රවීන්ද්‍රට වෙඩි තැබු රංකැටියා පෑලියගොඩට මාට්ටු

රවීන්ද්‍රට වෙඩි තැබු රංකැටියා පෑලියගොඩට මාට්ටු

“රවීන්ද්‍රට ගහන්න මම වෙපන් එකක් හෙව්වා. ඒත් .... හම්බ වුණේ නෑ. පස්සේ ඇතුලට (බන්ධනාගාරයේ සිටින අයකුට) කතා කරලා වෙපන් එකක් ඉල්ලුවා. මට වෙපන් එකක් හම්බවුණා. හැබැයි මට ඒක දුන්නේ දවස් දෙකකටයි.”

“වෙපන් එක හම්බවෙච්ච පළවෙනි දවසේ රවීන්ද්‍ර හම්බ වුණේ නෑ. දෙවෙනි දවසේත් රෑ වෙනතුරුත් හම්බ වුණේ නෑ. ඒත්.... හතහමාරත් පහුවුණාට පස්සේ තමයි රවීන්ද්‍ර ජීප් එකෙන් යනවා දැක්කේ.”

“මම මිනිහගේ වාහනේ ඉස්සරහටම වෙඩි තිව්වා. වෙඩි තියලා ගිහින් ඒ වෙලාවෙම වෙපන් එක බෑග් එකක දාලා කෙහෙල්බද්දර ලයිට් කණුවක් යට තිව්වා. මට ඇතුලෙන් වෙපන් එක එවපු කෙනා තමයි එතන තියන්න කියලා කිව්වේ.”

“මම හිතුවේ රවීන්ද්‍ර මැරුණා කියලා. ඒත්.... පස්සෙ මට ආරංචි වුණා මිනිහා මැරුණේ නෑ කියලා. ඒ වෙද්දී වෙපන් එකත් රිටන් කරලා ඉවරයි. මිනිහා මැරුණේ නෑ කියලා ඒ වෙලාවේ දැනගත්තනම් මම ඉස්පිරිතාලෙට ගිහින් හරි ඉවරයක් කරල තමයි පස්ස බලන්නේ.”

රාගම, මඟුල්පොකුණ ප්‍රදේශයේ දී රවීන්ද්‍ර මෙන්ඩිස් යන අය වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව ප්‍රදේශය හැර පලාගොස් සිටියදී පැලියගොඩට කොටු වූ දේගිරි විරාජ් අනුරාධ සිල්වා නොහොත් රංකැටියා එලෙස පාපොච්චාරණය කළේය.

රංකැටියා සොයා බස්නාහිර උතුර (පැලියගොඩ) අපරාධ කොට්ඨාසය මොහෙයුම් දියත් කළේ මීට මසකට පමණ ඉහත දීය. පොලිසිය සිදුකරන නවීන තාක්ෂණික උ‍්‍රපක්‍රම වලට පවා හසුනොවන අයුරින් මසකට වැඩි කාලයක් සැඟ වී සිටීමට රංකැටියාට හැකිවිය.

එහෙත්..... පැලියගොඩ ඒකකය දිගින් දිගටම කළ පරීක්ෂණ වල දී හෙළි වුයේ මොහු ගනේමුල්ල, බුලුගහගොඩ ප්‍රදේශයේ සිටින බවටය. මොහුගේ වැඩිමල් සහෝදරයා නිවෙසක් කුලියට ගෙන එම ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මොහු ද එම නිවෙසේ සිටින බවට තොරතුරු ලැබිණි.

මෙම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙද්දී පැලියගොඩ ඒකකයේ විමර්ෂණ අංක ධ් ස්ථානාධිපති වරයාට පසුගිය දිනෙක තොරතුරක් ලැබුණේ රං කැටියා සහ ඔහුගේ සහායකයා බුලුගහගොඩ දුම්රිය ස්ථානය අසල ගසක් යට සිටින බවටය.

ඒ වන විට ද ඒකකයේ කණ්ඩායමක් රංකැටියා සොයා ගනේමුල්ලට ගොස් සිටි අතර තොරතුරු ලද වහාම රංකැටියාත් ඔහුගේ මිතුරාත් ගස යටදීම අල්ලා ගැනීමට හැකිවිය.

