කොසු මිටේ ඉවෙන් මිනීමරුවා සොයා දුන් "ජොනී"

කොසු මිටේ ඉවෙන් මිනීමරුවා සොයා දුන් "ජොනී"

ප්‍රධාන මාර්ගය ඔස්සේ ද කිලෝමීටර් එක හමාරක් පමණ ඉදිරියට ගිය ජොනී පේලි කිහිපයකින් යුතු ලැයිමයකට ඇතුලු විය. නිවාස පේලි අතරින් ගිය ජොනී එක් නිවෙසකට ගොඩ වී වටේ ඉව අල්ලා මොරෙයිමඩන් දෙස බැලීය.

නල්ලතන්නි ප්‍රදේශයේ පිහිටි පාලු තේ වත්තක පාරේ පුද්ගලයකු මරා දමා ඇත. ඔහුගේ සිරුරේ පිහි පහර කිහිපයකි. හිස චප්ප වී ඇත. ඒ විශාල කලුගලකින් එල්ල කළ පහරක් නිසා බව දුටු සැනින් පෙනී යයි. පහර දුන් බවට සැක කෙරෙන විශාල කලුගලක් ද මිය ගිය අයගේ හිස ආසන්නයේ දක්නට ඇත. ඒ අසල කොසු මිටක් ද වැටී ඇත. මෙම ඝාතන සිද්ධියේ පරීක්ෂණ ආරම්භ කළ නල්ලතන්නි පොලිසිය හැටන් අපරාධ නිල සුනඛයා එතැනට කැඳවීමට කටයුතු කළේ කිසිම හෝඩුවාවක් නොතිබුණ නිසාය.

හැටන් සිට නල්ලතන්නියට දුර කිලෝමීටර් විසි පහක් පමණය. නල්ලතන්නි පොලිසිය විසින් කළ දැනුම් දීමෙන් අනතුරුව “ජෙනී” සූදානම් කරගත් කොස්තාපල් (71136) මොරෙයිමඩන් උදේ එකොළහ පමණ වෙද්දී සිද්ධිය වූ තේ වත්තට ළඟා විය.

ජොනීට ඉව ඇල්ලීමට දීම සඳහා සුදුසු යමක් ඇත්දැයි සොයා බැලූ මොරෙයිමඩන් ට පරීක්ෂණ කණ්ඩායම කොසු මිට පෙන්විය. එය හොඳින් ඉව කළ ජොනී තේ වත්තේ මාර්ගය දිගේ කිලෝමීටර් එක හමාරක් පමණ පහළට ගොස් නල්ලතන්නි ප්‍රධාන මාර්ගයට පිවිසියේය.

ප්‍රධාන මාර්ගය ඔස්සේ ද කිලෝමීටර් එක හමාරක් පමණ ඉදිරියට ගිය ජොනී පේලි කිහිපයකින් යුතු ලැයිමයකට ඇතුලු විය. නිවාස පේලි අතරින් ගිය ජොනී එක් නිවෙසකට ගොඩ වී වටේ ඉව අල්ලා මොරෙයිමඩන් දෙස බැලීය.

ජොනී ඇතුලු වූ නිවෙසේ ඒ අවස්ථාවේ සිටියේ කාන්තාවක හා ළමයි කිහිප දෙනෙකි. ජොනී පෙරටු කරගෙන පොලිසිය පැමිණෙනු දුටු ලැයිමේ පදිංචි කරුවන් ද පොලිස් කණ්ඩායම පිටුපසින් පැමිණි අතර ජොනී ගිය නිවෙසට ද කොල්ලෝ කුරුට්ටන් ඇතුලුව පරීක්ෂණ වලට ද බාධා වන ලෙස හැසිරිණි.

“කෝ.... මේ ගෙදර තව කවුද ඉන්නේ”

“මගේ මිනිහා ඉන්නවා”

“දැන් කෝ මිනිහා”

“වැඩට ගිහිල්ලා සර්..”

පොලිසිය ඇසූ ප්‍රශ්න වලට නිවෙසේ සිටි කාන්තාව එලෙස පිළිතුරු ලබා දුන්නාය. අනතුරුව පොලිසිය මෙම නිවෙසේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර තමා මෙම ඝාතනය සිදුකළ බව හෙතෙම පිළිගත්තේය.

පොලිසිය සිදු කළ පරික්ෂණ වලදී හෙළි වූ තොරතුරුවලට අනුව මෙම ලැයිමේ පදිංචි කරුවන් වෙතින් විද්‍යාමාන වන්නේ මිනිස් සංහතියේ හැසිරීම් රටාවන් නොව තිරිසන් සතුන්ගේ හැසිරීම් රටාවකි.

