“කරපු කොඩිවිනය කැරකිලා ආවා”

“කරපු කොඩිවිනය කැරකිලා ආවා”

අවසානයේ ඇගේ මව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඇය කැඳවාගෙන ගියාය. ඇය පරීක්ෂා කළ ආධ්‍යාත්මීය උපදේශකවරයා ඇගේ ශරීරයේ අවුල් වී තිබුණු චක්‍ර පද්ධතිය සකස් කළේය.

දිය නෑමෙන් හෝ මුහුණ සේදීමෙන් පවා වැළකී අවුල් වූ හිස කෙස්වලින් යුත් ඇය බලෙන් හෝ නාවා පිරිසිදු කොට දෙසතියකින් නැවත ගෙන එන්නැයි ගවේෂකවරයා ඇගේ මවට කීවේය.

නැවත පැමිණි දිනයේ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සකුන්තලා වෙව්ලන්නට වූවාය. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව ගවේෂකවරයාට වැටහිණි. එහෙත් ඇගේ ශරීරයට ඇතුළු වී සිටින භූතාත්මය කතා කළේ නැත. තවත් දින දහ හතරක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා එන්නැයි ගවේෂකවරයා ඇගේ මවට නියම කළේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේදී සකුන්තලා දිව එළියට දමා ගෙන දඟලන්නටත්, හූ කියන්නටත් වූවාය. ගවේෂකවරයා භූතාත්මය පාලනය කොට ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“නම මතක නෑ” භූතාත්මය කීවේය.

“කොහෙද හිටියේ”

“කැරකොප්පුවේ”

“මේ ශරීරයට ඇතුල් වුණේ කොහොමද?”

“ඇතුල් වුණා නෙවෙයි, ඇතුල් කළා.”

“කවුද ඇතුල් කළේ?”

“මේ කෙල්ලගෙ ලොකු මාමා”

“ඒ කවුද?”

“නපුරු ඇදුරෙක්”

“එයාගෙම සහෝදරිගෙ දුවට ඇයි මෙහෙම කළේ?”

“තරහට. මේ කෙල්ලගෙ තාත්තා ඒ ඇදුරගෙ ළමයින්ට සමච්චල් කළා. අපහාස කළා. ඒ තරහට මාව මෙයාට බන්ධනය කළා. හැබැයි මෙයාව මරන්න එපා පිස්සු වට්ටන්න කිව්වා.”

“මෙයාගෙ තාත්තා ඒ ළමයින්ට අපහාස කළේ මොකද?”

“මේ ළමයා විභාගේ පාස් වුණාම මෙයාගෙ තාත්තා ඕනෑවට වඩා උඩ පැන්නා. පාටි දැම්මා. මගේ දුව පාස් වුණාට උඔලට බැරි වුණා කියලා සමච්චල් කළා. ඒ ළමයි ලැජ්ජාවට පත් වෙලා අඬනකොට ඒ ළමයින්ගෙ තාත්තා පළිගන්න මේ කෙල්ලට වින බන්ධනය කළා. දැන් මට පවරපු දේ මම කරනවා.” භූතයා කියන්නට විය.

සකුන්තලා පියවි සිහියට පත් කළ ගවේෂකවරයා භූතයා කියන සිද්ධිය ඇත්තක් දැයි සකුන්තලාගේ මවගෙන් විමසුවේය.

“ඔව් මහත්තයා. මගේ ලොකු අයියා දක්ෂ ඇදුරෙක්. අපේ දුව උසස් පෙළ විභාගය හොඳට සමත් වුණා. දුවගෙ තාත්තා ඒකට හරියට ආඩම්බර වුණා. මගේ ලොකු අයියගෙ දුවලට උසස් පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණා. විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණා කියලා හිනා වුණා. සමච්චල් කළා. ඒ මදිවට ගමේ අයට ලොකු පාටියකුත් දැම්මා. ඒත් මම කිව්වා උසස් පෙළ සමත් වුණේ අපේ දුව විතරක් නෙවෙයි. මේ රටේ දහස් ගණනක් දරුවො උසස් පෙළ සමත් වෙලා ඉන්නවා. අපේ දුවටත් වඩා ඉහළින් සමත්වුණ අයත් ඉන්නවා. ඔය පුරාජේරු අහංකාර වැඩ කරන්න එපා කියලා කිව්වා. ඒත් ඇහැව්වේ නැහැ. ඒ පාටියට ලොකු අයියලගෙ ගෙදර අය ආවෙ නෑ.”

