රක්ෂණ වන්දි ගන්න බිරිය මරාදාලා

රක්ෂණ වන්දි ගන්න බිරිය මරාදාලා

“මට දරුවෙකු ඕනෑ. මේ ගෙදර හම්බ කරන්නේ මම. හැම දෙයක්ම මගේ. මට දරුවෙක් දෙන්න බැරිනම් මම ඔයාගෙන් දික්කසාද වෙනවා.” නිශා කිව්වා.

නිශා ඇගේ නමයි. නම වගේම ඇයත් ලස්සනයි. වෙම්බිලි ප්‍රදේශයේ ඉපදී හැදුණු වැඩුණු ඇය හින්දා ගුජරාටි සහ බ්‍රිතාන්‍ය ඉන්දියානු සම්භවකින් යුතු තරුණියක්. ඇය සිය නිවෙස පිහිටි ප්‍රදේශයේ කෝණඩ සැකසුම් ආයතනයක් පවත්වාගෙන ගියා. ව්‍යාපාරික කාන්තාවක් වගේම නිශා ස්වේච්ඡා පොලිස් කොස්තාපල්වරියක් ද වුණා. වසර තුනක්ම ඇය දක්ෂ පොලිස් නිලධාරියක ලෙස වෙම්බිලි පොලිස් ස්ථානයේ සේවය කළා.

නිශාට ෆාඩි හමුවුයේ මිතුරෙකු මාර්ගයෙන්. ඔහු ඉපදුණේ බීරූට්වල. හමු වී වසර හතකට පසු ඔවුන් විවාහ වුණා. ඔවුන් ඉන්පසු මුදල් යොදවා වාහන කුලියට දෙන ව්‍යාපාරයක් ආරමිභ කළා.

ෆාඩි ස්වභාවයෙන්ම කම්මැලි අයෙක්. මේ ගැන නිතරම නිශා ඔහු සමඟ වාද කළත් ඇය ඔහුට බෙහෙවින් ආදරය කළ නිසා හැමෝම කීවේ දෙන්නා හොඳ ආදරවන්තයින් බවයි. නිශාගේ ජීවිතයේ සිහිනයක් වී තිබුණේ ඉක්මනට දරුවකු හදා ගැනීමයි. ඇය මේ ගැන නිතර ම ෆාඩි හා කතා කළා.

“ෆාඩි මට ඔයාගෙන් බබෙක් ඕනෑ.”

“බලමුකෝ”

“එහෙම කියල බෑ අපි ඩොක්ටර් කෙනෙක් ළඟටවත් ගිහින් ඉක්මනට බබෙක් හදා ගන්න ඕනෑ.”

එහෙම වුණත් ෆාඩිගෙන් එයට එතරම් යහපත් ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. මෙතැනත් පොඩි රහසක් තිබුණා. ෆාඩි නිතර නිතර ගණිකාවක් මුණ ගැසුණා. මධ්‍යම ලන්ඩනයේ ගණිකා නිවාසයකදී හමුවුණු මේ ගැහැනියගේ නම ලෝරා. වයස අවුරුදු 25යි. ඒ වන විටත් ලෝරා සහ ෆාඩි පෙම්වතුන් බවට පත්වෙලයි හිටියේ.

කෙතරම් අගහිඟකම් තිබුණත් ෆාඩ් ලෝරා වෙනුවෙන් අත දිගහැර වියදම් කළා. ඔවුන් ඉතා ඉහළ අයකිරීම් සහිත හෝටල්වලදී මුණ ගැසුණා. එපමණක් නොවෙයි දෙදෙනා නිශාට හොරා වෙනත් රටවලට ද ගියා.

“නිශා මගේ තාත්තට අසනීපයි කියා දැනගන්න ලැබුණා. මං ලබන සතියේ ඊජිත්තු යනවා.”

ෆාඩි දිනක් නිශාට කිව්වා. එහෙත් ඔහු මේ ගමන ගියේ ලෝරා සමඟයි.

මේ කිසිවක් නොදත් නිශා සිය සැමියා සමඟ හවුලේ රක්ෂණ ආවරණයක් ද ලබා ගෙන තිබුණා. මේ රක්ෂණ ආවරණ යටතේ නිශා මිය ගියහොත් ෆාඩිට පවුම් 350,000 ක රක්ෂණ වටිනාකමක් ලැබෙනවා. ඊට අමතරව නිවසේ රක්ෂණයෙන් ද පවුම් 17000ක් ලැබෙනවා.

