මුරකරුගේ ඝාතකයා හඳුනාගත් “විකී”

මුරකරුගේ ඝාතකයා හඳුනාගත් “විකී”

කුලියාපිටිය අපරාධ නිල සුනඛ “විකී” බොහෝ සුරතල් ගති ඇත්තියකි. ඩොපමන් පිංචර් වර්ගයට අයත් විකී බොහෝ ලැජ්ජාශීලි භාවයක් දක්වන්නේ තවමත් ළාබාල තරුණ වියේ පසුවන සුනඛ දේනුවක් නිසා විය යුතුය. ඇයගේ වයස අවුරුදු දෙකයි මාස දහයකි.

විකී ගේ බාරකරු කොස්තාපල් (49068) සුනිල් විකී වෙත දක්වන්නේ තම දියණියකට දක්වන ආදරයකි. ආරක්ෂාවකි. මේ ලද බොළඳිය කොපමණ සුරතල් වුණත් ඒ... නිදහසේ සිටින විට පමණි. සුනිල් නිල ඇඳුමින් සැරසී පැමිණ විකී ට හානස් දැමූ විට ඒ..... රාජකාරියක් සඳහා බව වටහාගන්නට විකීට හොඳ නුවණක් ඇත.

එලෙස සූදානම් කළ මොහොතේ සිට විකීට අවශ්‍ය වන්නේ රාජකාරිය සඳහා පිටත්ව යාමටය.

කටුපොත පොලිස් වසමේ තිස්සව ග්‍රාමීය රෝහලේ මුරකරු ඝාතනය කළ සැකකරුවන් සොයා දීම විකී මෑතක කළ රහස් පරීක්ෂණ රාජකාරි අතරින් කැපී පෙනෙන්නකි.

මෙම ඝාතන සිද්ධිය පොලිසියට වාර්තා වන්නේ මෙම වසරේ ජනවාරි මස දහ නව වැනිදාය. පරීක්ෂණ ආරම්භ කළ කටුපොත පොලිසිය ඒ සඳහා අපරාධ නිල සුනඛයා ද යොදා ගැනීමට තීරණය කළේ එය අපරධකරු සොයා ගැනීම සඳහා හොඳම මාර්ගය බව වැටහුණු නිසාය.

කොස්තාපල් සුනිල්, විකී ද කැඳවාගෙන සිද්ධිය වූ කටුපොත රෝහලට යනවිට වේලාව දහවල් එකොළහ පසු වී තිබිණි.

රෝහලේ මුරකරුට අයත් කාමරයේ මේසයක් සහ පුටු තුනකි. ඉන් එක් පුටුවක් මේසයේ එක් පසෙකත් අනෙක් පුටු දෙක අනෙක් පසත් දක්නට ලැබේ.

මුරකරු තම පුටුවේ වාඩි වී සිට ඇති අතර ඔහු ඒ අසල මැරී වැටී සිටී. මේසය මත හිස් අරක්කු තුන්කාලේ බෝතලයක් කසිප්පු භාගේ හිස් පැකට් දෙකක්, මුරකරු සිටි පැත්තේ එක් වීදුරුවක් සහ අනෙක් පස තවත් වීදුරුවක් තිබිණි.

විකීට ඉව ඇල්ලීම සඳහා අනෙක් පස වූ වීදුරුව ලබා දීම සුදුසු යැයි සුනිල් තීරණය කළේය. ඒ ...... එම වීදුරුව මෙම ස්ථානයේ සිටි ආගන්තුක පුද්ගලයාගේ විය යුතු බව පෙනෙන්නට තිබෙන නිසාය.

වීදුරුව හොඳින් ඉව කළ විකී රෝහල් ගොඩනැගිල්ලේ සිට පිටතට විත් මීටර් පනහක් පමණ දුරක් ඉදිරියට පැමිණ ප්‍රධාන මාර්ගයට පිවිසියාය. ප්‍රධාන මාර්ගයේ වම් පසට හැරුණ විකී මීටර් හැත්තෑවක පමණ දුරක් ගෙවා තිස්සව පන්සල අසලට පැමිණියාය. එතැනින් දකුණු පසට හැරුණ විකී හතර වන නිවෙස වෙත ගොස් නතර වූවාය.

