“කොල්ලකාපු ලක්ෂ හැත්තෑ හතෙන් ලක්ෂ දාහතර ගානේ අපි බෙදා ගත්තා”

“කොල්ලකාපු ලක්ෂ හැත්තෑ හතෙන් ලක්ෂ දාහතර ගානේ අපි බෙදා ගත්තා”

ඒ ඉකුත් ජුනි මස විසිහය වැනිදාය. වේලාව උදෑසන එකොළහට පමණ ඇත. වත්තල පිහිටි කැන්ඩි රෙදිපිළි ආයතනය තුළ තිබූ රුපියල් ලක්ෂ 77 ක මුදලක් රැගත් සේවකයෙක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රියට ගොඩ වූයේ එම මුදල කඩවත පිහිටි ඔවුන්ගේ මූලස්ථානය වෙත රැගෙන යමේ අදහසිනි.

වෑන් රිය පණ ගැන්වූ රියැදුරා වත්තල රාගම හරහා කඩවතට වෑන් රිය රැගෙන එමින් තිබිණ.

ගත වූයේ නිමේෂයකි. රාගම බැසිලිකා පාසල ආසන්නයේදී වෑන් රිය හරස් කර නතර කළ මොටෝ රියකි. ටී පනස් හය ගිනි අවි අතැතිව ඉන් බැසගත් දෙදෙනකු වෑන් රියේ සිටි රියැදුරාටත් අනෙක් පුද්ගලයාටත් ගිනි අවි පෙන්වා තර්ජනය කරද්දී කාර් රථයෙන් බැසගත් තවකෙකු වෑන් රියේ සිටි පුද්ගලයා අත තිබූ රුපියල් ලක්ෂ 77ක මුදල කොල්ලකාගෙන යළි කාර් රථයට ගොඩ විය. ගිනි අවිය අතැති තුවක්කුකරුවකු වෑන් රියේ රෝදවලට වෙඩි තැබූ අතර ඉන් අනතුරුව ඔවූහු පැමිණි මෝටර් රථයේ නැගී පලා ගියහ.

වෑන් රියේ රියදුරා හා අනෙක් පුද්ගලයා අසරණ වී සිටි අතර ඔවූහු වහා ඒ බව සිය ප්‍රධානීන් වෙත දන්වා සිටියහ. ඒ සමඟම මේ පිළිබඳ 119 හදිසි ඇමතුම් අංශයට ද දැනුවත් කළේය.

පොලිස් හදිසි ඇමතුම් අංශය මේ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන දැනුම්වත් කරන්නට විය. කැලණිය කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයාට ද ඒ පිළිබඳ දැනුම් දෙන්නට වූ අතර ඔහු වහා විමර්ශන නිලධාරීන් කොල්ලය සිදු වූ ස්ථානය කරා යොමු කරමින් ඔහු ද සිද්ධිය වූ ස්ථානයට ගියේය. සොකෝ නිලධාරීන් ද ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් ද විමර්ශන ආරම්භ කළ අතර සහකාර පොලිස් අධිකාරි ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මූලික පරික්ෂණ ඇරඹිණි.

විමර්ශන නිලධාරීන් මුලින්ම කළේ මුදල් ගෙනයෑම සිදු කළ වෑන් රියේ සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමය. කිසිදු ආරක්ෂක විධි විධානයක් නැතිව ලක්ෂ හැත්තෑ හතක මුදලක් රැගෙන යමින් සිටි බව ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළි විය. වෑන් රියේ සිටි දෙදෙනාගෙන් අයෙකු රිය පැද වූ අතර අනෙකා මුදල් සහිත බෑගය අතැතිව ගොස් තිබිණි.

