ෆෝඩ් මස්ටන් රථ ගනුදෙනුව

ෆෝඩ් මස්ටන් රථ ගනුදෙනුව

මෝටර් රථයේ හිමිකාරිත්වය දරන පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම මෝටර් රථය මන්ත්‍රී තීරුබදු සහන යටතේ ගෙන්වා ඇති බවය. ඔහු තවදුරටත් පවසා සිටියේ දැනට හිමිකාරිත්වය දරන පාර්ශ්වය එය මිල දී ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවත් එබැවින් මෙම මෝටර් රථය තවදුරටත් දිරාපත්වීමට ඉඩනොදී හිමිකාරීත්වයට බාරදෙන ලෙසත්ය.

කඩුවෙල පිහිටි ඔටෝ ගෲප් ඉන්ටර්නැෂනල් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම් භූමියේ කාලයක සිට දිරාපත්වෙමින් පවතින “ෆෝඩ් මස්ටන්” රථයක් පිළිබඳ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී) පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය වර්ෂය සැප්තැම්බර් මාසයේදීය.

ඒ.... වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් කරගෙන යන පරීක්ෂණයකදී හෙළි වූ තොරතුරු මතය. එම පරීක්ෂණයේදී එෆ්. සී.අයි.ඩීයට කට උත්තර දුන් සුරේෂ් එදිරිසිංහ යන අය පවසා සිටියේ රිය අනතුරකට ගොදුරු වී අබලන් තත්ත්වයට පත් වූ එම රථය තමාගේ මැදිහත් වීමෙන් කඩුවෙල සමාගමට ගෙනගිය බවයි.

මෙම රථය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් එකකි. එය මිල දී ගෙන තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු සහන ක්‍රමය යටතේය.

දෙදහස් දාහතර වර්ෂයේ මැයි මස පළමු වැනිදා මෙම රථය රිය අනතුරකට භාජනය වන්නේ බොරැල්ල පොලිස් බලප්‍රදේශයේදීය.

මෝටර් රථය පිටුපස ත්‍රිරෝද රථයක් ගැටී එහි ඇක්සල් එක කැඩී ගිය අතර එම රිය අනතුර සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් විය.

රිය අනතුර සිදුවන අවස්ථාවේ එම මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ සුරේෂ් එදිරිසිංහ යන පුද්ගලයාය. අනතුර පිළිබඳ පොලිස් පොතේ සටහන් වුවද මෝටර් රථය අයිතිකරුවන් විසින් රැගෙන ගොස් තිබුණේ පවතින නීති රීති වලට පටහැනිවය.

එනම්.... එක්සැමිනර් පැමිණ එය පරීක්ෂාකර බලා එහි අඩුපාඩු පෙන්වා දීමෙන් අනතුරුව මුදා හැරීම පවතින ක්‍රමවේදයයි.

එහෙත්.... මෙම මෝටර් රථය අනතුරට භාජනය වීමෙන් පසු පොලිස් විශේෂ කාර්යය බලකාය පැමිණ කැරියර් එකක දමාගෙන රැගෙන ගිය බව එෆ්.අයි.ඩි. ය කරගෙන යන පරීක්ෂණ වලදී හෙළි වී ඇත. එහෙත්.... මේ රිය අනතුර පිළිබඳ අධිකරණයේ පැවැති නඩුවේදී එදින මෝටර් රථය පදවාගෙන ගිය අය ත්‍රිරෝද රථ හිමියාට වන්දි මුදලක් ද ලබා දී තිබිණි.

මෙලෙස මෝටර් රථය පිළිබඳ කෙරුණු පරීක්ෂණ වලදී තව දුරටත් හෙළි වුයේ අබලන් තත්ත්වයෙන් ගරාජයේ තිබෙන මෝටර් රථය දෙදහස් දහසය වර්ෂයේ ජනවාරි මාසයේදී වෙනත් අයකුට විකුණා ඇති බවයි.

මෙම මෝටර් රථය විකිණු බවට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී) මාරු කිරීමේ ලියවිල්ලක් ද ඇත.

එය මිල දී ගෙන ඇත්තේ ශාන්ති නැමැති කාන්තාවකි. රුපියල් ලක්ෂ අසුවකට එය මිල දී ගෙන තිබුණත් ඇය එම මෝටර් රථය කඩුවෙල සමාගමෙන් රැගෙන ගොස් තිබුණේ නැත. මෙම මෝටර් රථය මිල දී ගැනීමට ඇයට රුපියල් ලක්ෂ අසුවක මුදලක් ලැබුණේ කෙලෙස දැයි සොයා බැලීමේදී හෙළි වුයේ ඉඩමක් විකිණීමෙන් ලබාගත් මුදල් බවයි.

මෙවැනි කරුණු හෙළි වීම හේතුවෙන් මෙම මෝටර් රථය ආනයනය කිරීමේදී හෝ එය විකිණීමේදී මුදල් අක්‍රමිකතාවක් හෝ සැකකටයුතු සිද්ධියක් වසන් කර ඇත් ද යන්න පිළිබඳ එෆ්.සී.අයි.ඩී.ය දිගින් දිගටම පරීක්ෂණ කරගෙන යයි.

මෙම මෝටර් රථ සිද්ධිය පිළිබඳ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන අතර පසුගිය තුන්වැනිදා නඩුව විභාගයට ගත් අවස්ථාවේ එෆ්.සී.අයි.ඩී.ය පවසා සිටියේ විමර්ෂණ අවසන් නොමැති බැවින් මෝටර් රථය තව දුරටත් රඳවා තබාගත යුතු බවයි.

මෝටර් රථයේ හිමිකාරිත්වය දරන පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පේ‍්‍රමනාත් දොළවත්ත මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම මෝටර් රථය මන්ත්‍රී තීරුබදු සහන යටතේ ගෙන්වා ඇති බවය. ඔහු තවදුරටත් පවසා සිටියේ දැනට හිමිකාරිත්වය දරන පාර්ශ්වය එය මිල දී ගෙන ඇත්තේ නීත්‍යානුකූලව බවත් එබැවින් මෙම මෝටර් රථය තවදුරටත් දිරාපත්වීමට ඉඩනොදී හිමිකාරීත්වයට බාරදෙන ලෙසත්ය.

මෙහිදී එෆ්.සී.අයි.ඩී.ය පවසා සිටියේ අදාල සිද්ධයේ දී අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් සැකකරුවන් අනාවරණය කරගැනීම සඳහා මෙම විමර්ශන සිදුකෙරෙන බවයි. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත් වරයා ලබන තිස් එක්වැනිදාට නඩුව කල්තැබු අතර එදිනට සිද්ධිය පිළිබඳ විමර්ෂණ අධිකරණයට වාර්ථා කරන ලෙස ද දැන්වීය.