එම නිවෙස චන්දන නම් වූ පුද්ගලයකුට අයත් වූවකි. නිවෙසෙහි දොර වසා තිබිණි. යළිත් වීදුරුව ඉව ඇල්ලීමට දුන් අතර විකී එම නිවෙස වටා වටයක් ගොස් යළිත් නිවෙස ඉදිරිපිට නතර වූවාය.

චන්දන යනු මුරකරුගේ මිතුරෙකි. ඔහු..... මෙදින උදේ වරුවේ සිය හිතමිතුරන් සමඟ ජංගම දුරකථනයෙන් කතාබහ කර තිබිණි. එහෙත් පොලිස් පරීක්ෂණ ආරම්භ වීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතය.

මෙලෙස... ජංගම දුරකථන ක්‍රියාවිරහිත කරගෙන පැය විසිහතරක කාලයක් සැඟවී සිටි චන්දන ඊට පසුදින උදේ හිතමිතුරු රොෂාන් සමඟ පොලිසියට බාර වූහ. රොෂාන් ද මුරකරු ඝාතනයේ සැකකරුවෙකි.

ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ මීට වසර දහසයකට පෙර වූ සිද්ධියක් මුල් කරගෙන මෙම ඝාතනය සිදු වූ බවය.

“අපි රෑ බොන්න සෙට් වුණා. බිබී ඉන්දෙද්දී ඔය පරණ කතාව ඇදිලා ආවා. අපි මිනිහගේ කාමරේ බිබී හිටියේ. අපි දෙන්නා එකතු වෙලා පුටුවේ ඉන්දෙද්දීම මිනිහට ගැහුවා. අත් වලින් තමයි ගැහුවේ. මිනිහා වැටුණා. අපි හිතුවෙ නෑ මැරිලා කියලා. අපි දෙන්නා යන්න ගියා.” සැකකරුවන් එලෙස පාපොච්චාරණය කළේය.

මුරකරු මරා දමා ඇති බව මුලින්ම දකින්නේ ඔහුගේ දියණියයි. වෙනදාට රාත්‍රී රාජකාරි කිරීමෙන් අනතුරුව උදේ දරුවා මොන්ටිසෝරි රැගෙන යාමට පෙර පියා නිවෙසට පැමිණේ. එහෙත්.... එදින පියා නොපැමිණි අතර පැමණීම ප්‍රමාද වීම පිළිබඳව ද නිවෙසට දැනුම් දීමක් කර නොතිබිණි.

දරුවා මොන්ටිසෝරියට ඇරලූ දියණිය නිවෙසට යාම පසෙක තබා පියා සේවය කරන රෝහලට යාමට තීරණය කළාය.

රෝහලට ගොස් පියාට අයත් මුර කාමරයට ගිය ඇය දුටුවේ පියා ලේ විලක් මැද වැටී මියගොස් සිටින අයුරුය. ඒ වනවිට රෝහල් කාර්යය මණ්ඩලයේ කිහිප දෙනකු සේවයට වාර්තා කර තිබුණ ද ඔවුනට මෙම සිද්ධිය ඇස ගැටී තිබුණේ නැත. ඒ ඔවුන් මුරකරුගේ කාමරය ගැන සෝදිසි නොකරන නිසාත් එවැනි සෝදිසියක අවශ්‍යතාවක් නොමැති නිසාත්ය.

දුටු දසුනින් කලබලයට පත් දියණිය කෑ ගසන්නට වූ අතර ඇයගේ ශබ්දය ඇසී එම ස්ථානයට එක් රොක් වූ පිරිස දුටුවේ මුරකරු ලේ විලක් මත මියගොස් සිටින අයුරුය.

ඒ පිළිබඳ පොලිසියට දැනුම් දීමට රෝහල් බලධාරීන් කටයුතු කළ අතර පරීක්ෂණ ආරම්භ වූයේ ඉන් අනතුරුවය.