කොටස්වලට කපා ගැබ්බර බිරිය මරා දාලා

කොටස්වලට කපා ගැබ්බර බිරිය මරා දාලා

ලේසි ඩෙනිස් රෝචා කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ගෙවතු වගා පිළිබඳ උපාධි අපේක්ෂිකාවක් වශයෙන් ඉගෙනීම කරන අතරතුරදී කඩවසම් තරුණයෙකු වූ ස්කොට් පීටර්සන් සමඟ මිතුරු දමක් ඇති කරගත්තාය. එම මිතුරුදම පේ‍්‍රමයකට පෙරැලී අවසානයේ ඇය පීටර්සන් හා විවාහ වුවාය.

විවාහ වී වසර දෙකක් ගියද ඔවුනට දරුවකු පිළිබඳ තිබු උනන්දුව සැබෑ වුයේ නැත. ඒ සඳහා නොයෙකුත් වෛද්‍ය පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව විවාහ වී වසර පහකට පසු ලේසිට දරු ගැබක් ඇතිවුවාය.

දරු ගැබ නිසා මහත් සතුටට පත්ව සිටි ස්කොට් හා ලේසි නත්තල ඉතා ඉහළින් සැමරීමට බලාපොරොත්තුවෙන් සිටියහ. එහෙත් දෙසැම්බර් 24 වැනිදා ලේසි අබිරහස් ලෙස අතුරුදන් වීම කාගේත් විමතියට හේතු විය. එදින මසුන් බෑම සඳහා ගොස් ආපසු නිවසට පැමිණි ස්කොට් සිය බිරිය ලේසි නිවසේ නැති බව වටහාගෙන ඇගේ මවගේ නිවසට කතා කොට ලේසි ගැන තොරතුරු විමසුවේය. ලේසි එහි නැතිබව දැනගත් ස්කොට් ඇය අතුරුදන්ව ඇතැයි ඇයගේ මව වන ෂැරොන්ට හා සොහොයුරිය වන ඒමිටද පැවසුවේ හඬා වැටෙමින්ය. මහත් සේ කලබලයට පත් ලේසිගේ මව වහා ඒ බව පොලිසියට දන්වා සිටියාය.

පොලිසිය ලේසිගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ ඇරැඹිය. ඔවුන් ලේසිගේ නිවෙස අවට පදිංචිකරුවන්ගෙන් ද ප්‍රකාශ ලබා ගත්තේය.

මේ අතර ලේසිගේ බලු සුරතලා වූ මැකෙන්සි මඩ තැවැරුණු කර පටිය හා දම්වැල සමඟ නිවසින් පිටව දිව යද්දී අල්ලාගෙන ලේසිගේ නිවස තුළට දැමු බව අසල්වාසී කාන්තාවක් පරීක්ෂණයට පැමිණි පොලිස් නිලධාරින්ට පැවසුවාය.

ලේසිගේ අබිරහස් අතුරුදන්වීම සමඟ ඇය සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කරනු ලැබු අතර එයට පොලිසිය ඇතුළු පවුලේ උදවිය, හිතවත් මිතුරු මිතුරියන් හා අසල් වැසියන් විශාල පිරිසක් සහභාගි වුහ. ඊට අමතර පොලිස් මුර සංචාරක රථ, හෙලිකොප්ටර් මෙන්ම අශ්වයින් හා සුනඛයන් ද මෙම මෙහෙයුම සඳහා යොදාගනු ලැබීය. අවට පවතින පොලිස් ස්ථාන වල නිලධාරින් රැසක් ද මෙම මෙහෙයුමට එක්කාසු කරගෙන තිබුණේ ලේසිට අපරාධයක් සිදු වන්නට කලියෙන් ඇය මුදාවා ගැනීම සඳහාය.

නත්තල ඔන්න මෙන්න කියා තිබියදී කිසිවකුට නොදන්වා මෙසේ අතුරුදහන් වීම ලේසි විසින් නොකරන බවට ලේසිගේ සැමියා මෙන්ම ඥාතින්ද විශ්වාස කළ අතර එම අතුරුදන්වීම වෙනුවෙන් පැවති පුවත්පත් සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂකයකු වූ ඇල් බ්‍රොචිනි පවසා සිටියේ මෙසේ අතුරුදන් වීම ලේසි විසින් කිසිදිනක හිතාමතා නොකරන බවය.

මේ අතර ලේසි ගැන තොරතුරක් ලබා දුන් කෙනෙකුට මුදලින් ඩොලර් 250,000 ක් ත්‍යාගයක් දෙන බවට ප්‍රකාශ කළ අතර පසුව එම මුදල ඩොලර් 500,000 දක්වා ඉහළ නැංවීය. ඒ බව පෝස්ටර් මගින් දන්වා තිබු අතර ලේසි පිටර්සන් කොමි යනුවෙන් වෙබ් අඩවියක් ද ඒ සමඟම ඇරැඹිණ.

