පිළියන්දල පොලිසියේ මව්පිය වන්දනාව

පිළියන්දල පොලිසියේ මව්පිය වන්දනාව

සඳ එළිය වගේ මවු සෙනෙහසත්, හිරු එළිය වගේ පිය සෙනෙහසත් අපේ ලෝකයේ සීමා මායිම් ය. එහෙත් දරු සෙනෙහසට මවුපිය සෙනෙහසට සීමා මායිම් කොහිද? නුඹ මවුකුසට යන්තමින් එබිකම් කළ දා පටන් ඒ හදවත, සෙනෙහසේ කිරි උල්පත් ළමැදට පුරවාගෙන අතොරක් නැතිව මඟ බලාසිටියා නුඹ දන්නාවද? මෙලොවට බිහිවීමට පෙරුම් පිරුව දා අහස උසට ප්‍රසව වේදනා උහුලමින් මුළු ලොව නුඹ පය පාමුළ තැබූ අම්මා. අලුත් ජීවයකට උපත දී ගතවේදනා රිදුම් දෙන අතරේ නුඹ දෝතට ගෙන රටක් රාජ්‍යයක් අත්වුවා සේ කඳුළු අතරින් මුව සිප ගෙන සැනසිලි සුසුමක් හෙළුවේ සංසාර උරුමය ලද එදාය. සංසාරේ කවදා හෝ නුඹ පසුපසම ලුහු බැඳ ඇවිදින් ඇගේ දියණිය හෝ පුතු වන්නට කෙතරම් ලොකු මිනිසකු වුවත් මවකට පියකුට තවමත් තම උකුලේ සුරතල් වුණු පුංචි පැටියා නුඹය.

ළිප ගිනි මොළවාගෙන, දරුවන් වෙනුවෙන් ඉදිණු බත්පතේ හොඳම කොටස නුඹලා වෙනුවෙන් සෙනෙහසින් බෙදා තැබූ අම්මා ඇතැම් විට කුසගිනි නිවාගත්තේ බත් හැළියේ අවසන්ව ගිය දංකුඩ ස්වල්පයෙනි. මුළු ලෝකයම දිනෙක නුඹට එරෙහිව ආවත් ඒ හදවතේ මෙන්ම පපුතුරේ දරු සෙනෙහසේ බිඳක් හෝ අඩුවක් නොවිණි. වෙල් දෙනි තැනිතලාවල ඇවිද යමින්, පළා නෙළාගෙන ඇවිදින් සරිකොට බත්පත කන්නට දුන්නේ ලෝකයම ජයගත්තා වාගේය.

දරු සෙහෙහස, මවු සෙනෙහස කිසිදා වෙන්කළ නොහැකි ගසට පොත්තමෙන් බැඳී ගිය ආශ්චර්යයකි. කිසිදා ලාබ නොපැතූ නොලබන, ආයෝජනයක් වූයේ දරුවන් ලොකුමහත් කිරීමය.

“මේ ලෝකය බිහි වුණේ මවගේ කිරෙනුත් හිරු ගේ රැස් වලිනුත්ය.”

“අම්මා” නම් කෘතියෙහි මැක්සිමි ගෝර්කි එසේ සඳහන් කර තිබුණේ ලොව ඕනෑම අම්මා කෙනෙකුගේ දරු සෙනෙහස එලෙස අර්ථවත් කරමිනි. නිහඬව නුඹ දෙස බලා මුවින් නොබැණ ඒ සුවය වින්ඳේ ආදරණීය තාත්තාය.

ජපන් වෘත්තාන්තයක සඳහන්ව තිබුණේ තමන් කුසින් වැදූ මවුවරුන් පියවරුන් වියපත් වූ පසු ඈත කඳු මුදුනක වනාන්තරයකට ගෙනගොස් දමන සිරිතක් පිළිබඳවය. එහෙත් දරු පෙමට ජාති කුල මළ භේද මායිම් නැත. එය කෙතරම් අනුවේදනීය මොහොතක්ද? ලේ කිරි වුයේ දරු සෙනෙහසේ ආනුභාවයටය. දරුවන් වෙනුවෙන් ළය පැලී මිය ගිය මවුපියවරු අපට අසන්නට ලැබුණේ සුනාමි ව්‍යසනයට තම දරුවන් බිලිවෙමින් සිටියදීය.

එදා මෙදා තුර ලොව පවතිනතාක් දරුවන් වෙනුවෙන් මවුපියන්ගේ හදවත් ගිනි ඉහිලුවේ උන් සෙනෙහසින් ඇති දැඩිකර යහමඟට ගන්නටය. එහෙත් අවාසනාවකට මෙන් මවුපියන්ගේ නෙත් මානයෙන් ඔබ්බට ගිය කල ඒ දරුවන්ට මවුපියන් අමතක වූයේය. මං මුලා වූ ලෝකයට පා තැබු ඇතැමෙක් ඒ හදවත් ගිනි තබා යන්නට ගියේය. දුසිරිත්. මත්කුඩු, මත්පැන්, හොරකම වැනි පාපයන්ට හසුව ජීවිතය වරද්දා ගත්තේය.