නිශාට ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. ඇගේ එකම බලාපොරොත්තුව වුණේ ඔහුගේ දරුවෙක්. නිශාට ෆාඩි නිසා දරුවකු නොලැබුණත් ලෝරා ට මේ අතර ඔහු නිසා දරුවකු ලැබෙන්න ආවා. එහෙත්, පසුව ඔහු සහ ඇය ලිතුවේනියාවට ගොස් ඒ දරු ගැබ ගබ්සා කරගත්තා.

මෙලෙස කාලය ගතවෙද්දී නිශා දරුවකු ගැන කියමින් ෆාඩිට තර්ජන කළා.

“මට දරුවෙකු ඕනෑ. මේ ගෙදර හම්බ කරන්නේ මම. හැම දෙයක්ම මගේ. මට දරුවෙක් දෙන්න බැරිනම් මම ඔයාගෙන් දික්කසාද වෙනවා.” නිශා කිව්වා.

නිශා ඔහු දික්කසාද කළොත් මුළු ලෝකයටම පේන්න ආදරවන්තයින් ලෙස සිටි දෙදෙනාගේ ලෝකය කඩා වැටෙනවා. ඒ විතරක් නෙවෙයි.

ෆාඩි ගත කරන දෙබිඩි ජිවිතයත් හෙළිවන්න පුළුවන්.

පසුවදා උදෙන්ම ෆාඩි නිවෙසින් පිටවුණේ නිශාට හොරා ලෝරා මුණ ගැසෙන්නයි.

එදා රෑ නිශාගේ ගෙදරට තරුණයෝ පස් දෙනෙක් හොරෙන් ඇතුළු වුණා. ඔවුන් හොරුන් බව දැනගත් නිශා කෙසේ හෝ ඔවුන් පලවා හැරීමට සමත් වුණා.

තවත් දවසක් උදාවුණා. එදා දවස තිස්සේම නිශා හිටියේ ෆාඩි සමඟ දරුවකු සම්බන්ධයෙන් රණ්ඩුවෙමින්. එදා රෑත් ෆාඩි කොහේ හෝ යන්න ගියා.

“ඔයා හොඳට දොර වහගෙන ඉන්න.”

ඔහු පිටත්ව යන්නට පෙර නිශාට පවසන්න අමතක කළේ නැහැ.

නිශාත් රෑ 10.30 පමණ ඇඳට ගියේ නිවෙසේ දොරවල් ජනෙල් හොඳට පරික්ෂා කරලයි. ඒත් රෑ මැදියම් නිශා ඇහැරුණේ ගේ තුළින් ආ ශබ්දයක් නිසයි. නිශා ඇඳෙන් බැස එද්දී දුටුවේ මොකද්ද?

ගේ ඇතුළේ මිනිහෙක්. නිශා කෑගහගෙන දුවන්න හදද්දී මිනිහා ඇය පසුපස පැන්නුවා. නිශා ගෙයි ඉදිරිපසින් එළියට පැන කෑගැසුවා. නිශා ගේ කෑගැසීම ඇසී දිව ආ අසල්වැසියෙක් මහ පාර අද්දර සිටි නිශා අස්වමින් වහාම ෆාඩිට දුරකථන ඇමතුමක් දුන්නා.

“නිශාට තුවාලයි ඉක්මනට එන්න.” ෆාඩි වහාම නිශා සිටි තැනට පැමිණියා. ඇගේ කකුලෙන් අධිකව ලේ ගලනු දුටු ෆාඩි ට කෑගැසුණා.

“මගේ දෙවියනේ, ඔයාට මේ මොකද්ද වුණේ?”

වහාම ගිලන් රථයක් කැඳවා නිශා රෝහල් ගත කෙරුණා. රෝහල් ගත කෙරුණු නිශා ළඟට වී ෆාඩි සිටියේ හැඬු කඳුළින්. එහෙත් නිශාගේ දිවි බේරා ගැනීමට වෛ්‍යවරුන්ට නොහැකි වුණා. පාදයේ බල නහරයක් කැපී යෑම නිසා අධික රුධිර වහනයෙන් නිශා මිය ගියා.

