කැෂියර්ගේ මාස්ටර් ගේම

කැෂියර්ගේ මාස්ටර් ගේම

නහයෙන් කටෙන් ලේ පෙරාගත් තරුණයකු පසුගියදා පිළියන්දල පොලිසියට දිව ආවේ හති දමමිනි. නිලධාරින්ද මොහු දැක විමතියට පත්විය.

“ඇයි මොකද වුණේ”

“මට කවුද කෙනෙක් ගැහැව්වා. ගහලා මගේ අතේ තියෙන සල්ලි බෑග් එක උදුරගත්තා”

නිලධාරියෙකු ඔහු අපරාධ විමර්ශන අංශය වෙත යොමු කෙරිණි. ස්ථානයේ සිටියේ උප පොලිස් පරීක්ෂක ප්‍රභාත්ය. හෙතෙම තුවාලලත් තරුණයාගෙන් ප්‍රශ්න කරන්නට විය.

“මොකක්ද තමන්ගේ නම....”

“රවීන්ද්‍ර...”

“කොහේද වැඩ කරන්නේ”

“ ඉන්වෙස්මන්ට් කියලා ප්‍රයිවට් කම්පැණියක වැඩකරන්නේ. ඒකේ කැෂියර් විදියට තමයි වැඩ කළේ. එතැන ඉලෙක්ට්‍රොනික් බඩුයි සල්ලියි ගෙවිමේ ක්‍රමයට මිනිස්සුන්ට දෙනවා. දිනපතා පොළී එකතු කරනවා. ඒක කරගෙන හිටියේ මොහොමඩ් කියල කෙනෙක්. එයා අසනීප වුණු නිසා බොස් මට ඒ වැඩේ කරන්න කිව්වා. මම ඒරියා එක හඳුනගන්නත් එක්ක තමයි ආවේ. “

“මම සල්ලි එකතු කර කර ඉන්නකොට ටේ‍්‍රල් බයික් එකක් ආවා. ඒකේ දෙන්නෙක් හිිටියා. පස්සේ හිටිය කෙනා තුවක්කුවක් පෙන්නලා මගෙන් සල්ලි බෑග් එක ඉල්ලුවා. මම දුන්නේ නැහැ. ඒත් එක්කම මගේ මුණට ගහලා එයාලා සල්ලි බෑග් එක අරගෙන ගියා. බෑග් එක මගේ කරේ තිබුණේ. කඩාගෙන ගිය පාරට බෑග් එකේ පටිය කැඩුණා.”

ඔහු කළු පැහැති බෑග් පටියක් පොලිස් නිලධාරියාට පෙන්වමින් කීවේය.

“කොහේදීද ඕක වුණේ”

“උඩමාදුව වෙල හරියේදී.

“හරි අපි යන්කො එතැනට බලන්න.”

උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් එසේ කියද්දී එම තරුණයා කීවේ “මට ටිකක් අමාරුයි. ඉස්පිරිතාලෙට යන්න ඕන” යනුවෙන්ය. එහෙත් ඒ තරම් අසාධ්‍ය ගතිියක් ඔහුගෙන් දිස් නොවන බව උප පරීක්ෂක ප්‍රභාත්ට තේරුම් ගියේය. කෙසේ හෝ එම තරුණයා ද රැගෙන ප්‍රභාත් සිද්ධිය වූ බව කියන උඩමාදුව වෙල දෙසට ගියේය.

“සර් මේ හරියේ දී තමයි වුණේ.”

තරුණයා සිද්ධිය වූ තැන පෙන්වමින් කීවේය.

“ගහලා බෑග් එක උදුරගත්තට පස්සේ තමන් මොනවද කළේ?”

“මම මගේ යාළුවෙකුට එන්න කිව්වා. එයා ආවා. එයාට මම විස්තරේ කිව්වා. එයා තමයි පොලිසියට යන්න කිව්වේ. අනේ සර් මට අමාරුයි මට ඉස්පිරිතාලේ යන්න ඕන.”

ඔහු නිතර නිතර ඉස්පිරිතාලෙට යන්න අවශ්‍ය බව කීම නිසා යළි පොලිසියට ඔහු රැගෙන ගිය උප පරීක්ෂක ප්‍රභාත් ඔහුගේ ප්‍රකාශයක් ද සටහන් කරගෙන රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට ටිකට් පතක් ද ඔහුට ලබා දුන්නේය.

නිතර නිතර රෝහලට යන්න අවශ්‍ය බව කීම නිසා උප පරීක්ෂක ප්‍රභාත්ට එම තරුණයා ගැන කිසියම් සැකයක් ද ඇති වී තිබිණි. මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමේ අටියෙන් සිද්ධිය වූ ස්ථානය අවට සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කළ යුතු බව සිතු ප්‍රභාත් පාර දෙපැත්තේම ඇති කැමරා සෝදිසියට ලක් කළේය.