තම දිවි දෙවැනිකොට තමන් හැදූ වැඩූ මාපියන්ට පහර දී මරා දමන්නට තරම් තෙතමනයක් නොමැති දරුවන් සිටි බවට පසුගිය කාලය තුළ අපට ජනමාධ්‍ය තුලින්ම අවකාශ ලැබිණි. මේ ළෙන්ගතුකම්, මවුපිය උණුසුම ආදරය දරුවන් තුළින් පලාගියේ කොතැකට ද? දරුවන් බොහෝ දෙනකු වැදුවත් අවසානයේ ඇතැම් මාපියවරුන්ට උරුම වුයේ මහපාරය. නැතිනම් බස් නැවතුම්පළවල්ය. එසේත් නොමැති නම් වැඩිහිටි නිවාසයි. කිරි උරාබීව් ලේ බිඳුවක කලගුණ සලකන්නේ එලෙස ද?

මවුපිය සෙනෙහසේ ප්‍රාතිහාර්ය දරුවන්ට අවබෝධවීමට ඉඩ හැරිය යුතු නොවේද? මෙවන් සැලසුමක් අනුව දරුවන් හා මවුපියන් අතර යහපත් බන්ධනයක් ඇති කළ යුත්තේ සදා නොනැසෙන අයුරිනි. මවුපියන් වී ලෝකයට පා තබන දිනයක නුඹලාට මවුපියන්ගේ අගය වැටහෙනු ඇත. ඒ වන විට නුඹ ප්‍රමාද වැඩිය. ඒ වන විට තම ආදරණීය මවුපියන් ඔවුන්ගේ ඉරණම් ගමන ගොස් අවසන්ය.

මේ මවුපිය දූ දරුවන්ගේ දුරස්ථ බව ළංකිරීමට පොලිස්පතිවරයාගේ අනුදැනුම මත මවුපිය දූ දරුවන් එකම මොහොතක එකට එකතු කළ අනුවේදනීය මොහොතක් අපට දැකගන්නට ලැබිණි.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති සාරානාත් සරමකෝන් මහතාගේ මූලිකත්වයෙන් මවුපිය වන්දනාවක් පසු ගිය දා පැවැත්වුණේ මාකන්දන සංකල්ප විහාරස්ථානයේදීය. උග්ගොඩ ධම්මින්ද හා මඩිඅත්තේ විජිත යන ස්වාමින්ද්‍රයාණන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් මෙම මවුපිය උපහාර උළෙල රැව් පිළිරැව් දුන්නේය. මාකන්දන නැගෙනහිර බටහිර, බටකැන්තර උතුර දකුණ, බටුවන්දර නැගෙනහිර බටහිර යන ග්‍රාමසේවා වසම් 06ක් ආවරණය වන පරිදි දහම් පාසල් දරු දැරියන් ඇතුළු 400ක් පමණ පිරිසක් මේ සංවේදී මොහොතට පැමිණ තිබිණි.

ස්වාමීන් වහන්සේගේ මුවින් පිට වූ මවුගුණ ගායනා දරුවන්ගේත් මවුවරුන්ගේත් හදවත් සසල කිරීමට සමත්විය. මවුපිය ගුණ හා වෙලී ගිය සෙනෙහස, ආදරය ඒ මොහොතේ දෝරෙ ගැලුවේය. දරුවන්ගේ අතින් අනා තමන් ලොකු මහත් කිරීමට වෙර වීරිය දැරූ මවුපියන්ගේ මුවගට කිරිබත් කෑල්ලක් ළං කළේ මවුපිය සෙනෙහසින් අලුත් වූ හැඟුමින් යුතුවය. කාගේත් හදවතට කතා කළ මොහොත, ඒ දසුන සැබෑ ළෙන්ගතු එකක්ම විය. හැඟුම්බර වූ මවුපියවරුන් මෙන්ම දූ දරුවනුත් එකිනෙකා වැලඳ කඳුළු සැලුවේ සංවේදී හදවත්වලින් යුතුවය.

වර්තමානයේ අපට ඇසෙන්නට ලැබෙන බොහෝ ශෝචනීය සිදුවීම් අද මවුපියන්ගේත් දරුවන්ගේත් දුරස්ථ බවත් ළෙන්ගතු කම් බිඳීගිය බවත් වටහා ගත හැකි ප්‍රබල සාක්ෂි වී ඇත.

මෙවැනි සබඳතා ගිලිහී ගිය මනුදම් යළි එක් කිරීමට පිළියන්දල පොලිසිය දැරූ වෑයමක තවත් එක් සමාජ සද්කාර්යයක් ලෙස මෙම වැඩසටහන දියත් කර තිබිණි. නිලඇඳුමෙන් වැසී ගියද පොලිස් නිලධාරින් යනු අප වැනිම පුරවැසියන්ය. උපන් ගමෙන් ඈත්ව රාජකාරියෙහි යෙදුණත් තම දූ දරුවන් මවුපියන් ඔවුන්ටද සම්පතකි. මේ මෙහොත ඔවුන්ගේ දරු පැටවුන් මවුපියන් පිළිබඳ වූ මතකයන් හදවත් සසල කරන්නට ඇත. එහෙත් අනුන්ගේ හදවත් සුවපත් කිරීමට ඔවුන් දියත් කළ මෙම කර්තව්‍ය අප අගය කළ යුතු නොවන්නේද?