නිශාගේ මරණයත් සමඟ වෙම්බිලි ප්‍රදේශයම කම්පනයට පත්වුණේ ඇය ඉතා දක්ෂ පොලිස් නිලධාරිනියක් නිසයි. ඇගේ අවසන් කටයුතු වලින් පසුව පොලිසියට පැවරුණු රාජකාරිය වුයේ ඇයට පිහියෙන් කෙටු පුද්ගලයා අත්අඩංගුවට ගැනීමයි.

“අනේ මගේ නිශාට අනතුරක් කළ පුද්ගලයා සොයා ගන්නා උදව් කරන්න.” ෆාඩි ද ආයාචනා කළා.

පොලිසිය පළමුවෙන්ම කළේ ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර ඝාතකයන් සෙවීමට උත්සාහ දැරීමයි. අසල්වැසියන්ගෙන් ලද තොරතුරු ද පොලිසියට වැදගත් වුණා. අසල්වැසියන්ට නිශා කෑගසන ශබ්දය ඇසී තිබුණා.

‘ඒ මිනිහා පස්සෙන් එනවා.” යනුවෙන් ඇය පළමුවෙන්ම කෑ ගැසුවා.

“ඌ මට පිහියෙන් කෙටුවා.” නිශා මිළඟට කෑ ගසා ඇත්තේ එසේ කියමිනුයි.

මෙහිදී පොලිසියට ප්‍රශ්නයක් වුණේ නිශා කෑගසමින් එළියට එද්දී ඇග් අතේ ගෙදර මුළුතැන්ගෙයි පිහිය සහ විදුලි පන්දමක් ද තිබු බවට ලද සාක්ෂියයි. පසුව පොලිසිය නිගමනය කළේ නිවෙස ඇතුළේ පිරිමි කිහිපදෙනකු සිටින බව දුටු නිශා ආරක්ෂාව පතා පිහියත් විදුලි පන්දමත් අතැතිව එළියට දිවගොස් ඇති බවයි. ඇය පසුපස පැන්නු ඝාතකයා ඇගේ අතින් පිහිය උදුරා ඇගේ කකුලට කොටා ඇති බවත් පොලිසියේ නිගමනය වුණා.

ඒ සමඟම තවත් සාක්කියකින් හෙළිවුණේ සිද්ධිය වෙද්දී නිශාගේ නිවෙස අසල සිට පුද්ගලයන් දෙදෙනකු නික්ම ගිය බවයි. ඉන් අයෙක් හිස් වසා වැහි කබායක් වැනි යමක් පැළඳ සිටි අතර ඔහු එතැනින් දිව යෑම නිසා සැකයක් ඇතිවු බවත් ඒ සාක්කියෙන් හෙළිවුණා. එතැන සිටි අනෙක් පුද්ගලයා එතැනින් නික්ම ගියා මිස කෑ ගසමින් වැටී සිටි නිශා දෙස හැරී බැලුවේවත් නැති බව අනෙක් සාක්කියෙන් පැවසුණා.

“නිශා පොලිස් නිලධාරිනියක් නිසා මේ සිද්ධිය වැඩි මහජන අවධානයක් දිනා ගත්තා. ඔවුන්ගේ ගෙට ඇතුළුවීමට පැමිණි අයකු ඇගේම පිහිය උපයෝගී කරගෙන මේ ඝාතනය සිදුකළා විය හැකියි” යනුවෙන් පළාතේ පොලිස් නිලධාරියා ප්‍රකාශ කළා.

නිශා ඝාතනය වී මාස ගණනක් ගතවුවත් පොලිසියට නිශා ඝාතනය ගැන සැකකටයුතු පුද්ගලයකු සොයා ගැනීමට නොහැකි වුණා. මේ අතරවාරයේදී නිශාට තුවාල සිදු කළ ඇගේ පිහිය නිශාගේ නිවෙසට වැඩි ඈතකින් නොවූ කාණුවක තිබි හමුවුණා. ඉන් පසු පොලිසිය කළේ ඒ කාණුව අසල ප්‍රදේශයේ තිබෙන ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමයි. ඒ කැමරාවල සටහන්ව තිබු දර්ශන අනුව පොලිසිය දුටුවේ පිහිය හමු වූ ස්ථානයේ පාර අයිනේ නවතා තිබු මෝටර් රියකි. ඒ මෝටර් රිය හඳුනාගැනීමට පොලිසිය සමත් වුණා. කැමරා සටහන් අනුව අදාල මෝටර් රිය නිශා ඝාතනය සිදු වී මිනිත්තු 08ක් නවතාගෙන තබා යළි පිටත්ව ගොස් ඇති බව හෙළි වුණා.