රියැදුරා පොලිසිය ඉදිරියේ පවසා සිටියේ වෑන් රිය පසුපස පැමිණි සිල්වර් කලර් කාර් රථයක් බැසිලිකා පාසල අසලදී එකවර ඉස්සර කර මඟ හරස් කළ බවත් ටී පනස් හය අතැතිව වෑන් රියෙන් බැසගත් දෙදෙනකු වෑන් රියේ රෝදවලට වෙඩි තබා මුදල් පැහැර ගත් බවත්ය. කාර් රථයේ 9734 ලෙස නොම්මරයක් සවි කර තිබූ බවද හෙතෙම පොලිසියට කීවේය. එහෙත් රියැදුරා ලබා දුන් මෝටර් රියේ අංකය ව්‍යාජ එකක් බව නිලධාරීන්ට ඒ මොහොතේම තේරුම් ගියේය. එය කාර්වලට යොදන අංකයක් නොවීම ඊට හේතුව විය. එහෙත් රියදුරාගෙන් හා මුදල් අතැතිව ගිය සේවකයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූයේ මුදල් කොල්ලයට මොවුන්ගේ සබඳකමක් හෝ ඇත්දැයි දැන ගැනීමටය. සිද්ධිය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් දැනුම් දුන් අතර පොලිස්පතිවරයා ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන ලදී. විමර්ශන මෙහෙවීම කැලණිය කොට්ඨාස බාර පොලිස් අධිකාරිවරයා යටතේ සිදු කෙරිණි.

“මම මුලින්ම කණ්ඩායම් තුනක් සකස් කළා. ඒ.ඇස්.පී. ගුණරත්න ගේ අධීක්ෂණය යටතේ රාගම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු එක් කණ්ඩායමයකුත් දෙවැනි කණ්ඩායම මගේ අධීක්ෂණය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන කණ්ඩායමත්. ඒකට විශේෂ කාර්යාංශයේ අයත් එකතු කළා. තුන්වෙනි කණ්ඩායම බස්නාහිර උතුර බාර ඩී.අයි.ජී. මහත්තයාගේ නියෝග මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීනුත් මීට අයත් වුණා. මේ කණ්ඩායම් තුනම පැති කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළා.”

කැලණිය පොලිස් අධිකාරි ජයසිංහ මහතා හැත්තෑහත් ලක්ෂයේ මුදල් මංකොල්ලයට සම්බන්ධ වූවන් සොයා ඇරඹි මෙහෙයුම් පිළිබඳ එලෙස විස්තර කරන්නට විය.

කොල්ල කන ලද මුදල් ප්‍රසිද්ධ “කැන්ඩි” රෙදි පිළි ආයතනයට අයත් ඒවාය. එම ආයතනයේ ශාඛා දෙකක් ඇත. එකක් කඩවතය. අනෙක වත්තලය. කඩවත ශාඛාවෙන් ආයතනයේ සියලුම කටයුතු පාලනය වෙයි. මුදල් ගෙන ඒම සඳහා වත්තල ශාඛාව වෙත වෑන් රිය පිටව ගියේ කඩවත ප්‍රධාන ශාඛාවේ සිටය. රාමසාන් නිවාඩුව නිසා එක්කාසු වූ මුදල එසේ රැගෙන ඒමට නියමිතව තිබිණි.

කොට්ඨාස විමර්ශන නිලධාරීන් වෑන් රියේ සිටි සේවකයන් දෙදෙනාගෙන් යළිත් ප්‍රශ්න කරමින් අසන්නට වූයේ වෑන් රිය කඩවතින් පිටත් වී වත්තල දෙසට ගමන් ගත් මාර්ගයත් වත්තලෙන් මුදල් ලබාගෙන කඩවත ප්‍රධාන ශාඛාව වෙත ඒම සඳහා ගමන් ගත් මාර්ගයත් ගැනය. ඔවුහු කිසි පැකිළීමකින් තොරව ගිය හා පැමිණි මාර්ගය නිලධාරීන් ඉදිරියේ කීහ.

“අපි කඩවතෙන් මහර හන්දියට ඇවිත් ගොංගිතොට හරහා වත්තලට ආවා සර්.. පස්සේ වත්තල ෂොප් එකෙන් සල්ලි අරගෙන රාගම කඩවත පාර දිගේ ඇවිත් බැසිලිකා ඉස්කෝලෙ පහු කරනකොටම තමයි මේ දේ සිද්ධ වුණේ.”

වෑන් රියේ රියැදුරා ප්‍රශ්න කිරීම් හමුවේ කීවේය. කාර් රථයේ අංකය බැලූ බැල්මට ව්‍යාජ එකක් ලෙස සඳහන්ව තිබුණත් එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා එම අංකයට අදාළ ලියාපදිංචි හිමිකරු සොයන්නට නිලධාරීහු මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ද ගියහ. එහිදී අනාවරණය වූයේ එම අංකය වෙනත් වාහනයකට අයත් එකක් බවය.

