'කළු අයියා' මැරුම් කෑවේ ගෝරිය බේරන්න ගිහින්ද?

'කළු අයියා' මැරුම් කෑවේ ගෝරිය බේරන්න ගිහින්ද?

මුද්දරගේ සරත් කීර්ති පනස් තුන් හැවිරිදි දෙදරු පියෙකි. සරත් කිව්වාට වඩා කළු අයියා කී විට වැල්ලව අවට හුඟ දෙනෙක් ඔහු හොඳින් හඳුනති. කළු අයියා අවාසනාවන්ත සිද්ධියකට මුහුණදී තිබුණේ පසුගිය 14 වැනිදා රාත්‍රියේදීය. හිසට තියුණු බර ආයුධයකින් පහර දී කළු අයියා මරා දමා තිබිණි. මෙම ඝාතනය සිදු වුයේ කීයට දැයි නිශ්චිතව කිව නොහැකි වන්නේ එදින අලුයම වනතෙක්ම මේ පිළිබඳ පොලිසියට වාර්තා වී නොතිබීම හේතුවෙනි.

මීට හේතුව වී ඇත්තේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකි. බිමතින් සිටි බව කියන දෙපිරිසට ගැටෙන්නට තරම් පරණ කෝන්තරයක් ද තිබී නැත. එහෙත් අධික බීමතින් කෑ කෝ ගැසූ බව කියන එක් පාර්ශවයක අයෙක් නිසා අනෙක් පාර්ශවයේ අයකුගේ දියණිය ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුව තිබිණි. ගැටුමට ආසන්නම හේතුව වී ඇත්තේ එයයි.

ඔවුන් ඒ පිළිබඳ විරෝධය පළ කිරීමත් සමඟ දිගින් දිගටම ඇති වූ බහින් බස් වීම කළු අයියාට ජීවිතය අහිමි වන තැනට දුර දිග යන්නට යෙදිණ.

බීමතින් ගහ මරාගත් මේ දෙපිරිසවත් ඊට මුල් වූ හරි හමන් හේතුවක් කියන්නට නොදනිති. එහෙත් මේ දිනවල උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවගේ ඉගෙනුම් කටයුතුවලට බාධාවන අයුරින් බීමතින් බෙරිහන් දුන් තැනැත්තාට අනෙක් පාර්ශවයෙන් එල්ල වූ දෝෂාරෝපණය සමඟ එය ඇරඹි බව මේ සිද්ධියට මැදිහත් වූ හුඟ දෙනෙකු කියති.

අවසානයේ උත්සන්න වූ ආරවුලට තියුණු ආයුධ දෙපිරිසම ඇදගෙන ආනෙව් ඔවුනොවුන්ගේ ගෙවල් වලිනි. සූර් මතත් මරණ බයත් කේන්තියත් නිසාම මේ පිරිස එවේලේ කටයුතු කර තිබුණේ සිහි බුද්ධියකින් නොවේ. එය කළු අයියාව කපා කොටා ඝාතනය කළාට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුගේ පාපොච්ඡාරණයෙන් ඉස්මතු වේ.

“එතැන කට්ටිය හුඟ දෙනෙක් බීලා හිටියේ. ඒ අතරේ කතාබහක් ඇති වුණා. ගහ මරා ගැනිල්ල මන්න පිහි ඉස්සෙන තරමට දුරදිග ගියා. කෝකටත් කියලා මමත් මාළු කපන මන්නේ අතේ තියන් ගෙවල් කිට්ටුව ඉද්දී මගේ දිහාට තුන්දෙනෙක් එනවා දැක්කා. උන් එන්නේ මාව මරන්නමයි කියලා මගේ හිතට බයක් ඇති වුණා. මං අතේ තිබිච්ච එකෙන් දෑත බදලාමන්නෙන් ගැහුවා. එතකොට එක්කෙනෙක් බිම වැටුණා. ඊට පස්සේ මං තව පාරක් කෙටුවා මට මතකයි....”

සැකකාර 49 හැවිරිදි තැනැත්තා පොලිසියට කියන්නේ එවැන්නකි. මෙම ආරවුල හේතුවෙන් තවත් අයකු බරපතල තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි. නිවාඩු ලබා නිවසට පැමිණ සිටි යුද හමුදා සෙබළකු වන තරුණයකු ද මේ පිළිබඳ අදහස් දැක්වීය.

ඔහු කියන්නට වූයේ මියගිය කළු අයියා තුවාල ලැබුවකු ඇරලන්නට තමන්ගේ වැට මායිම පැන එහා වත්තට ගිය විට මේ සිද්ධියට මුහුණ දී ඇති බවකි. හිසට මරු පහර වැදී කළු අයියා වැටී සිටියදී රෝහල්ගත කරන්නට සැකකාර පාර්ශවයෙන් කිසිවකුත් ඉඩ නොතැබූ බවත් ඔහු අප සමඟ කීය.

බොහෝ වේලාවකට පසුව එනම් එදින අලුයම් කාලයේදී වැල්ලව පොලිසිය මේ අපරාධ ස්ථානයට පැමිණ තිබිණි. ඒ 119 අංකය ඔස්සේ ලැබුණු පැමිණිල්ලකට අනුවය. මියගිය තැනැත්තාගේ ඥාති පාර්ශව කියන්නේ බරපතල තුවාල ලැබූ කළු අයියාව සැකකාර පාර්ශවයෙන් මුදාගෙන රෝහල්ගත කොට තිබෙන්නේ පොලිසිය එතැනට පැමිණි පසුව බවය.

ඒ කෙසේ වෙතත් වැල්ලව පොලිසියට මේ පිළිබඳ වර්තාවන විට දෙපිරිසම එක්ව බරපතල තුවාල ලබා සිටින තරුණයා සහ කළු අයියාව ඊට ආසන්නම හිරිපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළු කරන ලදුව බරපතල තත්ත්වයේ පසු වූ තුවාලකරුවෙක් එතැනින් කුරුණෑගල මහ රෝහලටත් එතැනිනුත් කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවන්නට කටයුතු යොදා තිබිණි.

අත්අඩංගුවේ සිටින සැකකරු අල්ලා ගැනීමට පොලිසයට එතරම් ලෙහෙසි පහසු නොවිණි. සිද්ධියෙන් පසුව සැකකරු පදිංචිව සිටි උයන්පොල්ලේ තුබානේගම සිය නිවෙසත් අත්හැර දමා සැඟව සිටි බැවින් පරීක්ෂණ සිදු කළ පොලිසිය සෝදිසි මෙහෙයුම් පුළුල් කරමින් සැකකරු ලුහුබඳින්නට විය.

අන්තිමේදී වැල්ලව පොලිස් වැයික්කියෙන් එපිටටත් ඒ විමර්ශන දියත් කෙරිණි. ලද තොරතුරකට අනුව සැකකරු වැල්ලව ප්‍රදේශයෙන් කුරුණෑගලට පැනවිත් ඇතැයි යන සැකය මත ඊට පසුදින (15) අලුයම 4.45 ට පමණ වැල්ලව පොලිසිය සැකකරුට මාංචු දැමුවේ කුරුණෑගල නගරයේ ඉබාගාතේ ඇවිද යමින් සිටියදීය.

ඝාතනය සඳහා යොදාගත් මන්නය සැකකරුගේ නිවෙසේම තිබී සොයා ගැනීමට පොලිසියට හැකි විය.

කළු අයියා ඇතුළු තිදෙනෙක් තමන් දෙසට දිව එනු දුටු බව සැකකරුගේ පාපොච්ඡාරණයේ ද සඳහන්ය. මන්නා පිහි පහරට අමතරව පිහියක් වැනි වෙනත් තියුණු ආයුධයකින් කළ බවට සැක කෙරෙන කැපුමක් කළු අයියාගේ ගෙලෙහි දක්නට ඇත. ඒ ඇතුළු සැක කටයුතු කාරණා ගණනාවක් ඔස්සේ පොලිසිය මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ කරමින් සිටියි. ඒ අනුව ඇතැම්විට දැනට අත්අඩංගුවේ සිටිනවාට වඩා සැකකරුවන් ගණනක් වැල්ලව උයන්දන පදිංචි මුද්දරගේ සරත් කීර්ති ඝාතනයට සහ තවත් තරුණයකු කපා කොටා තුවාල සිදු කිරීමට අදාළව අත්අඩංගුවට පත් වීමට බොහෝවිට ඉඩ ඇති බව පොලිසිය කියයි. කුරුණෑගල බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි එගොඩවෙලගේ උපදෙස් මත වැල්ලව පොලිසියේ ස්ථානාධිපති නිශාන්ත පෙරේරා ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ආර්. සේනානායක සමඟ සැරයන් 28162 ඩිංගිරි බණ්ඩා, කොස්තාපල්වරු වන 21802 හේරත් 88628 රත්නමලල 76779 බණ්ඩාර ආදිහු වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිති.