පොරෝ පහර දි බිරිය මරා දාලා

පොරෝ පහර දි බිරිය මරා දාලා

“මට කන්න බොන්න මොකුත් එපා අංකල්, මට මගේ අම්මව ඕන”.

සැමියා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රූපා දිසානායකගේ දියණිය පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති වරයා ඉදිරියේ හඬා වැටෙමින් එලෙස පවසා සිටියාය.

ඇය එකොළොස් හැවිරිදි වියේ පසු වන්නීය. පිපී එන රෝස පොහොට්ටුවක් බඳු පියකරු මේ පුංචි දැරියට වැටහෙන එකම දෙය තාත්තා අම්මාට පොරොවකින් කෙටූ බව පමණි. එවැනි තත්ත්වයක් ඇති වන්නට මුල් වූ හේතු තිබේද, ඒ මොනවා ද යන්න ඇගේ පුංචි සිතට දැනෙන්නේ නැත. තේරුම් ගන්නට ද නොහැකිය.

“ අංකල්.....,මගේ අම්මා මැරුණොත් එහෙම අංකල් අපේ තාත්තව මරන්න ඕන. එයා තමයි මගේ අම්මට පොරොවෙන් ගැහුවේ”.

ඇය තමා ඇසින් දුටු දෙය එලෙස පැවසුවේ එය මෙම ඝාතන සිද්ධියේ සැකකරුට එරෙහි ප්‍රබල සාක්ෂියක් බව දැනගෙන නොවන බව නම් සහතිකය.

මොරගොල්ලාගම අමුණුගම ප්‍රදේශයේ කාන්තාවකට පුරුෂයා විසින් පොරොවකින් කොටා ඇති බවට පොල්පිතිගම පොලිසියට තොරතුරක් ලැබුණේ පසු ගිය විසි එක් වැනිදා සවස පහමාරට පමණය. ඒ... ප්‍රදේශයේ පදිංචි කරුවකුගෙනි.

ස්ථානාධිපති වරයා ඇතුලු කණ්ඩායමක් සිද්ධිය වු බව කී නිවෙසට යන විට පොරොව පහරට ගොදුරු වූ කාන්තාව රෝහලට රැගෙන ගොස් තිබිණි. අසල් වැසියන් එක්ව ත්‍රීරෝද රථයකින් ඇය පොල්පිතිගම රෝහලට රැගෙන ගොස් තිබූ අතර නිවෙස අසලට එක් රොක්ව සිටි අය පැවසුවේ පොරෝ තලය නළලේ කිඳාබැස තිබූ බවත් ඇය රෝහලට රැගෙන ගියේ පොරොව එලෙස තිබියදී බවත්ය.

මෙම සිද්ධිය වූ නිවෙස කෑලි දෙකකින් සමන්විත කටු මැටි ගසා සෑදූ එකකි. නිදන ඇඳ සාලයේ තිබෙන අතර ඇය පොරොව පහරට ලක්ව තිබුණේ ඇඳ මත වැතිර සිටියදීය.

එල්ල වු පොරෝ පහර හේතුවෙන් ගලාගිය රුධිරය ඇඳේ තිබු කොට්ටය මත මිදී ගොස් තිබිණි. එම රුධිරය ජෙල් ස්වරූපයකින් දිස්විය. ඒ.....පොරෝ තලය මොළය අසලටම කිඳා බැස රුධිරය, මේද කොටස් පමණක් නොව මොළ සෛල ද පිටතට ඒම නිසා විය යුතුය.

එම නිවෙස අපරාධ ස්ථානයක් ලෙස නම් කොට ආරක්ෂාව යෙදීමෙන් අනතුරුව ස්ථානාධිපති වරයා ඇතුළු කණ්ඩායමක් පොල්පිතිගම රෝහලට ගියේය. එහෙත් .... ඒ වන විට ඇය කුරුණෑගල මහරෝහලට මාරුකර යවා තිබිණි.පොල්පිතිගම රෝහලේදී ඇයගේ නළලේ කිඳාබැස තිබූ පොරොව පිටතට ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යාර්ථ වූ බැවින් ඇය කුරුණෑගල රෝහලට පිටත්කර යැවීමට කටයුතු කර තිබිණි.

