“හිරවෙලා ඉන්න බන්ධනයෙන් මාව නිදහස් කරන්න”

“හිරවෙලා ඉන්න බන්ධනයෙන් මාව නිදහස් කරන්න”

අනුන්ට හිරිහැරයක්, කරදරයක්, පීඩාවක්, අපහාසයක් හෝ අලාභයක් සිදු කිරීමේ අරමුණෙන් යමෙක් සිතින් කයෙන් හෝ වචනයෙන් යමක් කරයි ද එය පාපයකි. අකුසල කර්මයකි. අකුසල කර්මයට ලැබෙන විපාකය ද අකුලස විපාකයක් ම වේ. එය තල වැපුරුවොත් තල අස්වනු ලැබේ. අමු වැපුරුවොත් අමු අස්වනු ලැබේ යැයි ජනවහරේ පවතින කතාවට සමානය.

සාගර තමන්ගේ නමටම ගැලපෙන ආකාරයෙන් සාගරයෙන්ම ජීවත් වන්නෙකි. දෙවුන්දර පදිංචි ඔහු ධීවර ව්‍යාපාරිකයෙකි. බෞද්ධයෙකි. ඔහුගේ බිරිය ඔහු සමඟ අමනාප වී සිය මව්පියන් කරා ගොස් ඇත. ඔවුන්ට දරු සම්පත් නැත. ඒ නිසා සාගර තනිවම ජීවත් වෙයි. රාත්‍රියට සාගරගේ නිවෙසේ අස්වාභාවික සද්ද බද්ද ඇහෙන්නට වූ අතර දුර්ගන්ධයක් ද පැතිරෙන්නට විය. රාත්‍රී නින්දේදී ස්ත්‍රියක් හීනෙන් පැමිණ ඔහුගේ බෙල්ල මිරිකන්න තැත් කරන විට බිය වී කෑ ගසාගෙන සාගර අවදි වෙයි.

දරුවකු පවා අහිමිව, විවාහය ද අසාර්ථක වී හරිහැටි නින්දක් නැතිව ශරීරයේ වේදනා සහිතව විඳවන ජීවිතයට සහනයක් පතා සාගර විවිධ වත් පිළිවෙත් ශාන්ති කර්ම සිදු කරන්නට වුවද ඒ කිසිවෙකින් කිසිදු සහනයක් ඔහුට නොලැබිණි. ඒ ශාන්තිකර්ම සඳහා අතේ තිබූ මුදල් ද වියදම් වී තිබිණි.

මිතුරකුගේ උපදෙසක් මත සාගර ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ආවේ ඉන් පසුවය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී තමන්ට එළඹ ඇති දුක් කරදර විස්තර කොට ප්‍රතිකාර ඉල්ලා සිටියේය.

පළමු දින ගවේෂණයේදීම සාගර වෙව්ලන්නට වූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඔහුට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ආපසු පැමිණි දිනයේ ද ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සාගරගේ ශරීරයට භූත ආත්මයක් ආවිෂ්ට වී දත් සපන්නටත් ගොරවන්නටත් දෑස් ලොකු කොට රවා බලන්නටත් පටන් ගත්තේය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම මූගේ නැන්දා.”

භූතාත්මය උත්තර දුන්නාය.

“නැන්දයි කිව්වේ”

“නැන්දයි කිව්වේ මූගේ තාත්තගෙ නංගී කමලාවතී.”

“කමලාවතී ජීවත්ව ඉන්දැද්දී මොනවද කළේ?”

“මම දේවාලයක් කළා.”

“මොනවා වෙලා ද මැරුණේ?”

“පපුවේ අමාරුවකින්”

“කොයි කාලෙද මැරුණේ?”

“දැනට අවුරුදු තුනකට විතර කලින්”

“ඇයි මේ සාගරට කරදර කරන්නේ?”

“මම මූ එක්ක තරහයි.”

“ඒ මොකද?”

“මූ මගේ දුව කසාද බැන්දෙ නැහැ. ඒකයි මම තරහා. මූ මගේ දුවත් එක්ක යාළුවෙලා හිටියා ඒත් කසාද බැන්දෙ නැහැ. වෙන ඥාති කෙල්ලක් එක්ක විවාහ වුණා.”

“ඔබේ දුව සමඟ මෙයා කොහොමද සම්බන්ධකම් පැවැත්තුවේ?”

“මූ එයාගේ මස්සිනා. මගේ දුව මූගේ නෑනා. මූට යමක් කමක් තියෙනවා. මම මූට වශී බන්ධනයක් කළා දුවට කැමති වෙන්න. ඒත් කොහොම හරි මූ මගේ දුව බැන්දෙ නෑ. ඒ නිසා මූව විනාශ වෙලා යන්නම මම වින බන්ධනයක් කළා.”

“ඒ කොයි කාලෙද?”

