'සඳුන්' මැරුවාට 'ගඩ්ඩා' ඇතුළට

'සඳුන්' මැරුවාට 'ගඩ්ඩා' ඇතුළට

‘මම එදා ලයිසන්පුර වත්තේ බෝධිය ඇතුළේ හිටියේ. එතකොට රෑ දහයට විතර ඇති. එකපාරටම සරත් ඇවිල්ලා කෑ ගහලා කිව්වා රොහාන්ට කෙටුවා කියලා. රොහාන් සරත්ගේ යාළුවෙක්. ‘මං ඒ වෙලාවේ හිතුවේ ඒ මගේ විරුද්ධකාර පරිප්පුවා වෙන්න ඇති කියලා. රොහාන්ට කොටලා ත්‍රීවිලර් එකකින් පැනලා යන එවුන් පස්සේ අපි දෙන්නා තවත් ත්‍රිවිලර් එකකින් පැන්නුවා.’

සේදවත්ත උඩවත්තේ සිදුවූ ඝාතනයකට සැකපිට ගඩ්ඩා සංජීවට (47) සහ සරාට (41) ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පසුගියදා මාංචු දැමීය. පසුගිය 27 වැනිදා රාත්‍රී 10 ට පමණ සිදු කරන්නට ඇතැයි අනුමාන කෙරෙන මේ ඝාතනයෙන් පසුව කාටත් මුහුණ දෙන්නට සිදු වූ ගැටලුවක් වූයේ හැඳුනුම්පතක් හෝ අනන්‍යතාවක් හෙළි කරගත නොහැකි කපා කොටා ඝාතනය කළ මළසිරුර කාගේ ද යන්නයි.

දින පහක් ගතවන තුරුත් නාඳුනන මළකඳක් වශයෙන් සළකන්නට සිදු වු මේ මළසිරුර 37 හැවිරිදි වික්‍රමසිංහ ආරච්චිලාගේ සඳුන් ප්‍රියදර්ශන පෙරේරාගේ බව පොලීසිය හඳුනා ගැනීමත් අපූරු සිද්ධියකි. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (සී. අයි. ඩී) ප්‍රධානීන්ගේ උපදෙස් සහ අධීක්ෂණය සහිතව දියත් කළ මෙහෙයුම්වලදී මරණකරුටත් කලින් මේ මිනිමැරුමේ සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට හැකිවීමය.

ඔත්තු සේවා ඔස්සේ එසේ පොලීසිය මුලින්ම හඳුනා ගත්තේ ගඩ්ඩා සංජීව මෙම ඝාතනය පසුපස සිටින බවයි. ඒ අනුව උස්වත්තේ ගඩ්ඩාගේ නිවෙස සෝදිසි කළ පොලීසියට ගඩ්ඩා ආගිය අතක් නැති බව පෙනී ගියේය. ගඩ්ඩා සමඟ එකට එක් වී මෙම පුද්ගලයා කපා කොටා මැරූ බවට සැක කෙරෙන සරා ද ගඩ්ඩා සමඟම අතුරුදන් වීම නිසා පොලීසිය ඒ දෙදෙනාම එකට කොටුකර ගැනීමට හතර අතටම දැළ එලීය.

ඒ අතරතුර තොටලඟට නුදුරු කන්ටේනර් අංගනයක් අසලින් හමු වූ මළ සිරුර දින පහක් තිස්සේම ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබිණි. එහෙත් එය කිසිවකු හෝ හඳුනා නොගත්තත් පොලීසිය ගඩ්ඩලාව ලුහුබැඳීම අත්හැරියේ නැත.

අන්තිමේදී ඒ කැපවීමේ ප්‍රතිඵල පොලීසියට ලැබිණි. ඒ ඊට දින පහකට පසුව එනම් පසුගිය 31 වැනිදා සැකකාර ගඩ්ඩා සහ සරා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණ බාරවීමත් සමඟය.

පසුගිය 27 වැනිදා රාත්‍රියේ මන්නා පිහි අමෝරාගෙන එලවාගෙන ගියේ කවුරුන් පසුපසින්දැයි ගඩ්ඩලාගෙන් පොලීසිය ප්‍රශ්න කළේය. ඒ අනුව ගඩ්ඩා ඇත්තම කියන්නට විය. එහෙත් ඒ වනවිටත් සැකකාර ගඩ්ඩලා එක් වී කපා කොටා මැරූ තරුණයා කාගේ කවුරුන්දැයි පොලීසිය හඳුනාගෙන තිබුණේ නැත. ම්ලේච්ඡ අන්දමින් කපා කොටා මරා දමා තිබුණේ වික්‍රමසිංහ ආරච්චිලාගේ සඳුන් ප්‍රියදර්ශන පෙරේරා බව තහවුරු වූයේ ගඩ්ඩාගේ සහ සරාගේ පාපොච්චාරණයෙන් පසුවය. පොලීසිය සඳුන්ගේ නිවෙස සොයා ගත්තේ ද ගඩ්ඩාගේ මඟ පෙන්විම මතය.

ඒ අනුව මියගිය සඳුන් අවිවාහකයකු බවත් මවුපියන් නැති ඔහු සහෝදරයන් දෙදෙනකු සමඟ ජීවත්වන සේදවත්තේ උඩවත්තේ පදිංචිකරුවකු බවත් පොලීසිය හඳුනා ගත්තේය.

ඊළඟට පොලීසියට ගැටලුවක් වූයේ අපරාධවලට නැඹුරු ජීවිතයක් ගත කළ තරුණයකු බවට හෙළි නොවන සඳුන්ව ගඩ්ඩලා මේ තරම් කෲර අන්දමින් කපා කොටා මරන්නට හේතුවය. ඒ පිළිබඳ සැළකිල්ල යොමු කරන විට ගඩ්ඩාගේ පාපොච්චාරණයේ එන කරුණුත් වැදගත් වෙයි. ඒ මෙවැනි කතාවකි.

