එස්.ටී.එෆ් SWAT බළකාය මදූෂ්ගේ ගෝලයන් ඇල්ලු හැටි

එස්.ටී.එෆ් SWAT බළකාය මදූෂ්ගේ ගෝලයන් ඇල්ලු හැටි

මීගමුව කුරණ හන්දිය අසල පිහිටි රථවාහන අලෙවිසලක් අසල නවතා තිබෙන සුදු පැහැ වෑන් රථයකි.

පොලිස් විශේෂ කාර්යය බලකායට (එස්.ටී.එෆ්) අයත් ඩිෆෙන්ඩර් රථයක් එම සුදු වෑන් රථය අසල නතර කෙරිණි.

එහි ආයුධ සන්නද්ධ එස්.ටී.එෆ් භට කණ්ඩායමකි. එම කණ්ඩායම එස්.ටී.එෆ්. බුද්ධි කොට්ඨාසයේ විශේෂ අවි හා උපක්‍රම (SWAT) කණ්ඩායමයි.

එම කණ්ඩායමේ කිහිපදෙනකු ඩිෆෙන්ඩර් රථයෙන් බැස වෑන් රථය අසලට ගියේ එය පරීක්ෂා කිරීම සඳහාය. ඒ.... මෙම වෑන් රථයේ ගිනි අවි රැගත් අපරාධ කල්ලි සාමාජික පිරිසක් අපරාධයක් කිරීමට යමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුවය.

වෑන් රථය පරීක්ෂා කිරීමට ගිය එස්.ටී.එෆ්. කණ්ඩායමට එක් වරම වෑන් රථය දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙවැනි ප්‍රහාර වලට මුහුණ දීම සඳහා මනා පුහුණුවක් ලබා සිටින SWAT කණ්ඩායම ආරක්ෂිත පියවර ගත් අතර වෑන් රථය එම ස්ථානයෙන් පලායාමට උත්සාහයක යෙදෙන බව වැටහිණි.

ඒ සැණින් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සිය රථය හරස්කොට වෑන් රථයේ ගමන වැලැක්වීමට කටයුතු කළේය. ඒ උත්සාහය හේතුවෙන් වෑන් රථය මෙන්ම ඩිෆෙන්ඩර් රථය ද පාරෙන් ඉවතට පැන නතර විය.

මේ සියල්ලම ක්ෂණිකව වූ සිදුවීමය. වෑන් රථය පරික්ෂා කිරීමට ගිය SWAT කණ්ඩායම වෑන් රථය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයට වෑන් රථයේ සිටි පිරිස ප්‍රතිප්‍රහාර එල්ල කළේ නැත.

SWAT කණ්ඩායම වෑන් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සහ සැකකරුවන් පලායාම වැලැක්වීම උදෙසාය.

එම ප්‍රහාරයෙන් වෑන් රථයේ ටයර් වලට ද හානි සිදු වු අතර ඒ හේතුවෙන් කුමන ආකාරයකින් හෝ සතුරු කණ්ඩායමට පලායාමට තිබු හැකියාව අහෝසි වී ගියේය. වෑන් රථයේ සිටි පුද්ගලයන් SWAT කණ්ඩායමට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම නතර වූ වහාම එම වෑන් රථය විවෘත කිරීමට SWAT කණ්ඩායම කටයුතු කළේය.

තම ජීවිත පිළිබඳ පවා නොතකමින් SWAT කණ්ඩායම මෙම වෑන් රථයේ දොරවල් විවර කර බලද්දී රියැදුරු ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු එහි සිටින බවක් දක්නට ලැබිණි.

ඉන් දෙදෙනකු වෙඩි ප්‍රහාරයට ගොදුරුව තුවාල ලබා සිටී. ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවක් දක්නට ඇත. අනෙක් දෙදෙනාට කිසිම තුවාලයක් සිදුව තිබුණේ නැත.

තුවාල කරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කළ SWAT කණ්ඩායම අනෙක් දෙදෙනා අත් අඩංගුවට ගත්තේය.