මේ අතර ඊට දින කිහිපයකට පසු සැන්ෆ්‍රැන්සිස්කෝ වරාය අසල ඇවිදිමින් සිටි විවාහක යුවලකට සුනඛයකු විසින් ඔසවා ගෙන යන දරු කලලයක් දැකගත හැකි වු අතර ඔවුන් ඒ බව වහාම පොලිසියට දන්වනු ලැබීය. එම කලලයේ ගෙල වටා නයිලෝන් ටේප් පටියක් ඔතා තිබුණු අතර කලලයේ කැපුමක් ද දක්නට ලැබිණ. පසුව පොලිසිය ඒ අවට පිරික්සන්නට විය. ගැබ්ගත් කාන්තාවන් පළඳින ලා කහ පැහැති ඇඳුමකින් හා තණපටයකින් සැරසුණු කාන්තා මළ සිරුරක් දරු කලලය හමුවුනු ස්ථානයට සැතපුමක් පමණ දුරින් තිබියදී පොලිසියට හමුවුයේ ඉන් අනතුරුවය.

ඇයගේ මරණය සිදු වූ ආකාරය දැනගත හැකි නොවුයේ සිරුර නරක් වී තිබු නිසාය. එසේම ඇයගේ සිරුරු කොටස් වලට කපා වෙන්කොට තිබිණි. ඇගේ වැළමිට අතින් වෙන්කොට තිබු අතර එම කොටස් ද අතුරුදන්ව තිබිණ. දකුණු කකුල කපා දමා තිබු අතර වම් කකුලේ දණ හිසෙන් පහළ කොටස අතුරුදන්ව තිබිණ. දරු කලලයේ පැවැති ටේප්පටියට සමාන එකක් එම ඇඳුම් වල තිබී සොයාගන්නා ලදි. එසේම ඇගේ සිරුරේ තුවාල බොහොමයක් ඇති බවටත් ඉළ ඇට දෙකක් බිඳි ගොස් තිබු බවටත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය. මෙම මළසිරුරෙන් කලලය කපා වෙන් කොට තිබු බවටද අනාවරණය කරගන්නා ලදි. මරණ පරීක්ෂණ වලදී පැවැත් වූ ඩින්.එන්.ඒ වලට අනුමාන එම මළසිරුර හා දරු කලලය ලේසි පිටර්සන් ගේ බවට සනාථ කරගනු ලැබු අතර එම මරණ පරීක්ෂණය පැවැත් වූ ආචාර්ය ඇලිසන් ගැලොවේ ද නඩු විභාගයේදී විශේෂ සාක්ෂිකරුවකු ලෙස කැඳවනු ලැබීය.

මේ අතර ලේසිගේ සැමියා කිහිප වතාකදීම “ලේසි අතුරුදන්වී ඇතැයි” යනුවෙන් පැවසු ආකාරය ගැන පොලිස් නිලධාරින් තුළ කිසියම් සැකයක් ඇති කරන්නට සමත් විය. එසේම මාධ්‍ය කරුවන් හමුවීම ඔහු පෙන්වු නොකැමත්ත මෙන්ම එක් පුවත් පත් සාකච්ඡාවකදී ඔහු කෝපයෙන් ඉවත්ව ගිය අන්දම ගැනත් පොලිසියේ උකුසු ඇස යොමු වී තිබිණ. එහෙත් ලේසිගේ සොහොයුරු බ්‍රේන්ට් රෝචා ඇතුළු ඇයගේ පවුලේ උදවිය ලේසිගේ සැමියා ගැන කිසිදු සැකයක් නැති බව ප්‍රකාශ කර තිබිණ.

එහෙත් ලේසිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම පරික්ෂණ පැවැත්විය. එහිදී සැමියා පිළිබඳ නොයෙකුත් කතාන්දර හෙළි විය.

සම්බාහන ආයතනයක සේවය කළ එක්දරු මවක් වන ඇම්බර් ෆ්‍රේ නමැති කාන්තාව සමඟ සබඳතාවයක් පැවති බව ද පොලිසිය අනාවරණය කරගත්තේය. ඇය දික්කසාද වූ ගැහැනියකි.

මේ අතර ලේසි ගේ අතුරුදන් වීම රූපවාහිනී ප්‍රවෘත්ති වලින් දැනගත් ඇම්බර් වහා පොලිසියට පැමිණ ස්කොට් සමඟ පැවති සබඳතාවය ගැන දන්වා සිටියාය.

