පුදුමාකාර ගැහැනිය

පුදුමාකාර ගැහැනිය

වාසනා මගේ පාසල් මිතුරියකි. ඇයත් මාත් අධ්‍යාපනය ලැබුවේ එකටය. ගමේ පාසලෙන් සිප්සතර හැදැරූ වාසනා කොළඹට ආවේ හොඳ රැකියාවක් කිරීමේ අරමුණෙන්ය. ඉන් පසු ඇය මට මුණගැසුණේ නැත. පාසල් කාලය නිම වීමෙන් පසු මම කොළඹට ආවේ රැකියාවක් සඳහාය.

එදා ඉරිදා දිනයකි. මා තවත් මිතුරෙකු සමඟ කොල්ලුපිටියේ පිහිටි කෑරොකේ සමාජ ශාලාවකට ගියේ කිසියම් සතුටක් ලබාගැනීමේ අදහසිනි. අඩ අඳුර අතරින් ඉදිරියට පැමිණි ලස්සන තරුණිය දුටු සැණින් මම ඇය හඳුනා ගත්තෙමි.

“ඔය වාසනා නේද?”

“ඔව් ඔයා....”

“ඔව් ඔයා.....” ඇයට ද මා ගැන මතක තිබිණි. එහෙත් ඇයගේ වෙනදා තිබු ගමේකම දැන් ඇය ළඟ නැත. ඇය සංකරය. නිල් පැහැති දෙනෙත් හා අඩ නිරුවත් ඇඳුම් ඇය තවත් හැඩ කර ඇත. කොළඹ රැකියාවට යන බව කී ඇය කෑරෝකේ සමාජ ශාලාවක රැකියාව කිරිම ගැන මම පුදුමයට පත්විමි.

“මම හිතන්නේ අවුරුදු දහයකින් විතර අපි හම්බ වුණේ.”

මතකය අවදි කරමින් මම කීවෙමි.

“මොන දහයක් ද ඊටත් වැඩි ඇති...”

වාසනා හා කතා බස් කරද්දී මට ඇගේ අතීතය සිහිපත් විය. ඒත් ඒ අතීතය යළි මතක් නොකළ මම ඇගෙන් සුවදුක් විමසුවෙමි.

“ඉතින් කොහොමද ඔයා මොකද මෙතන වැඩ කරන්නේ...”

“ඒක ලොකු කතාවක් අයියේ....”

“ඒක නෙමේ ඔයා කසාද බැඳලද?.”

“කසාදයක් නම් බැන්දා....”

ඇය එසේ කියමින් බිම බලාගත්තාය. වාසනා කිසියම් ප්‍රශ්නයකට මැදි වී ඇතැයි මට සිතිණි. ඒත් එය කුමක්දැයි ඇගෙන් ඇසිය යුතු නැතැයි මම සිතුවෙමි. එය අසන්නට තරම් මා බිය විය යුතු නැත. මන්ද මාත් වාසනාත් කුඩා කල සිටම ළඟින් ඇසුරු කළ නිසාය. එදා මා තුළ මෙන්ම ඇය තුළද කිසිදු රහසක් නොවීය. ඒත් මම නිරුත්තර වුයෙමි.

“අපි මොනවාහරි බොමු.”

මම ඇයට යෝජනා කළෙමි. ඒ අනුව ඇය වොඩ්කා බෝතලයක් ඇණවුම් කළාය. කටගැස්මට ලැබුණේ ඇපල් පීරිසියකි.

“ඇයි වාසනා ඔයාට ප්‍රශ්නයක් ද?”

මම ඇගෙන් ඇසුවෙමි.

ඇය මොහොතක් මා දෙස බලා සිටියාය.

ඇගේ දෙනෙත් කඳුළු වලින් පිරී ගොසිනි. එකවරම හිස පහත් කරගත් ඇය ඉකි ගසන්නට පටන් ගත්තාය.

“අඬන්නට එපා ළමයො.... මිනිස්සු බලාගෙන ඉන්නවා මොකක්ද ප්‍රශ්නෙ කියන්නකෝ”

මම ඇගෙන් ඉල්ලා සිටියෙමි. ඒත් ඇය තවමත් ඉකි ගසන්නීය.

“ඔයා අඬනකොට ඔයාටමයි හොඳ නැත්තේ”

මම යළිත් කිවෙමි. ඒත් ඇගේ ඉකිගැසීම නතර වුයේ ටික මොහොතකින් පසුවය.