රංකැටියා යනු දරුණු ඝණයේ අපරාධ කාරයෙකි. තිස් එක් හැවිරිදි අවිවාහකයකු වන මොහුට රැකියාවක් නැත. තරුණ වියට එළැඹි මුල් අවදියේ වෑල්ඩින් කරුවකු ලෙස රැකියාවක නිරත වුව ද වර්ථමානය වන විට මොහුගේ රැකියාව වුයේ කොල්ලකෑමයි.

මීට වසර හත අටකට ඉහත දී රංකැටියා මුල් වරට බන්ධනාගාර ගත වන්නේ පිහියෙන් ඇන පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේය.

මීගමුව බන්ධනාගාරයට යොමු කෙරුණ රංකැටියාට දරුණු ඝණයේ අපරාධකාරයන් හමුවන්නේ එහිදීය. අනතුරුව ඇපමත රංකැටියා එළියට එන්නේ චන්ඩියකු ලෙසිනි. ඒ.... ඇතුළේ දී හඳුනාගත් මැරයන්ගේ බලය තමාට ද දැන් ලැබී ඇති බව සිතුණ නිසා විය යුතුය. ඉන් අනතුරුව මොහු හීනැටියන පැත්තේ කල්ලියක් සමඟ සම්බන්ධව සිටි අතර මඟුල්පොකුණ රවීන්ද්‍ර මෙන්ඩිස් සමඟ ගැටුම් ඇතිකර ගත්තේ ද ඉන් අනතුරුවය.

“මඟුල් පොකුණ හන්දියේ කඩේ ළඟ ගමේ කොල්ලෝ කෑරම් ගහනවා. ඔය රවීන්ද්‍ර පැත්තම හොල්ලගෙන හිටියේ. අපි කෑරම් ගහද්දී දවසක් රෑ රවීන්ද්‍ර ආවා. කේ.ජී.ගහලා හොඳට මත්වෙලා අපිව එලවලා එයා කෑරම් ගහන්න ට්‍රයිකළා. ඒ වෙලාවේ මම කිව්වා එහෙම කරන්න එපා අපි කට්ටියම දෙන්නා දෙන්නා කෑරම් ගහමු කියලා.”

“නමුත් රවීන්ද්‍ර ඒක ඇහුවේ නෑ. මමත් එක්ක බහින්බස් වුණා. අන්තිමට මිනිහා මට ගහන්න ආවා. මම මිනිහට බෝතලේකින් ගැහුවා. මිනිහා තුවාල වුණා.”

“ඊට පස්සේ දවසක් මිනිහා කඩුවක් ගෙනැත් මට කෙටුවා. මගේ අතට බඩට කොටපු පාරවල් වලට මගේ බඩවැල් පවා එළියට ආවා.”

රංකැටියා එලෙස රවීන්ද්‍ර සමඟ ගැටුම් ඇතිකර ගැනීමට මුල් වු හේතු සාධක හෙළි කළේය.

මෙම පහර දීමේ සිද්ධියට රවීන්ද්‍ර රක්ෂිත බන්ධනාගාර ගතවන අතර රංකැටියා සුවය ලැබීය. ඉන් අනතුරුව සීදුව, කුලියාපිටිය සහ මීනුවන්ගොඩ සිදු වූ මනුෂ්‍ය ඝාතන කිහිපයකට ඇතුලට යන රංකැටියාට යළිත් පරණ මිතුරන් මුණ ගැසිණි.

ඇතුලේ සිටින මැරයන් සමඟ කාලය ගතවෙද්දී රං කැටියාගේ සිතට අදහසක් පහළවිය. ඒ.... එළියට ගිය වහාම රවීන්ද්‍ර මරා දැමිය යුතු බවටය.

රං කැටියා ඇප මත එළියට එන්නේ මීට මාස හතරකට පමණ ඉහතදීය. පැමිණි දිනයේ සිට රංකැටියා මාන බැලුවේ රවීන්ද්‍ර මරා දැමීම සඳහාය.

මොහු ඒ සඳහා ගිනි අවියක් සෙවු නමුත් සොයා ගැනීමට හැකිවුයේ නැත. අනතුරුව මොහුට මතක් වන්නේ ඇතුලේ දී හමු වූ මිත්‍රයෙකි. තම අවශ්‍යතාව ඔහුට පැවසු වහාම ටී - 56 ගිනි අවියක් පමණක් නොව මෙම ඝාතනයට යාම සඳහා යතුරුපැදියක් ද ලබා දීමට මිතුරා එකඟ විය.