එලෙස එක් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරද්දී පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත තවත් පරීක්ෂණ කිහිපයක් දියත් විය.

“අපි ඉන් පස්සේ ඔය ආයතනවල සේවය කරන අය ගැන වෙනම විමර්ශනයක් කළා. ආයතන දෙකේම වැඩ කරන සියලුම සේවක සේවිකාවන්ගේ ජංගම දුරකථන අංක අපි ලබා ගත්තා. ඒ ඔස්සේ සිද්ධිය වුණු දවසේ හෝ ඊට දිනකට දෙකකට පෙර ගත් දුරකථන ඇමතුම් අපි විශ්ලේෂණයට ලක් කළා. අපි එහෙම කළේ ඉන්න කවුරුහරි මේ කොල්ලකෑමට සම්බන්ධ ද කියලා සොයන්නයි. ඉන් පස්සේ මෑතකදී සේවයෙන් නෙරපූ හා ඉවත් වූ අය ගැන සෙව්වා.”

එහෙත් එම විශ්ලේෂණ කිසිවක් සාර්ථක නොවීය. කිසිදු සේවක සේවිකාවකගේ සැක කටයුතු දුරකථන කතා බහක් දැනගත නොහැකි විය. පොලිසිය ඊළඟට හැරුණේ වෙනත් පැත්තකටය. ඒ කඩවතින් පිටත් වූ වෑන්රිය වත්තලට ගොස් නැවත කඩවතට එන මාර්ගය පුරා ඇති සී.සී.ටී.වී කැමරා සෝදිසියට ලක් කිරීමය. මෙය පොලිසියට මහත් බාධාවක් ගෙන දුන් කර්තව්‍යයක් විය. ඊට හේතුව වූයේ එම මාර්ග අවට සී.සී.ටී.වී කැමරා සවිකර තිබූ නිවෙස්වල බොහෝ පදිංචිකරුවන් නොසිටීමත් සමහර එවන් නිවෙස වසා තිබීම ආදී කරුණු කාරණා නිසාය. මේ නිසා සී.සී.ටී.වී දර්ශන ඉක්මනින් පරීක්ෂා කිරීමේ හැකියාවක් නොතිබිණ.

ඒත් නිලධාරීන් පසුබට වූයේ නැත කඩවත සිට වත්තල දක්වාත් වත්තල සිට කඩවත දෙසටත් එන මාර්ගවල සී.සී.ටී.වී කැමරා කිහිපයක් තුළ වෑන් රිය පසුපසින් එන මෝටෝ රිය ගමන් ගන්නා ආකාරය අපූරුවට සටහන් වී තිබිණ. සිල්වර් පැහැති මොටෝ රිය වෑන් රිය පසුපස එන්නේ කඩවත ඇඟලුම් කම්හලෙන් වෑන්රිය පිටවන මොහොතේ සිටම බවනිලධාරීන්ට ඒත්තු ගැනුණේ එම දර්ශන සියුම් ලෙස පරීක්ෂා කිරීම නිසාය.

වත්තල ශාඛාවෙන් මුදල් ලක්ෂ 77 ක් රැගෙන වෑන් රිය පිටත්වන මොහොතෙත් ඒ අසල සිල්වර් කලර් මොටෝ රිය නතර කර තිබෙන අයුරු කැමරාවල සටහන් වී තිබිණ. පසුව වෑන් රිය පසුපසින් මොටෝ රිය ගමන් ගන්නා අයුරුත් රාගම බැසිලිකා පාසල අසලදී මොටෝරිය වෑන් රිය හරස් කොට මුදල් කොල්ල කන අයුරුත් දර්ශනවල සටහන් වී තිබීම විමර්ශනවලට මහත් පහසුවක් ගෙන දුන්නේය.

එහෙත් මොටෝ රියේ පැමිණි පිරිස හඳුනා ගැනීමට අපහසුය. ඒත් නිලධාරීන් ද අධෛර්යමත් වූයේ නැත. ඒ අතරතුර පොලිස්පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද වරින් වර ඇමතුම් දෙමින් කැලණිය කොට්ඨාස බාර අධිකාරිවරයා උනන්දු කළේය. ඒ කෙසේ හෝ සිද්ධියට අදාළ සැකකරුවන් කොටු කර ගන්නටය.