එසේම ලේසිගේ අතුරුදන් වීම සිදු වී සති දෙකකට පමණ පසු තමාගේ බිරිය මරණයට පත්වීම නිසා තමා කනවැන්දුම් අයකු බවටත් තම බිරිය නොමැතිව මුල්ම නත්තල ගත කළ බවත් ලේසිගේ සැමියා තමාට පැවසු බවද ඇම්බර් වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර සිටියාය. එසේම, ස්කොට් සමඟ දුරකථනයෙන් කථා කිරීමටත් එම සංවාදය තැටිගත කිරීමටත් ඇය පොලිසිය ඉදිරියේ එකඟ වුවාය.

පොලිස් නිලධාරින්ගේ අවධානය යොමුවු තවත් වැදගත් කරුණක් වන්නේ ලේසි මියයාමට කිහිප දිනකට පෙර ලේසි වෙනුවෙන් ඩොලර් 250,000ක් වටිනා රක්ෂණයක් ද ස්කොට් විසින් ලබාගෙන තිබීමයි.

මෙම සියළුම කරුණු සලකා බැලු පොලිස් නිලධාරීන් කැලිෆෝනියාවේ ලා ජොල්ලා ප්‍රදේශයේ පිහිටි ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රථ වාහන නවත්වන ස්ථානයේදී ස්කොට් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු ළඟ තිබී ඩොලර් 15,000 මුදලක් ද ජංගම දුරකථන හතරක් ද කැලැ ප්‍රදේශයේ නවාතැන් ගැනීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය ටෙන්ට් රෙද්දක් හා අනෙකුත් උපකරණ ද තුවක්කුවක් ද ඔහුගේ සොහොයුරු ජෝන් එඩ්වඩ් ගේ රියදුරු බලපත්‍රය හා වියාග්‍රා පෙති 12 ක් ද සොයාගැනීමට පොලිසිය සමත් විය. ඒ වන විට ලේසිගේ සැමියා සිය රැවුල හා කොණ්ඩය රන්පැහැ ගන්වා තිබිණ. එයින් පොලිසිය වටහා ගත්තේ ඔහු මැක්සිකෝවට පලා යාමට තැත් කිරීම සඳහා එසේ කර ඇති බවය.

පැවැති නඩු විභාගයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් රහස් පරීක්ෂක ඇල් බ්‍රොචිනි සාක්කි දෙමින් ස්කොට් විසින් නත්තල් දිනයේ සිට දිගටම ඔහුගේ අනියම් පෙම්වතිය වූ ඇම්බර් සමඟ දුරකථනයෙන් කථා කර ඇති බවට සඳහන් වාර්තා අධිකරණය හමුවට ඉදිරි පත් කළේය. ස්කොට් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු ළඟ තිබු සියළුම දේ අධිකරණයට ඉදිරිපත් කළ ඇල් බ්‍රොචිනි මීට දින කිහිපයකට පෙර ස්කොට් විසින් ඩොලර් 1400 ක් ගෙවා බෝට්ටුවක් ද ඩොලර් 3600ක් ගෙවා බෙන්ස් රථයක් ද මිලදී ගෙන තිබු බවද අධිකරණය හමුවේ පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ ස්කොට්ගේ අරමුණ වුයේ මැක්සිකොවට පැන යාම බව ද පැහැදිලි කර සිටියේය.

මේ අතර ඇම්බර් ෆ්‍රේ සාක්ෂියද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඇගේ සාක්කියද ස්කොට් පීටර්සන්ට එරෙහි වීම නිසා ලේසි පිටර්සන් හා කලල් දරුවා මරා දැමීම සම්බන්ධයෙන් ස්කොට් පීටර්සන් වරදකරු වූ අතර විනිශ්චයකාර ඇල්ෆ්‍රඩ් ඩෙලුචි විසින් ස්කොට්ට මරණ දඬුවම නියම කළේය.

නුපන් දරුවන් තුවාල කිරීම හා මරා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පිළිගත් ඇමෙරිකන් කොංග්‍රසය. එදා සිට එය නීතියක් බවට පත් කොට එම නීතිය ලේසි හා කොනර් නීතිය ලෙස හඳුන්වනු ලැබිය. එම කරුණ නිතීගත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් තබන අවස්ථාවට ලේසිගේ මව ද සහභාගි විය.

එදින ලේසිගේ මව ෂැරොන් රෝචා විසින් “For Laci - A mother’s Story of Love , Loss and Justice” යන ග්‍රන්ථය එළි දක්වනු ලැබු අතර එයින් උපයන මුදල් ලේසි හා කොනර් වෙනුවෙන් විශේෂ අරමුදලකට ද යොමු කරන බවද ඇය කීවාය.