ඒ අනුව රංකැටියාට ටී - 56 ගිනි අවිය ලැබෙන්නේ ගනේමුල්ලේදීය. එය ගෙනාවේ කවුරුන් දැයි රංකැටියා දන්නේ නැත. ඒ ආකාරයෙන්ම යතුරු පැදියක් ද රංකැටියාට ලැබිණි.

රාගම, පොඩි වී කුඹුර ප්‍රදේශයේ පදිංචි හිබ්බාදුර ෂෙයාන් හසිත මෙන්ඩිස් යනු රංකැටියාගේ මිතුරෙකි. විසිපස් හැවිරිදි ඔහු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙකි. රවීන්ද්‍ර මෙන්ඩිස්ට වෙඩි තැබීමට යාම සඳහා යතුරුපැදිය පැදීමේ කාර්යය පවරන්නෙ ෂෙයාන්ටය.

“එදා රවීන්ද්‍ර වැලිවේරියේ ඉඩමට ගිහින් ජීප් එකේ එද්දී වෙලාව රෑ හතහමාර විතර වුණා. අපි දවස් දෙකක් තිස්සේම මිනිහට ගහන්න හොය හොයා සිටියේ. මිනිහා ජීප් එක ගේ ළඟ නවත්තලා ආපහු අපි සිටිය පැත්තට ආවා. මම මිනිහට වෙඩි කිව්වේ නවලෝක හන්දියට හැරෙන තැනදී.”

“මම මිනිහගේ ඉස්සරහටම වෙඩි තිව්වා. වෙඩි තියද්දී මිනිහ පහත් වුණා. මම හිතුවේ වෙඩි පාරවල් වැදිලා මිනිහා මැරුණා කියලා. ඒ වෙද්දී වෙපන් එකට දීපු දවස් දෙකත් ගෙවෙන්න ටික වෙලාවයි තිබුණේ. වෙඩි තියපු ගමන් ගිහින් ඇතුළෙන් කියපු තැන වෙපන් එක තිව්වා. ඒත්...... ඒක අරගෙන ගියේ කවුද කියන්න නම් දන්නේ නෑ. රවීන්ද්‍ර මැරුණේ නෑ කියලා දන්නවා නම් මරලම තමයි පස්ස බලන්නේ.”

රංකැටියා එලෙස රවීන්ද්‍ර සමඟ තම සිතේ පවතින වෛරය ගැන තොරතුරු හෙළි කළේය.

“ගංජා, කඩු වලට මම විරුද්ධයි. රවීන්ද්‍ර කේ.ජී. ජාවාරම කරනවා විතරක් නෙවෙයි හොඳට ඒවා ගහනවා.”

රං කැටියා එලෙස සුදනකු වීමට උත්සාහ කළ ද මොහුත් මෙවැනි ජාවාරම් වලට සම්බන්ධ බව පරීක්ෂණ කණ්ඩායමේ සැකයයි.

එලෙසම ඇතුළේ සිටින මැරයන් ඇසුරු කොට ඊටත් වඩා මැරයකු වීමට උත්සාහ කරන රංකැටියා අවසන් වරට ඇතුළට ගියේ සීදුව පොලිස් බලප්‍රදේශයේ දී පොලිසිය සමඟ ඇතිකර ගත් ගැටුමකින් අනතුරුවය. මෙම ගැටුම සඳහා ද රංකැටියා ගිනි අවි භාවිත කර තිබිණි.

එදින පොලිසියට පහර දුන් රංකැටියා ඇතුලු සගයන් පොලිසියට අයත් යතුරුපැදියත් ද රැගෙන පලාගිය අතර එය මඟ දමා ගොස් තිබිණි.

රවීන්ද්‍රට වෙඩි තැබිමේ සිද්ධියට අත්අඩංගුවට පත් රංකැටියාත්, ෂෙයානුත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.

බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර. බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එච්. සමුද්‍රජීව, සහකාර පොලිස් අධිකාරී මහේෂ් බණ්ඩාර, එම ඒකකයේ ස්ථානාධිපති ජයන්ත දහනක යන නිලධාරින්ගේ උපදෙස් මත විමර්ශන අංක ධ් ස්ථානාධිපති පියසිරි වීරකෝන් ප්‍රමුඛ කොස්තාපල් වරුන් වන 48949 නන්දන, 70133 චමින්ද 36968 විජේසිංහ 15343 සුජීව 69598 අනිල් පරීක්ෂණ සඳහා එක්වුහ.

තක්ෂිලා ජයසේකර