‘මම එදා ලයිසන්පුර වත්තේ බෝධිය ඇතුළේ හිටියේ. එතකොට රෑ දහයට විතර ඇති. එකපාරටම සරත් ඇවිල්ලා කෑ ගහලා කිව්වා රොහාන්ට කෙටුවා කියලා. රොහාන් සරත්ගේ යාළුවෙක්. ‘

‘මං ඒ වෙලාවේ හිතුවේ ඒ මගේ විරුද්ධකාර පරිප්පුවා වෙන්න ඇති කියලා. රොහාන්ට කොටලා ත්‍රීවිලර් එකකින් පැනලා යන එවුන් පස්සේ අපි දෙන්නා තවත් ත්‍රිවිලර් එකකින් පැන්නුවා.’

‘මං හිතුවේම පරිප්පුවා හරි උගේ ගෝලයෙක් හරි අපට වැඩේ දෙන්න ඇවිත් වෙන්න ඇති කිියලයි. ටික දුරක් ඒ ත්‍රීවිලර් එක ෆලෝ කරන් යද්දී කන්ටේනර් යාඩ් එක කිට්ටුවදී ඒ ත්‍රීවිලර් එකෙන් බැහැලා මන්නයක් අතේ තියන් යන එකෙකුව කරුවලේ පෙනුණා. අපි ඒකාට ගහලා දැම්මා. ඒ හරියේ එළිය වැඩි හින්ද ඌවත් ත්‍රීවිලර් එකට දාගෙන වෙන තැනකට ගෙනියන්න ගියේ. ඒත් ටික දුරක් යද්දී ඒකා අපෙන් බේරිලා පැනගත්තා. අපි තව ටිකක් එහාට ගිහින් ත්‍රීවිලර් එක නවත්වලා ඇවිදින් බිම ඉඳන් හිටිය එකාට ආයෙත් කෙටුවා.’

ඒ ගඩ්ඩලාගේ පාපොච්චාරණය වන නමුත් ඇත්තටම සිදු වූයේ එයමදැයි සැක කරන්නට තරම් තවත් හේතු නැතුවා නොවේ.

ගඩ්ඩා සහ සරා මේ අපරාධය කරන විට ඇඳ සිටි ලේ තැවරුණු ඇඳුම් ගිනි තැබීම එවැනි එක් කරුණකි. මේ සැකකරුවන් තමන්ගේ ඇඳුම් ගිනි තැබූ බවට කැලණියේ එක්තරා ස්ථානයක් පොලීසියට පෙන්වා දී ඇත. ඒ අනුව ගිනි තැබු බවට සැක කෙරෙන ඇදුම් වල කොටස් සොයා ගැනීමට පොලිසීයට හැකි විය.කෙසේ වෙතත් ගඩ්ඩාගේ පාපොච්චාරණය ඔස්සේ ගිය පොලීසියට මේ ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන මන්නා පිහිය සහ සඳුන් සරත්ගේ මිතුරාට කොටන්නට ගෙනා බවට ගඩ්ඩලා පෙන්වා දෙන මන්නා පිහිය යන දෙකම සොයාගත හැකි විය. ඒ ගඩ්ඩාගේ නිවෙස පිටුපස තිබෙන කීර කොටුවේ කුණු ගොඩක වළලා තිබියදීය. ඒ තියුණු බර ආයුධත් සමඟ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියම කෙරිණි.

පොලීසිය ගඩ්ඩාව මිනීමැරුමකට සැකපිට අත්අඩංගුව ගත් පළමු වතාව මෙය නොවේ. මීට කලෙකට පෙර වැල්ලම්පිටිය පොලිස් වැයික්කියේදී කළ මනුෂ්‍ය ඝාතන දෙකකටම පොලිසිය ගඩ්ඩාව සැක කළේය. ඒවා ද කපා කොටා සිදු කළ මනුෂ්‍ය ඝාතන වේ.

පසුගිය ජනවාරි පළමුවැනිදා වැල්ලම්පිටිය පොලිස් වසමේදී සිදු කළ ඝාතනයක ප්‍රධාන සැකකරු වන මේ වනවිටත් පොලීසියෙන් කට්ටි පනිමින් සිටින පරිප්පුවා. ගඩ්ඩාට අභියෝග කොට පළි ගැනීමට මාන බලමින් සිටී. ගඩ්ඩා අතින් සඳුන් මැරුම් කෑවේ එදා ඒ රාත්‍රියේ මන්නයක් අමෝරාගෙන ආවේ පරිප්පුවා හෝ ඔහුගේ ගෝලයකු බවට ගඩ්ඩා තුළ වූ සැකය නිසා විය හැකිය.

කොහොමටත් තමන්ට දවසකට රුපියල් පන්දහසකවත් කුඩු ඕනෑ බව කියන ගඩ්ඩා මේ අපරාධය සිදු කරන විටත් හෙරොයින් පානය කර සිටියා විය හැකි බව පොලීසියේ අනුමානයයි.

කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ (ඛ් ඛ් ච්) අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රතිලක මහතාගේ සහ ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති විමල් ශාන්ත ගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති ලක්සිරි ඇතුලු සැරයන් 25368 ප්‍රියන්ත, කොස්තාපල්වරු වන 70234 රුවන්ජීව, 84017 ජයසූරිය, 30441 රත්නායක, 29537 මධුසංඛ, 8637 ජයන්ත, 29613 වීරසූරිය ආදීහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිති.