"බිමට වැටුණු සුරඟනන්" 2

"බිමට වැටුණු සුරඟනන්" 2

රෝජා

කොයිතරම් සදාචාර සංස්කෘතියේ යළු පිළි පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි.

එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

ඨාකූර්ලා ගොඩක්ම වංශවත් උදවිය. ඉන්දියාවේ ඈත ගම්මානවල ඨාකූර් පරම්පාරව මුදල් බලය හා ගෞරවය අතින් උත්තම කොටසක් හැටියටයි අතීතයේ සිටම පැවැතෙන්නේ. ඨාකූර්ලා ගොඩක්ම පැලපදියම් වෙලා හිටියේ තමිල්නාඩුවේ මධුරා පුරයේ එහෙමත් නැත්තම් මධුරෙයිවල.

මධුරෙයි වල පිහිටා තිබුණු පූනම් ගම්මානයේ හිටපු ගොඩක්ම සල්ලි තියෙන ඨාකූර් පරම්පරාව තමයි සෙංගල් ගේ පරම්පරාව සෙංගල්ගේ පරම්පරාවේ උන්නු “රෝජා” ගොඩක්ම ලස්සන යුවතියක්. එයාගේ ලස්සන උපමාකරන්න පුළුවන් රෝසමලකට විතරයි. “රෝජා” කියන නම එයාට ගොඩක්ම ගැලපුණා. “රෝජා” ගේ අම්මල තාත්තල ගොඩාක් වංශවත් පරම්පාරාවකට අයිති වුණත් “රෝජා” ට ඒ ගැන වගක්වත් තිබුණේ නැහැ.

ඒ ගමේම ජීවත්වෙච්ච කමල්රාජ් පුනම් ගමේ ඉහළටම ඉගෙන ගත්තු කොල්ලා. එයත් ගොඩාක් හැඩිදැඩි තරුණයෙක් දවසක් පුනම් ගම්මානයේ “ජල්ලිකට්ටු” උත්සව දවසකදී තමයි රෝජාත් කමල්රාජුත් මුල් වරට හමුවුණේ. කොහොමහරි මේ අවිහිංසක රෝස මලේ අයිතිකාරයා හැටියට පෙනී හිටින්නට කමල්රාජ්ට හැකියාවක් ලැබුණා. ඒත් කමල්රාජ් දැනගෙන හිටියා එයාගේත් රෝජාගෙත් ආදර අන්දරය බැරි වෙලාවකවත් රෝජාගේ තාත්තා සෙංගල් දැනගත්තොත් සිද්ධ වෙන විනාශය. කුලහීන පරම්පරාවක හිටපු කමල්රාජ් ගොඩාක් ලස්සන හීන දැක්කා. ඒ හීනවල වැඩිපුරම හිටියේ රෝජා....

මධුරෙයි සරසවියේ ඉගෙන ගත්තු කමල්රාජ් මුළු ගමටම ආඩම්බරයක් බවයි ගමේ හැමදෙනාම විශ්වාස කළේ. ඒ අතරතුර රෝජාගෙත් කමල්රාජ්ගෙත් ආදර අන්දරය ඩිංග ඩිංග මෝරාගෙන ආවේ තල මලක් පිපෙන්න වගේ.....

මේ දෙන්නාගේ ආදර කතාව දැනගෙන හිටියේ රෝජාගේ යාළුවෙක් වෙච්ච ශකුලාත් වගේම කමල්රාජ්ගේ හොඳම යාළුවා වෙච්ච යාදෙව්ත් විතරමයි. ඉරට හඳට හොරා කාලය ගෙවිල ගියා. සෙංගල් දවසක් රෝජාට කථා කළා. “දුවේ ඔයා දැන් ලොකු ළමයෙක්.අපේ පරම්පරාවටම ඉන්න ලස්සනම කෙල්ල ඔයා. ලොකු මඟුලක් කාලා දවස් තුනක් ගොඩාක් සංතෝෂ වෙලා තාලි කට්ටු උත්සවය ගන්නයි මං හිතාගෙන ඉන්නේ”

සෙංගල් එයාගේ රැවුල කරකවමින් කිව්වා.

“අනේ තාත්තේ දැන්මම මොකටද මට තව ඉගෙන ගන්න ඕන. මං ගොඩාක් ඉහළට ඉගෙන ගෙන කසාද බඳින්නම්. එත් දැන්නම් බැහැ.”

රෝජා එහෙම කිව්වා.... ඒත් සෙංගල් තද තීරණයක හිටියා.

“හරියටම තව මාස දෙකකින් ඔයාගේ කසාදය වෙනවා. ඒ ඨාකූර් පරම්පාරවේ ගොඩාක් වස්තුකාරයෙක් වෙච්ච ප්‍රදීපන් එක්කලා.”

