ගුරුවරියගේ නිවෙසට ආ හොරා "රෙජී" ගේ ඉවෙන් කොටු වූ හැටි

ගුරුවරියගේ නිවෙසට ආ හොරා "රෙජී" ගේ ඉවෙන් කොටු වූ හැටි

“ඔව් මහත්තයා මල්ලි ගේ ඇතුළේ ඉන්නවා.”

ඇය එලෙස පවසද්දී පොලිසිය එම නිවෙස වටකර අවසානය. අනතුරුව නිවෙසට ඇතුල් වූ පොලිස් කණ්ඩායමට නිවෙස ඉදිරිපිට සිටි කාන්තාවගේ සැමියාගේ මල්ලී අත්අඩංගුවට ගත්තේ විශ්‍රාමික ගුරුවරියකගේ නිවෙසට හොර රහසේ ඇතුලුව ඇයට අඩම්තේට්ටම් කොට නිවෙසේ බඩු සොරා ගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේය.

“ඔය මිනිහා මේ ගමටම කරදරයක්. මේ ළඟදිත් හොරකමේ ගිහින් අහුවෙලා නැගිටින්න බැරිවෙන්න ගුටි කෑවා. හිරේ ඉඳලා ළඟදි එළියට ආවේ. ඒත්.... හැදෙන පාටක් නෑ.”

මොහු පිළිබඳ ගම්මු පොලිසියට ලබාදුන්නේ එවැනි චරිත සහතිකයකි.

මෙම සිදුවීම වුයේ තලාතුඹය පොලිස් වසමේය. ගුරුදෙණිය. හාරගම උඩරට සඳැල්ල ලිපිනයේ පිහිටි නිවෙසට හොරකු ඇතුලුව තිබුණේ පසුගිය මාර්තු මස දා හත් වැනිදා රාත්‍රියේදීය.

එහි පදිංචිව සිටින්නේ විශ්‍රාමික ගුරුවරියකි. බොහෝ විට ඇය නිවෙසෙහි කල් ගෙවුයේ තනිවමය. ගමේ අහල පහළ සැවොම ඇයට හිතවත්ය. එබැවින් නිවෙසේ තනිවම සිටින්නට ඇයට බයක් සැකයක් තිබුණේ නැත.

සිද්ධිය වු දින රාත්‍රියේ ඇය බුදු පහන තබන්නට ගියේ නිවෙසේ දොරවල් හැර දමා තිබියදීය. ඒ.... දිගටම පැවත ආ පුරුද්ද නිසාත් මේ ගෙදරට කිසි දිනෙක හොර හතරකු ඇතුල්ව නොතිබුණ නිසාත්ය.

එහෙත්.... ඇයට වැරදුණේ ඒ සිතුවිල්ලය. ඇය.... බුදුන් වඳින අතරේ හොරකු නිවෙසට ඇතුළුව තිබුණේ විවෘතව තිබු පිටුපස දොරෙනි.

එලෙස ඇතුලු වූ හොරා විශ්‍රාමික ගුරුවරිය අසල පැමිණෙද්දී ඇය හොරා දැක කෑ ගසන්නට වුවාය. ඒ සැණින් ඇය අල්ලාගත් ඔහු ඇගේ කට වැසීමට උත්සාහ කළ ද ඇය ඊට ඉඩ නොදී ඔහු හා පොර බදන්නට වුවාය. ඒ... අවස්ථාවේ දී ඔහුගේ ඉණේ වක් පිහියක් ද තිබෙනු ඇය දුටුවාය. එහෙත්.... ඇය ඊට බිය වුයේ නැත.

ඇය හොරා සමඟ පොර බැදුව ද ඔහු ඇයගේ කෑ ගැසීම නතර කීරීම සඳහා උපක්‍රමයක් යෙදීය. ඒ... ඔහු හැඳ සිටි කමිසය ගලවා එය ඇයගේ මුව තුළට එබීමයි.

ඇය ඊට ද ඉඩ නොදුන් නමුත් වයෝවෘද්ධ ඇයට මේ තරුණයා සමඟ පොර අල්ලා දිනන්නට හැකි වුයේ නැත. ඇයගේ මුවට සිය කමිසය එබු හොරා අල්මාරිය විවර කොට රෙදි බිමට ඇද දමමින් රත්තරං බඩු මුදල් සොයන්නට විය. එහෙත්.... ඔහුට එලෙස වැඩි වේලාවක් කල් ගෙවීමට හැකි වුයේ නැත.

ගුරුවරියගේ නිවෙස දෙසින් ශබ්දයක් ඇසුන බැවින් අසල්වාසීන් ඒ පිළිබඳ සෙවීමට ඇයගේ නිවෙස වෙත පැමිණියේය. ඔවුන් එනු දුටු හොරා පැන ගිය අතර ගම්මු එක්ව ඔහු සෙවුවද රාත්‍රිය උදාවී තිබු බැවින් ප්‍රදේශය පුරා පැතිර ගිය තද අන්ධකාරය නිසා ඔහු අල්ලා ගැනීමට ගම්මුන්ට හැකි වුයේ නැත.

ගුරුවරියගේ මුව තුවාල වී රුධිරය ගලා යයි. හොරා සමඟ පොර බැදීම හේතුවෙන් ඇය දැඩි ලෙස වෙහෙසට පත්ව ඇත. අසල්වාසීන් එක්ව ඇය රෝහලට රැගෙන ගිය අතර තලාතුඹය පොලිසියට මේ බව දන්වා සිටිමට ද ඔවුහු කටයුතු කළහ.

තලාතුඹය පොලිසිය එදින රාත්‍රියේම මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළේය. නිවෙසට පැමිණි හොරා ඇඳගෙන සිටි කමිසය සහ රැගෙන ආ වක් පිහිය නිවෙසේ දමාගොස් ඇත. එහෙත්... ඒවා කාගේ ද යන්න සෙවීම පොලිස් නිලධාරීන්ට එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. අස්ගිරිය නිල සුනඛ ඒකකයෙන් අපරාධ නිල සුනඛයකු කැඳවීමට තලාතුඹය පොලිසිය තීරණය කළේ ඉන් අනතුරුවය.

නිල සුනඛ ඒකකයේ ස්ථානාධිිපති වරයා මෙම මෙහෙයුම පැවරුවේ කොස්තාපල් (67126) නලීන් විජේසිරිටය.

ඒ අනුව සිය නිල සුනඛයා වන රෙජී ද සමඟ නලීන් එදින උදේ නවයහමාර පමණ වන විට සිද්ධිය වූ නිවෙස වෙත ගියේය. හොරා දමා ගිය කමිසය සහ වක් පිහිය නඩු භාණ්ඩ ලෙස මෙන්ම රෙජී ට ඉව කිරීමට දීම සඳහා ද පොලිසිය විසින් සුදානම් කර තිබිණි.

නලීන් මේ දෙකම රෙජී ට ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේය. ඒවා හොඳින් ඉවකළ රෙජී නිවෙසින් පිට වුයේ පිටුපස දොරෙනි. නිවෙස පිටුපසින් උඩහට පාරකි. එම මාර්ගයට අවතීර්ණ වූ රෙජී කන්ද තරණය කරන්නට වුයේ මානා පඳුරු වූ අතරින් අඩිපාර ඔස්සේය. එම කන්දෙන් එහා පැත්තට යාමට ඇති කෙටි මාර්ගය පිහිටා ඇත්තේ කන්ද වටේටය. ඒ ඔස්සේ කන්දෙන් එහා පැත්තට යාමට වැඩි දුරක් ගෙවිය යුතුය.

මානා පඳුරු අතරින් කන්ද මුදුනට ගිය රෙජී ඊළඟට අනෙක් පසට කන්ද බැසීමට පටන් ගත්තේ පහළට වු පඩිපෙළ ඔස්සේය.

එලෙස කන්ද තරණය කළ රෙජී ගං ඉවුරක් අසලට ගියේය. ඉවුර දිගේ ටික දුරක් ගිය රෙජී ඒ අසල වූ නිවෙසක් දෙසට හැරිණි. ඒ වන විට රෙජී සිද්ධිය වූ නිවෙසේ සිට කිලෝමීටර් දෙකකට වැඩි දුරක් ගමන්කොට තිබිණි.

එය... ටකරං වහළකින් සමන්විත බිලොක් ගලෙන් සැදු කුඩා නිවෙසකි. එම නිවෙස ඉදිරිපිට වයස අවුරුදු තිස් පහක හතළිහක පමණ කාන්තාවක සිටිනු දක්නට ලැබිණි.

භයානක පෙනුමකින් ද උස මහතින් ද යුතු සුනඛයකු පෙරටු කරගෙන පොලිස් කණ්ඩායමක් සිය නිවෙස වෙත එනු ඇය විමසිල්ලෙන් බලා සිටියාය. මෙම ගමන යද්දී රෙජී ට ඉව ඇල්ලීමට දුන් කමිසයත්, වක් පිහියත් රැගෙන ගියේ මඟ දී යළි රෙජීට ඉව ඇල්ලීමට දීම සඳහාය.

මෙම කණ්ඩායම එනු දුටු නිවැසි කතගේ වැඩි අවධානය යොමු වුයේ නලීන්ගේ අතේ තිබෙන භාණ්ඩ දෙසය. ඒ...ඒවා.. ඇයට හොඳට දැක පුරුදු නිසාය. එනම් ඒවා මස්සිනාගේ බව හොඳින් හඳුනන නිසාය.

ඒවා කාගේදැයි ඇසු විට ඒවා සිය මස්සිනාගේ බව කියන්නට ඇය වැඩි වේලාවක් ගත කළේ නැත.

රෙජී ගේ ඉවෙන් සොයාගත් සැකකරු පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබිණ.