නාච්චිමලේ දොළේ ගිල්වා පි‍්‍රයදර්ශනී මරා දැමු පෙම්වතා එල්ලුම් ගහට

නාච්චිමලේ දොළේ ගිල්වා පි‍්‍රයදර්ශනී මරා දැමු පෙම්වතා එල්ලුම් ගහට

ඉංගිරිය නාච්චිමලේ දොළට දිය නාන්නට එන පිරිස් බොහොමයකි. ඊට හේතුව වන්නේ එය මනස්කාර පරිසරයකින් යුක්ත වීමය. බාල මහළු වැඩිහිටි පිරිස් අතර බොහොමයක් තරුණ ජෝඩු ද නාච්චිමලේ අවට නිතර දකින්නට ලැබේ. මහ රූස්ස ගස්වලින් වටවුණු නාච්චිමලේ දොළට දිය නාන්නට එන පිරිස්ගෙන් සෑම සති අන්තයක්ම පිරී පවතී. පොහො දිනක හෝ වෙනයම් නිවාඩු දිනයක නාච්චිමලේ දොළ අවට බොහෝ පිරිස් ගැවසෙති. ඒ නිසා ඒ අවට වෙළෙන්දන්ගෙන් ද පිරී පවතී.

ඒ ඉකුත් 2010 වසරේ මැයි මස දහවනදාය. ඉංගිරිය පොලිසියට ලැබණු දුරකථන පණිවිඩයකි. ඉන් කියැවුණේ නාච්චිමලේ දොළ තුළ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවය. උපපොලිස් පරීක්ෂක විජේරත්න ඇතුළු සැරයන්වරුන් වන රන්කොත් හා නිලමේ ද කොස්තාපල් වරයකු වන රාමනායකද පොලිස් ජීප් රියට නැගගත්තේ ඉක්මනින් නාච්චිමලේ දොළට යාම සඳහාය. ජීප්රිය පැදවුයේ කොස්තාපල් ලක්මාල්ය.

නිලධාරිහු සිද්ධිය වූ තැනට යන විටත් බොහෝ පිරිස් නාච්චිමලේ දොළේ කාන්තා මළ සිරුර ඇති තැනට රැස්ව සිටියහ. අධික වර්ෂාව නිසා දොළ ජලයෙන් පිරී පැවතිණ. විමර්ශනයට පැමිණි උපපොලිස් පරීක්ෂක විජේරත්න සැකකළේ මියගොස් සිටින කාන්තාව දිය නාන්නට ගොස් ගිලෙන්නට ඇති බවය. නිලධාරින් අවට සිටි පිරිසගෙන් ඇය ගැන දන්නා තොරතුරක් විමසුවේය.

“අපි නම් දන්නේ නැහැ සර්. මේ පැත්තේ කෙනෙක් නෙමේ...”

එතැන සිටි පිරිස එසේ කීහ.

“මෙයා කාත් එක්ක ආවද කියලවත් කවුරුත් දැක්කේ නැද්ද”

උප පරීක්ෂකවරයා විමසීය. ඒත් ඊට ද සාර්ථක පිළිතුරක් නොවීය. දියේ ගිලි මිය යන්නට ඇති සැකයත් කිසිවකු විසින් මරා දමන්නට ඇති සැකයත් නිසා නිලධාරින් ඊළඟට යොමු වූයේ හදිසි මරණ පරීක්ෂකවරයා එතැනට ගෙන් විමටය.

පසුව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුයේ මැය දියේ ගිල්වා මරා දමා ඇති බවය. එහෙත් කිසිවකු ඇය හඳුනාගැනීමට අසමත් වීම නිසා ඇගේ සිරුර මෘතශරීරාගාරයේ තැන්පත් කිරීමට නියම විය.

මැය කාගේ කවුද ඇය නාච්චිමලේ දොළට ආවේ ඇයි? ඒ තනිවමද? පොලිසිය පඹ ගලක පටැලී තිබිණි. කිසිදු විමර්ශනයක් ඇරැඹීමට නොහැකි වීමට එකම බාධකය වුයේ ඇය කාගේ කවුදැයි හඳුනාගැනීමට නොහැකිවීම නිසාය.

ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළේ ඉන් පසුවය.

එහෙත් ඉංගිරිය පොලිසිය නොදත් දෙයක් ඒ වන විටත් සිදු වී තිබිණි. තම සොහොයුරිය දහවනදා නිවෙසින් පිටව ගිය බවත් ඉන් පසුව ඇය නිවෙසට නොපැමිණි බවත් කියමින් හෝමාගම පොලිසියට ඇගේ සොහොයුරකු වූ පි‍්‍රයංකර කොඩිකාර නමැත්තා පැමිණිල්ලක් දමා තිබිණි.