“ඊට පස්සෙ අපේ දුව විශ්ව විද්‍යාලයට ඇතුල් වෙලා දවස් තුනයි හිටියේ. අසනීප වෙලා ගෙදර ආවා. එදා ඉඳලා තමයි මේ අසනීපය. බලාගත් අත බලාගෙන ඉන්නවා. හිනා වෙනවා. නාන්නේ නෑ. අපිරිසිදුයි. වෙදකම් කළා. තොවිල් පවිල් කළා. දැන් අවුරුදු නවයක් වෙනවා. සනීප කරගන්න බැරි වුණා. සාත්තර අහන්න ගිය තැන් වලිනුත් කිවිවා පේ‍්‍රත බන්ධනයක් කියලා. අන්තිමට දුවගෙ තාත්තත් හිත නරක් වෙලා අසනීප වෙලාම මැරුණා.”

සකුන්තලාගේ මව කඳුළු සලමින් ගවේෂකවරයා ඉදිරියේ කියන්නට වූවාය.

“දැන් සකුන්තලාගෙ ලොකු මාමා මොනවද කරන්නේ?”

ගවේෂකවරයා මවගෙන් ඇසීය.

“එයා ඉගෙන ගත්ත මන්ත්‍ර ශාස්ත්‍රයෙන් හොඳ වැඩවලට වඩා අන වින හූනියම් තමයි කළේ. කරපු කොඩිවිනයක් ආපහු කැරකිලා ඇවිත් ඒ පවුලත් විනාශ වුණා. ලොකු අයියා විතරක් විෙඳීනවා. පිස්සුවෙන් වගේ කියව කියවා ඉන්නවා.”

“විශ්ව විද්‍යාල අධ්‍යාපනයට තමන්ගේ දරුවෙක් ඇතුල් වෙනවයි කියන එක මව්පියන්ට ලොකු සතුටක් තමයි. ඒත් ඒක අනුන්ට අපහාස උපහාසයට යොදා ගන්න නරකයි. ඒක අකුසලයක්. තමන්ට යහපත් දේ ලැබෙන්න ලැබෙන්න.නිහතමානී වෙන්න ඕනෑ. ගොයම් කරල කිරිවදින්න කිරිවදින්න සරු ඇට හටගන්න කොට කරල බිමට පහත් වෙනවා. ඒත් කිරි නොවැදුණු බොල් කරල් උඩඟුවෙන් හිස කෙළින් කරගෙන ඉන්නවා අන්න ඒ වගෙයි.”

ගවේෂකවරයා කීවේය.

නැවතත් ගවේෂකවරයා සකුන්තලාට භූතාත්මය ආවිශ්ට කළේය. භූතාත්මයට අවවාද කළේය.

“තමන් පෙර කළ අකුසල් කර්මවල විපාක වශයෙන් සොහොනක පේ‍්‍රතයෙක් වෙලා උපන්නා. දැන් ඇදුරෙක් නිසා වින බන්ධනයකට බැඳිලා ජීවිතයක් අවුල් කරලා තවත් අකුසල් කර ගන්නවා. කරුණාකර මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ.”

“බැහැ... බැහැ... මට මෙයාව දාලා යන්න බැහැ. මම දැන් ජීවත් වෙන්නේ මෙයාගෙ ශරීරයෙන්. මට ඉවත් වෙලා යන්න බැහැ.”

“එහෙනම් යන්නෙම නැද්ද?”

“නෑ.... මම යන්නෙම නෑ”

භූතයා කියන්නට විය. භූතයා සකුන්තලාගේ ශරීරයෙන් පිටව නොයන බවට වටහා ගත් ගවේෂකවරයා ශක්ති කිරණ මඟින් භූතයා දවා පුළුස්සා දුර්වල කොට සකුන්තලාගේ ශරීරයෙන් භූතයා එළියට ඇද දැම්මේය.

ඉන්පසු නිවසේ දිනපතා උදේ හවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් සිදු කරන ලෙස සකුන්තලාටත් ඇගේ මවටත් නියම කළේය. සති දෙක තුනක් යද්දී සකුන්තලා නීරෝගී තත්ත්වයට පැමිණියාය. ඇය සම්පූර්ණ සුවය ලැබුවාය.

සකුන්තලා මේ වනවිට පුද්ගලික ආයතනයක රැකියාවක් කරන බව සතුටට පත් ඇගේ මව ගවේෂකවරයාට දැනුම් දී සිටියාය.