අලුත ගෙනා මනමාලියගේ යක්ෂ දිෂ්ඨිය

අලුත ගෙනා මනමාලියගේ යක්ෂ දිෂ්ඨිය

නෙයිලා ඉපදුණේ පකිස්ථානයේ. ඇය බෙහෙවින්ම රූමත්. මේ නිසාම ඇගේ දෙමවුපියන්ට ඇය විවාහ කර දීම එතරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. නෙයිලාගේ රූමත්කම නිසාම ඇයට හොඳ ධනවත් මනමාලයකු ලැබේ යැයි දෙමව්පියෝ බලාපොරොත්තු වුණා. ඒ ප්‍රාර්ථනා සඵල කරමින් නෙයිලාට මංගල යෝජනාවක් ලැබුණා. ඒ එංගලන්තයේ පදිංචි පකිස්ථානු පවුලක තරුණයකු ගැනයි.

වැඩිහිටියන් සියලු දෙයක්ම තීරණය කරන සමාජයක නෙයිලාගේ අභිප්‍රායන් මුදුන්පත් කරගැනීමට කවදාවත් ඉඩක් ලැබුණේ නැහැ. අවසානයේ ඇයට සිදුවුයේ ඇහැටවත් දැක නැති පිරිමියකු හා දීග යෑමටයි. මනාලයා එංගලන්තයේ බර්මින්හෑම් ප්‍රදේශයේ හෑන්ඩිස්වර්ත්වුඩ් හි පදිංචි ධනවත් පවුලක අයෙක්. දෙදෙනාට දෙදෙනා දැක නොතිබුණත් සියලු දේ වැඩිහිටි කැමැත්ත මත තීරණය වුණා. නෙයිලාගේ මනාලයා වුණේ මොහමඩ්. වැඩිහිටියන් සියල්ල තීරණය කළ පසු ඔහු පාකිස්ථානයට පැමිණියා. නෙයිලා සිය මනලයා සියැසින් දැක ගත්තේ එවිටයි. මොහොමඩ් ජාන විකෘතියක් නිසා උරහිසින් කුදු වු අයෙක්. නෙයිලාට කරකියා ගත හැකි දෙයක් නැහැ. ඇය සියල්ලම තම දෛවය ලෙසින් සලකා වැඩිහිටි කැමැත්තට ඉඩ දුන්නා. තම ඉරණම ඒ ලෙසින් බාරගත් නෙයිලා සිය සැමියාට බිරියකගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කළා. එහෙත් හදවතින් හඬනා තරම දැන සිටියේ ඇය පමණයි.

නෙයිලා හා චාරිත්‍රානුකූලව විවාහ වූ මොහොමඩ් ටික දිනක් පකිස්ථානයේ ගත කර යළි එංගලන්තය බලා පිටත්ව ගියේ සිය අලුත් මනාලිය ඉක්මනට එංගලන්තයට කැඳවා ගැනීමට කටයුතු සම්පාදනය කරමිනුයි. විවාහයෙන් මාස කිහිපයකට පසු නෙයිලා ද එංගලන්තයට යෑමට පකිස්ථානයෙන් ගුවන් ගත වුණා. දිගු ගුවන් ගමනකින් පසු ඇය එංගලන්තයට ළඟා වුයේ සිය සැමියා සමඟ යහපත් ජිවිතයක් ගත කිිරිමේ බලාපොරොත්තු සිතේ පුරවාගෙනයි.

මොහොමඩ් සිය පවුලේ අය සමඟ එංගලන්තයේ පදිංචි වී සෑහෙන කලක් ගෙවී ගිහින්. ඔවුන් සතු විශාල නිවෙස දුටු නෙයිලාට සිතුණේ ඔවුන් තරමක ධනවතුන් බවයි. ඇයට පදිංචි වීමට සිදුවුයේ මොහොමඩ්ගේ ඥාතීන් සමඟ ඒ නිවසේයි. මොහොමඩ්ගේ පියා උල් හක්. මව සල්මා, දෙදෙනාම 51 හැවිරිදියි. ඒ දෙදෙනාට අමතරව නිවසේ මොහොමඩ්ගේ මස්සිනා කෙනකු වන 25 හැවිරිදි හසන් ද පදිංචි වී සිටිනවා.

නෙයිලාට සිදුවුයේ මේ සියල්ලන්ගේම බැල මෙහෙවර කරමින් දිව ගෙවීමටයි. මොහොමඩ්ගේ ගෙදර ස්වාමි දුව වීමට පෙරුම් පුරාගෙන පැමිණි නෙයිලාත් අන්තිමේ ඉන්දියාව, බංගලාදේශය හා පාකිස්ථානය වැනි රටවල සිටින සාම්ප්‍රදායික බිරියන්ගේ තත්ත්වයට පත්වුණා. උදේ සිට කරන ගෙදර දොර වැඩ කටයුතුවලට අමතරව ඇයට මොහොමඩ්ගේ දෙමවුපියන්ගේ ඇණුම් බැණුම් ගැරහුම්වලටත් ලක්වන්නට සිදුවුණේ අවාසනාවකට වගෙයි.

