්නට පැමිණි බාස්වරු දෙදෙනා ගැනම තොරතුරු නිලධාරින්ට ලැබිණ. නිලධාරින් කෙලින්ම කළේ නිවෙසේ වැඩ බාරගත් සමීර බාස් අත්අංඩගුවට ගැනීමය. පොලිසිය ඔහුගේ ප්‍රශ්න කරන්නට විය. ඔහු දන්නා කියන හැමදෙයක්ම කීවේය.

“මම නැති අතරේ ඔය සුරේෂ් ඒ නෝනත් එකක් කතා කර කර ඉන්නව මම දැකලා තියෙනවා සර්. මම මීට කලිනුත් ඔය මනුස්සයාව ගෝලයා විදියට අරන් තියෙනවා. ඒ නිසායි මේකටත් ගත්තේ. හැබැයි මිනිහා කුඩු ගහනවා සර්.”

සමීර බාස්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් පොලිසිය ඉන්පසු සුරේෂ ඉන්න තැන් සොයන්නට විය. ඒ අතරතුර සුරේෂ් කවුද යන්න පොලිසිය අනාවරණය කරගෙන තිබුණේය.

සුරේෂ් පිළියන්දල දැල්තර පදිංචිකරුවෙකි. එලෙසම ඔහු මීට කලින් සිදු වූ මිනිස් ඝාතනයකද සැකකරුවෙකි. එම නඩුව තවමත් විභාග වෙමින් පවතී. පොල්ලකින් පහර දී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්කිරීම ඔහුට එල්ල වී තිබු චෝදනාවයි. සිද්ධියෙන් පසු ඔහුගේ බිරිඳ ඔහු හැරගොස් තිබිණි. කලක් බස් කොන්දොස්තරවරයකු ලෙස සේවය කළ ඔහු ඉන්පසු තැන් තැන් වල මේසන් බාස්ලාට අත් උදව් දෙන්නෙකු ගේ සේවය කරන්නට විය. එම මිනිස් ඝාතනයේ සැකකරුවකු ලෙස පොලිස් අත්අංඩගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගත වූ ඔහු කාලයක් සිර ගෙදර සිට පසුව ඇපමත නිදහස් විය. බිරිය ද අතහැර ගොස් සිටි බැවින් ඔහු දැල්තර නිවෙස අතහැර සිය මව සමඟ මොරගහහේන පොලිස් වසමේ පදිංචියට පැමිණියේය. පසුව ඔහු මත් කුඩු පානයට ඇබ්බැහි විය.

කරුණු කාරණා සොයාගත් පොලිසිය සුරේෂ් පසුපස පන්නන්නට විය. දින ගණනාවක් සැඟව සිටි ඔහු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ගමෙන් පලායන්නට බස් නැවතුම් පළට එමින් සිටියදීය.

සැකකරුගෙන් ප්‍රශ්න කළ පොලිසිය සෝමලතා ඝාතනය කළේ මන්දැයි විමසුවේය.

“මිනිහා කුඩු වලට ඇබ්බැහි වුණ කෙනෙක්. මිනිහා ඒ කාන්තාවගේ ගෙදර තරප්පු පෙළ හදන වැඩේට අත් උදව් දෙන්න ගියේ. ඔය අතරේ මිනිහට ඇහුණා ලොකු බාසුයි නෝනයි කතා කරන දේවල්. ලක්ෂ එක හමාරකට තමයි තරප්පු පෙළ හදන්න පොරොන්දු කර ගත්තේ. මිනිහා හිතුවා මේ කාන්තාව ගාව ලක්ෂයක්වත් ඇති. ඒක ගන්න තමයි මිනිහා පිහියකුත් අරන් ඒ කාන්තාවගේ ගෙදරට ආවේ. සමහර විට ඒ කාන්තාව මෙයාව හඳුනාගන්න ඇති. කෑගහයි කියලා බයට පිහියෙන් අනින් ඇති.”

සිද්ධිය පිළිබඳ විමසීමේදී මොරගහහේන පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

පසුව සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කිරිමෙන් පසු සෝමලතා ඝාතනයට උපයෝගී කරගත් පිහිය ද සොයාගැනීමට පොලිසියට හැකිවිය. එම පිහිය ඔහුගේ නිවසේ පාන් කැපීම සඳහා යොදාගත් එකකි. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කෙරිණ. පශ්චාත් රමණ පරීක්ෂකගෙන් පසු සෝමලතාගේ දේහය මුදා හැරිය අතර දේහය රැගෙන යාම සඳහා ඇගේ සොහොයුරියක් පැමිණි බව පොලිසිය කීය.

නියෝජ්‍ය පොලිස්්පති කේ.පී.පෙරේරා පානදුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක හොරණ සහකාර පොලිස් අධිකාරි ජනක් නන්දන සහ මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිස් ස්ථානාධිපති චන්දන විදානගේ ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන පැවත්වීය.

සමීර යනු මන:කල්පිත නමකි.