මෙල් ගුණසේකරගේ ඝාතකයා ට මරණ දඬුවම

මෙල් ගුණසේකරගේ ඝාතකයා ට මරණ දඬුවම

වසර 20ක සිර දඬුවම් ද නියම වෙයි

දිනය - 2017 ජුලි මස පස් වැනිදා

ස්ථානය - අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 07 මහාධිකරණය

මහාධිකරණ විනිසුරු - පියසේන රණසිංහ මහතා

විත්තිකරු - අරුලාන්දු ඇන්තනී සැමිසන් ජෝර්ජ්

විභාග වන නඩුව - බත්තරමුල්ල, සුභූතිපුර, දුටුගැමුණු මාවතේ පදිංචිව සිටි මාධ්‍යවේදිනියක හා පෞද්ගලික ආයතනයක විධායක නිලධාරිණියක ලෙස සේවය කළ මෙලීෂියා ගුණසේකර මෙනවිය ඝාතන නඩු විභාගයේ අවසන් දිනය, එනම් චුදිතට දඬුවම් පමුණුවන දිනය

සැකකරුට එරෙහිව නඟා තිබු චෝදනා - 1)අයුතු ලෙස නිවෙසකට ඇතුල්වීම

2)කොල්ලකෑම සඳහා මාරක ආයුධයක් පාවිච්චි කිරීම

3)පිහිවලින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ කිරීම

එදින උදේ දහයාමාර පමණ වන විට නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමට සියල්ල සුදානම් කෙරිණි. අධිකරණ ශාලාවේ සිටි මෙම නඩුවට අදාල නොවන පුද්ගලයන් පිටතට යවා දොර ජනේල වසා නඩුවේ අවසාන පියවර ආරම්භ කෙරිණි.

තමාට කීමට යමක් ඇත්දැයි මහාධිකරණ විනිසුරු වරයා චුදිතගෙන් විමසුවේය. විත්තිකුඩුවේ සිටි චුදිත කඳුලු සලමින් සුසුම් හෙළමින් තමාගේ දුක් ගැනවිල්ල කියන්නට පටන් ගත්තේය.

“ස්වාමීනි. මම දරුවෝ හතර දෙනෙකුගේ තාත්තා කෙනෙක්. මගේ පවුලට රස්සාවක් නෑ. මම නැතිවුණොත් මගේ දරුවොයි. පවුලයි අනාථ වෙනවා. ඒක නිසා මට අනුකම්පා කරලා සමාව දෙන්න.”

චුදිත සැමිසන් ජොර්ජ් ගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව නඩුවේ පැමිණල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා පවසා සිටියේ විත්තිරකරුට නඟා ඇති පළමු චෝදනාව වන අයුතුලෙස නිවෙසකට ඇතුලු වීමේ වරදට වසර දහයක උපරීම සිර දඬුවමක් ද , දෙවන චෝදනාව වන කොල්ලකෑම සඳහා මාරක ආයුධයක් පාවිච්චි කිරීමේ වරදට වසර විස්සක උපරීම සිර දඬුවමක් ද ලබාදිය හැකි බවය.

වරදෙහි බරපතලකම හා සමාජයට ආදර්ශයක් වන අයුරින් විත්තිකරුට උපරීම දඬුවම් නියම කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීම වුයේ විත්තිකරුට උපරීම දඬුවම් නොපමුණුවන ලෙසය. එනම් ඔහු මහාධිකරණ විනිසුරු ඉදිරියේ පවසා සිටියේ විත්තිකරු සිව්දරු පියකු බවත්, බිරිඳ රැකියාවක් නොකරන බැවින් විත්තිකරුට උපරිම දණ්ඩන නියම කිරීම හේතුවෙන් දරුවන්ට පියා අහිමි වන බවත්, ඔවුන් අසරණ වන බවත්ය.

මේ සියලු කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා චුදිතට එල්ල වී ඇති චෝදනා තුනට වෙන වෙනම දඬුවම් නියම කළේය.

ඒ අනුව පළමු චෝදනාව වන අයුතු ලෙස නිවෙසට ඇතුලුවිමේ වරදට වසර දහයක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ රුපියල් පන්දහසක දඩ මුදලක් ද දඩය නොගෙවන්නේ නම් වසරක සැහැල්ලු සිරදඬුවම් ද නියම කළේය.

