“බෙල්ල වටේ ලණුව දාලා දෙපැත්තට ඇද්දා”

“බෙල්ල වටේ ලණුව දාලා දෙපැත්තට ඇද්දා”

රුවන්වැල්ල විතාරණලාගේ පොඩි මැණිකේ යනු තනිවම ජීවත් වූ අවිවාහක කාන්තාවකි. වයස අවුරුදු හැත්තෑ එකක් වූ ඇය පදිංචි ලිපිනය වුයේ අංක ඊ 14/1 පහළ ලෙනගල, වේරගල, වරකපොළය.

ඇය... මීට කලකට පෙර එක්තරා පුරුෂයකු සමඟ කල් ගෙවා ඇති බව කියයි. ඔහු... ඇයට වඩා වයසින් බාල වූ අතර විවාහකයෙකි. දරුවන් සිටින පියකු වූ ඔහුගේ බිරිය මිය ගොසිනි. දරුවන් විවාහ වී නොයෙක් ප්‍රදේශවල ජීවත් වන අතර පියා ගැන සොයා බැලීමක් නැත.

කල් ගතවෙද්දී පොඩි මැණිකේ රෝගී තත්ත්වයට පත් වූ අතර ඇය සමඟ ජීවත් වූ පුද්ගලයා පිළිබඳ ද තොරතුරක් නොවීය.

දීර්ඝ කාලීනව පවතින කැස්ස හේතුවෙන් ඇය දැඩි ලෙස පීඩා විඳින්නට වුවාය. සිරුර ද දිනෙන් දින දිරාපත් වන්නට පටන් ගත්තේය.

අනතුරුව ඇය රුවන්වැල්ල රෝහලට රැගෙන යන්නේ දන්නා හඳුනන අයකු විසිනි. ඒ.. පසුගිය මස දාහතර වැනිදාය.

ඒ වන විට ඇයට ක්ෂය රෝගය වැළදී ඇති බව වෛද්‍යවරු නිගමනය කර තිබිණි.

එබැවින්.... ඇයට නේවාසික ප්‍රතිකාර ලබා දිය යුතු බව තීරණය කළ වෛද්‍යවරු ඇය රුවන්වැල්ල රෝහලේ හතරවැනි වාට්ටුවට ඇතුලත් කළේය.

ක්ෂය රෝගය යනු එකිනෙකාගෙන් එකිනෙකාට බෝ වන රෝගයකි. රෝගියා කහින විට පිටවන කෙළ බිඳිති වලින් ද අන් අයට බෝවන රෝගයකි. එබැවින්.... ඇය වාට්ටුවේ අනෙක් රෝගීන්ගෙන් වෙන්කර තැබීමට වාට්ටුවේ කාර්යය මණ්ඩලය කටයුතු කළේය.

හතරවැනි වාට්ටුවෙන් පිටතට පැමිණි විට වම්පස වෙන් වූ කාමරයක් ඇත. ඇයට එම කාමරය ලබා දුන් අතර ඇය එහි තනිවම කල් ගත කළාය.

මෙලෙස නේවාසිකව සිටින ඇයට දියයුතු සියලුම ප්‍රතිකාර ලබා දීමට වාට්ටුවේ කාර්යය මණ්ඩලය වගබලා ගත්තේය.

ඒ... අගෝස්තු මස දහඅට වැනිදාය. එනම්... පොඩි මැණිකා රෝහල් ගතව ගෙවී ගිය සිව්වැනි දිනයයි. දිනපතා රාත්‍රී දොළහට පමණ ඇයට එන්නතක් ලබාදීමට නියමිතය. ගෙවී ගිය දින කිහිපයේ දී රාත්‍රී දොළහ වෙද්දී හෙදියක් ඇයගේ කාමරයට ගොස් මෙම එන්නත ලබා දුන්නාය.