සොහොයුරා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම නැගණිය සුනේත්‍රා පි‍්‍රයදර්ශනී බවත් හතළිස් අට හැවිරිදි ඇය අවිවාහක ජීවිතයක් ගත කළ බවත්ය. කොළඹ ටෙලිකොම් ආයතනයේ ලිපිකාරිණියක් ලෙස රැකියාව කරන ඇය මෑතකදී සිට පෙම්වතකු ඇසුරු කරන බවත් තමා දැන සිටිය බවය. එහෙත් ඔහු තමා දැක නැති බවත් සොහොයුරිය නිවෙසින් පිට වූ දා ඇය පෙම්වතා සමඟ ගමනක් යන බව මවට පවසා තිබු බවත්ය.

ඔහු තම සොහොයුරිය මෙසේ අතුරුදන්ව ඇති බව පවසමින් සිය මව සමඟ ගොස් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් යොමුකළේ ඔවුන් ඒ වන විට පදිංචිව සිටියේ හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ නිසාය. හෝමාගම පොලිසිය මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹුවද එය සාර්ථක විමර්ශනයක් නොවීය. එහෙත් ඉංගිරිය පොලිසිය මේ ගැන දැන සිටියේ නැත.

අවසානයේ ඉංගිරිය පොලිසිය විසින් දෙනු ලබන නාච්චිමලේ දොළේ මරා දමා තිබු තරුණියගේ ඡායාරූප පුවත්පත්වල පළවිණි. මෙය දුුටු හෝමාගම පදිංචි ව සිටි සුනේත්‍රා ගේ සොහොයුරා වහා ඉංගිරිය පොලිසියට පැමිණ නිලධාරින් සමඟ මෘත ශරිරගාරයට ගොස් මියගොස් සිටින්නේ තම නැගණිය බවට හඳුනා ගත්තේය.

විමර්ශන ඇරැඹුණේ එතැන් පටන්ය. ඔහුගේ ප්‍රකාශය ලියාගත් නිලධාරින් ඇයගේ අනියම් පෙම්වතා කවුදැයි සොයන්නට විය.

“නංගී ගෙදරින් ගිය දවසේ හවස එයා අපේ ගෙදර ඇවිත් අම්මා හමුවෙලා කියලා තියෙනවා. එයාත් එක්ක එදා ගමනක් යන්න නංගි එනවා කිව්වා. ඒත් නංගි ආවේ නැහැ. එයා රස්තියාදු වුණා කියලා.”

සොහොයුරාගේ ප්‍රකාශය අනුව නිලධාරින් ඇගේ මව හමුවීමටද ගොස් පි‍්‍රයදර්ශනිගේ ජංගම දුරකථනයේ අංකය ඔස්සේ ඇය සමඟ අවසන් වරට කතා බස් කළ පුද්ගලයා කවුදැයි සොයන්නට විය. ඇගේ ජංගම දුරකථනය සොයා ගත නොහැකි වූ බැවින් මව විසින් දෙනු ලබන දුරකථන අංකය ඔස්සේ ඔහු කවුදැයි සොයන්නට පොලිසියට එතරම් අපහසු කරුණක් නොවීය. එම අංකයේ ලියාපදිංචි හිමිකරු ත්‍රිරෝද රියදුරෙකු වූ සාරාංග නමැත්තෙකු බවට හඳුනාගත් පොලිසිය ඒ සම්බන්ධයෙන් සියලු නිලධාරින්ද දැනුම්වත් කළේය.

ඇගේ අවසන් කටයුතු සිදුකළ ද පොලිසියට සුනේත්‍රාගේ ඝාතකයා සොයාගන්නට හැකි වුයේ නැත.

කාලය මෙසේ ගෙවී ගියේය. උපපොලිස් පරීක්ෂක විජේරත්න ඇතුළු නිලධාරීන් ගෝනපොළ හන්දියේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියහ. කොළඹ සිට හොරණ දෙසට එමින් තිබු ත්‍රිරෝද රියක් නතර කළ නිලධාරින් එය සෝදිසියට ලක් කළේය. ත්‍රිරෝද රථය පැද වු රියදුරාගෙන් කලබලකාරී ස්වරූපයක් දුටු උප පොලිස් පරීක්ෂක විජේරත්න ඔහුගේ හැඳුනුම්පත හා රියදුරු බලපත්‍ර පිරික්සන්නට විය. උපපොලිස් පරීක්ෂක විජේරත්නට ඔහු ගැන ඇතිවුයේ සැකයකි. වහා පොලිස් ස්ථානයට රැගෙන ගිය නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය. අවසානයේ මෙතෙක් වේලා සඟවා ගෙන සිටි අබිරහස ඔහු හෙළිකරන්නට වුයේ මෙලෙසය.

සාරංග නමැති ඔහුගේ පියා කරුණාරත්නය. කුසුමාවති මවය. ගොවිතැන් බතින් ජීවත්වන තම පියාට හා මවට දාව ඔහුට තවත් සොහොයුරන් තිදෙනකි. දෙදෙනකුම වැඩිමහල් සොහොයුරෝය. බාලයා නැගණයකි.

හෝමාගම ප්‍රාථමික විද්‍යාලයෙන් පහට යනතෙක් අධ්‍යාපනය ලැබු මොහු පසුව විතාරන්දෙණිය විද්‍යාලයේ සති දෙකක අධ්‍යාපනයක් ලැබු පසුව දෙමව්පියන්ගේ කැමැත්තට අනුව ශ්‍රී පුවක්සතාරාමයේ වසර හතරක් වැඩිපුර අධ්‍යාපනය හදාරා තිබිණ.

පසුව කොළඹ කොටුවේ විහාරයක වසර අටක් පුරා පැවිදි ජීවිතය ගත කළ ඔහුට සුනේත්‍රා ප්‍රියදර්ශනී දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ ජංගම දුරකථනයට ලැබුණු වැරදි ඇමතුමක් නිසාය.

“පස්සේ අපි ෆෝන් එකෙන් නිතරම කතා කළා. අපි දෙන්නා නිතර නිතර හමු වුණා. අඹු සැමියන් ලෙසත් හැසිරුණා. එයා ගාව සල්ලි තියෙනවා. මම ඉල්ලන ඕනම වෙලාවක ටක් ගාලා මට සල්ලි දෙනවා. ඔහොම ඉන්න අතරේ පි‍්‍රයදර්ශනී මම හිටිය පන්සලටත් යන්න එන්න පටන් ගත්තා. ඒක මට වදයක් වුණා. පස්සේ බැරිම තැන මම විදේශ ගත වුණා අවුරුදු හතරක්ම රට ඉඳලා ආපහු ආවා. පස්සේ එයා ඒක දැනගෙන මාව හොයාගෙන පන්සලට ආවා. බැරිම තැන මම පැවිදි දිවියෙන් සමුගත්තා”

“ඉන් පස්සේ හෝටලයක අවුරුද්දක් විතර වැඩකළා. ඒ අතර තුරත් අපි දෙන්නගේ සම්බන්ධය තිබුණා. එයා මට මුදල් වලින් අඩුපාඩුවක් කළේ නැහැ. දහස් ගණනක් මම ඉල්ලුවත් ඒක දුන්නා. පස්සේ ගල්කිස්සෙන් අයින්වෙලා දෙහිවලට ආවා. දන්න කියන හාමුදුරුවෝ කෙනෙක්ගේ පන්සලේ උන් වහන්සේගේ කැමැත්ත අනුව මම නතර වුණා. “

ඔහොම ඉඳලා මගේ නමට ත්‍රිවිල් එකක් ගත්තා ඒක ගන්න වියදම් කළෙත් පි‍්‍රයදර්ශනී තමයි. මම ප්‍රියදර්ශනිට හොරා තවත් ගැහැනු කිහිපදෙනකුත් ආශ්‍රය කළා. ඒවා දැනගෙන එයා මගෙත් එක්ක රණ්ඩු වෙලත් තියෙනවා.”

“ත්‍රිවිලර් එක දුවන්න මට ස්ථිර තැනක් තිබුණේ නැහැ. පන්සල ළඟත් දුවනවා. ගල්කිස්සෙත් දුවනවා .පස්සේ මේක දැනගෙන පි‍්‍රයදර්ශනී මාව හොයාගෙන පන්සලටත් එන්න පටන් ගත්තා. මට මේක මහ කරදයක් වුණා. මේකට මොනව හරි කරන්න ඕන කියලා මම හිතුවා. මට දැනගන්න ලැබුණා ඉංගිරිය නාච්චිමලේ කියලා ඇල්ලක් තියෙනවා කියලා. ඒක බලන්න ඕන කියලා මට හිතුණා.”

එසේ සිතු සාරංග සිය ත්‍රිවිලරයෙන්ම ඉංගිරිය නාච්චිමලේට ගියේය. ඒ තනිවමය. දොළට පැමිණි ඔහු සිතේ හැටියට දිය නා ගත්තේය. කිසිවකු ඔහු නාන තැනට ආවේ නැත. වටපිටේ ඇත්තේ ද පාළුවකි. ඒ නිසා වැඩේට හොඳම තැන එතැන බව ඔහු තීරණය කළේය. පසුව යළි ත්‍රිවිලර්යෙන්ම දෙහිවල පන්සලට පැමිණි ඔහු පි‍්‍රයදර්ශනීට දුරකථන ඇමතුමක් ගත්තේය.

“ඉංගිරියේ නාච්චිමලේ කියලා ආරණ්‍ය සේනාසනයක් තියෙනවා යමුද බලන්න.”

සාරංගගේ කීමට ඇයද ද එක පයින් කැමති වුවාය. ඒ අනුව පසු දා උදෑසන හෝමාගම බස්නැවතුම් පළට එන ලෙස ඔහු ඇයට කීවේය. ඒ අනුව පසුදා උදෑසන නවයයි තිහට පමණ ඇය බස් නැවතුම අසළට පැමිණියාය. ඒ වනවිටත් සාරංග එතැනට පැමිණ සිටියේය. ආරණ්‍ය සේනාසනය බලන්නට ඇය ත්‍රිවිලරයට ගොඩවුයේ ඒ ඇගේ අන්තිම ගමන බව ඇය හීනෙකින්වත් නොදැනය.

“මම එයාවත් දාගෙන පාදුක්කට ආවා. පාදුක්කෙන් බිස්කට් පැකට් ටිකකුයි ගෝල්ඩ්ලීෆ් දහයකුයි ගත්තා බාර් එකෙන් අරක්කු බාගයක් ගත්තා. ඒවා අරගෙන සේනාසණයට යන්නේ නැතිව මම එදා නාපු තැනට ආවා. ඇලට බහින තැන තමයි ත්‍රිවිල් එක නැවත්තුවේ.

“මේ කොහේද යන්නේ”

පි‍්‍රයදර්ශනි මගෙන් ඇහැව්වා.

“අපි ඇළට බැහැලා නාමු.”

“අනේ මට බැහැ “

පි‍්‍රයදර්ශනි කිව්වා.

“පස්සේ මම එයාව ඇළ ළඟට එක්කගෙන ගිහින් වටපිට බැලුවා. එයාව මං ළඟට ඇදලා අරගෙන එයාගේ කැමැත්ත ඇතිව එයාව බදාගෙන හිටියා. ඉඳලා අරක්කු ටික බීලා සිගරැට් දෙකකුත් බිව්වා. පස්සේ මම වතුරට බැස්සා. බැහැලා එයාවත් වතුරට ඇදලා ගත්තා.

“අනේ වතුර සීතලයි. මට නාන්න බැහැ”

කියලා එයා කිව්වා. මම එයාගෙන් ඇහැව්වා මොකද තමුසේ මම ගැන අපේ ගෙදරට ගිහින් කිව්වේ කියලා එතකොට එයා කිව්වා “මම ආයෙත් යන්නේ නැහැ කියලා” එයා අපේ ගෙදර අය මුණ ගැහෙන්න ගිහින් තිබුණු නිසා මම එයාට දොස් කිව්වා. අපි දෙන්නා අතර බහින් බස් වීමක් ඇතිවුණා. ඒත් එක්කම මම එයාව ඇදලා අරගෙන එයාගේ කෝණ්ඩෙන් අල්ලගෙන මුහුණ වතුරේ ඔබාගෙන හිටියා. එයා දඟලලා උඩට ආවා. මම කොණ්ඩෙන් තවත් වතුරට තද කළා. එයාට හුස්ම ගන්න බැරිව වතුරේ දැඟළුවා. දිය බුබුළු උඩට ආවා. ඒ වෙලාවේ මට හිතුණා එයා මැරුණා කියලා. මම උඩට අරගෙන බැලුවා හුස්ම ගන්නවද කියලා. හුස්ම ගත්තේ නැහැ. “

“පස්සේ එයාගේ ඇඳුම් ගලවලා අරගෙන එයාගේ කලිසමෙන් ම ඒවා සේරම ගැටගහලා එයාගේ සිරුර එතැන තිබුණු මුල් අස්සේ හංගලා කණ්ඩිය උඩ තිබුණු දිග කොට කෑල්ල අරගෙන උඩට මතුවෙන්න බැරිවෙන්න කොටේ තියලා තද කරලා දැම්මා.“

“පස්සේ මම ගොඩට ඇවිත් එයාගේ ඇඳුම් සේරමයි. සෙරෙප්පු දෙකයි ඇළ අයිනේ තිබුණු ලොකු ගොරකා ගහ ළඟ බට පඳුරක් අස්සේ හැංගුවා.“

“වටපිට කවුරුත් පේන්න හිටියේ නැහැ. උඩට එද්දී එයාගේ ටැලිෆෝන් එක ත්‍රිවිලර් එක උඩ තිබුණා. ඒක අරගෙන දෙහිවලට එද්දී කොට පාලමක් එක්ක ඇලක් තිබුණා. මම ඇළට බැහැලා හැන්ඩ් ෆෝන් එක ඒ ඇළට විසිකළා.

“පස්සේ දෙහිවලට ඇවිත් පි‍්‍රයදර්ශනිගේ ගෙදරට ගිහින් එයාගේ අම්මට කිව්වා එයා අද ගමනක් යන්න එනවයි කියල ආවේ නැහැ කියලා. අම්මා කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. මම හා කියලා ඉක්මනට එතැනින් මාරුවුණා.“

“පසුවදා දිනමිණ පත්තරේ සිද්ධිය දාලා තිබුණා. ඉන් පස්සෙ මම හැම ගමනක්ම ගියේ පරිස්සමෙන්. පොලිසිය ඉන්නවානම් මඟ හැරලා තමයි යන්නේ.”

සැකකාර සාරංග පොලිසිය ඉදිරියේ සුනේත්‍රා ප්‍රියදර්ශනී ඝාතනය සියල්ලම විස්තර කළේය. ඔහුගේ ප්‍රකාශයට අනුව සඟවා තබන ලද සුනේත්‍රාට අයත් ඇඳුම් ඇතුළු සෙසු භාණ්ඩ පොලිසියට සොයාගන්නට හැකි විය.

අපරාධයක් කොට සැමදා සැඟව සිටිය හැකි බව අපරාධරකරුගේ විශ්වාසය වන්නට ඇත. එහෙත් එය එසේ නොවන බව මේ කතාවෙන් ද පෙන්නුම් කරන්නේය. කොතරම් පොලිසිය මඟ හැරියත් අවසානයේ ඔහු කොටුවුයේද පොලිසියටය. තමන් කළ අපරාධය තමන්ගේ හිත දන්නා නිසා ප්‍රශ්න කිරිමේදී ඔහුට දාඩිය දැම්මේය. හැසිරිම් වෙනස්විය. කලබලකාරි ස්වරූපයක් පෙන්නුම් කළේය.

අපරාධකරුට වඩා පොලිස් නිලධාරියා දක්ෂය. ඒ බව මනාව ඔප්පු කරමින් සාරංගගේ හැසිරී විලාශය ගැන සැකකරමින් පොලිසියට රැගෙන ගිය නිලධාරින් සාරංගගෙන් ප්‍රශ්න කිරිමත් සමඟ තවත් අබිරහස් ඝාතනයක සුලමුල හෙළිවිණ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පසුව ඔහුට චෝදනා ගොනු කෙරිණ. ඔහුට එරෙහිව නඩුව වසර හතක් පුරා විමසනු ලැබීය.

නඩු විභාගයේදී මේ ඝාතනය සියැසින් දුටු සාක්කිකරුවන් ඉදිරිපත් නොවුණද පර්වේෂණ සාක්කි කිිහිපයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරිණි.

මේ සාක්කි හා අධිකරණ වෛද්‍යවරයාගේ සාක්කිය අනුව මේ ඝාතනය ගැන කරුණු අධිකරණය හමුවේ සනාථ වී ඇත්තේ විත්තිකරු මේ තරුණියගේ ඝාතනයට වගකිව යුතුබවය.

අවසානයේ දඬුවම් පැමිණිවිමට කලින් කිව යුත්තක් තිබේදැයි මහාස්ත්‍රාත්වරිය චුදිතගෙන් විමසීය.

“මම එයත් එක්ක පේ‍්‍රම සම්බන්ධයක් පැවත්වුවේ නැහැ. ඇයව දියේ ගිල්වා ඝාතනය කළෙත් නැහැ. ඒත් පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා නඩු පැවරුවා මේ අධිචෝදනවාට මම නිවැරැදි කරුයි.“

ඔහුගේ ප්‍රකාශය සටහන් කරගත් පළාත් බද මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය අදාල චුදිතයාට මරණ දඬුවම නියම කළාය.