“දැනට අවුරුදු පහළොවක් විතර වෙනවා. ඒ බන්ධනය නිසා මූගේ විවාහය අසාර්ථක වුණා. ගෑනි මූව දාලා යන්න ගියා. ඔය අතරෙ මමත් මැරුණා. මගේ හිතේ මූ එක්ක තියෙන තරහ මළාට පස්සෙත් ඒ විදියටම තිබුණා. පස්සේ මමත් ගියා මූගෙන් පළිගන්න. එතකොට මූට කරලා තිබුණු වින බන්ධනයට බැඳලා හිටපු පෙරේතයා පැනලා ගියා. මාව බැඳුණා මමම කරපු බන්ධනයට”

පේ‍්‍රතිය කියන්නට වූවාය.

“දැන් ඔබේ දුවට කොහොමද?”

“අනේ. මහත්තයා කෙල්ලත් ලෙඩ ගානේ දුක් විඳිනවා.”

“තමන් දුවට විවාහයක් කර දෙන්න කළේ වැරදි වැඩක් නේ. වශී බන්ධනයක් කරලා බලෙන් විවාහ කරගන්න හැදුවා. ඊට පස්සෙ මේ සාගරව විනාශ කරන්න අමනුෂ්‍ය බන්ධනයක් කළා. අන්තිමට තමනුත් දුක් විඳලා මැරුණා. ඒ වින බන්ධනයට තමන් හිර වුණා. ඔන්න ඕවාට තමයි කියන්නේ අනුන්ට කළ දේ තමන් පිටටම කැරකිලා එනවා කියලා.. දිට්ඨධම්ම වේදනීය කර්ම කියලා පෙනි පෙනීම විපාක දෙනවා. දැන් දුවත් අසරණයි දුක් විඳිනවා.”

ගවේෂකවරයා භූතාත්මය ඉදිරියේ කියන්නට විය. ටික මොහොතක් නිහඬව සිටි භූතාත්මය යළි කටහඬ අවදි කළාය.

“අනේ මහත්තයා මට දැන් තේරෙනවා මා කළ වරද. මේ හිරවෙලා ඉන්න බන්ධනයෙන් මාව නිදහස් කරන්න”

පේ‍්‍රතිය ගවේෂකවරයා ඉදිරියේ බැගෑපත් වුවාය.

තවත් සතියක් බෝධි පූජා පවත්වා යළි පැමිණෙන ලෙසත් ඒ එනවිට නැන්දාගේ දුවද කැඳවාගෙන එන්නැයි ගවේෂකවරයා සාගරට උපදෙස් දුන්නේය.

සතියකට පසු නැවත එනවිට සාගර කමලාවතීගේ දියණිය ද කැඳවාගෙන ආවේය. ගවේෂකවරයා ඇගෙන් ද තොරතුරු විමසුවේය.

අමිමාගේ මරණයෙන් පසු මිදුලේ තිබුණු දේවාලය ගරා වැටුණු බවත් එතැන් සිට අයහපතක් මිස යහපතක් උදා නොවූ බවත් තමන් විවාහ වී සිටි සැමියා ද තමා අතහැර යන්නට ගිය බවත් ඇය ගවේෂකවරයා ඉදිරියේ කීවාය.

ඇය ගැන අනුකම්පා කළ ගවේෂකවරයා ඇගේ ශරීරයේ චක්‍ර පද්ධතිය ශුද්ධ කළේය. පේ‍්‍රතිය දුකෙන් මුදවාලීම පුණ්‍ය කර්මයක් බව සාගරට වටහා දී ගමේ පන්සලට හීලට දන් අඩුක්කුවක් පිරිනමා කමලාවතී ගේ නම කියමින් පැන් වඩා පින් අනුමෝදන් කොට පලතුරු වට්ටියක් ද රැගෙන අනුරාධපුරයට යෑමට සූදානම් වී නැවත එන්නැයි ගවේෂකවරයා සාගරට කීවේය.

දානය පිරිනමා සාගර නැවත පැමිණියේය. ඔහු රැගෙන ආ පලතුරු වට්ට්යට පේ‍්‍රතිය සම්බන්ධ කළ ගවේෂකවරයා එය අනුරාධපුර ශී‍්‍ර මහා බෝධි පරිශ්‍රයට යැව්වේ සාගරගේම අතේය.

දේවාලවලට සම්බන්ධ අයට උදව් කරන්නට එන්නේ ද ප්‍රේතයෝය. නැතහොත් පේ‍්‍රතියෝය. දේවාල කටයුතු අඩාල වූ දාට හිතවත්ව සිටි එම පේ‍්‍රතයින් උරණ වී දේව ගැති යැයි කියාගන්නා පුද්ගලයාද මරාගෙන යන බව මේ කියමනින් පෙන්නුම් කරන්නේය.