දහ අටවැනිදා රාත්‍රියේ ද ඇය සුපුරුදු පරිදි පොඩි මැණිකා සිටින කාමරයට ගියේ එම එන්නත ලබාදීම සඳහාය. එහෙත්.... ඇය කාමරයේ පෙනෙන්නට සිටියේ නැත. “පොඩි මැණිකා” ලෙසින් අඬ ගසමින් කිහිප වරක් කතා කළ ද ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

අනතුරුව ඇය පැනගොස් ඇති බව වටහා ගත් වාට්ටු කාර්යය මණ්ඩලය ඒ බව රෝහල් පොලිසියට දන්වා සිටියේය.

රුවන්වැල්ල රෝහල් පොලිසිය පොඩි මැණිකාගේ අතුරුදන් වීම ගැන වරකපොළ පොලිසියට දැනුම් දුන්නේය. වරකාපොළ පොලිසිය ඇය ගමට පැමිණ ඇත්දැයි සොයා බැලු නමුත් ඇය පැමිණි බවක් හෙළි වුයේ නැත.

පොඩි මැණිකා අතුරුදන්ව දින දෙකක් ගෙවී ගියේය. රෝහල් ගත කළ දිනයේ සිට ගෙවී ගිය දින හතරක කාලයකදී ඇයගේ සුව දුක් බැලීමට එකම වතාවක් එක් අයකු පැමිණ තිබිණි.

ඒ හැර ඇය ගැන සොයා බලන්නට කිසිවකු පැමිණියේ නැත. එලෙසම වාට්ටුවට ඇතුලු කළ දිනයේ සිට අතුරුදන් වන දිනය දක්වාම ඇය හැඳ සිටියේ එකම සායක් සහ හැට්ටයකි. එනම්... ඇයට මාරු කිරීමට ඇඳුමක් පවා තිබී නැති අතර ඇඳුමක් ගෙනැවිත් දීමට වත් කිසිවකු සිට නැත.

ඒ නිසාදෝ ඇයගේ අතුරුදන් වීම ගැන කාටත් එතරම් කුතුහලයක් ගෙන දෙන ගැටලුවක් වුයේ ද නැත.

මේ අතර පසුගිය විසි වැනිදා සවස තුනයි තිස්පහට රුවන්වැල්ල පොලිසියට දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ... රුවන්වැල්ල රෝහල් පොලිසියෙනි.

ඇමතුම දුන් පොලිස් කොස්තාපල්වරයා පවසා සිටියේ රෝහල පිටුපස ඇති වතුර පිරුණු වළක පුද්ගලයකු වැටී සිටින බවය.

තොරතුර ලද වහාම ස්ථානාධිපති වරයා කණ්ඩායමක් ද සමඟ රෝහල බලා පිටත්විය. පොලිස් කණ්ඩායම යන විට රෝහල් පොලිසියේ සාමාජිකයන් මෙන්ම රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයන් ද මළ සිරුර ඇති වතුර වල අසල එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.

මළ සිරුර නිරුවත්ය. වතුර උඩ පාවෙමින් තිබේ. ඒ කාන්තා මළ සිරුරක් බව පෙනී යයි.

සිරුර ගොඩ ගැනීමෙන් අනතුරුව ඒ කවුරුන් දැයි හඳුනා ගැනීමට හතරේ වාට්ටුවේ කාර්යය මණ්ඩලයට හැකි විය. ඒ... මීට දින දෙකකට පෙර අතුරුදන් වූ පොඩි මැණිකා ය.

ඇය මේ වලට වැටුණා නම් හෝ එයට පැන දිවි නසා ගත්තා නම් හෝ ඇඟේ ඇඳුම් තිබිය යුතුය. එහෙත්.... ඇයගේ මළ සිරුර නිරුවත්ය.

ඇය හැඳ සිටි ඇඳුම් සොයා පොලිස් කණ්ඩායම අවට සෝදිසි කළ අතර හතර වාට්ටුවට අයත් නාන කාමර පිටුපස තිබී කාන්තා ඇඳුම් හමුවිය. ඒවා ඇයගේ බවත් ඇය රෝහලට පැමිණි දිනයේ සිට අතුරුදන් වනතුරුම හැඳ සිටියේ එම ඇඳුම් බවත් වාට්ටු අංක හතරේ කාර්යය මණ්ඩලය හඳුනා ගත්තේය.

පසුව ඇයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කළ අතර ඒ වන විට පොලිසියේ සැකය වී තිබුණේ කවුරුන් හෝ ඇය මරා දමන්නට ඇති බවය.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වුයේ ඇය දුෂණය කිරීමෙන් අනතුරුව ගෙළ සිරකර මරා දමා ඇති බවයි.

ලණු කැබැල්ලකින් ගෙල සිර කර ඇති බවද හෙළි වූ අතර ඇයගේ පිට දිගේ සීරිම් තුවාල ද දක්නට ලැබිණි. අධිකරණ වෛද්‍ය වරයාගේ නිගමනය වුයේ ඇය බිම දිගේ ඇදගෙන යාම නිසා පිට දිගේ ඒ ආකාරයෙන් සීරිම් තුවාල සිදුවන්නට ඇති බවය.

පොඩි මැණිකාගේ ඝාතනය ගැන මෙලෙස තොරතුරු හෙළිවෙද්දී ඇයගේ සිරුර හමු වූ මොහොතේ සිට පරීක්ෂණ දියත් කළ පොලිසියට සැකකටයුතු පුද්ගලයකු පිළිබඳ තොරතුරු ලැබී තිබිණි.

රාමසාමි රවී නමැති තිස් හතර හැවිරිදි ඔහු යටියන්තොට රුහුණුගල වත්තේ අංක තුන කාමරයේ පදිංචි අයෙකි. හොරොයින් පානයට තදින් ඇබ්බැහිව සිටි ඔහු පසුගිය මස දහඅට වැනිදා රුවන්වැල්ල රෝහලට පැමිණෙන්නේ හොරොයින් පානය නිසා ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනි.

දිගින් දිගටම හොරොයින් පානය කිරීම හේතුවෙන් ඔහු තදින් මත් වූ තත්ත්වයක සිටි අතර ඔහුට නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතු බවට වෛද්‍යවරු නිගමනය කළහ. ඒ අනුව ඔහු ඇතුලත් කෙරුණේ හත්වැනි වාට්ටුවටය.

වාට්ටුව ඇතුළේ ඇඳක් නොතිබු බැවින් කොරිඩෝවේ දෙවැනි ඇඳ ඔහුට ලබා දීමට වාට්ටු කාර්යය මණ්ඩලය කටයුතු කළේය. ඔහු නේවාසිකව සිටි වාට්ටුවත්, පොඩි මැණිකා නේවාසිකව සිටි කාමරයත් අතර දුර මීටර් තිහක් තිස් පහක් පමණය. පොඩි මැණිකා අතුරුදන් වූ දිනයේම රාමසාමි ද වාට්ටුවෙන් පැනගොස් තිබිණි.

එබැවින්.... පොඩි මැණිකා දුෂණය කොට ඝාතනය කරන්නට ඇත්තේ රාම සාමි විය යුතු බවට සැක කළ පොලිසිය ඔහු සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

පොඩි මැණිකා ගේ මළ සිරුර හමු වී දින තුනක් ගෙවෙද්දී එනම් පසුගිය විසි තුන් වැනිදා උදේ රාමසාමි අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. ඒ.... ඔහු පදිංචි රුහුණුගල වත්තේ සිටියදීය.

පොලිසිය අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ද ඔහු වෙතින් දිස් වුයේ මත් වූ ස්වභාවයකි.

ප්‍රශ්න කිරීමේදී මුලින් ඔහු කියා සිටියේ තමන් එම සිද්ධිය පිළිබඳ කිසිවක් නොදන්නා බවය. එහෙත් දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු සිදු වූ සියල්ල හෙළි කළේය.

“මම වාට්ටුවේ නතර වුණේ කුඩු වලට බෙහෙත් ගන්න. නතර වෙන්න එද්දීත් මම කුඩු පැකට් එකක් ගහලයි ආවේ. මට කුඩු නැතිව ඉන්න අමාරුයි.

