අලුත්ම තාලේ “කුඩු” විකිණිල්ල

අලුත්ම තාලේ “කුඩු” විකිණිල්ල

හෙරොයින් විකිණිමේ අලුත්ම උපක්‍රමයක් සොයාගැනීමට පසුගියදා ඉමදුව පොලිසියට හැකිවිය. ඒ ලැබුණු තොරතුරක් පිළිබඳ දැඩි සෝදිසියෙන් සිටීම නිසාය. පොලිසියට ලැබුණු තොරතුර වුයේ ගමේ තරුණයන් දෙතුන් දෙනකු නිතර නිතර ප්‍රදේශයේ ලයිට් කණු හා ඒ අවට සැරිසරමින් කුමක් දෝ සොයන බවය. තොරතුරු දුන් කෙනා ස්ථානාධිපතිවරයාට කීවේ මෙම තරුණයන් එසේ හැසිරෙන්නේ කිසියම් නිතී විරෝධී ක්‍රියාවක් සඳහා වන්නට ඇති බවය.

ඉමදුව පොලිස් ස්ථානාධිපතිවරයා මේ පිළිබඳ සිය නිලධාරින් දැනුම්වත් කළේය. සැකකටයුතු තරුණයන් ගැන අවධානයෙන් සිටින ලෙස අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නේය. ලබාගත් තොරතුරුවලට අනුව හයදෙනෙකුගෙන් යුත් නිලධාරින් කණ්ඩායමක් මෙම තරුණයන් කොටු කර ගැනීම සඳහා සුදානම් කෙරිණ. නිලධාරිහු සිවිල් ඇඳුම් ලාගෙන ඉමදුව ඇල්ලගොඩ හරහා දික්කුඹුර ප්‍රධාන මාර්ගයේ පැලවත්තට පැමිණියහ. පැය හතක පමණ කාලයක් මෙසේ සාමාන්‍ය මිනිසුන් සේ හැසිරෙමින් ඔවුහු අලුයම් කාලය තෙක් ඒ අවට සෝදිසියෙන් සිටියහ.

ඒ අතරතුර පාපැදිවලින් පැමිණි තරුණයන් දෙදෙනකු පැලවත්ත ප්‍රදේශයේ ලයිට් කණුවක් අසල නතරව ඒ අසල සෝදිසි කරන අයුරු දුටු නිලධාරිහු මොවුන් ගැන විමසිලිමත් වුහ.

“කෝ එතැන නැහැනේ.” එකෙකු දුරකථනයෙන් කාට දෝ කියන්නට විය.

“කොතැනද බැලුවේ. එතැන නෙමේ. අනිත් කණුවේ යට අලවලා ඇති.”

ලැබුණු පිළිතුරට අනුව තරුණයන් අනෙක් ලයිට් කණුව වෙත ගියේය. පසුව ලයිට් කණුව හොඳින් පිරික්සු ඔවුනට කණුව පහළ චුයින්ගම් යොදා අලවා තිබු හොරොයින් පැකට් කිහිපයක් සොයා ගැනීමට හැකිවිය. සතුටු සිතින් ඒවා ලබාගත් ඔවුන් බයිසිකල්වල නැගී පිටත්ව යන්නට සුදානම් වුවා පමණි. ඒ අසල සිටි නිලධාරිහු ගම්මුද සමඟ තරුණයන් දෙදෙනා කොටු කරගත්හ. ඒ නිසා එකකුට හෝ හෙල්ලෙන්ටවත් හැකියාවක් නොවිය. අතේ තිබු හෙරොයින් විසි කරන්නට හෝ ගිල දමන්නටත් අවස්ථාවක් නොවිය අල්ලාගත් දෙදෙනා ඉමදුව පොලිසියට රැගෙන ගිය නිලධාරිහු ඔවුන් අත තිබු හෙරොයින් ග්‍රෑම් 100 ක් සිය භාරයට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. ඒ අනුව අනාවරණය වුයේ ඊෂි කැෂ්් ක්‍රමයට ගත් හෙරොයින් බෙදා හරින නවතම ක්‍රමය මෙය බවය.

කවරෙකුට හෝ හෙරොයින් බීමට හෝ විකිණිමට අවශ්‍ය නම් ඔහු වහා දුරකථනයෙන් ජාවාරම්කරු ඇමතිය යුතුය. ඒ අනුව හෙරොයින් ප්‍රමාණයට අවශ්‍ය මුදල ඊෂි කෑස් ක්‍රමයට දැමීමෙන් පසු ජාවාරම්කරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් යැවිය යුතු වේ. ඉන්පසු ජාවාරම්කරු විසින් සිය ගෝලබාලයන් ලවා එම හෙරොයින් ප්‍රදේශයේ ලයිට් කණුවල තබනු ලබයි. ඒ සඳහා චුයිංගම් යොදා ගැනීම මෙහි අලුත්ම ක්‍රමයයි. චුයින්ගම් වලින් ලයිට් කණුවේ හෙරොයින් ඇල වු පසු ඒ බව ජාවාරම්කරු විසින් මුදල් දුන් තැනැත්තාට දැනුම් දෙනු ලැබේ. ජාවාරම්කරු විසින් ලබාදෙන ලයිට් කණුවේ අංකයට අනුව අදාල කණුව වෙත ගොස් කණුව පහළ අළවා තිබෙන හෙරොයින් පැකට් ලබාගත හැකිවේ.