කණ්ඩායම් කිහිපයක්ම මෙම විමර්ශනයේ පසුපස සිටියත් සාර්ථක ඔත්තුවක් ලබාගත හැකි වූයේ පෑලියගොඩ විශේෂ කාර්යාංශයේ බුද්ධි අංශයටය. සැරයන් දිසානායකට ලැබුණු ඔත්තුව එහි ස්ථානාධිපති සමන් ගුණරත්නට දැනුම් දුන්නේය. පසුව මේ බව පොලිස් අධිකාරිවරයාට ලබා දීමෙන් පසු ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට බාර විය. එහි නිලධාරීන් ලැබුණු ඔත්තුවට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ දීර්ඝ විමර්ශනයක යෙදුණේය. ඉතා රහසිගතව එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබාගත් පොලිසිය සිද්ධිය වූ දා හා ඊට පෙරදා ඔහු ගමන්ගත් හා රැදුණු ස්ථාන හොඳින් නිරීක්ෂණය කළේය.

“25 වන දා මාතර 26 වන දා කොළඹ. ඔන්න ඔයවගේ තැන් ගණනාවක මෙයා ඉඳලා තියෙන බව දුරකථන කුළුණු ඔස්සේ අපි හඳුනා ගන්නවා. පස්සේ මේකට මිනිහා සම්බන්ධ බවට හොඳටම විශ්වාස කරලා අපි මිනිහව මාබෝල හෝටලයකදී අත්අඩංගුවට ගන්නවා. මිනිහා තමයි එස්.එෆ් ජගත් කියන්නේ. හමුදාවෙන් පැනපු සෙබළෙක්. මිනිහා බූරුවා ගහන්න ඇබ්බැහි වුණු අයෙක්. අපි මිනිහගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනවා. මිනිහා නොයෙකුත් බොරු කියනවා. ඒත් තාක්ෂණයට ඒ බොරු හරියන්නේ නැහැනේ. අපි පෙන්නල දෙනවා. තමන් 25 හිටියේ මෙහේ. 26 හිටියේ මෙතැන කියලා. මිනිහා දැනගන්නවා වැඩේ වැරදුණා කියලා. අන්තිමට ලක්ෂ 77 කොල්ලය පිළිබඳ සියලු තොරතුරු මිනිහා අපිට හෙළිකරනවා.”

පොලිස් අධිකාරි ජයසිංහ මහතා කියන්නට විය.

ඒ අනුව ලක්ෂ 77 මුදල් කොල්ලයේ සැලසුම මෙසේය.

එස්.එෆ් ජගත් බූරුවා කප්පිත්තෙකි. දිනක් මළ ගෙදරක තිබූ බූරුපොළකදී ජගත්ට මිතුරෙකු හමුවිය. ඔහු හර්ෂය. හෙතෙම වත්තල කැන්ඩ් රෙදි පිළි ආයතනයේ හිටපු සේවකයෙකි. මාස අටක් සේවය කරද්දී තවත් සේවකයකු සමඟ ඇති වූ ආරවුලක් නිසා හර්ෂ සේවයෙන් නෙරපා හැර තිබුණි. ඔහු වත්තල මාබෝල පදිංචි කරුවෙකි. ආගිය තොරතුරු ජගත් හා කතා කරන හර්ෂ අපූරු අදහසක් ජගත්ට කීවේය.

“වත්තල.... කැන්ඩි එකේ රාමසාන් කාලයේ එකතු වුණු සල්ලි ලක්ෂ ගණනක් තියෙනවා. ඔය සල්ලි සඳුදා කඩවතට ගෙනියනවා. සමහර විට ත්‍රී විල් එකක් නැත්නම් වෑන් එකකින් තමයි සල්ලි ගෙනියන්නේ. සිකියුරිටි කාරයෝ ඇත්තෙත් නැහැ. දෙනවා නම් නියම වැඩක්. දෙන්නම ගොඩ."

හර්ෂගේ කතාව ඇසූ ජගත්ගේ යටි සිත රට වටේ දිව යන්නට විය.

“හරි දේමු ගේමක්. මම ප්ලෑන් කරලා උඔට කියන්නම්.” ජගත් හර්ෂට අතට අත දී පොරොන්දුවක් ද දුන්නේය. හර්ෂගෙන් සමුගත් එස්.එෆ් ජගත් රෙදි පිළි ආයතනයේ මුදල් කොල්ල කන හැටි සැලසුම් කළේ එතැන් පටන්ය.

ජගත්ගේ මිතුරෙකු වූ පුෂ්පේ පදිංචිව සිටින්නේ රන්න ප්‍රදේශයේය. ඔහු යුද හමුදාවෙන් පැනගිය සෙබළෙකි. දකුණේ දේශපාලනඥයකුගේ ළඟම හිතවතෙකි. රන්නට යන ජගත් මේ සියල්ල පුෂ්පෙට පවසන්නේ “කොහොමහරි ගේම ගහමු” යැයි කියමින්ය.

“ගේම ප්ලෑන් කරන්නේ මෙතැන ඉඳන්. පුෂ්පෙගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ආමි ඉන්දිකයි පොඩි ඉන්දිකයි කියලා. පුෂ්පේ මේ දෙන්නවත් මේ වැඩේට සෙට් කරගන්නවා.”

පොඩි ඉන්දික රන්නේ පදිංචිකරුවෙකි. ඔහු කලක් බන්ධනාගාරගතව සිටි අයෙකි. රන්න නගරයේ ඇළුමිනියම් වැඩපළක සේවය කරන ඔහු පුෂ්පේ කියන දේකට එක පයින් කැමති විය. ඒත් මේ සඳහා ආයුධ අවශ්‍යව තිබුණි. එවිට පුෂ්පේගේ මතකයට නැගුණේ ආමි ඉන්දිකවය. ඔහු ඒ වනවිට සේවය කළේ හමුදා කඳවුරකය. ඔහු ලාන්ස් කෝප්‍රල්වරයෙකි. තණමල්විල පදිංචි ආමි ඉන්දිකද පුෂ්පේගේ ළඟම මිතුරෙකුද විය.

“හරි මම වෙපන් දෙකක් ගේන්නම්.” ආමි ඉන්දික පුෂ්පේට කීවේය.

කොල්ලකෑම සඳහා යාමට සුපිරි වාහනයක් අවශ්‍ය බව පුෂ්පේ එස්. එෆ්. ජගත්ට කීවේය. ඒ අනුව මාතරට එන එස්. එෆ්. ජගත් දන්නා හෝටල් හිමිකරුවකු හරහා දිනකට රුපියල් දස දහස බැගින් ගෙවා දින තුනක් සඳහා නවීන පන්නයේ කාර් රථයක් කුලියට ගන්නේය.

“ඒක තමයි ඔය කොල්ලයට ආව කාර් එක. කාර් එක අරන් රන්නෙට ගිහින් පුෂ්පෙත් හම්බවෙලා එයාවත් දාගෙන මගදී ආමි ඉන්දිකයි පොඩි ඉන්දිකවයි ගන්නවා. ආමි ඉන්දික කාර් එකට නඟින්නේ ටී පනස් හය දෙකකුත් අරගෙන. මෙයාලා විසිපස් වන දා රෑ එහෙන් පිටත් වෙනවා. විසිහය වෙනිදා උදේ වෙනකොට මෙයාලා කොළඹට එනවා.”

වාහනය ලැබී ඇත. ආයුධද වාහනයේ ඇත. එහෙත් තව කළ යුතු දෙයක්ද ඇත. ඒ කාර් රථයට වෙනත් අංක තහඩුවක් සවි කර ගැනීමය. කොළඹට එන පිරිස හතර වටේ කරක් ගහද්දී තලංගම ප්‍රදේශයේ ගරාජයක් ඔවුන්ට දකින්නට ලැබිණි. හීන්සිරුවේ ගරාජයට යන පොඩි ඉන්දික සහ ආමි ඉන්දික එහි වාහනයක සවිකර තිබූ අංක තහඩු ගලවා ගන්නේ ඉන් අනතුරුවය. කාර් රථයේ අංක තහඩු මාරු කිරීම කඩුවෙල පිහිටි පාළු පොල් වත්තකදී සිදු කර ඇත. “අංක තහඩුව වෙනස් කරලා ඒකේ තියෙන අකුරු තියෙන තැනුත් හූරලා දානවා. ර්‍ණ අකුර Q කරනවා. ර් අකුර හූරලා ව් වගේ කරනවා. පස්සේ වත්තලදී මෙයාලා මේකට ඔත්තුව දුන්න හර්ෂවත් දාගෙන 26 වන දා උදේ කඩවත කැන්ඩි එක ළඟට යනවා. ඔතන ඉඳන් තමයි වෑන් එක ෆලෝ කරගෙන ඇවිත් වත්තල කැන්ඩි එක ළඟට එන්නෙ.් එතන කාර් එක නතර කරගෙන ඉඳලා තමයි සල්ලි අරගෙන යන වෑන් එක මඟදී කොල්ලකන්නේ. පුෂ්පෙයි ලොකු ඉන්දිකයි තමයි ටී පනස් හය අරගෙන බහින්නේ. වෑන් එකේ වම් පැත්තේ ටයර් එකට වෙඩි තියන්නේ පුෂ්පෙ. පොඩි ඉන්දික තමයි සල්ලි කොල්ල කන්නේ. කාර් එකේ පිටි පස්ස සීට් එකේ මැද තමයි හර්ෂ වාඩිවෙලා ඇවිත් තිබුණේ.”