“මට හම්බ වුණේ වාට්ටුවේ එළියේ ඇඳක්. ඒ ඇඳේ ඉන්දෙද්දී ඔය ගෑනු කෙනා කාමරයේ ඉඳලා එළියට එනවා මම දැක්කා. ඒ වෙලාවේ මට ඒ ගෑනු කොන ගැන ආසාවක් ඇති වුණා. එයා එක්ක එකට ඉන්න ඕන කියලා හිතුණා. ඒ වෙලාවේ එක පාරටම හිතට ආපු ආසාවක්.”

“මම ඒ ගෑනු කෙනා හිටපු කාමරේ ළඟට ගියා. ඒ වෙද්දී එයා පිටිපස්ස පැත්තට යනවා. මමත් පස්සෙන් ගිහින් එයාව අල්ල ගත්තා. මම එයාව බිත්තියට හේත්තු කරලා මගේ වුවමනාව කරගන්න හැදුවට එයා ඉඩ දුන්නේ නෑ.”

“ඊට පස්සේ එක අතකින් එයාගේ කට වහලා එයාව බිම දාලා ඇඳුම් ගලවලා මගේ ආසාව මම ඉෂ්ඨ කර ගත්තා. ඒ එක්කම එයා කෑ ගහන්න පටන් ගත්තා.”

“ඒ පාර මම එයාගේ කට තදින් වහගෙන වටේ බලද්දී ලණු කෑල්ලක් හම්බ වුණා. ඒ ලණු කැල්ල බෙල්ල වටේට දාලා දෙපැත්තට තද කළා. ටික වේලාවකින් එයාගේ දැඟලිල්ල නතර වුණා. මම එයාගේ නහය ළඟට අත තියලා බලද්දී හුස්ම වැටුණේ නෑ.”

“ඊට පස්සේ බෙල්ලේ ලණුව ගලවලා විසි කරලා එයාව බිම දිගේ ඇඳගෙන ගිිහින් අර වතුර වලට දාලා මමත් එහෙමම ඉස්පිරිතාලෙන් පැනලා ගියා.”

ක්ෂයරෝගී පොඩි මැණිකා දුෂණය කොට ඝාතනය කළ අයුරු රාමසාමි රවී එලෙස හෙළි කළේය.

රාමසාමී රවී යනු විවාහක පුද්ගලයෙකි. දෙදරු පියෙකි. ඔහුගේ බිරිය හැටන් ප්‍රදේශයේ පදිංචි කාරියකි. වර්ථමානයේ ඇය රැකියාවක් සඳහා විදෙස් ගතව සිටින අතර දරු දෙදෙනා කල් ගෙවන්නේ හැටන් හි පිහිටි ඇයගේ මහ ගෙදරය.

ඇය.... මෙලෙස දරුවන් ද මවු පියන්ට භාර දී විදෙස් ගත වුයේ හොරොයින් පානයට තදින්ම ඇබ්බැහිව සිටින රාමසාමි සමඟ ජීවත් වීම කිසිසේත්ම කළ නොහැක්කක් වූ නිසාය.

රාම සාමි රවී වයස අවුරුදු දාහත සපිරෙද්දී රැකියාවක් සොයාගෙන යන අතර ඔහුට හෝටලයක සුලු රැකියාවක් ලැබිණි. එලෙස වසරක පමණ කාලයක් ගත වෙද්දී එනම් වයස අවුරුදු දහ අට සපිරෙද්දී රාම සාමි හෙරොයින් වලට ඇබිබැහි වන්නේ හෝටලයේ සේවයේ නිරතව සිටි කුඩ්ඩන් ඇසුරු කිරීම නිසාය.

එලෙස ටිකෙන් ටික මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ ඔහුට අද වන විට කුඩු නැතිව ජිවත් වීම පවා අපහසුය.