එළෙස මුදල් ගෙවා ලයිට් කණුවල අලවන ලද හෙරොයින් ගැනීමට යද්දී මෙම තරුණයන් දෙදෙනා පොලිසියට කොටු වී තිබේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ පෙර ජාවාරම්කරු විසින් ප්‍රදේශයේ ලයිට් කණු සියල්ල අංක කර තිබිමයි.

ප්‍රශ්න කිරිමේදී සැකකරුවන් දෙදෙනාගෙන් තවත් තොරතුරක් හෙළි වී තිබේ. ඝනව තණකොළ වැඩුණු ස්ථානවල ඇති ලයිට් කණු වැඩි වශයෙන් හෙරොයින් ඇලවීම සිදුකරන ලෙසත් ජාවාරම්කරු ඔහුගේ ගෝල බාලයන් පවසා තිබිණි. එවැනි ලයිට් කණු අසළට ගොස් ශරීර කෘත්‍යයක් කරන ආකාරයෙන් සිට එම ලයිට් කණුවේ කුඩු පැකට් අලවන ලෙසත් නැතහොත් ලයිට් කණුව අසල කුඩු පැකට් බිම දමා යන ලෙසත් ජාවාරම්කරු පවසා ඇති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වී තිබේ. එසේ බිම දමා හෝ අලවා ගනු ලැබු කුඩු පැකට් ඉතා සියුම් ලෙස අසුරා ඇති බවද පොලිසිය කියයි. පැරැණි සිගරට් පැකට් පිටි පැකට්, චොකලට් කොළ මෙන්ම ග්‍රොසරි බෑග් වලද ඉතා සිහින්ව මෙම කුඩු අසුරනු ලබයි. ඉන් අනතුරුව දුරකථනයෙන් කරන ලද දැනුම්දීමත් සමඟ අදාල තැනැත්තා සැඟ වු කුඩු ලබාගත යුතුවේ.

මේ සඳහා ජාවාරම්කරු බාල වයස්කාර දරුවන් යොදාගෙන ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ලයිට් කණුවල හෙරොයින් ඇලවීම සිදු කරන්නේ වයස අවුරුදු 15ත් 22 ත් අතර තරුණයන් වේ. ඒ සඳහා සැලකිය යුතු මුදලක් ඔවුන්ට ගෙවනු ලබයි.

“අපි දන්නේ මේ ටෙලිෆෝන් නොම්මරේ විතරයි. කොහෙන් කුඩු එවනවද කවුරු එවනවද කියලා අපි දන්නේ නැහැ. අපි මේ නොම්මරේට ඊසි කෑෂ් දානවා. පස්සේ ඒ නොම්මරයෙන්ම කතා කරලා කුඩු තියන තැන අපිට කියනවා. අපි ඒ කුඩු අරන් ගිහින් අවශ්‍ය අයට දෙනවා.”

අල්ලාගත් සැකකරුවන් පොලිසියට පවසා තිබිණි.

අල්ලාගත් තරුණයන් දෙදෙනාගෙන් එක් අයකුගේ පියකුට මත්කුඩු චෝදනා එල්ල වී ඔහුට එරෙහිව මහාධිකරණයේ නඩු දෙකක් ද විභාග වෙමින් ඇති බව ඉමදුව පොලිස් ස්ථානාධිපතිවරයා කියයි.

කුඩු ලබාදෙන බව කියමින් මුදල් ලබාගන්නා දුරකථන අංකය ගැන පොලිසියේ අවධානය යොමු වී තිබේ. එහෙත් ස්ථානාධිපතිවරයා පවසන්නේ එම අංක බොහොමයක් බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක වන ඒවා බවය.

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගත් හෙයින් ඔවුන්ට දඩ මුදල් නියම කෙරිණ.

ඉමදුව පොලිස් ස්ථානාධිපති එච්.වී.කේ. උපුල් කුමාර මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලක්ෂමන් ඩයස් ප්‍රමුඛ සැරයන් ධනවංශ (54802) හා කොස්තාපල්වරුන් වූ රමන් (24174) මහේෂ් (77729) යන නිලධාරිහුද මෙම වැටලීමට එක්ව සිටියහ.