එලෙස මුදල් කොල්ල කෑමෙන් පසු ඔවුන් රැගත් මොටෝ රිය යළි කඩුවෙල බලා පැමිණ තිබිණි. අතරමඟදි හර්ෂ මොටෝ රියෙන් බැස ගියේ පසුව හමුවන අදහසින්ය. ඉන්පසු කඩුවෙල පිහිටි පාළු පොල් වත්තට යන මොවුන් කාර් රථයේ සවි කර තිබූ ව්‍යාජ අංක තහඩුව ගලවා නැවත ඊට නියමිත අංක තහඩු සකස් කර තිබේ. කොල්ල කන ලද මුදල් ගණන් බලා එක් අයෙකුට ලක්ෂ 14 බැගින් එම මුදල් බෙදා ගෙන තිබුණෙත් එම පාළු ඉඩමේය.

“පුෂ්පෙට ලක්ෂ 14, එස්.එෆ් ජගත්ට ලක්ෂ 14, පොඩි ඉන්දිකට ලක්ෂ 14, ලොකු ඉන්දිකට ලක්ෂ 14 යි බෙදා ගෙන තවත් ලක්ෂ 14 ක් ටී පනස් හය දෙක ගත්තට වෙන් කරනවා. ඔත්තුව දුන්න හර්ෂට ලක්ෂ පහක් වෙන් කරනවා.”

“සල්ලිත් අරගෙන පොඩි ඉන්දික කඩුවෙලින් බහිනවා. අනෙක් කට්ටිය කෙළින්ම මාතරට යනවා. මාතරින් තණමල්විලට යනවා. එතැනදී ආමි ඉන්දික අනෙක් අයව මඟ තියලා කාර් එක අරගෙන ගිහින් ටී පනස් හය දෙක් දීලා එනවා. පස්සේ රන්නෙදි කාර් එක එස්.එෆ් ජගත්ට දීලා පරිස්සමින් යන්න කියලා ආමි ඉන්දික කියනවා. පස්සේ රන්නෙන් පුෂ්පෙත්, එස්.එෆ් ජගතුත් බහිනවා.”

පොලිස් අධිකාරිවරයා පැහැදිලි කරන්නට විය. පොලිසිය මේ සියල්ල හෙළි කර ගත්තේ එස්.එෆ් ජගත්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. ඉන් පසු පොලිසියේ ඉලක්කය වූයේ සෙසු පිරිස කොටු කර ගැනීමය.

දෙවනුවට කොටුවන්නේ හර්ෂ නමැත්තාය. ඔහු මාබෝලේ සිය නිවසේ සිටියදී කොටු කරගත හැකි විය. පසුව පොඩි ඉන්දික රන්න පිහිටි ගරාජයකදී ද පුෂ්පේ රන්නේදී ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි විය. ඒත් පොලිසියේ ඊළඟ අවශ්‍යතාව වූයේ ආමි ඉන්දික අල්ලා ගැනීමය. ඒ වන විට ආමි ඉන්දික පිළිබඳ එතරම් දීර්ඝ තොරතුරු පොලිසිය දැන සිටියේ නැත. ඔහු මාදුරුඔය යුද හමුදා කඳවුරේ සේවය කරන්නෙකු බව පමණක් නිලධාරිහු දැන සිටියහ. ඒ තොරතුරු ලබා ගත්තේ ද අල්ලා ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදීය.