කුරුණෑගල රෝහලේ විශේෂඤ වෛද්‍යවරුන්ට ද පොරොව පිටතට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක ් වුයේ නැත. එය දිග මිටකින් මෙන්ම දිග තලයකින් ද සමන්විත පොරොවකි. මිට කපා ඉවත් කොට පොරෝ තලය සිරුරින් ඉවතට ගැනීමට උත්සාහ කළ ද මිට කැපීම පහසු වූයේ නැත. ඒ.... මිට කැපීමේදී ඇතිවන සෙලවීම හේතුවෙන් තුවාලකාරියගේ ජීවිතය තව දුරටත් අවදානම් තත්ත්වයකට පත්විය හකි නිසාය.

අනතුරුව පැය දෙකක පමණ ශල්‍යකර්මයකින් අනතුරුව පෙරෝතලය පිටතට ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවිය. එම පොරෝ තලයේ දිග අඟල් පහක් පමණ වේ. ඒ අඟල් පහම ඇයගේ වම් ඇස ඉහළින් නළලේ ඇතුලට කිඳාබැස තිබිණි.

පිටතට ගත් පොරොව පොල්පිතිගම පොලිසියට බාරදීමට කුරුණෑගල රෝහල් බලධාරීහු කටයුතු කළහ.එය නඩු භාණ්ඩයක් ලෙස පොලිසිය සිය භාරයට ගත්තේය.

පසුව අසල්වාසීන් එක්ව ඇය රෝහල් ගත කෙරිණ. දින හතකට පසු රෝහලේදී මියගිය ඇගේ සිරුර හිසෙන් පොරොව ඉවත් කිරීමෙන් අනතුරුව ඇය දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිණි. ශල්‍ය කර්මයෙන් අනතුරුව සිහිය නොපැමිණිය ද ඇය ජීවතුන් අතර සිටි බැවින් දැඩි සත්කාර ඒකකයට යොමු කොට මෙෂින් ආධාරයෙන් ඇයගේ පණ නල රඳවා තබා ගැනීමට වෛද්‍යවරු කටයුතු කළහ.

එල්ලවී තිබූ පොරෝ පහරේ හැටියට ඇය ඒ මොහොතේම මිය යා යුතුය. එහෙත් ඇය දින හතක කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. සිද්ධිය වී දින හතකට පසු එනම් පසු ගිය මස විසි නව වැනිදා උදේ ඇය මිය ගියේ සැමියා මනුශ්‍ය ඝාතකයකු බවට පත් කරමිණි.

මේ අතර පොරෝ පහර එල්ල කිරීමෙන් අනතුරුව නිවෙසින් පැන ගිය ස්වාමි පුරුෂයා සොයා පොලිස් කණ්ඩායම් දෙකක් සෝදිසි මෙහෙයුම් දියත් කළේය. එම සෝදිසියේදී එදින රාත්‍රියේදීම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

මෙලෙස ඝාතනය වු රූපා දිසානායක හතලිස් එක් හැවිරිදි තිදරු මවකි. ඇය ඝාතනය වූයේ දෙවන සැමියා අතිනි. පළමු සැමියාගෙන් ඇයට දරු දෙදෙනකු සිටී. එම විවාහයෙන් වෙන්වඇය ඒකනායක මුදියන්සේලාගේ සෙනෙවිරත්න සමඟ විවාහ වූවාය. මේ සෙනෙවිරත්නගේ ද දෙවැනි විවාහයයි. මෙම සිද්ධිය වන විට ඔහුගෙ ් වයස අවුරුදු තිස් නවයකි. මේ දෙදෙනාට එක් දරුවකු සිටී. ඒ එකොළොස් වියැති දියණියයි.

සෙනෙවිරත්නගේ රැකියාව වූයේ ගොවිතැනයි. මෙම ප්‍රදේශයේ පදිංචි බෙහෝ පුරුෂයන් මත් වතුරට ඇබ්බැහිව සිටිය ද සෙනෙවිරත්න එලෙස මතට ඇබ්බැහිව සිටියේ නැත. එලෙසම ගම්මු අතර හොඳ මිනිසකු ලෙස නමක් දිනාගෙන සිටි මොහු වැඩි සද්ද බද්දයක් නැති අයෙකි. එවැනි චරිතයක් ඇති මොහු ඇය මරා දමන්නට උත්සාහ කළේ ඇයි?

අමුණුකොළේ ප්‍රදේශයේ පැතිර යන තොරතුරු වලට අනුව මෙම සිද්ධිය වීමට සතියකට පමණ පෙරදී ඇය සිය අයියාගේ පහර දීමකට ගොදුරුව තිබිණි. ඒ...ඇය වෙනත් පුරුෂයකු සමඟ ඔහුගේ නිවෙසේ සිටියදී අයියාගේ අතටම හසුවූ නිසාය. අයාලේ ගොස් හසුවූ නංගීට අයියා එදින යස පාඩමක් උගන්වා තිබිණි. ඔහු ඇයට හොඳ හැටි පහර දී තිබූ අතර පොල්ලකින් එල්ල කළ පහරකින් ඇයගේ දකුණු අත කැඩීගොස් තිබිණි.

මෙම පහර දීමේ සිද්ධිය පොලිසියට වාර්තාවී තිබුණේ නැත. කැඩුණ අතට කැඩුම් බිඳුම් වෙදකුගෙන් සිංහල ප්‍රතිකාර ලබමින් සිටි ඇය සැමියා සමඟ ද ආරවුල් ඇති කර ගත්තාය.

" අයිය ගහලා අත කැඩුනට පස්සේ ගිහින් අයියට ගහන්න කියලා එයා මාත් එක්ක රණ්ඩු වුණා.”

“මගේ අයිය මට ගහලා අත කඩනකම් තමුසේ බලාගෙන හිටියා. ගිහින් අයියට ගහනවකෝ කිය කියා නිතරම මමත් එක්ක රණ්ඩු කරන්න පටන්ගත්තා.”

“ඔය විදියට දවස් කීපයක් තිස්සේ එයා මාත් එක්ක රණ්ඩු කළා. සිද්ධිය වෙච්ච දවසෙත් අයියට ගහන්නේ නෑ කියලා මාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා.”

අත් අඩංගුවට පත් සැමියා එලෙස සිද්ධිය විස්තර කළේය.

මවත් පියාත් අතර නිතර නිතර බහින්බස් වීම් ඇතිවීම හේතුවෙන් බියට පත් පුංචි දියණිය මවගේ ආරක්ෂාව ගැන සිතන්නට වූවාය. ඇය ගෙදර තැන් තැන් වල තිබූ පිහි, කැති, පොරොව ආදිය පියාට හසු නොවන අයුරින් හංගා තැබීමට වගබලා ගත්තාය.

සිද්ධිය වන විට රූපා සාලයේ වූ ඇඳේ උඩු බැලි අතට දිගාවී සිට ඇති අතර දයණිය ද ඇය අසලින් ඇලවී සිට ඇත. අත කැඩී ගොස් ඇති බැවින් වේදනාවක් දැණුන ද අය ඇඳේ ඇලවී සිටිමින් ද කර තිබුණේ සැමියාට බැන වැදීමයි.

ඇයගේ ඇනුම් බැනුම් තව දුරටත් ඉවසා සිටිය නොහැකි වූ තැන ඔහු ඇය මරා දැමීමට අදහස් කළේය.

දියණිය තමාට තේරෙන අයුරින් පියාට හසු නොවන්නට පිහි, පොරොව ආදිය සැඟවුව ද ඒවා සොයා ගැනීම පියාට එතරම් අපහසු කටයුත්තක් වූයේ නැත.

දිගු මිටකින් ද දිගු, මුවහත් තලයකින් ද යුතු පොරොව අතට ගත් ඔහු ඇඳ හිස පැත්තෙන් පැමිණෙනු බිරියට පෙනෙන්නේ නැත. එලෙස පැමිණි ඔහු ඇයගේ නළල් ප්‍රදේශයට වැරෙන් පහරක් එල්ල කරන අතර පොරෝ තලය නළලට කිඳා බැස්සේ එලියට ඇද ගැනීමට පවා නොහැකි වන ලෙසය.

ඒ වන විට මව අසල වැතිර සිටි දියණිය ද පියා පැමිණෙනු දුටුවේ නැත. එහෙත් මවට පහර දෙන අයුරු ඇය දුටුවාය. දුටු දෙයින් බියට පත් ඇය කෑ ගසන්නට වූ අතර අසල් වාසීන් පැමිණෙන්නේ ඇයගේ ශබ්දයටය.

නංගීගේ හොර වැඩ අතටම අල්ලාගෙන අතක් කැඩෙන්නට ඇයට පහර දුන් අයියා ඇතුලු පවුලේ අය විසින් බාරගෙන අවසන් කටයුතු කළහ..

පොල්පිතිගම පොලිසියේ ස්ථානාධිපති උපාලි රත්නමලල ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේසුන්දර ඇතුලු සැරයන් වරුන් වන 23681 ජයවීර, 19547සුනිල්, 74933 චාමර, 72226 තිලකසිරි පරීක්ෂණ සඳහා එක් වූහ.