පවුලේ ගෞරවය රකින්න දියණිය මරා දැමූ මවක්

පවුලේ ගෞරවය රකින්න දියණිය මරා දැමූ මවක්

සාමියා ඉම්රාන් 28 වැනි වියේ පසුවූ දෙදරු මවකි. එසේ වුවත් ඇයගේ විවාහය ඉතාම ශෝචනීය එකකි. ඊට හේතුව වූයේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන ඇගේ සැමියා අතිශය කෲර තැනැත්තකු වීමයි. සාමියා ඉතාම සාමකාමී ලැජ්ජා බයට හැදුනු කාන්තාවකි. පේශ්වර් විශ්ව විද්‍යාලයේ නීතිය හදාරන සමයේ ඇය සමඟ එකට සිටි මිතුරු මිතුරියන් පැවසුවේ ද ඇය දක්ෂ මෙන්ම ඉතාම ලැජ්ජාශීලි තරුණියක් බවයි.

සැමියාගෙන් එල්ලවන දුක්ගැහැට නිසා අනේක වාරයක් දික්කසාදවීමට උදව් කරන ලෙස ඇය සිය පවුලේ උදවියට ආයාචාන කළ නමුත් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක ඊට නොලැබිණි. සැමියාගෙන් සිදුවන කරදර හිරිහැර ගැන සාමියාගේ දෙමාපියන් හොඳින් දැන සිටියත් දික්කසාදයක් ගැන කිසිදු අයුරකින් ඔවුන්ද කැමැත්තක් නොදැක්වීය.

ඒ අතර සාමියා ගැබ් ගත්තාය. ගැබ්ගෙන සිටියදී සැමියා විසින් ඇය නිවසේ පඩිපෙළෙන් පහළට විසි කරලීම නිසා අවසානයේ ඇය සැමියා අත්හැර සාමියාගේ දෙමාපියන් ගේ නිවසේ පදිංචියට පැමිණියාය.

ඉස්ලාම් ආගමට දැඩි භක්තියක් පවතින පකිස්ථානයේ වයඹ දේශ සීමා ප්‍රාන්තයේ ජීවත් වූ සැමියාගේ පවුලේ උදවිය ඇය බාරගනු ලැබූ නමුත් දික්කසාද වීමට ඇය තුළ තිබූ කැමැත්තට ඔවුන් කිසිසේත් එකඟ වූයේ නැත. ඒ නිසා ඇයට කිහිපවතාවක්ම නිහඬව සිටීමට සිදුවිය. සැමියාගෙන් සිදුවන දුක්ගැහැට නිසා ඇගේ සිත හමුදා නිලධාරියකු වන නදීර් මිර්සා වෙත යොමු වූයේ ඔය අතරය. ඒ ඇය තුළ පැවති වේදනාව මඟහැර ගැනීම නිසා විය හැකිය. ඇය දරුවන් හා සැමියා අත්හැර දමා මිර්සා සමඟ ලනෝර් නගරයට පැන ගියාය. එහෙත් එම සම්බන්ධය වැඩි කලක් පැවතුණේ නැත. මිර්සා හමුදා සේවයට ගියේ සාමියා අත්හැර දමමිනි. සාමියා ඉන්පසුව ලනෝරයේ එක්තරා කාන්තා නිවාසයක නතර වූවාය.

මේ අතරතුර පේශ්්වර් විශ්ව විද්‍යාලයට ඇතුළු වී නීතිය හැදෑරීමට ඇරඹූ සාමියා තම පක්ට්‍රං ගෝත්‍රයට සම්බන්ධ ගතානුගතික අදහස් හා ගති සිරිත් වලින් ඉවත් වීමට දැඩි ප්‍රයන්තයක් දැරුවාය. නවීන පකිස්තාන කාන්තාවන් ගත කරන ස්වාධීන ජීවිතයක් ඇරඹීම ඇගේ අරමුණ විය. එහෙත් ඇයගේ දෙමාපියන්ගෙන් හා පවුලේ උදවියගෙන් ඊට කිසිදු ඉඩක් ලැබුණේ නැත.

කාන්තා නිවාසයේ දිවි ගෙවද්දී ඇයට අවශ්‍ය වූයේ තම සැමියාගෙන් නිත්‍යානූකූලව දික්කසාද වීමටය. තම පියා දැඩි ගතානුගතික අදහස් වලින් යුක්ත වූ කෙනෙකු බව දැනසිටි සාමියා තම දික්කසාදය සඳහා මෑණියන්ගේ සහාය හා අවසරය ලබා ගැනීමට අදහස් කරමින් ඒ බව සිය මවට පැවසුවාය.පියා විසින් තමාව මරා දමනු ඇතැයි යන බිය ඈ තුළ පැවති නිසා ඇය එලෙස මෑණියන්ගේ සහාය පැතුවාය. අවසානයේ ඇගේ මෑණියන් සාමියා හමුවී ඒ පිළිබඳ කතා බස් කිරීමට කැමැත්ත පළ කළාය. මෑණියන් හමුවීමට යාමට පෙර කාන්තා නිවාසය බාර කාන්තාවට ඇය පැවසුවේ “මම ආපසු එන්නේ මගේ නිදහසත් අරගෙනයි” යනුවෙනි.

ඇය තම මෑණියන් හමුවීමට යොදාගෙන තිබුණේ කාන්තා අයිතිය වෙනුවෙන් මහත් සේවයක් කරනු ලබන දැඩි ආගමික මතධාරීන්ට එරෙහිව සටන් කරන සුප්‍රකට කාන්තා නීතිඥයින් වන අස්මා ජහන්හීර් හා හීනා ජිලානිගේ කාර්යාලයයි.

නීතිඥ කාර්යාලයට යනවිට ඇගේ මෑණියන් පැමිණ සිටි අතර මව සමඟ නාඳුනන තැනැත්තෙකු ද සිටින බව දුටු නමුත් ඇය ඔහු ගැන තැකීමක් කළේ නැත. ඇය කාර්යාලයට ඇතුළු වනවාත් සමඟ නැගී සිටි. එම පුද්ගලයා පිස්තෝලයක් එළියට ඇද සාමියාගේ පපුවට හා හිසට වෙඩි දෙකක් තබා කාමරයෙන් පිටව ගියේය. ඒ සමඟම නැගී සිටි සාමියාගේ මව ද බිම වැටී ලේ ගලමින් දඟලන සිය දියණිය ගේ සිරුර දෙස නොබලාම කාර්යාලයෙන් පිටව ගියාය.

“සාමියාගේ මෑණියන් සමඟ පැමිණි තැනැත්තා කවුද කියලා අපි දන්නේ නෑ. අපි හිතුවේ ඇයගේ ආරක්ෂාවට පැමිණි අයෙකු කියායි. ඒත් වෙඩි තැබුවම තමයි දැනගත්තේ මෙය සාමියා මරා දැමීමට කළ කුමන්ත්‍රණයක් බව. ඒ අම්මා බිම වැටී සිටි සාමියා දුව දෙස නොබලාම යන්නට ගියා.” නීතිඥ කාර්යාලයේ සිටි නීතිඥ හීනා ජිලානි මහත් කෝපයෙන් යුතුව පොලිසියට පැවසුවාය.

“එදා ඇය ඉතාම බලාපොරොත්තු සහිතව ඒ වගේම සිනහ මුසු මුහුණින් පසුවුවාය. ඒත් ඒ යන්නේ මරණය කරා බව ඇය දැන සිටියේ නැහැ” යැයි නිවාසය බාර කාන්තාව පැවසුවාය.

සාමියාගේ මරණය සිදු වී වසරක් ගත වුවද කිසිවකුට එරෙහිව නඩුවක් පැවරීම සිදුවුණේ නැත. ඒ කිසිදු සාක්කියක් නැති නිසාය. සාමියාගේ මරණය සම්බන්ධයෙන් ෂටාජ් කිසාල්භාෂ් නමැත්තෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ නමුත් ඔහුට එරෙහිව සාක්ෂි දීමට කිහිපදෙනෙකු ඉදිරිපත් වුවද ඉන් ද පලක් නොවීය. පසුව ඔහු ද නිදහස් කරනු ලැබිය. සාමියාගේ මවට එරෙහිව පොලිසිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් ඇයට එරෙහිව නිත්‍යානුකූලව කිසිවක් සිදු වූයේ ද නැත.

ඊට හේතු වූයේ ඉතා ධනවත් ව්‍යාපාරිකයකු වූ සාමියාගේ පියාට ආගමික නායකයින්ගේ සහාය ලැබීමය. ඒ අතර සාමියාට සහාය දැක්වූ නිතිඥ කාන්තාවන්ට එරෙහිව ද නොයෙකුත් චෝදනාවන් එල්ල විය. කාන්තාවන්ගේ සිත් දුෂ්‍ය කිරීම එසේ එල්ල වූ ප්‍රධානතම චෝදනාව විය. ඒ සමඟම ඔවුන් කෙරෙහි ද සමාජය තුළ දැඩි විරෝධයක් ඇති වන්නට පටන් ගත්තේය.

එහෙත් පවුලට සිදුවන අගෞරවය නිසා කෙනෙකු මරා දැමීම සාමියාගේ ඝාතනයට පමණක් සීමා වූ සිදුවීමක් නොවීය. එවන් සිද්ධීන් රැසක් පකිස්ථානයෙන් වාර්තා වී ඇත.පවුලේ ගෞරවය රැකගැනීම සඳහා කාන්තාවන් ඝාතනය කිරීමට එරෙහිව පකිස්තාන මහජන පක්ෂයේ සයිඩ් ඉක්බාල් හයිඩර් සෙනෙට් මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැරසුනු නමුත් එසේ කිරීමට ඔවුන්ට ද ඉඩ ලැබුණේ නැත.

“පවුලට අගෞරව කිරීම” මිනිමැරීමට නිත්‍යානුකූල අයිතියක් පවරා දීමක් ලෙස සැලකීම වර්තමානයේ පවා පකිස්ථානයේ ඈත ප්‍රදේශවල සිදුවන බව කියනු ලැබේ.මේ අතර සාමියාගේ මරණය ගැන සාක්ෂි දීමට හෝ වෙනත් කටයුතු කිරීමට ඉදිරිපත් වුවහොත් මරා දමන බවට නොයෙකුත් තර්ජන අස්මා ජහන්ගිර් හා හීනා ජිලානි වෙත ද එල්ල වන්නට විය.