අධික කුඩු ඉරීම නිසා හෝටලයේ රැකියාවට ද සමුදෙන රාමසාමි රුහුණුගල වත්තට යළි පදිංචියට යන්නේ කාන්තාවක් ද කැටුවය.

මොහුගේ ඇබ්බැහිය ගැන දැනගන්නා විට ඇය ප්‍රමාද වැඩිය. තේ වත්තේ කල් ගෙවුව ද රාමසාමි වත්තේ වැඩ කළේ නැත. ඔහු වත්තෙන් පිටට ගොස් කුලී වැඩවල නිරත වූ අතර සවසට අතට ලැබෙන දවසේ පඩිය සම්පුර්ණයෙන් ම වැය කළේ හොරොයින් පානය සඳහාය.

ඔහුගේ බිරිය ඒ වන විට තේ වත්තේ වැඩ කළ අතර දරු පවුල නඩත්තු වුණේ ඇය උපයාගන්නා සොච්චම් මුදලිනි. ඇය.... රාමසාමි හැර දමා දරු දෙදෙනාද රැගෙන මහ ගෙදරට යන්නේ තව දුරටත් මොහු සමඟ ජීවත් වීම දැඩි අපහසු කරුණක් වූ නිසාය. අනතුරුව දරුවන් මවුපියන්ට භාර දී ඇය විදෙස් ගත වුයේ දරුවන්ට හොඳ අනාගතයක් උදාකර දීම සඳහාය.

බිරියත් දරු දෙදෙනාත් ගිය පසු රාමසාමි ට නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදාවිය. දිනකට කුඩු පැකට් දෙකක් වත් ඔහුට වුවමනාය. කුලී වැඩ කිරීමෙන් ලැබෙන මුදලින් ඔහු කුඩු පානය කළ අතර හොරකම් මැරකම් කළ බවට ආරංචි නොමැත.

ඔහු... රෝගී වයෝවෘද්ධ පොඩි මැණිකා දුෂණය කොට මරා දමන්නේ කුඩු නතර කිරීමට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගතව සිටියදීය.

පොඩි මැණිකා මරා දමා තිබුණේ රෝහලේ නාන කාමර වැසිකිලි මෙන්ම ගලි ද පිහිටි කැලෑවට ගිය කොටසේය. මොහු ඇය දුෂණය කර මරා දමන්නේ අංක හතර කාන්තා වාට්ටුවට අයත් නාන කාමර පිහිටි ප්‍රදේශයේ පිටුපස කොටසේදීය.

එම ප්‍රදේශය ඉලුක් මානා වලින් සමන්විත අතර කවුරුත් යන එන ප්‍රදේශයක් නොවන්නේය. රෝහලේ නාන කාමර වලින් එන ජලය මෙන්ම සෝදා හරින අප ද්‍රව්‍ය ද එකතු වන ගලි හයක් හතක් පමණ මෙම නාන කාමර වලට පිටුපසින් පිහිටා ඇත. වැසිකිළි පිහිටා ඇත්තේ නාන කාමර වලට එපිටිනි.

පොඩි මැණිකා ගේ මළ සිරුර ගලි වලක පාවෙමින් තිබෙනු දකින්නේ අහම්බෙන් එම ප්‍රදේශයට ගිය රෝහල් සේවකයෙකි.

දින දෙකක් ගත වුවද මළ සිරුර කුණු වී නොතිබුණ අතර ඊට හේතුව වී තිබුණේ මළ සිරුර තිබු ගලි වලේ සේදී ආ බෙහෙත් වර්ග ද අන්තර්ගතව තිබීමය.

රුවන්වැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රදීප් වීරසේකර ප්‍රමුඛ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන්ත, උප පොලිස් පරීක්ෂක තිලකසිරි සැරයන් වරුන් වන 23686 වීරසිංහ, 32950 කුලතුංග කොස්තාපල් වරුන් වන 9777 බණ්ඩාර 63753 බණ්ඩාර පරීක්ෂණ සඳහා එක්වුහ.

තක්ෂිලා ජයසේකර