“කපිල මාව දාලා ගියා අයියේ.”

“ඒ කීවේ”

“මම තනිවුණා අයියේ.”

“ඔයා කියන කතාව මට තේරෙන්නේ නෑ.”

ඇය ගමෙන් කොළඹ ආවේ හොඳ රැකියාවක් සොයාගෙන වුවද ඒ සියල්ලම ඇය කඩාකප්පල් කරගෙන ඇත්තේ කපිල මුණ ගැසීමෙන් අනතුරුවය. කපිල යුද හමුදා නිලධාරියෙකි. ගමෙන් කොළඹට පැමිණි ඇයට කපිල මුණ ගැසී ඇත්තේ අහම්බෙනි.

එදා බස් වර්ජනයක් වු බැවින් කපිලගේ ජීප්රියට ඇය ගොඩ වී ඇත්තේ තවත් මිතුරියන් තිදෙනකු ද සමඟිනි. ඇගේ මිතුරියක් කපිල හොඳින් දැන සිටි නිසා මිතුරියගේ මාර්ගයෙන් වාසනා දැන හඳුනාගත් කපිල ඇයට පෙම් කළේ කවදා හෝ ඇය සතුකරගන්නා බවට දහසක් පොරොන්දු දෙමිනි.

“මම හිතුවා එයා හොඳ කෙනෙක් කියලා. ඒ නිසා මම එයාව කසාද බැන්දා.”

“ඉතිං”

“ඒත් පස්සෙයි දන්නේ එයා කසාද බැඳපු මිනිහෙක් කියලා”

“මොනවා“

“ඔව්.... ඉන් පස්සේ මට කර කියා ගන්න දෙයක් නැතිවුණා.”

“ඒ කිව්වේ”

“මම දුවත් එක්ක තනිවුණා.”

ඇය නැවත ඉකි ගසන්නීය. මම ඇය අස්වැසුවෙමි. ඒත් ඇගේ ඉකි ගැසීම නතර නොවිය. මා කොතෙක් කීවද විඳවන්නේ ඇයයි. වේදනාව දන්නේ ඇයයි. මට කළ හැකි දෙයක් නැත. මම නැවත කටහඬ අවදි කළෙමි.

“දැන් එයා කෝ...”

“ඉන්නවා.”

“කොහේද?”

“කසාද ගැනීත් එක්ක”

ඇය කියන විදිහට කපිල විවාහ දෙකක් කරගෙන සිටි. ඒ නිසා ඇය වෙත තිබු ආදරය ඔහුගෙන් ගිලිහී ගොසිනි.

“ඒත් මම ආදරේ එයාට අයියේ”

“ඔයා නම් මාර ළමයෙක්නේ. ඔයාට ඔච්චර දෙයක් කරලත්”

“එයා එහෙම වුණාට මම එහෙම නැහැ අයියේ. මට එයාව ඕන.”

ඇය කියන කතාව මට නොතෙරේයි. ඔහු ඇය අතැර ගොසිනි. ඔහු වෙනත් කාන්තාවක හා ජීවත් වෙයි. ඒත් වාසනාට ඔහු අවශ්‍ය බව පවසයි. මෙය නම් පුදුම කතාවකි.

“මට නම් තේරෙන්නේ නැහැ. ඔයා කියන්නේ මොකක්ද කියලා.”

මා කීවේ මදක් තරහිනි.

“මටත් තේරෙන්නේ නැහැ අයියේ මොකක් කරන්න ද කියලා.”

“ඉතිං ළමයො එයා වෙන ගෑනියක් එක්ක ඉන්නවානම් ඔයා එයාව අතැරලා වෙන කෙනෙක් බඳින්න.”

ඉකි ගසමින් සිටි ඇය හිස ඔසවා එකවරම මා දෙස බැලුවාය.

“වෙන කෙනෙක් බඳින්න.”

“ඔව්”

“එතකොට මගේ කෙල්ල”

ඒ පැනයට මා ළඟ පිළිතුරක් නොතිබුණි.

“ඒකත් ඇත්ත.... මට අමතක වුණා දරුවා ගැන....”

එසේ කියමින් මම නිහඬ විමි. වාසනා මා දෙස පුදුමයෙන් බලා සිටී. තවත් කිව යුත්තක් මා සතු නොවීය. වොඩ්කා වීදුරුව අතට ගත් මම එය හිස් කළෙමි.