දෙවන චෝදනවා වුයේ කොල්ලකෑමේදී මාරක ආයුධයක් පාවිච්චි කිරීමයි. එම චෝදනාවට වසර විස්සක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ද රුපියල් පන්දහසක දඩයක් ද එය නොගෙවන්නේ නම් වසරක සැහැල්ලු සිර දඬුවම් ද නියම කළේය.

ඔහුට එල්ල වූ තුන්වන චෝදනාව වුයේ පිහිවලින් ඇන පුද්ගල ඝාතනයක් සිදු කිරීමයි. එම චෝදනාවට විත්තිකරුට මරණ දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරු වරයා විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ජනාධිපති වරයා නියම කරන දිනයක. වේලාවකදී වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතර තුළ ප්‍රාණය නිරුද්ධ වන තෙක් ගෙළ වැළලා එල්ලා තබන ලෙසට නියෝග කළේය.

විත්තකරු සිදුකළ වරදේ බරපතලකම සලකා සමාජයට ද ආදර්ශයක් වන අයුරින් විත්තිකරු හට උපරීම දණ්ඩනයක් නියම කිරීමට අධිකරණය තීරණය කළ බවද මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණ විනිසුරු වරයා ප්‍රකාශ කළේය.

ඒ වන විට ද හඬමින් සිටි චුදිතයා මෙම දඬුවම් නියම කිරීමෙන් අනතුරුව අනුකම්පාව අයැදින දෑසින් තව දුරටත් හඬා වැටෙන්නට විය. එහෙත්.... ඒ කඳුලු වලට අනුකම්පා කරන්නට නීතියේ ප්‍රතිපාදන නැත. එලෙසම මෙවැනි අපරාධ කරුවන්ට නීතියේ පමණක් නොව සමාජයේ කාගේවත් අනුකම්පාව හිමි නොවන බවනම් සහතිකය.

කළුබෝවිල දෝන මෙලීෂියා ගුණවර්ධන විදේශ මාධ්‍ය ඒජන්සිවල සේවය කළ මාධ්‍යවේදිනියකි. මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම විධායක නිලධාරිණියක ලෙස ආයතනයේත් හිතු මිතුරු කා අතරත් ඇය ප්‍රසිද්ධව සිටියේ මෙල් ගුණසේකර ලෙසටය.

මෙල් උපතින්ම කතෝලික ආගමේය. සෑම ඉරිදා දිනකම උදේ පාන්දර මෙල් ඇතුලු මව පියා සහ මල්ලී පල්ලි යාමට පුරුදුව සිටියහ. දෙදහස් දා හතර වර්ෂයේ පෙබරවාරි පළමුවැනිදා යනු සෙනසුරාදා දිනයකි. මෙල් එදින උදේම නිවෙසින් පිට වුයේ මාධ්‍ය චාරිකාවකට සහභාගී වීම සඳහාය.

ඈත දුර ප්‍රදේශයක මාධ්‍ය චාරිකාවේ යෙදුණ ඇය ආපසු නිවෙසට පැමිණියේ පසුදා එනම් දෙවැනි ඉරිදා අලුයම් කාලයේදීය. අධික වෙහෙස නිසා ඇය එදින උදේ දේව මෙහෙය සඳහා පල්ලි යාමට සුදානම් වුයේ නැත.

ඇයට විවේක ගැනීමට ඉඩ දුන් පවුලේ අනෙක් තිදෙනා උදේ හයහමාර පමණ වෙද්දී පල්ලියට යාම සඳහා නිවෙසින් පිටව ගියහ.

දේව මෙහෙය අවසන්වීමෙන් අනතුරුව මේ තිදෙනා නිවෙසට පැමිණෙන විට වේලාව උදේ නවයට ආසන්නව තිබිණි. තාප්ප බැඳ ගේට්ටු යොදා අරක්ෂාකාරී ලෙස සකසා තිබු මෙම නිවෙසේ ආරක්ෂාව සඳහා සුනඛ සුරතලුන් කිහිප දෙනෙකුද සිටියහ.

මෙල් ගේ පවුලේ අය නිවෙස වෙත පැමිණේද්දී දුටුවේ ගේට්ටුව හැර දමා ඇති බවත්, සුනඛයන් පාරේ සිටින අයුරුත්ය. මෙය කිසිදිනෙක සිදුවිය නොහැකි දෙයකි. තෙහෙට්ටුව නිසා නිදා ගත් මෙල් පෙනේනට නැත.

දුටු දෙයින් කලබලයට පත් මෙල් ගේ පවුලේ අය විවරව තිබු ගේට්ටුවෙන් ඇතුªලුවුයේ අවිනිශ්චිත හැඟීම් ඇතිවය. විවර තිබු ඉදිරිපස දොරින් ඇතුලු වූ මව ඉදිරියට දිව යද්දී මුලුතැන්ගෙයි අමුත්තක් ඇති බව ඈත තියාම දුටුවාය.

එබැවින්.... ඇය වහ වහා මුලුතැන්ගෙය වෙත දිව ගියාය. එලෙස දිව ගිය ඇය එකවරම නතර වී කෑගසන්නට වූ අතර පියා ද මල්ලී ද ඇය සිටි දෙසට දිව යන්නට වුයේ කුමක් හෝ ඇදහිය නොහැකි යමක් සිද්ධි වී ඇති බවට සැකකරමිනි.

මුලුතැන්ගෙය ලෙයින් රත්පැහැ ගැන් වී ඇත. මෙල් බිම වැටී සිටී. ඇය මියගොසිණි. ඇයගේ උදරයේ කැඩුණු පිහියක කොටසකි. ගෙළෙහි ගැඹුරු කැපුම් තුවාලයකි. ඊට අමතරව සිරුර පුරාම පිහිපාරවල් දක්නට ඇත.

මෙල් ගුණසේකර මරා දමා ඇති බවට තලංගම පොලිසියට තොරතුරු ලැබෙන විට වේලාව උදේ නවය පසු වී තිබිණි. තොරතුර ලද සැනින් පොලිස් කණ්ඩායමක් සුභූතිපුර, දුටුගැමුණු මාවතේ මෙල් ගේ නිවෙසට ගොස් පරීක්ෂණ ආරම්භ කළේය. මෙල් මරා දමා තිබු ස්ථානයේ නියනක් සහ බුලත් විටක් වැටී තිබී පොලිසියට හමුවිය. මෙල් ගේ නිවෙසේ බුලත් හපන කිසිවකු නැත. එබැවින් මේ බුලත් විට ඇය මරා දැමු පුද්ගලයා රැගෙන ආ එකක් විය යුතුය.

බොහෝ විට බුලත් කෑමට ඇබ්බැහිව සිටින්නේ ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ නිතරව සිටින කම්කරුවන්ය. මෙල් ඝාතනයත් මෙවැනි කම්කරුවකුගේ නොඑසේ නම් බාස්කෙනකුගේ වැඩක් විය හැකිය යන සැකය පොලිසියට මතුවිය.

මෙල් ගුණසේකර ඝාතන සිද්ධිය එවකට බස්නාහිර දකුණ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහට දැනුම් දීමට තලංගම පොලිසිය කටයුතු කළේය.

ඒ දැනුම් දීමෙන් අනතුරුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ද මෙම පරී්ක්ෂණ සඳහා එක් කිරීමට නියෝජ්‍ය පොලිස්පති වරයා කටයුතු කළේය.

මෙල් ගේ නිවෙසට එම ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් ගිය අතර ඔවුන් පරීක්ෂණ ආරම්භ කළේ බුලත්විට මුල් කරගෙනය.

“මේ ගෙදර ලඟදී බාස් ලා වැඩ කළාද?

“ඔව් .... ගිය දෙසැම්බර් මාසේ පේන්ට් බාස් කෙනෙක් මේ ගෙදර වැඩ කළා. ඒ ඇරෙන්න වෙන කවුරුවත් වැඩ කළේ නෑ.”

පොලිසිය ඇසු පැනයට පවුලේ අයගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි.

පරීක්ෂණ කණ්ඩායම ඉන් අනතුරුව කළේ මෙම නිවෙස අසල පිහිටි නිවෙස් වල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා වල රූගතව ඇති දර්ශන පරීක්ෂා කිරීමයි.

එක් නිවෙසක වු සී.සී.ටී.වී. කැමරාවක සැකකරුගේ ගමන් බිමන් හොඳින් රූගතව තිබිණි. ඔහු පැමිණෙන අයුරුත් ඊට ටික වේලාවකට පසු වෙනත් ඇඳුමකින් සැරසී පාර්සලයක් ද ඇතැතිව ආපසු යන අයුරුත් එහි සඳහන්ව තිබිණි. එම රූගත දර්ශන මෙල් ගේ පවුලේ අයට පෙන්වීමට පොලිසිය කටයුතු කළේය.

“මේ අපේ ගේ පේන්ට් කරපු පේන්ට් බාස් තමයි. මිනිහා යද්දී ඇඳගෙන යන්නේ මගේ ඇඳුම්.”

මෙල් ගේ මල්ලී ඇතුලු පවුලේ අය ඒ පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගත්හ.

මෙල්ගේ පියා කොළඹ පෞද්ගලික ආයතනයක උසස් නිලධාරියෙකි. නත්තලට පෙර තීන්ත ගා නිවෙස අලුත් කිරීමට අදහස් කරගෙන සිටිය ද ඒ ස ඳහා බාස් කෙනකු සොයා ගැනීමට නොහැකිවිය. මෙම ආයතනයේ කම්කරු සේවයේ යෙදී සිටින කාන්තාවකගෙන් මෙල් ගේ පියා පේන්ට් බාස් කෙනෙකු සොයා ගන්නට පුලුවන්දැයි විමසා තිබිණි. ඇය පවසා තිබුණේ “අපේ අයියටත් හොඳට පේන්ට් වැඩ පුලුවන්. මම එයාව කතා කරලා දෙන්නම්.” ලෙසටය.

ඇයගේ අයියා අරුලාන්දු ඇන්තනී සැමිසන් ජොර්ජ්ය. ඔහු මෙල් ගේ ගෙදර කැඳවාගෙන යන්නේ පියාගේ කාර්යාලයේ කම්කරු කාන්තාව විසිනි. පේන්ට් බාස් ඉතා හොඳින් උනන්දුවෙන් වැඩේ කළේය. මසකට ආසන්න කාලයක් මෙම නිවෙසේ නතර වෙමින් ද නිවෙසට යමින් එමින් ද තීන්ත ආලේප කළ ඔහු මේ පවුලේ අයට හොඳට මතකය.

දොම්පේ පදිංචි කරුවකු වූ ඔහු සොයා මිරිහාන ඒකකයේ නිලධාරී පිරිසක් පිටත්ව ගිය අතර එදින සන්ධ්‍යාවේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

ඒ වන විට ඔහු නිවෙස බලා යමින් සිටියේය. මෙල් මරා දමද්දී හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් පාර්සලය ද ඔහු අත තිබිණි. ප්‍රශ්න කිරීමේදී ඔහු සිදු වූ සියල්ල විස්තර කළේය.

“අපේ නංගී තමයි මට ඒ ගෙදර ඕඩරේ අරගෙන දුන්නේ. මම හොඳට වැඩේ කළා කියලා පොරොන්දු වෙච්ච ගාණට වඩා රුපියල් දහ දාහක් වැඩියෙන් දුන්නා.”

“මේ ගෙදර කට්ටියට හොඳට සල්ලි රත්තරං බඩු තියෙන බව මම දැනගත්තා. ගෙදර ආරක්ෂාවට බල්ලෝ හිටියා. මම ඒ ගෙදර හිටපු දවස් ටිකේ කෑම දීලා බල්ලන්ව යාලු කර ගත්තා.”

“පහුගිය දවස්වල මට වැඩක් හම්බ වුණේම නෑ. අතේ සල්ලිත් නෑ. ගෙවල් කුලියවත් ගෙවා ගන්න විදියක් තිබුණේ නෑ. සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී මට බත්තරමුල්ලේ පේ්න්ට් කරපු ගේ මතක් වුණා. “

“හැම ඉරිදාටම උදේ හය, හය හමාර විතර වෙද්දී කට්ටියම ගේ වහලා පල්ලි යනවා. ආපහු එනකොට නවයට කිට්ටු වෙනවා. ඒ වෙලාවට ගෙට බැස්සොත් වැඩේ හොඳට කරගන්න පුලුවන් වෙයි කියලා මට හිතුණා.”

“පෙබරවාරි දෙවැනිදා උදේ ගේ කඩන්න හිතාගෙන මම පාන්දරම ගෙදරින් එළියට බැස්සේ වැඩකට යනවා කියලා. ඒ යද්දී ඉස්කුරුප්පු නියන් දෙකකුත් අරගෙන ගියා. උදේ හයයි හතළිස් පහ විතර වෙද්දී ඒ ගේ ළඟට ගිහින් ගෙදර ටෙලිෆෝන් එකට කොල් එකක් අරගෙන ගෙදර කට්ටිය ඉන්නවද ගිහින් ද කියලා බැලුවා. ෆෝන් එක උස්සපු නිසා ගිහින් නෑ කියලා තේරිලා මම එතැනින් යන්න ගියා.”

“ගිහින් විනාඩි විසිපහකට විතර පස්සේ ආපහු කෝල් කළා. ඒ පාර ඉස්සුවේ නෑ. කට්ටිය පල්ලි ගිහින් කියලා මට තේරුණා. ඊට පස්සේ තමයි මම ජනේලයක් කඩලා ගි‍්‍රල් එක ගලවාගෙන ගේ ඇතුළට ගියේ.”

“මම ගෙට ඇතුල්වෙලා අල්මාරිය තිබුණ කාමරේට රිංගලා අල්මාරිය කඩන්න හදද්දී සාලෙ පැත්තෙන් සද්දයක් ආවා. බලද්දී මෙල් නෝනා ගෙදර ඉන්නවා. නෝනා මාව දැකලා අඳුරගත්තා. නෝනා මට කිව්වා ඔයාට ඕන දෙයක් අරගෙන යන්න. මට කරදර කරන්න එපා. මම කාටවත් කියන්නේ නෑ කියලා.”

“ඒ කීම අහලා මම ගෙයින් එළියට බැහැලා ගියා. ඒත්... මට හිතුණා නෝනා පොලිසියට කියයි. එහෙම කිව්වොත් මාව අල්ලගෙන යයි කියලා.”

“මම ආපහු හැරීලා මෝනාලගේ ගෙදරට ගියා. ඒ යද්දී මෙල් මෝනා කුස්සියේ සිටියේ. නෝනා මාව දැකලා ආපහු මට යන්න කිව්වා.”

“මම ඔයාට කිව්වනේ ඕන දෙයක් අරගෙන යන්න කියලා. ඇයි ආපහු ආවේ. මම කාටවත් කියන්නේ නැහැ. මට කරදර නොකර ආපහු යන්න” කියලා මෝනා මට කිව්වා.”

“ඒත් මට ඒක විශ්වාස නෑ. මම කුස්සියේ තිබුණ පිහියක් අරගෙන මෙල් නෝනාට ඇන්නා. බඩට අනිද්දී පිහිය කැඩුණා. කුස්සියේ තිබුණ තව පිහියක් අරගෙන බෙල්ලට තියලා ඇදලා ඇනගෙන ඇනගෙන ගියා.”

“මගේ මුලු ඇඟේම ලේ, මම නෝනගේ මල්ලිගේ කලිසමකුයි ටී ෂර්ට් එකකුයි අරගත්තා. බාත්රුම් එකට ගිිහින් ඇඟ හෝදාගෙන ඒ ඇඳුම් ඇඳගෙන මම ඇඳගෙන හිටපු ලේ ගැව්ච්ච ඇඳුම් බෑග් එකකට දාගත්තා.”

‘මෙල් නෝනගේ මොබයිල් ෆෝන් එක මේසේ උඩ තිබුණා. මම එක අරගෙන වටපිට බලද්දී පර්ස් එකක් තිබුණා. එකේ රුපියල් එක්දාස් දෙසියක් තිබුණා. ඒ සල්ලිත් අරගෙන මම ගෙදරින් යන්න ගියා.”

අත්අඩංගුවට පත් දිනයේ ඔහු එලෙස සිද්ධිය පාපොච්චාරණය කළේය. අනතුරුව ඔහුගේ ඇඳුම්වල තැවරී තිබු රුධිරයත් මෙල් ගේ රුධිරයත් ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කළ අතර ඒවා සැසැඳිණි. එලෙසම මෙම නඩුවේ තවත් එක් ප්‍රබල සාක්ෂියක් වුයේ සී.සී.ටී.වී. කැමරා දර්ශනයි.

එනම් තාක්ෂණිකව මෙන්ම විද්‍යාකත්මකවද මෙල් ඝාතකයා මොහු බව ඔප්පු කර පෙන්වීමට පොලිසියට හැකිවිය. ඔහුට මරණ දඬුවම නියම වුයේ මොහුට එල්ල වූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබීම හේතුවෙනි.