දරුවන් සමඟ ලැයිම් කාමරයක ජිවත් වන ගැහැනුන් පිරිමින් නීතියෙන් විවාහ වූවෝ නොවෙති. දරුවන්ගේ පිය උරුමය ගැනද නිවැරදි සාක්ෂියක් නැත. තමන්ට කැමති කාන්තාවක සමඟ ලිංගික සබඳතා පවත්වන පිරිමි සමහර විටෙක කාන්තාවන් බෙදා ගැනීම උදෙසා ගහ මරා ගනිති.

දිනපතාම සවසට කසිප්පු බොන මොවුන් ගැහැනුන් සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ හොඳින් වෙරි වූ පසුවය.

මෙම ඝාතනය ද කාන්තාවකගේ ප්‍රශ්නයක් මත ඇති වූවකි. එනම් ඝාතනය සිදු කළ පුද්ගලයා සමඟ වර්ථමානයේ ජීවත්වන කාන්තාව සම්බන්ධයෙන් ඇති වූවකි.

“ඊයේ රෑ අපි බිව්වා. බොද්දී ඕකා කිව්වා උඹ තියාගෙන ඉන්න ගෑනි එක්ක ඉස්සර හිටියේ මම කියලා. ඒ කතාව දුර දිග ගියා. අපි බීලා ගෙවල් වලට යන ගමන් තේ වත්ත මැද පාරෙදි අපි දෙන්නා ගහගත්තා. මම මිනිහට පිහියෙන් ඇන්නා. මිනිහ බිම වැටුණා. ඒත්... මැරුණේ නෑ.”

“ඒ පාර මම පාර අයිනෙ තිබුණ කලු ගලක් අරගෙන ඔලුවට දමලා ගහුවා. ගහලා පාර අයිනේ තිබුණ කොසුමිටකින් ගහලා මම යන්න ගියා.”

අත්අඩංගුවට පත් සැකකරු එලෙස සිද්ධිය විස්තර කළේය. කිලෝමීටර් තුනක් පමණ දුර ඇවිද ගොස් “ජොනී” අපරාධකරුවකු සොයා දුන්නේ එලෙසිනි.

ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් ජොනී ඉපැදුණේ මෙරටදීය. එහෙත් ජොනීගේ අම්මත් තාත්තත් නෙදර්ලන්තයේය. ජොනීට මෙරට උපත ලැබීමට හැකිවීම අහඔු සිද්ධියකි. මීට වසර එකහමාරකට දෙකකට පමණ ඉහතදී පොලිස් නිල සුනඛ ඒකකය නෙදර්ලන්තයෙන් සුනඛයන් සිය දෙනකු මිලයට ගත්තේය. ඒ සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් වූ අතර ජොනී ගේ මවද මේ සුනඛයන් අතර සිටියේය. මෙරටට ගෙනවිත් ටික දිනක් ගත වෙද්දී ඇයගේ උදරය විශාල වීමට පටන් ගත්තේය. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරු පවසා සිටියේ ඇයගේ කුසෙහි පැටවුන් සිටින බවය.

එනම්... ඇය නෙදර්ලන්තයේදී ගැබ් ගෙන තිබූ නමුත් ඒ බව එරට සුනඛයන් අයිති ආයතනය දැන සිට නැත. දැන සිටියේ නම් ඇය කීයට වත් මෙරටට ලබා දෙන්නේ ද නැත. ඒ... ඇයගේ කුසෙන් බිහිවන පැටවුන් විශාල මුදලකට විකුණා ගැනීමට හැකිවන නිසාය.

ගැබ්ගත් බවක් නොදැන මෙරටට ලබාදුන් ඇය සුරතල් පැටවුන් හත්දෙනෙකු බිහි කළාය. ජොනී ඉන් එක් පැටියෙකි.

ජොනීගේ වයස අවුරුද්දයි මාස හතකි. ජොනී ඉපිද සති කිහිපයක් ගත වෙද්දී මොරෙයිමඩන් ට බාර විය. එදා සිට මොරෙයිමඩන් ජොනී හදා වඩා ගත්තේ, බලා කියා ගත්තේ දරුවකු ලෙසටය.

එක අතකින් බලද්දී ජොනී වාසනාවන්තය. ඒ.... සීතල රටක දේශගුණයට ගැලපෙන සතෙකුව ඉපිද සීත දේශගුණයක් සහිත පළාතක ජීවත් වීමට අවස්ථාව උදාවීම නිසාය.

වියලි දේශගුණයන් සහිත ප්‍රදේශවල සේවයේ නියුතු පොලිස් නිල සුනඛයන් කල් ගෙවන්නේ දැඩි අපහසුතා සමඟය. ඒ අවට පරිසරයේ රස්නයට ඔරොත්තු නොදෙන නිසාය. රාජකාරියකට කැඳවාගෙන ගියත් නිතරම විවේක ගැනීමට ඉඩ ලබා දිය යුතු වේ.

එහෙත්.. මොරෙයිමඩන් සිටින ජොනීට නම් ඒ තරමටම මහන්සිය දැනෙන්නේ නැතුවාට නිසැකය. එබැවින් ජොනී වාසනාවන්තය.