“සමහර විට මිනිහාගේ නම ඉන්දික නොවන්නත් පුළුවන්. ඒ නිසා මිනිහා හරි හැටි හඳුනා ගන්න අපිට ආමි වෙහෙසක් ගන්න වුණා. ඉන්දික ගැන හොයලා බලද්දී දැන ගන්නට ලැබුණා මිනිහා 25 හමුදා කඳුවුරෙන් එළියට ඇවිත් තියෙනවා ආයේත් 27 වැනිදා කෑම්ප් එකට ගිහින් තියෙනවත් කියලා. එතැනින් එහාට වැඩිදුර තොරතුරක් තිබුණේ නැහැ.”

ආමි ඉන්දිකව අල්ලා ගැනීම සඳහා කරන විමර්ශන වෙනත් දිහාවකට හැරුණේ එතැන් පටන්ය. එය පොලිස් විමර්ශනයක සුවිශේෂී කාර්යයක් වූයේය. ඒ පිළිබඳ පොලිස් අධිකාරිවරයා කරුණු පැහැදිලි කළේ මෙසේය.

“ඔය කොල්ලයට ගෙනාව කාර් එක මාතර රෙන්ට් අ කාර් එකකින් අරගෙන තිබුණෙ.් අපි එකේ ඇත්ත අංකය ඔස්සේ අයිතිකාරයා ගැන හෙව්වා. බැලින්නම් මිනිහා කාර් එක රෙන්ට් එකට දීලා විනෝද චාරිකාවක් ගිහින් තිබුණා.”

“පස්සේ අපි ඒ මනුස්සයාගෙනුත් ප්‍රශ්න කරද්දී දැන ගන්න ලැබුණා ඒ කාර් එකට ට්ර්‍ථඉ තාක්ෂණය හයි කරලා තියෙනවා කියලා. ඒ තාක්ෂණය අනුව කාර් එක ආ ගිය තැන්. එකේ ගමන් කරපු සේරම දැනගන්න පුළුවන්. වාහනේ එතැන තියෙන බව මේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපි ඒ තාක්ෂණය ඔස්සේ විමර්ශනය කළා.”

සියල්ලම අනාවරණය කර ගන්න පුළුවන් වුයේ ඒ තාක්ෂණය නිසයි. කොල්ලකෑමෙන් පස්සේ මේ අය ගිය හැම මාර්ගයක්ම අපිට හොයා ගන්න පුළුවන් වුණා. තණමල්විලට ගිහින් අවි ආයුධ දුන්න තැන් හොයාගත්තා. පස්සේ ඒ තාක්ෂණය ඔස්සේ තණමල්විල ගෙදරකට අපි ගියා. ඒක ආමි ඉන්දිකගේ ගෙදර. බිරියයි, දරුවෙකුයි ගෙදර හිටියා. අපි ඒ කාන්තාවගෙන් ප්‍රශ්න කළා. එතකොට එයා කිව්වා පුරුෂයගේ නම ඉන්දික. එයා වැඩ කරන්නේ මාදුරුඔය කෑම්ප් එකේ කියලා. පස්සේ මේ බව යුද හමුදා පොලිසියට (ඛ්ඛ්ර්ර්‍ථ) දන්වලා ඉන්දිකව අත්අඩංගුවට ගත්තා.

ආමි ඉන්දික මාදුරු ඔය පුහුණු හමුදා කඳවුරේ රියැදුරකු ලෙස සේවය කළ අයෙකි. දින දෙකක කෙටි නිවාඩුවක් ගෙන තණමල්විල ගෙදර පැමිණි ඔහු මෙම මුදල් කොල්ලය මෙහෙයවා තිබිණි.

“අපි ඉන්දිකගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා ඉන්පස්සේ එයාලගේ ගෙවල් ආසන්නයේ කැලේ සඟවලා තිබිලා ටී පනස් හය දෙකයි, පතරොම් 76 යි මැගසින් දෙකකුත් සොයා ගත්තා. එක තුවක්කුවක් කෑලිවලට ගලවලා ප්ලාස්ටික් බට ඇතුළේ දාලා කැලේ වළලලයි තිබුණේ. තව දුරටත් ප්‍රශ්න කරලා කාර් එකයි, ව්‍යාජ අංක තහඩු, තවත් අංක තහඩුයි ඔක්කොම සල්ලි රුපියල් ලක්ෂ 44 කුත් හොයා ගත්තා. ඉතිරි ලක්ෂ ටික මෙයාලාට වියදම් වෙලා.”

