"එයාගේ පණ ගියේ මගේ අත් දෙක උඩ"

"එයාගේ පණ ගියේ මගේ අත් දෙක උඩ"

“මගෙ අම්මා තාත්තා දෙන්නම නැහැ. පවුලේ මම විතරයි. මම හැදුණේ වැඩුණේ පුංචි අම්මා ගාව. එයාගේ දරුවොත් එක්ක තමයි හිටියේ. නමුත් කවදාවත් පුංචි අම්මවත් එයාගේ පවුලේ අයවත් මට වෙනස්කමක් කළේ නැහැ. ඒ නිසා මම ඒ ගෙදර බොහෝම සතුටින් හිටියා.”

ඉගෙන ගත්ත ද?

“ඔව් මම උසස් පෙළ විභාගයට ලිව්වා. ඊට පස්සේ කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් කළා. ඉන් පස්සේ මම පුද්ගලික ආයතනයක වැඩට ගියා. එතැන පරිගණක ක්ෂේත්‍රයේ රස්සාවක් කෙරුවේ. ආයතනය ඇතුලේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම හොඳීන් රස්සාව කරගෙන හිටියා.”

විවාහ වුණා ද?

“නැහැ. එත් මට ගැනූ ළමයෙක් හිටියා . එයාගේ නම සුබා. එයා එක්ක මම යාළුවුණේ ඉස්කෝලේ යන කාලෙමයි. ඒක හරි සුන්දර ප්‍රේමයක්. නමුත් එයාලගෙ ගෙදරින් මට කැමති වුණේ නැහැ. මම හිතුව කවදා හරි මට සුබාව බඳීන්න ලැබේවි කියලා. රස්සාව කරන්න මම කොළඹ ආව අතරේ සුබාගේ අම්මා සුබාට මනමාලයෝ හොයලා තියෙනවා. පුංචි අම්මගේ දුවයි සුබායි එක පන්තියේ ඉගෙන ගත්තේ. ඒ නිසා නංගි සුබාගේ හොඳ යාළුවෙක්. සුබා හැමදේම නංගි එක්ක කියනවා. සුබා බඳීන්න යනවා කියලා කිව්වෙත් නංගිමයි. මම ඒක දැනගත්තම ගමට ආවා. නමුත් මම එන දවස වෙනකොට සුබාගේ මංගල්‍යය තීරණය වෙලා ඉවරයි. මම සුබාව හමුවුණේ හරිම අමාරුවෙන්. මම එයාට කිව්වා කරන්නම දෙයක් නැති නිසා පැනලා යමු කියලා.”

සුබා කැමති වුණාද ඔයත් එක්ක එන්න?

“මුලදි නම් එයා කැමති වුණේ නැහැ මා එක්ක එන්න. ඒත් මම එක තිරණයක හිටියා මට එයා නැතිව ඉන්න බැහැ කියලා. ඒ කාලේ සුබාගේ වයස අවුරුදු විස්සයි. එයා සාමාන්‍ය පෙළ විභායට පෙනි සිටියා විතරයි. වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. මම සුබාට වඩා අවුරුදු පහක් වැඩිමල්. එයාගේ ගෙදරින් දැනගෙන හිටියා ඒ වෙනකොට මම කිසිම ස්ථාවරයකට පැමිණියේ නැති කෙනෙක් කියලා. ඒ නිසාම තමයි එයාගේ ගෙදර අය මට අකමැති වුණේ. කොහොම වුණත් සුබා මා එක්ක එන්න කැමති වුණා. . ඒ වෙනකොට මගෙ ළඟ ඉතිරි කරගත්ත මුදලක් තිබුණා. මම සුබාව අර‍ගෙන මුලින්ම ගියේ මගේ යාළුවෙකුගේ ගෙදරට. යාළුවා අපිව බොහෝම ආදරෙන් පිළිගත්තා. අපි සුමානයක් විතර එහෙ හිටියා. ඒ ඉන්න අතර තමයි අපිව පොලිසියෙන් අල්ලගෙන ගියේ. ඒ වෙනකොටත් අපි විවාහ වෙලා හිටියේ නැහැ. ඒක අපිට වුණ අවාසියක් . සුබාගේ පවුලේ මාමා කෙනෙක් හිටියා නීතීඥයෙක්.එයා මේ හැමදේම වෙනස් කළා. පොලිසියෙන් මාව කූඩුවට දැම්මා. අන්තිම‍ට මට ආව චෝදනාව තමයි සුබාට බලහත්කාරකම් කළා කියන එක. ඒත් මම එයාට බලහත්කාරකම් කළේ නැහැ. අපි අතර හැම දෙයක්ම වුණේ කැමැත්තෙන්. මම ඒ දේවල් නීතිය ඉදිරියේ කිව්වට වැඩක් වුණේ නැහැ. ඒ වෙනකොට සුබා පොලිසියට කියලා මම එයාව බලහත්කාරයෙන් අරගෙන ගිහිල්ලා එයාව අමාරුවේ දැම්මා කියලා. මම මොනවා කිව්වත් වැඩක් වුණේ නැහැ. අවසානයේ මට සිද්ද වුණේ හිරගෙදර තපින්න. ඒත් මම නඩුව ඇපිල් කළා .ඒ නඩුව ඇදි ඇදි ගිහිල්ලා මට අවුරුදු අටක් හිරේ ඉන්න වුණා.”

කවුද ඒකාලේ බලන්න ආවේ?

