සැමියාගේ පොරෝ පහරින් දෙදරු මව මරුට

 සැමියාගේ පොරෝ පහරින් දෙදරු මව මරුට

එක වහළක් යට වසර ගණනාවක් දිවි ගෙව්වත් ළෙන්ගතුකම් බැඳීම් හදවත් තුළින් ඈත්ව ගිය තැන ඉතිරිවන්නේ සිත්පිත් නැති ලෝකයකි. වේලක් හැර වේලක් බඩගින්නේ හිඳිමින් වුවද ආදරය සෙනෙහස පාමුල ජීවිතය ගෙවන්නට හැකි නම් ජිවිතය සුන්දරය. හදවත බැඳුණුු ආදරයේ ........ මිදී ගිය කළ ආදරයේ වත්කම් පොදි තවත් ඉතිරිව ඇති ද? නුවන්ගීට ඔහු හමු වූයේ අස්ගිරියේ ගාමන්ට් එකක වැඩට යන එන අතරය. අතීතයේ බැඳුණු සෙනෙහස ඇයට එදා වන විටත් අමතක නොවන්නට ඇත. එහෙත් එදා එක දවසක්වත් නොදැක ඉන්නට බැරි වූ යොවුන් පෙම්වතුන්ට දෛවයේ සරදම් කළ හැටි අපූරුය. ඔහුගෙන් ලද පහර කෑම් හමුවේ ඇයට බොහෝ දේ සිතෙන්නට ඇත.

“පෙම්ලොව දී දුටු ඔහුම ද මේ

ඔහුට ද මා අන්ධ වුණේ” ඇය බොහෝවිට එසේ නොදැණුනා නම් එය පුදුමයකි. ආදරයෙන් බැඳී ගිය නුවන්ගී හා සමන් පෙම්වතුන් වූ පසුව ඒ ගමන අවසන් වූයේ අඹු සැමියන් වී එක වහලක් යටට වීමත් සමඟය. ජීවිතය තවදුරටත් ඉදිරියට ගලා ගියේය. ජිවිතයට උරුම දුක් කම්කටොළු ආර්ථික බැරිකම් අතර සිර වී සිටියද එකමුතු සුන්දර කුලගෙයක් වෙනුවෙන් ඇය තම රැකියාව අතහැර දැමුවාය. නුවන්ගී ගේ මවත් මවගේ දෙවැනි සැමියා වූ බාප්පාත් සහෝදරයාත් එම නිවෙසේ පදිංචිව සිටියහ. කලක් ගතවන විට දෙදෙනා අතර පුංචි පහේ සණ්ඩු සරුවල් ඇතිවන්නට වූ අතර ඒවා බත ඉදෙන තුරු පමණක් වූ ඒවා විය. කලක් මෙසේ ගතවන ව්ට දෙදෙනාගේ ආදර සිත් පළුදුවෙමින් තිබුණේ අළුයට සැඟවුණු ගිනි පුපුරු ලෙසටය. සමන් හැමවිටම නුවන්ගීව සැක කළේය. නුවන්ගී කිසිවකු හා සබඳතාවක් ඇති කරගෙන තිබුණ යයි ඔහු සිත් කනස්සල්ලෙන් පසු විය. ඒ අන් කිසිවකු නොව සමන්ගේම එක කුස උපන් සහෝදරියගේ සැමියා සමඟය. බන්ධනයක් කඩා බිඳ දැමීම අසීරු කටයුත්තකි. එහෙත් නුවන්ගී තම මස්සිනා සමඟ තහනම් ගහේ ගෙඩි කෑම දිගටම කරගෙන ගියේ යැයි කියති.

උඩුගම්පොළ වතුමුල්ල, ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන්ගී සුරේෂිකා නමැති 26 හැවිරිදි දෙදරු මව එක්තරා අවාසනාවන්ත දිනෙක තම සැමියා අතින්ම කුරුරු ලෙස මරු වැළැඳ ගත්තාය.