ඔවුන් පැමිණි වෑන් රථය සෝදිසි කිරීමේදී එහි තිබී ටී - 56 ගිනි අවි දෙකක් උණ්ඩ සහිත එම මැගසින් තුනක් ද, චීනයේ නිෂ්පාදිත ව්ර්‍ථ -22 වර්ගයේ පිස්තෝලයක් සහ එම උණ්ඩ සහිත මැගසිනයක් ද ව්‍යාජ අංක තහඩු තුනක් සහ තවත් භාණ්ඩ කිහිපයක් ද හමුවිය.

එස්.ටී.එෆ්. බලකායේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ඇතුලු එම අංශයේ නිලධාරින් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර මීගමුව පොලිසිය ද පරීක්ෂණ සඳහා එක්විය.

මෙම වෑන් රථයේ පැමිණි අපරාධ කල්ලි සාමාජිකයන් කවුරුන්දැයි හඳුනාගැනීමට එස්.ටී.එෆ්. බලකායට හැකිවිය.

මෙම කල්ලිය දකුණේ පාතාල නායකයකු වන දැනට විදෙස්ගතව සිටින මදුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ් ගේ කල්ලියේ සාමාජිකයෝය. ඔවුන් මෙලෙස ආයුධ සන්නද්ධව යමින් සිට ඇත්තේ කොල්ලකෑමක් සඳහාය.

මෙම සිව් දෙනා අතර සිටි ප්‍රධානියා වුයේ වජීර කුමාර නොහොත් වජීර නමැත්තාය. සීදුවේ පදිංචි කරුවකු වූ ඔහු හතලිස් එක් හැවිරිදිය.

මදුෂ්ගේ කල්ලියට එක්ව අපරාධ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් සිටි මොහු අවසන් වරට ඇප දී එළියට ගෙන තිබුණේ ද මදුෂ් විසිනි. ඒ... මදුෂ් මෙරටින් පලා යාමට පෙරය.

එලෙස එළියට ආ වජිර කුමාර ඉන් අනතුරුව අධිකරණය පැත්ත පලාතක පස් පැගුවේ වත් නැත. මොහු මෙලෙස ඇප මත එළියට පැමිණ තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිට පොලිසියට හසු වී අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකොට කලකට පසු ඇප නියම කිරීමෙන් අනතුරුවය.

ඊට පෙර මදුෂ්ගේ අවශ්‍යතාව මත සිදු වූ ඝාතන ඇතුලු අපරාධ රැසකටම මොහුට නඩු පැවරී තිබිණි. එම නඩු සඳහා මොහු මහාධිකරණයෙන් ඇප ලබාගෙන තිබිණි. එහෙත් මදුෂ් ඇපයට අත්සන් කොට එළියට පැමිණීමෙන් අනතුරව වජිර මනුෂ්‍ය ඝාතන නඩු වලට ද පෙනී සිටියේ නැත.

එස්.ටී.එෆ්. බලකායට කොටුවන විට මොහු මහාධිරකරණයට ද වරෙන්න්තු වී සිටියේය.

මොහුට එරෙහිව ඇති චෝදනා අතර මනුෂ්‍ය ඝාතන දෙකකි. ඊට අමතරව ඝාතන තැත්කිරීම් සහ කොල්ලකෑම් රැසකි.

මදුෂ් යනු කෙල්ලකල්ලි නායකයෙකි. මොහු මෙරට සිටි සමයේ මොහුගේ කල්ලිය අපරාධ වලට ගියේ මොහුගේ නායකත්වයෙනි. රට පුරායමින් මදුෂ් කල්ලිය කොල්ලකෑම් වල නිරත වූ අතර දෙදහස් එකොළහ වර්ෂයේ නොවැම්බර් මස පස් වැනිදා වජිර කුමාර පුද්ගල ඝාතනයක් සිදු කරන්නේ මෙලෙස කොල්ලයකට ගිය අවස්ථාවකදීය.

මොහුගේ වෙඩි පහරින් මිය යන්නේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

සිය නිවෙස කොල්ල කෑමට පැමිණි කල්ලියට එරෙහිව මෙම තරුණයා නැඟී සිටි අතර ඒ හේතුවෙන් ඔහුට සිදුවුයේ කොල්ලකරුවන්ගේ වෙඩි පහර වලට ගොදුරුව මිය පරලොව යාමටය.

මෙම ඝාතන සිද්ධියට මොහු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අතර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

ඔහු මීගමුව බන්ධනාගාරයේ සිටි සමයේ දෙදහස් දොළහ වර්ෂයේ දී පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් බන්ධනාගාරයෙන් මොහු සිය භාරයට ගෙන ප්‍රශ්න කර තිබිණි. ඒ.... අනවසර ගිනි අවි සම්බන්ධයෙනි.

දෙදහස් දා හතර වර්ෂයේ ජනවාරි මස එකොළොස් වැනිදා මොහු තවත් මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන්නේ මාතර පොලිස් වසමේදී ය. එම සිද්ධියේ දී මොහුට එරෙහිව චෝදනා දෙකක් ඇත. ඒ.... වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම සහ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීමයි.

මෙම ඝාතනයට සහ ඝාතන තැතට මොහු පොලිස් අත්අඩංගුවට පත්වන අතර ටික කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් අනතුරුව ඇප මත එළියට පැමිණිමට මොහුට හැකිවිය. මොහු මත්ද්‍රව්‍ය සිද්ධියකට ඇතුලට යන්නේ ඉන් අනතුරුවය.

පෙර නඩු වලට වරෙන්තු වන මොහු ඊළඟට පොලිස් ඇසට වැලි ගසමින් ගිනි අවි පෙන්වා පුද්ගලයන් බිය වද්දා කෙල්ලකෑම් වල නිරත වුයේ ද මදුෂ් ගේ ආශිර්වාදය ඇතිවය.

දෙදහස් පහළොව වර්ෂයේ සැප්තැම්බර් මස දස වැනිදා ආයුධ සන්නද්ධ කොල්ල කල්ලියක් හංවැල්ල මහජන බැංකුවට පැන රුපියල් ලක්ෂ විසිහයකට වැඩි මුදලක් කොල්ල කාගෙන ගියේය.

මෙම කොල්ලය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහාධිකරණය මොහුට වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සිද්ධි ඇතුලු දිවයින පුරා සිදු වූ මොහු සම්බන්ධ බවට වාර්ථා වු සහ වාර්ථා නොවු අපරාධ රැසකට මොහු සම්බන්ධ බව හෙළි වී ඇත.

එස්.ටී.එෆ්. අත්අඩංගුවට පත් අනෙක් තිදෙනා වුයේ චම්පික කුමාර ජයතුංග, වෙළමැදගෙදර ජනක අරුණශාන්ත සහ අලවත්ත කංකානම්ලාගේ චරිත මදුෂය.

මොවුන් අතරින් චම්පික කුමාර ජයතුංග ද ප්‍රහාරයෙන් තුවාල ලැබීය. හෝමාගම ප්‍රදේශයේ පදිංචි මොහු ගේ වයස අවුරුදු විසි අටකි.

මීට වසර කිහිපයකට පෙර කොස්ගම පොලිස් වසමේදී යතුරුපැදි වලින් ගොස් ගිනි අවි පෙන්වා ආයතනයකින් රුපියල් හතලිස්පන්දහසක මුදලක් කෙල්ලකා ඇත.

පසුගිය අපේ‍්‍රල් මස දාසය වැනිදා හංවැල්ල පොලිස් වසමේ වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයකින් රුපියල් ලක්ෂ දෙකක මුදල් සහ රුපියල් පනස් දහසක් වටිනා දුම්වැටී කොල්ල කෑම සිදුකර තිබුණේ මොහුගේ මුලිකත්වයෙනි.

ෆුල් ෆේස් හෙල්මට් දමා කලු ජැකට් හැඳ යතුරු පැදි වලින් ගොස් ගිනි අවි පෙන්වා පහර දී බිය වද්දා මෙම කොල්ලය සිදුකර තිබිණි.

අපේ‍්‍රල් මස දහ අට වැනිදා ද මොහු ගිනි අවි පෙන්වා පුද්ගලයකු බිය ගන්වා මරණ තර්ජන එල්ල කර තිබුණේ අතුරුගිරිය පොලිස් වසමේදීය.

මෙම සිද්ධියට මොහු සමඟ සහභාගී වූ අනෙක් පුද්ගලයන් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නමුත් මොහු සොයා ගැනීමට නොහැකි විය.