“පුංචි අම්මයි ගෙදර අයයි ඇරෙන්න වෙන කවුරුවත් මාව බලන්න ආවේ නැහැ. මටම හිතුනා මොකක්ද මම මේ කරගත්ත මෝඩකම කියලා. ගැහැනියෙක් නිසා නේද අමාරුවේ වැටුණේ කියලා නිතරම හිතුණා. ඇත්තම කිව්වොත් මම සුබාට ආදරේ කළේ අවංකවමයි. ඒත් එයා මට කළේ ලොකු අසාධාරණයක්. මම හිරේ ඇවිල්ලා අවුරුද්දකට විතර පස්සේ එයා විවාහ වෙලා. එයාගේ ගෙදර අය සල්ලි පෙන්නලා කාටහරි එයාව බන්දලා දෙන්න ඇති.”

ඔයා හිරේ ආව එක ගැන සුබා දුක් වෙනවද?

“මොන පිස්සුද එයා නංගිට කියලා තියෙනවා, මම වනචර මිනිහෙක් කියලා එයා හිතුවේ නැහැ කියලා. මම එයාව බලහත්කාරයෙන් අරගෙන ගියා කියලා තමයි එයා නංගිට කියලා තියෙන්නේ. ඇත්ත, මම එයාට යමු කියලා බලකළා. නමුත් එයා තදින්ම කිව්වා නම් එන්න බැහැ කියලා මම කවදාවත් එයාව අරගෙන යන්නේ නැහැ.”

“දවස දවස හිරගෙදරට හුරුවුණාට මට ඒ ජීවිතය එපා වෙලා තිබුණේ . හිරගෙදර ඉන්න එක එකාගේ කෙනෙහිලිකම්වලට මුහුණ දෙනකොට මට මතක් වුණේම සුබාව ..ඒ වෙනකොට මගේ හි‍තේ සුබා වෙනුවෙන් ආදරයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. හිතේ තිබුණේ එයා ගැන වෛරයක් විතරයි. ඒ නිසා ගෙවන හැම මොහොතකම මම එයා ගැන තරහින් හිටියේ ..අවුරුදු අටම මට සුබාව මතක් වුණේ නැති මොහොතක් නැති තරම්. මම හිතා ගත්තා කවදා හරි එළියට ආවාම එයාගෙන් පළිගන්නවා කියලා.”

එළියට ඇවිල්ලා එයාගෙන් පළිගත්තද?

“ඔව් මම පළිගත්තා... මම ඒකිව මැරුවා.”

( ඔහු පවසන්නට වුයේ ‍බොහෝ ආවේගශීලීවය. ඔහුගේ දෑත් එකිනෙක වෙළිනි. එසේ කියමින් ඔහු දත්මිටි කන්නට වුයේය. ගත වුයේ නිමේශයකි. ඔහු හඬන්නට පටන් ගත්තේය. කුඩා දරුවකු මෙන් ඉකිබිඳ හඬන්නට වුයේය. මම ඔහු දෙස බලා සිටියෙමි. මදක් ඔහු සන්සුන් වනතුරු බලා සිටියෙමි. විනාඩි ගණනකට පසු ඔහු සන්සුන් වුයේය. ඉන්පසු ඔහු යළි කතාකරන්නට වුයේය.)

“මම සුබාට ආදරේ කළේ බොරුවට නෙමෙයි හදවතින්මයි මම එයාට ආදරේ කළේ. ඒත් එයා මාව රැවැට්ටුවා. එයා එහෙම කළේ එයාගේ දෙමවුපියන්ට බයේ වෙන්න ඇති. ඒ වුණත් එයාට තිබුණා මගේ තරුණ ජිවි‍තේ එක්ක සෙල්ලම් නොකර ඉන්න. අවුරුදු අටක් මම හිරගෙදර දහදුක් වින්දා. මම විතරක් නෙමෙයි මගේ වැඩිහිටියෝ දුක් වින්දා. මගේ පුංචි අම්මා අසනීප වුණා. පවුලේ අය මාව අතහැරියේ නැතිවට මම නිසා ඒ අය සමාජයෙන් අවමන් වින්දා. මම මානසිකව වැටුණා. කොහොම වුණත් මම හිත හදාගත්තා හිරගෙදරින් එළියට ගියාම වැරදි වැඩ කරන්නේ නැහැ කියලා. ඒ වුණත් නිදහස් වෙලා ගමට ගියාම මම දැක්කා සුබා බොහෝම හොඳට ඉන්නවා. දවසක් මම පාරේ යද්දි අහම්බෙන් වගේ මට එයාව හමුවුණා.“

“ මාව දැකලා එයා පාරෙන් එහා පැත්තට පැනලා දුවන්න ගත්තා . මමත් එයා පස්සෙන් දිව්වා. එයා දුවනවා දැක්කම මගේ කේන්තිය තවත් වැඩි වුණා. කොහොම හරි මම සුබාව මගේ අතටම අල්ල ගත්තා. එයා මගෙන් බේරිලා යන්න හැදුවට මම ඉඩ දුන්නෙම නැහැ. මම එයාට පහරක් දෙකක් ගැහුවා. ඊට පස්සේ එයා මෙල්ල වුණා. ඒත් මගේ තරහා පාලනය වෙලා තිබුණේ නැහැ. මම මගේ තරහා පාලනය වනතුරු ඒකිගේ බෙල්ල මිරිකගෙන හිටියා.අන්තිමට එයා මැරුණා . මගේ මේ අත්දෙක උඩ එයාගේ පණ ගියේ.”

ඊට පස්සේ මොකද වුණේ?

“මම පැනලා ගියේ නැහැ. මට හිතාගන්න බැරිවුණා මොකක්ද කරන්නේ කියලා. පැය ගානකට පස්සේ ගමේ මිනිස්සු ආවා. ගමේ මිනිස්සු දැකලා තියෙනවා මම සුබා පස්සෙන් දුවනවා. පොලිසියෙන් ආවා. අන්තිමට මට ආයෙත් හිරේ එන්න වුණා...”