ආදරය, ආලය හා ලිංගික ඊර්ශ්‍යාව පෙර දැරිව සැමියකු විසින් කලක් තමා පණමෙන් ආදරය කළ බිරිය මරා දමා තිබුණේ පොරවකින් හිසට පහර දීමෙනි. අවුරුදු හතක් වූ තම වැඩිමහල් පුතු හා වසර දෙකක් වයසැති සිඟිති දියණියටත් තම මවට සිදු වූ දේ වටහා ගත නොහැකිය. එහෙත් ලොකු පුතු නම් බලවත් තැතිගැන්මකට ලක්ව සිටිම දැකිය හැකි විය. තාත්තා අම්මාට පොරවෙන් පහර දුන්නේ බියෙන් තැතිගත් මේ පුංචි දෙනෙත් ඉදිරියේය. ඒ භයංකර තැතිගැන්ම කවදානම් ඒ සිත්වලින් වියැකී යන්නේ ද යන්න කිව නොහැකිය. “මගේ තාත්තා අම්මව මරණව මම දැක්කා.” ඒ වේදනාව සදාකාලිකවම ඔහුට මානසික වදයක් ගෙන දෙනු නියතය. ඒ අවාසනාවන්ත ඝාතනය තම දෙනෙතින් දකින්නට තරම් ඒ නෙත් පවුකර තිබුණා නොවේද? සංසාරේ උරුම කරුම ඒ මොහොතේ පළදී තිබුණේ එලෙසය. ගම්පහ, අස්ගිරිය, වතුමුල්ල ප්‍රදේශයම මේ සාපරාධි ඝාතනයත් සමඟම කම්පාවට පත්ව තිබුණි. උඩුකුරුව, පෙට්ටියක වැතිර සිටින සිය මවගෙන් කිරි බිඳක් උරා බීමට දෙහැවිරිදි පුංචි නිල්මිගේ සිත ඉල්ලා හඬා වැටේ. එහෙත් අම්මාට කුමක් සිදුවී දැයි ඇය නොදනී.

“අම්මා නිදි.... නැගිටින්නෙම නැහැ. පවු” ඇය කාටත් ඇසෙන සේ කියන දේ අවට සිටින වුන්ගේ නෙතඟට ගෙන ආවේ කඳුළකි. නුවන්ගී මළවුන් අතරය. ඇය ආයේ නොයෙන බව නොදරුවන් නොදනී. නුවන්ගී ගේ අමානුෂික ඝාතනය සිදු වූයේ තම සැමියා අතින් වීම මෙහි ඇති අතිශය අනුවේදනීය සිදුවීමයි.

නුවන්ගී අමානුෂික තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ මොහොතේ සමන් සිටියේ සාලේ හාන්සි වෙලාය.

“දැන් ඉතින් මටත් කරන දෙයක් කරපල්ලා”

ඔහු බෙරිහන් දිදී කීවේය. නුවන් ගී ගම්පහෙන් කොළඹ රෝහලට රැගෙන එන විටත් ඔහු සිටියේ නිවසේය. ඇය මියගිය පුවත ඇසූ ඔහු නිවෙසින් පලා ගියේය. පසුව පොලිසිය විසින් සමන්ව අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිද්දී ඔහු සියල්ල හෙළිදරව් කළේ කාගේත් සිත් වේදනාවට පත් කරමිනි.

“මම හයවෙනි පාරටත් එයාට කිව්වා. ඔය සම්බන්ධෙ නවත්වන්න කියලා. සමාව දීලා හොඳින් ඉන්න හැදුවා. එයා ඔය සම්බන්ධෙ පවත්වාගෙන ගියේ මගේම නංගිගෙ මිනිහත් එක්ක. නංගිගේ මිනිහටත් මං කිව්වා අපේ ගෙදර එන්න එපා. අපේ පවුල කඩා බිඳලා දාන්න එපා කියලා. බැරිම තැන මම කාලයක් ගෙදරින් පිටවෙලා හිටියා. මාස 7 කට පස්සේ මම ගෙදර ආවේ. ඒ සම්බන්ධෙ අතාරින්න කිව්වට එයා අතහැරියෙ නැති බව මට වැටහුණා.”

“මං එනකොට එයා කාටදෝ කෝල් කර කර හිටියා. මං එනව දැකලා එයා ෆෝන් එක හැංගුවා. මං එදා එයාගේ මල්ලිටත් මේ බව කිව්වා. එයා කිව්වා ඕවා මම දන්නෙ නැහැ කියලා. මම මල්ලිත් එක්ක අඩියක් ගහලා ගංජ සුරුට්ටුවකුත් බිබී හිටියේ. මං ගෙදර ගියේ පවුලගෙන් මේ ගැන අහන්න ඒ වෙලාවෙ එයාල මට බැන්නා. මං කුස්සියට ගිහින් පොරව අරගෙන එද්දි පවුල ඉස්සරහ කාමරයේ ඉන්නවා දැක්කා. ”

“පලවෙනි පාර ගහද්දි පවුල පිටිපසට පැන්නා. ඒ එක්කම එයා බිම වැටුණා. එතකොට මම පොරවෙන් ඔලුවටයි බෙල්ලටයි ගහගෙන ගහගෙන ගියා. මම ඊට පස්සේ එතැන බිම හාන්සිවෙලා හිටියා. එයාගේ මල්ලි කෑ ගැහුවා.”

“උඹ අපේ අක්කට මොකද කළේ කියලා.”

“මගේ අතින් පොරව වැදුණා. එයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න කියලා.”

ඊට පස්සේ ත්‍රීවිල් එකකින් එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා. මම ගෙදරිින් ගිහින් දොරණගොඩ හැංගිලා හිටියා. ඉඳලා කඩවත ගිහින් තිස්සමහාරාමේ යන්න හිතාගෙන බස් එකට නැගපු වෙලාවෙ තමයි පොලිසියෙන් මාව අත්අඩංගුවට ගත්තේ.”

නුවන්ගී ඝාතනය කළ ඇගේ සැමියා එලෙස කීවේය.

නුවන්ගිගේ මව ඉකිබිඳිමින් තම දියණියගේ ඝාතනය ගැන කීවාය.

“ඔය දෙන්නා සණ්ඩු වුණාට හොඳට හිටියා. ඉස්කෝලේ ශ්‍රමදානෙකටත් ගිහින් එකම කොලේට බෙදාගෙන මඤ්ඤොක්කා කාලත් තිබුණා. දෙන්න ගෙදර ආවෙත් එකට. කිසිම තරහක් තිබුණේ නැහැ. දුව එළියට ගිහින් මගේ පුතත් එක්කම ආපහු ආවා. ආපු වෙලාවෙ මොකක්ද එකකට දෙන්න බහින් බස් වුණා. එකපාරටම බෑණා මගේ දුවට පොරවෙන් කෙටුවා. දුව ඒ පාර කාගෙන පස්සට පැන්නා. ඊට පස්සේ පොරවෙන් කොටාගෙන කොටාගෙන ගියා. මට ඇස් දෙක වගේ දරුවො දෙන්නයි හිටියේ. ඔය මගේ වැඩිමල් දුව. අනේ මට කලින් එයා අකාලෙම යන්න ගියා. දැන් මට ඉන්නේ පුතා විතරයි. දුවගෙ දරුවො දෙන්නගෙ වගකීම මගේ අත් දෙකට වැටුණා. මේ හැම දුකක්ම මං කොහොම දරා ගන්නද?” නුවන්ගීගේ දරු දෙදෙනා තුරුළට ගත් ඇගේ මව විලාප දෙන්නේ අවුරුදු 26 ක් උස් මහත් කර දීග දුන් තම එකම දියණියගේ අකල් මරණය වෙනුවෙනි.

එදා ආදරයෙන් සිප වැළඳගෙන තම බිරිය ලෙස පතා ආ, ඒ සංසාර පැතුම ඔවුන්ගේ පය පාමුල මිලින වී ඇද වැටෙද්දී සමන්ගේ අතින් මිය ගියේ තම දරු දෙදෙනාගේ ආදරණීය මවය. දැන් මේ දරු දෙදෙනාට මවත් පියාත් දෙදෙනාම අහිමිය.

සමන් අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. ඉගිලෙන්නට පෙරුම් පිරූ කුරුලු පැටවුන් දෙදෙනකු සමඟ මේ පුංචි කැදැල්ල ගිනිබත්ව ගියේ කාගේ වරදින් ද? නොහික්මුණු සිතුවිලි හමුවේ නොඉවසිලිමත් සිතිවිලි නිසා මහා වරදක් සිදුව තිබිණි. එහෙත් එය නිවැරැදි කරගන්නට තවත් ඉඩක් ඉතිරිව තිබුණේ නැත.

ගම්පහ කොට්ඨාසයේ පොලිස් අධිකාරි විජිත කොමසාරු ගම්පහ මූලස්ථාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. බණ්ඩාර යන මහත්වරුන් ගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රසන්න වැන්ඩකට් ප්‍රමුඛ අපරාධ අංශයේ උප පරික්ෂක හරිස් පෙරේරා සැරයන්වරුන් වන 24020 අමරදාස, 52478 ආරියපාල, 4645 සුනිල් යන පිරිස පරීක්ෂණවල නිරත වූහ.