කැමරා සටහන් අනුව එම මෝටර් රිය ටෝනි නමැත්තකුගේ බව පොලිසිය සොයා ගත්තා. ටෝනි යනු මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු වුවෙක්. ඒ මෝටර් රථය තමාගේ බව පිළිගත් ටෝනි පොලිසියට ඉතා ප්‍රවේශමෙන් සකසා ගත් කට උත්තරයෙක් ලබා දුන්නා.

ඔහු කී ආකාරයට තමා යාළුවෙක් සමඟ මෝටර්රියෙන් පැමිණි බවත් ලේ තැවරුණු පිහියක් ගැන තමා කිසිම දෙයක් නොදන්න බවත් ටෝනි පැවසුවා.

“මං ඔය කියන කිසි දෙයක් දැක්කේ නෑ මගේ යාළුවා කාර එකෙන් බැහැලා අයෙත් ටිකකින් නැග්ගා.”

ටෝනිගේ තොරතුරු සහ ඔහුගේ ජංගම දුරකථන වාර්තා අනුව පොලිසියට තවත් පුද්ගලයන් දෙදෙනක් කොටුකර ගත හැකි වුණා.

මේ අතරවාරයේදී ෆාඩි සිය පෙම්වතිය වන ලෝරා සමඟ ජිවත්වීම සඳහා නිශාගේ රක්ෂණ මුදල් ලබාගැනීමට කටයුතු යොදමින් සිටියා.

දිගින් දිගටම ටෝනිගේ දුරකථන සටහන් ඔස්සේ ගිය පොලිසියට අවසානයේ සොයා ගත හැකි වුයේ පුද්ගලයන් හතර දෙනෙකුගේ දුරකථන අංක එකිනෙකට සම්බන්ධ බවයි. ටෝනිගේ දුරකථනයෙන් රොජර් මාර්ගයෙන් තවත් අයෙකුට ද ඔවුන් කතා කර තිබුණා.

මේ අවසාන පුද්ගලයා කවුද? පොලිසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කළා.

මේ පුද්ගලයා කිසිවකු නොව නිශාගේ ආදරබර සැමියා වූ ෆාඩි. වහා ෆාඩි අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කළා. දුරකථනයේ දුටු සේයාරූ සමඟ පොලිසියට සියල්ල අවබෝධ වුණා. එහි වුයේ ෆාඩි සිය අලුත් පෙම්වතිය ලෝරා සමඟ පී‍්‍රතියෙන් කල්ගත කරන අන්දම දැක්වෙන සේයා රූ රැසක්.

පොලිසිය වහා ෆාඩිගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹුවා. බළලා මල්ලෙන් එළියට පැන්නේ එවිටය.

නිශා ඝාතනය කිරීම ෆාඩිගේ සැලැස්මක් ඇතිව සිදුවුවක්. ඔවුන්ගේ නිවෙසට පළමු අවස්ථාවේ හොරු පැමිණියේත් ෆාඩිගේ අනුදැනුම යටතේ බව පොලිසිය හෙළි කර ගත්තා. එහෙත්, එදා ඔවුන්ට නිශා ඝාතනය කළ නොහැකි වුණා.

අවසානයේ ඝාතනයක් නිශා අල්ලාගත් දිනයේ ඔවුන්ගේ නිවෙසේ දොර යතුරු ෆාඩි විසින් ඝාතකයන්ට ලබා දී ඇති බව හෙළි වුණා.

ෆාඩි දයාබර සැමියෙකුගේ භූමිකාව රඟපාමින් නිශා මරා දමා ඇත්තේ ඇගේ රක්ෂණ ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට බව පොලිසිය හෙළිකර ගත්තා.

නිශාගේ ඝාතනය ගැන නඩු විභාගය 2008 මැයි මස එංගලන්තයේ සුප්‍රසිද්ධ “ඕල්ඩ් බෙයිලි“ අධිකරණ ශාලාවේදී ඇහුණා. අවසානයේ ඝාතකයන් පැමිණි මෝටර් රියේ අයිතිකරු ටෝනි නිදහස් වු අතර අනෙක් තිදෙනා නිශාගේ මරණයට වරදකරුවන් වුණා. ඔවුන් සියලු දෙනාම 2026 වසර වනතෙක් සිරගෙට නියම කෙරුණා.