පැතූ සිහින රාජ්‍යය බිඳ වැටුණත් තම ඉරණම ඒ ආ සැටියෙන් බාරගෙන මොහොමඩ්ට ආදරණීය බිරියක් වෙන්න නෙයිලා තීරණය කරගත්තා. මොහොමඩ් හා සසඳද්දී නෙයිලා ඔහුට කීයටවත් ලබාගන්න පුළුවන් ගැහැනියක් නොවෙයි. ඇය ඉතා සුරූපියි. අහිංසකයි. දෛවය දුන් දේ සැටියෙන් බාරගන්න කෙතරම් හිත හදාගත්තත් නෙයිලා තමාගේ විවාහය ගැන වරින් වර සිතින් දුක් වින්දා. ඒත් ඇයට කරන්න දෙයක් නැහැ. මොහොමඩ්ගේ දෙමවුපියන් ද වරින් වර ඇයට බලපෑම් කරනවා.

මේ නිසා නෙයිලා නිතරම මවු රටේ සිටින දෙමවුපියන්ට කතා කර තමන්ට සිදු වු දේ පැවසුවත් ඒ වනවිටත් ඔවුන්ට කළ හැකි දෙයක් තිබුණේ නැහැ.

“අනේ මගේ ලස්සන කෙල්ල අසරණ වුණා.”

නෙයිලාගේ මව නිතර ඇය සිහිපත් කරමින් දුක්වුණා. කෙතරම් සැප සම්පත් තිබුණත් නෙයිලාගේ සිතේ ගින්න නිවීමට දුක් කඳුළැලිවලට හැකියාවක් ලැබුණේ නැහැ.

“මේ ගෑනි මෙහෙම ඉන්නේ ඇයට යකෙක් වැහිලා.” නෙයිලාගේ උකටලී ස්වභාවය මොහොමඩ්ගේ ඥාතින් තේරුම් ගත්තේ එලෙසයි. යුරෝපා රටක දිවි ගෙවුවත් ඔවුන්ගේ අක්මුල් තවමත් ඇත්තේ පකිස්ථානයේ බව මොහොමඩ් ගේ පවුලේ අයගේ හැසිරීමෙන් ප්‍රකට වුණා.

“මේකිට යක්ෂ දිෂ්ටියක් වැහිලා. දිෂ්ටිය යවනකම් මේ ගෙදරට හරියන්නේ නැහැ.” නෙයිලාගේ නැන්දණීය සල්මාට නිතරම පෙනුණේ වැරදි විතරයි.

2009 වසරේ ජුලි මාසය වෙද්දී නෙයිලාගේ වයස අවුරුදු 21ක්. ඒ විතරක් නෙවෙයි ඒ වෙද්දී ඇය සයමස් ගැබිනියක්. වෙනත් ගැබිනි කාන්තාවන්ට තමන්ගේ පවුලේ අයගෙන් ලැබුණේ පුදුමාකාර ඇගයීමක්. සැලකීමක්. එහෙත් ඒ වෙනුවට නෙයිලාට ලැබුණේ ගැරහිලි අපහාස සහ ඇණුම් බැණුම්.

“අම්මේ මට මේ ගෙදර අය වෙනස්කම් කරනවා.”

නෙයිලා දිනක් සිය මවට දුරකථනයෙන් පැවසුවා. එහෙත් පකිස්ථානයේ සිට ඒ මවට සිය දියණිය වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වුණා.

මොහොමඩ්ගේ පවුලේ අය මේ වෙද්දී නෙයිලා ගැන සිතා සිටින්නේ ඇය යක්ෂ දිෂ්ටියක් වැහුණු ගැහැනියක ලෙසයි. දැන් ඔවුන් නෙයිලාට බලපෑම් කරන්නේ මේ යක්ෂ දිෂ්ටි කතාව කියමිනුයි. ඒ අතරම මොහොමඩ්ගේ ඥාතීන් ඇයට තවත් අභූත චෝදනාවක් නැගුවා.

“උඹේ ඔය කුසේ ඉන්න දරුවා මොහොමඩ්ගේ නෙවෙයි. උඹ ප්ලෙන් එකේ එද්දී හදාගත්ත දරුවෙක්.” මොහොමඩ්ගේ දෙමවුපියන් ඇයට චෝදනා කළා.

මොහොමඩ්ගේ අසල්වාසීන් වුණෙත් පකිස්ථාන ජාතිකයන් කීප දෙනෙක්. ඔවුන් ද මොහොමඩ්ගේ ගේ දෙමවුපියන්ට උල්පන්දම් දෙමින් ඔළුවලට තව තවත් විෂබීජ පිරෙව්වා.

“ඔය ගෑනිට තියෙන්නෙ යක්ෂ දිෂ්ටියක්. ඔය දරුවා යක්ෂ පැටියෙක්. ඉක්මනට ඔය යක්ෂයා එළවන්න ඕනෑ. ” නෙයිලාට විරුද්ධව උසි ගන්වමින් මේ අසල්වැසියන් ද ඇයට එරෙහිව නැගී සිටියා.