“අඩුම තරමින් එයා දුව බලන්නවත් එන්නේ නැද්ද?”

“නැහැ”

ඇය යළිත් ඉකි ගසන්නීය. ඇගේ ප්‍රශ්නයට පිළිතුරක් ද මා සතුව ඇත්තේ නැත. කළ යුත්තේ කුමක්දැයි මම නොදනිමි.

“මොනවද අයියේ මේකට කරන්න ඕන.”

ඉකී ගැසීම අතරින් ඇය නැවතත් විමසුවාය.

“මම ඔයා නම් තීරණයක් ගන්නවා.”

“ඒත් එහෙම තීරණයක් ගන්න බැහැ අයියේ... දුව ගැන හිතලා හැමදෙයක්ම ඉවසගෙන ඉන්නවා.”

“එහෙනම් නඩුවක් දාන්න.”

“නඩුවක් දාලා”

“උසාවියෙන් මොකක් හරි තීරණයක් දේවි. ඕන නම් වන්දියකුත් දේවි.”

“ඔව් ඉන් පස්සේ එයා වන්දියක් ගෙවාවි. සදහටම අපිව දාලා ඒ ගෑනිත් එක්කම ඉඳිවි.”

“ඉතිං ප්‍රශ්නෙ ඉවරයිනේ”

“ඒ වුණාට අයියේ ඉන් පස්සේ කෝ දුවට තාත්තා කෙනෙක්. දුව තාත්තා කියලා අහනකොට මම කාවද පෙන්නන්නේ.”

වාසනාගේ කතාව ද ඇත්තකි. මා ඒ ගැන එතරම් නොසිතුවද ඇය පත්ව ඇති ඉරණමට අනුව ඇයට කෙසේ වුවද ඇගේ දියණියට පියකුගේ සෙනෙහස හෝ රැකවරණය තිබිය යුතුවේ. එසේනම් ඇගේ ප්‍රශ්නයට විසැඳුම කුමක්ද? එය මා නොදනී. ඊට විසැඳුම් සොයාගත යුත්තේ ඇයම පමණි.

“හරි දැන් ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ.”

“මට තේරෙන්නේ නැහැ මම මොනව කරන්න ද කියලා. එක වෙලාවකට වහ කාලා මැරෙන්න හිතෙනවා. එතකොට මගේ දුව තනිවෙනවා. දුව නිසා තමයි මම මේ තරම් දුක් විඳින්නෙ.් දුව නැත්තම් මට අද මොනව වෙලාද දන්නේ නැහැ.”

“මට තේරෙනවා වාසනා මට තේරෙනවා. ඒත් අනේ මන්ද ඔයාට..”

“ඔයාට කරන්න කිසි දෙයක් නැහැ අයියේ. ඒක මම දන්නවා. මම මේ සේරම කිව්වේ හිතේ තිබුණු වේදනාවට. ඒක ඔයාට කිව්වට පස්සේ මගේ හිතට සැහැල්ලුවක් දැනෙනවා.”

ඇය ගැන මට ඇති වුයේ දුකකි. ඇය ඇත්තෙන්ම කතා කරන්නේ හදවතෙනි. කුඩා කල සිටම ගමේ පාසලේ පන්සලේ එකට කෙළිසෙල්ලම් කළ මමත් වාසනාත් කවදා හෝ මෙසේ හමුවෙනු ඇතැයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.

“අපරාදේ ඔයා කොළඹ ආවේ. ගමේම හිටියනම් ඉවරයි.”

“දැන් ඒවා කතා කරලා වැඩක් නැහැ අයියේ.... මේක තමයි දෛවය..... ඒක වෙනස් කරන්න කාටවත් බැහැ.”

“ඒක නම් ඇත්ත.... ඒත්.”

කියන්නට උත්සාහ කළ දේ මම නොකියා සිටියෙමි. කියන්නටනම් බොහෝ දේ මා සිත තුළ තිබිණි. දෙන්නට උපදෙස් ඕනෑ තරම් ඇත. ඒත් ඒ කිසිවක් දැන් ඵලක් නැත. ඉන් වාසනාගේ කැඩි බිඳි ගිය සිත යළි සනසන්නට මට නොහැකිය.

“ජීවිතයේ හැටි ඔහොම තමයි. අපි හිතන ඒවා නොලැබෙනවා. නොහිතන දේ ලැබෙනවා. අපි ලබා උපන් හැටි තමයි ඒ....”