තාත්තට ගොඩක් බයෙන් හැදුණු “රෝජා” ඊට එරෙහිව කතා කරන්න ගියේ නැහැ.

මේ කතාව කමල්රාජ්ට යන්තමින් කියාගන්න “රෝජා”ට ඉඩක් ලැබුණා.

“අපි කොහාට හරි පැනලා යමු.”

කමල්රාජ් “රෝජා”ට කිව්වා.

“මම වෙන මිනිහෙක්ව නම් බඳින්නේ නැහැ. ඔයා නැති වුණොත් එයාව හරි වෙන කාවහරි බඳින්නෙත් නැහැ. එහෙම නොවුණෙත් අනිවාර්යයෙන්ම මං මැරෙනවා. ඔයා හැර වෙන කවුරුවත්ම මට ඕන නැහැ.

“රෝජා” ඇස් දෙකේ කඳුළු පුරෝගෙන කමල්රාජ්ට කිව්වා.

කමල්රාජ්ගේ යෝජනාවට “රෝජා” එක පයින්ම කැමති වුණා. මධුරෙයි බස්නැවතුමට පාන්දරම “රෝජා” ආවේ ගෙදරට හොරෙන්. ඒ එද්දී රත්තරන් මාල වළලු වගේම සල්ලිත් එයා ගෙනල්ලා තිබුණා. ඈත ගම්මානයකට ගිිහිල්ලා එයාගෙත් කමල්රාජ්ගේත් ලස්සන කැදැල්ල තනාගෙන මුළු ලෝකෙන්ම හැංගිලා ජීවත් වෙන්න රෝජා හිත ගත්තා. රෝජා ඉන්න තැනට කමල්රාජ් පාන්දරම ආවා. එයාලා දෙන්නා මීන්පුරම් වලට යන බස් එකේ නැග්ගා.

“රෝජා මං ඔයාව වෙන කාටවත්ම අයිති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. “

කමල්රාජ් එසේ කියමින් රෝජාගේ හිස එයාගේ පපුවට තුරුල් කරගත්තා.

එදා දවස උදාවුණා. ඉරමල ගස් කොලන් අතරින් හිනැහුණා. පැය දෙක තුනක් යද්දී ඨාකූර් ලගේ ගෙදර ගිනි ගත්තා. ඒ රෝජා ගේ අතුරුදන් වීමෙන්. ඨාකූර්ගේ අතවැසියෝ ගමේ අස්සක් මුල්ලක් නෑරම රෝජාව හෙව්වා ඒත් තොරතුරක් හම්බවුණේ නැහැ.

ඨාකූර් සහ එයාගේ හාමිනේ පොළොවේ පස්කෑවා. ඒත් රෝජා ගැන කිසිම තොරතුරක් නැහැ. මෙලෙස දවසින් දවස ගත වුණා. මේ අතර දවසක් ඨාකූර්ට ලියුමක් ලැබුණා. “අම්මේ තාත්තේ මට සමාවෙන්න මං කසාද බැන්දා මට ගොඩක් ආදරය කරන කෙනෙක්. මං දැන් සතුටින් ඉන්නවා..... මම තව මාසයකින් විතර ඔයාගේ ගෙදර එනවා.” මේ ලියුම දැකපු ගමන්ම ඨාකූර් ගේ කේන්තිය ඉහවහා ගියා. ඕකි මගේ මුළු පරම්පරාවම විනාශ කළා. මං ඕකිවත් ඕකිගේ මිනිහවත් මරනවා. මරනවාමයි. සෙංගල් කේන්තියෙන් ගිගුරාවා. ඨාකූර්ලාට එයාලගේ අම්මාටත් තාත්තාටත් වඩා තමන්ගේ වංශය ගොඩක්ම වටිනවා.

ඒ නිසා දුවව මරල හරි බෑනව මරලා හරි තම වංශය තහවුරු කරගන්න සෙංගල් දෙපාරක් හිතනේනෑ.

රෝජාත් කමල්රාජ්ගෙත් ආදර කතාවේ ලස්සනම දවස් මීන්පුරම් ගම්මානයේ පුංචි ගෙදරකදී ලියැවුණා. ඔවුන්ගේ කැදැල්ල ඉතාමත් ලස්සනට මාස තුනක් විතර ගෙවිලා ගියා. මේ අතර කමල්රාජ් මධුරෙයි විශ්ව විද්‍යාලයට යන්න පටන් ගත්තේ තමන්ගේ අවසන් විභාගය සමත්කර ගන්නටයි.

ඒ වුණත් ඒ දෙන්නම නොදන්නා දෙයක් සිද්ධ වෙලා තිබුණා. ඨාකූර්ගේ ගෝලයෙක් වෙච්ච “රාජා” මීන්පුරම් ගම්මානයේ බුලත් වෙළඳාමේ එද්දී කමල්රාජුත් රෝජාත් පුංචි තේ කඩයකින් චපාති කනවා දැකලා ඨාකූර්ට ඒ බව දන්වලා තිබුණා. ඨාකූර් මේ දෙදෙනාගේ විස්තර සොයාගෙන කණ්ඩායමක් එක්ක ඇවිල්ල කමල්රාජ් සරසවියට එනකොටම ඔහුව අල්ල ගත්තා. පුනම් ගම්මානයේ පාළු ගෙදරක කමල්රාජ් ව හිර කරගෙන ඉඳලා දවස් දෙකකට විතර පස්සේ පුනම් ගම්මානයේ පාළු ළිඳක් තුළට කමල්රාජ්ව මරලා දැම්මා.

රෝජාගේ ජිවිතය අසරණ වුණා. දවස් ගානක්ම ඇස් දෙක රිදෙන කල්ම රෝජා ගොඩාක් ඇඬුවා. ගෙදර බලාගෙන හිටපු සීයා එයාව සනසන්න කොයිතරම් උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. එයා කමල්රාජ්ව සොයාගෙන ගියා. කවදාවත්ම බස් එකක මහපාරක තනිවම නොගිය රෝජාට එච්චර දුරක් යන්න ලැබුණේ නැහැ.

රෝජා නැග්ග බස් එකටම නැග්ග නරුම පිරිමි තුන්දෙනෙක් “රෝජාගේ” ජීවිතය සින්නකරේට ගත්තා. උන් එයාට රහසින් කිව්වා “උඹ කියපං අපි උඹේ අයියලා කියලා එහෙම නැත්තම් උඹේ මුණ දැලි පිහියෙන් කපලා තීරු කරනවා.” අවසනාවන්ත ලෙස එදා ඒ කාලකන්තිගේ ගේ ගොදුරක් බවට පත්වෙච්ච රෝජා ඊට පස්සේ උන් දන්නා දන්නා අයට විකුණුවා. එදා ඉඳන් රෝජාට සිද්ධ වුණේ මුළු ජීවිතයම කමල් රාජ්ගේ ආදරය ගැන සිහිකර කර සදාකල්ම තැවෙමින් ජීවිතය ගත කරන්න.

දැන් රෝජා ඉන්නේ තිරුචි නගරයේ ලැගුම හලක.

“ඔයාගේ ජිවිතය ගැන මොකද හිතෙන්නේ.” මං රෝජාගෙන් ඇහැව්වා.

“මට නිතරම හිතෙන දෙයක් තියෙනවා. මගේ හීන ඔක්කොම නොසිතූ අන්දමින් කැඩිලා බිඳිලා ගියා. මං කොයිතරම් ආසාවෙන්ද හිටියේ කමල්රාජ් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන්න.”

“ඔයා මේ ජිවිතෙන් අයින්වෙලා ආපහු ගමට යන්න හදන්නේ නැත්තේ ඇයි?

මම සුපුරුදු ප්‍රශ්නෙම එයාගෙන් ආපහු ඇහුවා.

“මම ඒ ගැන හිතෙන්නෙවත් නැහැ. එයාලා හින්ද තමයි මගේ ජීවිතේ මේ විදියට විනාශ වෙලා ගියේ. මගේ පණ වගේ මම ආදරය කරපු කමල්රාජ්ව ඇයි මරලා දැම්මේ. මගේ මුළු ජීවිතයම අඳුරු කළේ මගේම අය.” රෝජා තවමත් ලස්සනයි. ඒත් එයාගේ ගිනි ගත්ත ජීවිතෙන් රන්කාසි හොයා ගන්නේ තිරුචි පළාතේ මැරයෙක්. එයාට හෝටල් තුනක් තියෙනවා. රෝජා වගේ පාර වැරදුණු ඇත්තියන් ගොඩාක් දෙනෙක් ඒ වගේ තැන්වල දිවි ගෙවනවා.

ජීවිතය කියන්නේ එක විදිහට බැලුවම හීනයක්. අපි කොයිතරම් ලස්සන හීන දැක්කත් ඒවායෙන් සැබෑ වෙන්නේ කීයෙන් කීයද? ආසාවෙන් තුරුලු කරගන්න පෙරුම් පුරපු හීන ගොන්නක් රෝජාගේ හිතෙත් තියෙන්න ඇති.... ඒත්.... ඒ හීන ගොන්නම පුපුරලා බිම වැටුණාට පස්සේ ඔහේ ජිවිතයට මුහුණ දෙනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?