එක් පැත්කක කැමරාවක එම තරුණයා ගේ රූපය හොඳින් දිස්වේ. එහෙත් පිටස්තර බයිසිකලයක පැමිණිමක් හෝ කිසිවකු ඔහුට පහර දෙන කිසිවක් පෙනෙන්නට නැත. පසුව ප්‍රභාත් පාරේ අනෙක් පැත්තේ කැමරාව සෝදිසි කළේය. එහි දර්ශනවල කිසියම් තරුණයකු ඒ මොහොතේ එතැනට එන රූප සටහන් පෙනේනට ඇත. අදාල තරුණයා ගේ කීමට එන මිතුරා ඔහු බව ප්‍රභාත්ට වැටහිණ. රවීන්ද්‍ර කරන්නේ බොරුවක් බව උප පොලිස් පරීක්ෂක ප්‍රභාත්ට තහවුරු විය.

පසු දා පොලිසියට කැඳවූ තුවාල ලත් රවීන්ද්‍රගෙන් ් උප පරීක්ෂකවරයා නැවතත් ප්‍රශ්න කරන්නට විය. එහෙත් ඔහු එකහෙළාම කීවේ මෝටර් බයිසිකලයක පැමිණි දෙදෙනාගෙන් පිටිපස අසුනේ සිටි කෙනා තමාට පහරදී මුදල් බෑගය රැගෙන ගිය බවය. ඔහු කියන්නේ බොරු බව පෙන්වීමට උප පොලිස් පරීක්ෂකවරයා ඊළඟට ඔහු වෙත යොමුකළේ ලබාගත් සී.සී.ටී.වී. කැමරා දර්ශන පෙළය.

“කෝ කැමරා එකක්වත් ඔහොම දෙයක් පෙන්නේ නැහැනේ. මේ තියෙන්නේ ඔයා යන එක තියෙනවා. කෝ කවුරුහරි තමුසෙට ගහනවා නම් මෙකේ තියෙන්න එපැයි එහෙම දෙයක් තියෙනවා නම් මට පෙන්නන්න.”

උප පරීක්ෂකවරයා රවීන්ද්‍රට කීවේය. එසැණින් තරුණයාගේ මුහුණ මැළවී යනු ප්‍රභාත් දුටුවේය.

“කෝකටත් යමුකෝ ඕ.අයි.සී මහත්තයා ගාවට” එසේ කියමින් ප්‍රභාත් රවීන්ද්‍ර නමැත්තාව ස්ථානාධිපතිවරයා වෙත කැඳවාගෙන ගියේය. සාරනාත් සමරකෝන් දක්ෂ නිලධාරියෙකි. ඔහු පළපුරුදු රාජකාරියක නිරත වුවෙකි.

“සර් මෙයාගෙන් තමයි අර සල්ලි මංකොල්ල කෑවා කිව්වේ. අපි සී.සී.ටී.වී. චෙක් කළා. ඒත් එහෙම මුකුත් සිද්ධියක් පෙන්න නැහැ.”

උප පරීක්ෂක ප්‍රභාත්ගේ කීම ඇසූ ස්ථානාධිපතිවරයා රවීන්ද්‍රගේ දෙපා වල සිට හිස දක්වා තියුණු බැල්මක් හෙළිය.

“මල්ලි බොරු කරන්න එපා. ඇත්ත කියන්න තමන්නේ සල්ලි ගත්තේ. තමුසෙගෙ මුහුණ බැලුවම මට කියන්න පුළුවන්. තමන් කීයක් හරි හොයා ගන්න තැනට ඇයි බොරු කරන්නෙ.් ඕවා දෙවියෝ බලාගෙන ඉන්නවා. අනෙක අපිට බොරු කිව්වට තාක්ෂණයට කොහොමත් බොරු කරන්න බැහැ. ඒ නිසා ඇත්ත කියන්න. අපි ඔයාට කිසිම කරදරයක් කරන්නේ නැහැ. මට ඔයාගේ මුහුණ බැලුවම කියන්න පුළුවන් ඔයා තමයි මේ සල්ලි ගත්තේ කියලා”.

ස්ථානාධිපතිවරයා රවීන්ද්‍ර දෙස බලමින් කියන්නට විය. මොහොතක් ස්ථානාධිපතිවරයා දෙස බලා සිටි ඔහු සිය කටහඬ අවදි කළේය.

“සර්. මම ඇත්ත කිව්වොත් මට ගෙදර යන්න දෙනවද?”

“නැතුව නැතුව.”

“සර් මම හැම තැනම ණය වෙලයි ඉන්නේ. ලෝන් එකක් ගත්තා ඒකේ වාරිකය ගෙවන්නත් බැරිවයි ඉන්නේ. ඒ නිසා මම තමයි සර්.....

රවීන්ද්‍ර සියල්ල ස්ථානාධිපතිවරයා ඉදිරියේ හෙළි කරන්නට පටන් ගත්තේය.

“ඒ නිසා මට සල්ලි ඕන කමක් තිබුණා සර්. මම ඒක මගේ යාළුවෙක්ට කිව්වා. එයාගේ නම අමල්. එදා මම සල්ලි එකතු කරන්න ගියා බෑග් එකේ සල්ලි අසුදාහක් විතර තිබුණා. මම අමල්ට එතැනට එන්න කියලා එයාට ඒ සල්ලි දුන්නා.”

"පස්සේ පිටස්තර කෙනෙක් සල්ලි උදුරාගත්ත විදිහට බෑග් එකෙන් පටිය කඩලා මම අතට ගත්තා. සල්ලි බෑග් එක් මම අමල්ට දුන්නා.”

“එතකොට තමන් ලේ පෙරාගෙන පොලිසියට ආවේ.?”

ස්ථානාධිපතිවරයා ඔහුගෙන් විමසන්නට විය.

“මම අමල්ට කිව්වා. මෙහෙම ගිහින් පොලිසියට පැමිණිල්ලක් කළොත් සර් ලා හිතයි බොරු කරන්නෙ කියලා ඒ නිසා මගේ මුහුණට එකක් ගහපන් කියලා. අමල් මුණට ගැහැව්වා. මම කිව්වා ඔහොම හරියන්නේ නැහැ ලේ එන්න ගහපන් කියලා . පස්සේ අමල් නහයට ගැහැව්වා. එතකොටම ලේ ආවා. ඒ පිටින්ම තමයි මම පොලිසියට ඇවිත් බොරු පැමිණල්ලක් කළේ.”

රවින්ද්‍ර ස්ථානාධිපතිවරයා ඉදිරියේ කීවේය.

“උඹලා මාර මිනිස්සු. කන්න දෙන කම්පැණියටත් ගේම් ගහනවා. මරු ප්ලෑන් එක. හිතුවෙ නැහැ අහුවෙයි කියලා . ප්‍රභාත් මෙන්න මේකව ගෙනියලා අනිත් එකාවත් අරන් දෙන්නම උසාවියට දාන්න.”

“අනේ සර්”

“අනේ සර් නෙමේ. උඹලා වගේ උන්ව මෙහෙම නෙවෙයි. යවන්න ඕන.” රවින්ද්‍රට ස්ථානාධිපතිවරයාගෙන් සමාවක් නොවීය. ඉන්පසුව සත්‍ය ප්‍රකාශය යළි සටහන් කරගත් උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ඊළඟට කළේ ඊට සම්බන්ධ වූ අමල් නමැත්තා සොයාගැනීමය.

ඒ අතරතුර ආයතනයේ හිමිකරු අනුර පුෂ්පකුමාර ද පිළියන්දල පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. සිද්ධිය වන විට ඔහු හිටියේ විදේශගතවය. රෝහලට යන බව කී රවීන්ද්‍ර ඒ අතරතුර ආයතනයේ හිමිකරුට දුරකථන ඇමතුමක් දෙමින් තමාට පහර දී මුදල් පැහැරගත් බව කීවේය.

ඔහු එසේ කියන විටම හිමිකරු කීවේ “මට ඕවා වැඩක් නැහැ. මට සල්ලි ටික ගෙනත් දීපන්. “ කියාය. හිමිකරු රවීන්ද්‍රව සැක කළේය. පසුදාම ලංකාවට පැමිණි ඔහු පිළියන්දල පොලිසියට පැමිණ මුදල් පැහැර ගැනීමට රවීන්ද්‍ර සැක බවද කීවේය. ඔහුගේ කතාව නිවැරැදි විය. මුදල් පැහැර ගැනීම රවීන්ද්‍රගේ අනුදැනුම මත සිදු වී ඇති බව ඒ වනවිටත් පොලිසිය සෙයාගෙන තිබිණ.

පසුව කළ විමර්ශනයේදී රවින්ද්‍රගේ ප්‍රකාශ අනුව ඔහුගේ මිතුරා වූ අමල් සොයා ගැනීමට හැකි වු අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී බෑගයේ තිබු මුදල් සඟවා තිබු බවත් ඔහු පිළිගත්තේය. සොරාගත් මුදලින් තමාට රුපියල් දහ දාහක් වියදම් වූ බවත් ඉතිරිය ලබාදිය හැකි බවත් ඔහු පොලිසියට කීවේය.

“සල්ලි අරගෙන ගිය බෑග් එක අගලක මඩේ ගැහැව්වා සර්. බෑග් එකේ හෑන්ඩ් ෆෝන් එකකුත් තිබුණා. ඒක පොළොවේ ගහලා කඩලා දැම්මා.” අමල්ගේ ප්‍රකාශය අනුව අගලේ සඟවා තිබු තැනින් බෑගයත් කැඩුණු ජංගම දුරකථනයේ කොටස් මෙන්ම සොරාගත් මුදලත් සිය බාරයට ගත් පොලිසිය සැකකරුවන් දෙදෙනාම අධිකරණයට ඉදිිරිපත් කළේය. මහෙස්ත්‍රාත්වරයාගේ නියමයෙන් ඔවුන් රිමාන්ඩ් ගත කෙරිණ.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති සාරනාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති ජී.එච්.එන්. ප්‍රභාත් මහතා ඇතුළු නිලධාරිහු මේ පිළිබඳ පරීක්ෂණ වලට එක්වුහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස්විය.