මෙලෙස ගිනි අවි පෙන්වා චන්ඩි පාට් දැමු මොහු කෑම කඩයකින් කෑම කා මුදල් නොගෙවා පසුව කඩ හිමියා බියවද්දා රුපියල් විසිදහසක් කොල්ලකෑමේ සිද්ධියක් ද එස්.ටී.එෆ් බලකාය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත. මොහු මෙලෙස පිනට කා මුදල් ද පැහැරගෙන ගොස් තිබුණේ කලුතර ප්‍රදේශයේ පිහිටි රාත්‍රී හෝටලයකිනි.

අපේ‍්‍රල් මස අවසන් දිනයක වාද්දුවේ රට බීම හලකට පැන ගිනි අවි පෙන්වා බියවද්දා රුපියල් දෙලක්ෂ දස දහසක මුදල් කොල්ලකෑමේ සිද්ධියට ද මොහු සම්බන්ධව බව හෙළි වී ඇත.

මෙම වර්ෂයේ මැයි මාසයේදී පාදුක්ක ග්‍රාමීය බැංකුවක් කොල්ලකෑමට තැත් කොට එම තැත ව්‍යාර්ථ වූ පසු එම බැංකුවට පැමිණ සිටි කාන්තාවකගේ ගෙළ බැඳී රන් මාලය කඩාගත් බවට ද මොහුට චෝදනා එල්ල වී ඇත.

මෙම වර්ෂයේ මැයි මස විසි අටවැනිදා කහතුඩුව පොලිස් වසමේ රන් භාණ්ඩ වෙළෙඳසලක් කොල්ල කා තිබුණේ ද මොහු ඇතුලු කණ්ඩායමයි.

වෙළමැදගෙදර ජනක අරුණ ශාන්ත හිටපු නාවික හමුදා භටයෙකි. හතලිස් හැවිරිදි මොහු දෙදහස් දහය වර්ෂයේදී නාවික හමුදා සේවයෙන් ඉවත්ව ඇත. ඉන් අනතුරුව මොහු මෙම කල්ලිය සමඟ එක්ව අපරාධ වලට දායක වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

රාගම පදිංචි කරුවකු වන අලවත්ත කංකානම්ලාගේ චරිත මදුෂ තිස් එක් හැවිරිදිය. මෙරට සිටි ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කරුවකු වු කුඩු ලාලිත ගේ ගෝලයෙකි.

මීට වසරකට දෙකකට පමණ ඉහත දී අතුරුගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු ලාලිත වෙඩි තබා ඝාතනය කළේය.

ඊට පෙර එනම් දෙදහස් දහතුන වර්ෂයේදී මොහු කුඩු ග්‍රෑම් දෙසීයක් සමඟ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට කොටු වී තිබිණි. ඉන් අනතුරුව ඇප ලබා එළියට පැමිණි පසු ද මොහු එම ජාවාරම කරගෙන ගොස් ඇති අතර වජිර කුමාරගේ කොල්ල කල්ලියේ සමාජිකයකු ලෙස අපරාධ ගණනාවකට සම්බන්ධ වී ඇත.

එස්.ටී.එෆ්. බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබු මේ සිව්දෙනාගෙන් වජීර කුමාර සහ චම්පික කුමාර තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අනෙක් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මීගමුව පොලිසියට භාර දී ඇත.

මීගමුව පොලිසිය මේ දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වල දී මෙම කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

ඔහු කඩවත, ජය මාවතේ පදිංචි රන්දිව් නැමැත්තාය. පැලියගොඩ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් මොහු අත්අඩංගුවට ගත්තේ ව්‍යාපාරික ස්ථානයට යමින් සිටියදීය.

කළ ප්‍රශ්න කිිරීම් වලදී මොහුගේ අනියම් බිරියගේ නිවෙසේ සඟවා තිබී ටී - 56 ගිනි අවියක් , වෙනත් ගිනි අවියක කොටස් කිහිපයක්, පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් එම කැප් තොප්පියක් තරු සහිත පොලිස් උරහිස් පළඳනා හයක් එම ඒකකය විසින් සොයා ගනු ලැබීය.

අනතුරුව වැඩිදුර විමර්ෂණ සඳහා මොහු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට භාර දී ඇත.