එදා 2009 වසරේ ජුුලි මාසයේ දිනයක්. පකිස්ථානයේ සිටින නෙයිලාගේ දෙමවුපියන්ට උදේ පාන්දරම එංගලන්තයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. කතා කළේ නෙයිලා.

“අම්මේ මට මොහොමඩ්ගේ නෑයන්ගෙන් හරි කරදරයි. මට යක්ෂ දිෂ්ටියක් තියෙනවා කියමින් බනිනවා. මගේ කුසේ ඉන්න දරුවා මොහොමඩ්ගේ නෙවෙයිලු.”

නෙයිලා හඬමින් මටව පැවසුවා.

එදා දවස ගෙවී ගිහින් පසුදාට එළි වුණා. දවසේ සියලු වැඩ අහවර වී නෙයිලා ඇඳට ගියා. ඇය ඇඳේ සිටයදී මොහොමඩ් තම මවත් පියාත් මස්සිනාත් සමඟ ඇය සිටි ඇඳ ළඟට පැමිණියා. ඉන් පසු සිදු වූ දේ හරියාකාරව දන්නේ ඔවුන් පමණයි.

මහ රෑ ගිලන් රථ සේවක පිරිසක් මොහොමඩ්ගේ නිවෙසට පැමිණියේ ඒ නිවෙසින් පැමිණි හදිසි දුරකථන ඇමතුම නිසයි. ඔවුන් කාමරයට යද්දී දුටුවේ ඇඳේ සිහිසුන්ව වැතිර සිටි නෙයිලායි.

“ඇගේ මුහුණේ සහ අත්වල සීරිම් ලකුණු තිබුණා.” පාන්දර 4.30ට පමණ නෙයිලා රෝහල් ගත කළ ගිලන් රථ නිලධාරියා පැවසුවා. රෝහල් ගත කර ටික වේලාවකින් ඇය මිය ගියා.

එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසිය මොහොමඩ්ගේ නිවෙසට පැමිණියේ නෙයිලාගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමටයි.

“ඇයට යක්ෂ දිෂ්ටියක් වැහී තිබුණා. ඒ නිසා ඇය තමන්ගේ අතින්ම හුස්ම හිරකරගෙන මැරෙන්න හැදුවා.” මොහොමඩ් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවා.

“ඇය සියදිවි නසා ගන්න උත්සාහ කරද්දී අපි ඇගේ අත් පා තදින් අල්ලාගෙන ඇය වැළැක්වීමට උත්සාහ ගත්තා.”

නෙයිලාගේ ඥාතීන් සිද්ධිය විස්තර කළා.

නෙයිලාගේ මරණය ඝාතනයක් බව දැන ගැනීමට පොලිසියට වැඩි වේලාවක් ගත වුයේ නැහැ. මිථ්‍යා දෘෂ්ටික අදහස්වලින් පිරි මේ පවුලේ උදවිය යක්ෂ ආත්මය නෙයිලාගේ සිරුරෙන් ඉවත් කිරීමට උත්සාහ ගනිමින් ඇය ඝාතනය කර තිබුණා.

පොලිසිය නෙයිලාගේ ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන් සහ ඔහුගේ මස්සිනා ද අත්අඩංගුවට ගත්තා. තවදුරටත් පරීක්ෂණ කළ පොලිසිය අවසානයේ ඔවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරුවා.

“යක්ෂ දිෂ්ටියක් පළවා හැරීමේ අදහසින් මේ පවුලේ උදවිය නෙයිලා ඇඳට තදකර අත්පා වලින් තදකර අල්ලාගෙන සිටිද්දී ඔවුන් අතර සිටි අයෙක් ඇගේ හුස්ම හිරකර තිබෙනවා.”

පොලිස් ප්‍රධානියා පැවසුවා.

මාස කිහිපයක් තිස්සේ පැවැති අධිකරණ නඩු විභාගයෙන් පසු එංගලන්තයේ බර්මින්හැමි ක්‍රවුන් අධිකරණය නෙයිලාගේ මරණය සම්බන්ධයෙන් මොහොමඩ් ඔහුගේ දෙමවුපියන් සහ මස්සිනා වරදකරුවන් කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළා. සැකකරුවන් හිතාමතාම නෙයිලාගේ මරණය සිදුකළ බවට ජුරිය ඒකමතිකව තීන්දු කර තිබුණා.

“මෙතැන සිදුව ඇති දේ අපිට විස්තර කිරීම අපහසුයි. අප වැනි බටහිර ලෝකයේ අයට මෙය තේරුම් ගැනීමට පහසු දෙයක් නොවෙයි. ඔවුන් ජීවත් වු සමාජයේ විශ්වාසයක් වු යක්ෂ දිෂ්ටිය මේ මරණයට හේතුව වෙලා තියෙනවා.”

විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවුසවා.

නෙයිලා ඝාතනය වන තැනට කටයුතු සලසමින් ඇය පීඩනයට පත්කළ මොහොමඩ් ගේ පියා සහ මව වසර 15ක අවම සිරදඬුවමක් ද මොහොමඩ්ට හා හසන්ට වසර 13ක අවම සිරදඬුවමක්ද නියම වුණා.