ආමි ඉන්දිකගේ බිරියගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමෙන් පසු ඉන්දික විසින් නිවසේ තිබූ ටෙඩි බෙයාර් කෙනකුගේ බඩ ඇතුළට දමා මසා තිබු රුපියල් ලක්ෂ 16 ක් සොයා ගැනීමටද කාර්යාංශ නිලධාරීන්ට හැකිවිය.

“මේක නිධානයකින් ගත්ත බඩු වගයකින් හම්බවුණු සල්ලි.... කියලා මේ වල වස් ඇරලත් නැහැ. ඒ නිසා අල්ලන්නවත් එපා කියලා එයා මට කිව්වා.”

ඉන්දිකගේ බිරිය පොලිස් නිලධාරීන් හමුවේ කීවාය.

ලක්ෂ හැත්තහතක මුදල් කොල්ලයේ ලක්ෂ හතලිස් හතරක් සොයා ගැනීමට පොලිසිය සමත් විය. ආමි ඉන්දිකගේ නිවසේ තිබී සොයාගත් මුදල් වලට අමතරව තවත් සැකකරුවකුගේ නිවසේ තැඹිලි ගසක් යට සඟවා තිබියදී සොයාගැනීමට පොලිසියට හැකි විය.

කොල්ලය පිළිබඳ ඔත්තුව ලබාදුන් හිටපු සේවකයකු වූ හර්ෂගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තමාට ලක්ෂ පහක් ලැබුණු බව ඔහු පිළිගත්තේය. එම මුදල ජගත් විසින් තමාට ගෙනැවිත් දුන් බව ඔහු ප්‍රශ්න කිරීම් හමුවේදී කීවේය. එම මුදලින් ලක්ෂ දෙකක් රෝහල්ගතව සිටින තම පියාගේ පිළිකා එන්නත් සඳහා වැය කළ බවද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

එස්.එෆ් ජගත්ට දුන් ලක්ෂ පහළොවෙන් එක් ලක්ෂ තිස්දාහක් ඔහුගේ නිවසේ තිබූ පැරණි යතුරු පැදියක සඟවා තිබී සොයා ගැනීමට හැකි විය.

අපරාධයක් සිදුකොට කිසිදා සැඟව සිටිය නොහැකි යැයි කියමනක් ඇත. මින් පෙන්වන්නේ ද එයයි. එය සදාතනික දහමකි. එලෙසම තාක්ෂණ හා පර්වේෂණ ක්‍රම උපයෝගි කර ගනිමින් සිදු කළ මෙම මෙහෙයුම නිසා දින පහක් ඇතුළතදී කොල්ලකරුවන් කොටු කර ගත හැකි වීම පොලිස් ඉතිහාසයේ තවත් වාර්තාවකි. මින් තවත් එක් දෙයක් පැහැදිලිය. අපරාධකරු කෙතරම් දක්ෂයකු වුවත් පොලිස් නිලධාරියා ඊටත් වඩා ඉදිරියෙන් සිටින බවය. පොලිසිය ඉන්නේ අපරාධකරුවන්ට වඩා ගව් ගණනක් උඩින්ය.

නිලධාරීන්ගේ දක්ෂතාවය, කැපවීම මෙන්ම නවීන තාක්ෂණය නිසා මහත් ආන්දෝලනයකට ලක් වූ රාගම ලක්ෂ 77 කොල්ලය දින පහක් තුළ මෙසේ අනාවරණය කර ගැනීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හැකි විය. ඒ සඳහා විශේෂ කාර්යංශය ද මහඟු දායකත්වයක් ලබා දුන්නේය.

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ කැලණිය කොට්ඨාශ බාර පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කැලණිය කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජී.ඩබ්ලිව්, එල්. රවින්ද්‍ර, විශේෂ කාර්යංශයේ ස්ථානාධිපති සමන් ගුණරත්න උප පරික්ෂකවරුන් වන සමීර, මනෝජ්, සැරයන් ධර්මසිරි (33507) කොස්තාපල්වරුන් වූ සෝමසිරි (14868), බණ්ඩාර (53253), ජයසිංහ (69798), දේදුණු (73099) රියැදුරු රොෂාන් (80519) යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශනයට එක්ව සිටියහ.