“මම දන්නවා අයියේ. මට දැන් ජීවිතය එපා වෙලාමයි ඉන්නේ. දුවව ජීවත් කරවන්න ඕන නිසා මේ රස්සාව කරනවා. පුළුවන් වෙලාවට දුවත් එක්ක පන්සල් යනවා. දෙවියන්ට බුදුන්ට මේ දුක කියනවා. ආයෙත් රෑට මෙතන වැඩට එනවා.”

ඇය කතාකරන්නේ ඇත්තෙන්ම දුකකිනි. ඒත් වාසනාගේ ගතිගුණ තවමත් එදා මෙන් තිබෙන බව මට දැනේ.

“ඉතිං අයියේ ඔයාට කොහොමද? ඔයා කසාද බැන්ද ද?”

“ඔව්. මටත් පුතෙක් ඉන්නවා. දෙවියනේ කියලා කරදයක් නැතිව ජීවත් වෙනවා”

“අනේ හොඳයි.”

“කොහේ ගර්ල් කෙනෙක්ද මැරි කළේ?”

“අපේ ඔෆීස් එකේ. එයා රත්නපුරේ”

“දැන් ඉන්නේ?”

“ඉන්නේ ගල්කිස්සේ. එයාලගේ ගෙදර”

“අනේ හොඳයි”

ඇය එලෙස කියන්නේ හදවතින්ම බව මම දනිමි. මගේ ජීවිතේ අද වනතුරු ප්‍රශ්නයක් නැත. ඒත් හෙට කුමකින් කුමක් වේදැයි මම නොදනිමි. ඒත් මට ඒ ගැන තැකීමක් නැත. හෙට කුමක් වුවත් අද මා ගෙවන්නේ සතුටිනි. ඒත් මට අද ඇත්තේ දුකකි. ඒ මා කුඩා කල සිටම ඇසුරු කළ මා හිතවතිය පත්ව ඇති තත්ත්වය නිසාය.

“අනේ මන්දා වාසනා මට හරිම දුකයි ඔයා ගැන”

“ඕව ගණන් ගන්න එපා අයියේ.... හැම දෙයක්ම වෙන්නේ මනුස්සයාටනේ.”

ඒකනම් ඇත්ත. ඒත් ඔයාගේ ප්‍රශ්නේ ගණන් නොගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයිනේ. “

“ඒක නෙමේ ඔයා මෙතන රස්සාවට ආවේ කොහොමද....”

“ළමයත් එක්ක මම තනිවුණා. කරපු රස්සාවෙන් මාව අයින් කළා. පස්සේ කෙනෙක් මට මේ රස්සාව හොයලා දුන්නා. මට මෙතැන හොඳයි. දන්න කියන කවුරුත් මෙතනට එන්නේ නැහැ.”

“අනේ මන්දා මට නම් හිතාගන්නවත් බැහැ”

මම කීවෙමි.

“ඒකනම් ඇත්ත අයියේ මටත් හිතාගන්න බැහැ.”

“මම නම් කියන්නේ ඔයා වෙන හොඳ කෙනෙක් බඳින්න කියලා.”

“අනේ ඒක නම් කොහොමටවත් කරන්න බැහැ අයියේ.”

“ඇයි ඒ ..... ඔයා ඔච්චරටම”

“මම එයාට ආදරෙයි අයියේ. මට එයාව ඕන.”

“ඉතිං එයාට ඔයාව ඕන නැහැනේ. ඒකනේ එයා වෙන ගැහැනියක් එක්ක ඉන්නේ.”

“ඒ එයානෙ අයියෙ.... එයාට මාව ඕන නැති වුණාට මට එයාව ඕන අයියේ.”

“ඒ කිව්වේ.”

“මම තවමත් එයාට ආදරෙයි අයියේ”

“ඉතිං ළමයො එයාට ඒක තේරෙන්නේ නැහැනේ.”

“ඒකනේ අයියේ මෙතන තියෙන ප්‍රශ්නේ.”

ඇගේ කතාවෙන් හිතේ ඇති වු නොසන්සුන්කම මත මම එතැනින් නැගිට්ටෙමි. මම වාසනාගෙන් සමුගත්තෙමි. ඒ ඇයට අවැසි දෙයක් කරන්නට ඉඩ දෙමිනි.