එම කොට්ඨාසය මොහු අධිකරණයට ඉදිරිපත් කොට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබාගත් අතර ප්‍රශ්න කිරීම් වලදී හෙළි වුයේ මොහු වජිර කුමාරගේ ළඟම ගෝලයා බවයි.

ශියාම් නානා නැමති කුඩු ජාවාරම්කරු අද ඇතුලේය. මදුෂ් නැමැති පාතාල කල්ලි නායකයා විදෙස් රටකය. එහෙත්.... මේ දෙදෙනාගේම කුඩු ජාවාරම කිසිම අඩුපාඩුවක් නොමැතිව මෙරට පුරා හොඳින් ක්‍රියාත්මක වේ. ඒ.... රන්දිව් ගේ මැදිහත් වීමෙනි.

ශියාම් නානාගේ කුඩු විකුණන අතරතුරේ වජිර කුමාර ලබාදෙන මදුෂ්ගේ කුඩු ද විකුණන අතර ලැබෙන මුදල් රන්දිව් වජිර කුමාර ඇතුලු එම ජාවාරමට සම්බන්ධ අය බෙදා ගනී.

එබැවින් රන්දිව් ට මුදල් වලින් අඩුවක් නැත. කුලියට ගත් නිවාස වල ජීවත් වෙමින්, වාහන ද කුලියට ගෙන පාවිච්චි කරමින් බිරින්දැවරුන් ද කිහිප දෙනකු තියාගෙන මොහු සුඛෝපභෝගි ජීවිතයක් ගත කරන්නේ කුඩු සල්ලි වලිනි.

අඩි 4ක් වත් උස නැති තිස් පස් හැවිරිදි මොහු අත්අඩංගුවට පත්වෙද්දී බන්ධනාගාර ගතව සිට එළියට පැමිණ ගෙවී ගොස් තිබුණේ මාස හතරක කාලයකි.

මොහු එලෙස ඇතුලට ගොස් තිබුණේ සපුගස්කන්ද ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙඳසලකට පැන පවුම් සියයක් කොල්ලකෑමේ සිද්ධියටය. මොහුගේ නීත්‍යානුකූල බිරිය බස්නාහිර පළාතේ අධ්‍යාපන සංවර්ධන නිලධාරිනියකි.

කුරණ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන වජිර කුමාර එස්.ටී.එෆ් SWAT භටයන්ගේ ප්‍රහාරයට ගොදුරු ව බරපතල තුවාල ලැබීය.

මොහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය පෙබරවාරි මස විසි අට වෙනිදා කලුතර දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමට ගිය අංගොඩ ලොක්කා, ලඩියා ඇතුලු කණ්ඩායමේ මොහු ද සිටි බවට තොරතුරු හෙළි වී ඇත.

වජිර කුමාර විදෙස්ගතව සිටින දකුණු පාතාලකල්ලි නායකයකු වන මාකදුරේ මදුෂ් ගේ ළඟම ගෝලයෙකි. වර්ථමානය වන විට මදුෂ්ට සිය ඉලක්ක කරා යැවීමට සිටි හොඳම සගයා මොහු බව කියයි.

එහෙත්..... මොහු අද රෝහල් ගතව සිටිය ද මදුෂ් කල්ලියේ අපරාධ නිමාවනු ඇතැයි සිතිය නොහැකිය. ඒ..... වජිර කුමාර වැනි තවත් අපරාධ කාරයන් මදුෂ්ගේ කල්ලියේ අනිවාර්යයෙන්ම සිටින නිසාය.

එස්.ටී.එෆ්. අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බී.ආර්. ලතීෆ් ගේ නියෝග මත එම බලකායේ බුද්ධි අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර ගේ මෙහෙයවීමෙන් බුද්ධි අංශයේ ස්නාධිපති පොලිස් පරීක්ෂක ඊ.එස්.ධර්මපි‍්‍රය උප ස්නාධිපති කේ.එච්.කේ. සංගීත් ඇතුලු එස්.ටී.එෆ්. SWAT බලකාය මුල් මෙහෙයුමට එක්වුහ.

නියෝජ්‍ය පොලිස්පති අපරාධ කමල් සිල්වා, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ලියනගේ යන නිලධාරින්ගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ජනක කුමාර ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණ වල නිරතව සිටී.