"පොඩි ලසී"ගේ කල්ලියේ 3 ක් අවිත් එක්ක මාට්ටු

"පොඩි ලසී"ගේ කල්ලියේ 3 ක් අවිත් එක්ක මාට්ටු

රත්ගම ප්‍රාදේශිය සභාවේ සභාපති වරයාව සිටි මනෝජ් මෙන්ඩිස් ඝාතනය වී මේ වන විට වසර දෙකකුත් මාස හයක් ගෙවී ගොස් අවසානය.

වෙඩි තබා මනෝජ් මෙන්ඩිස් ඝාතනය කළේය යන චෝදනාවට අරුමාහන්දි ජනීත් මධුශංක ද සිල්වා නොහොත් පොඩි ලසී අත්අඩංගුවට පත් වූ අතර තවමත් ඔහු කල් ගෙවන්නේ බන්ධනාගාරයේය.

ඒ.... මනෝජ් මෙන්ඩිස් ඝාතනයට ඇතුළට ගොස් ඇප මත එළියට ඒමෙන් අනතුරුව තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදුකිරීම අනවසර ගිනි අවි ළඟ තබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු චෝදනා රැසකට අත්අඩංගුවට පත්වීම නිසාය.

මනෝජ් මෙන්ඩිස් යනු හික්කඩුව ඇතුලු දකුණේ සංචාරක පුරවරය හොල්ලාගෙන කප්පම් ගනිමින් දේශපාලන බලය හේතුවෙන් මැර බලය ද පතුරුවාගෙන ප්‍රදේශයේ නායකයා වීමට උත්සාහ දැරූ අයෙකි.

පොඩි ලසී ඔහුට එරෙහිව නැඟී සිටියේ සිය පියා ඝාතනය කිරීමට එක් වූ කල්ලියේ මනෝජ් මෙන්ඩිස් ද සිටි බව කියමිනි.

සොබානාහන්දි ජයලත් ද සිල්වා නොහොත් සුද්දා කරන්දෙණිය දොස්තර හොඳ හිත ඝාතනයේ ප්‍රධාන සැකකරුය. පොඩි ලසී හා සුද්දා හොඳ මිතුරන් වන අතර මේ කල්ලියේ නායකයා වන්නේ දැනට විදෙස් ගතව සිටින සුජිත් සොයිසා නොහොත් කොස්ගොඩ සුජීය. එහෙත්.... එම කල්ලිය හඳුවන්නේ පොඩි ලසී ගේ කල්ලිය ලෙසිනි. ඒ... භූමියේ ජවනිකාව රඟ දක්වන්නේ ඔහු බැවිනි.

ඔහු ඇතුලේය. මනෝජ් මෙන්ඩිස් වලපල්ලේය. එහෙත්.... මේ කල්ලි දෙක අතර මෙන්ම කල්ලි නායකයන්ගේ මෙහෙවීමෙන් සිදුවන අපරාධ වල නම් අඩුවක් නැත.

සොබාහන්දි සනත් ද සිල්වා නොහොත් රාජු යනු සුද්දාගේ බාල සහෝදරයාය. කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය අපේ‍්‍රල් මාසයේ එළියට ආ ඔහු කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවකු වූ ලසන්ත පද්මලාල් නොහොත් රණා යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සමඟ එක්ව එක දිගට මනුෂ්‍ය ඝාතන පහක් සිදු කළහ. ඒ... කොස්ගොඩ සුජී ගේ මෙහෙයවීමෙනි.

මෙලෙස ඝාතනය කළ පුද්ගලයන් අතර මනෝජ් මෙන්ඩිස් හිතවාදීන් මෙන්ම පෞද්ගලික කොන්තර වලට තරහ වූ පුද්ගලයෝ ද වුහ.

මනෝජ් මෙන්ඩිස් ජීවත්ව සිටි සමයේ එම කල්ලිය ප්‍රදේශය පුරා බලය පතුරුවාගෙන සිටියද ඔහුගේ අභාවයෙන් අනතුරුව ඒ බලය ටිකෙන් ටික ගිලිහෙන්නට පටන් ගත්තේය.

එහෙත්.... හික්කඩුව, බද්දේගම මාර්ගයේ පිහිටි දයානන්ද සර්විස් ස්ටේෂන් හිමිකරුගේ ලොකු පුතා වූ ආදිත්ත ගොඩගේ අසංක සුමිත් නොහොත් ලොකු වෙඩි තබා මරා දමා තිබුණේ මනෝජ් මෙන්ඩිස් කල්ලියෙනි. ඒ... මනෝජ් මෙන්ඩිස් ඝාතනය වු දින උදේ වරුවේ හික්කඩුවේ පිහිටි හෝටලයකදී මනෝජ් මෙන්ඩිස් ට පහර දීමේ සිද්ධියට පළිගැනීමක් වශයෙනි.

ඒ බව හෙළි වුයේ ලොකුට වෙඩි තැබු ඉනාසි චමින්ද කුමාර යන හිටපු යුද හමුදා සෙබළා සහ අගම්පොඩි සුරේෂ් කුමාර නොහොත් රණා පොලිසියට කොටුවීමෙන් අනතුරුවය. මේ දෙදෙනා ලොකු ඝාතනය කර තිබුණේ මුදල් කොන්ත්‍රාතුවකටය.

මනෝජ් මෙන්ඩිස් කල්ලියට එරෙහි පුද්ගලයන් මරා දැමීම සඳහා කුලී වෙඩික්කරුවන් වෙනුවෙන් මුදල් වැය කරන පුද්ගලයා හෙළි වී ඇතත් තවමත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවනුයේ ඔහු වටා ඇති දේශපාලන බල පවුර හේතුවෙන් බව ප්‍රදේශය පුරා නොයෙකුත් කතා පැතිර ගොස් තිබේ.

මේ හේතුව නිසාදෝ පොඩි ලසී කල්ලිය පසුගිය දිනෙක ඔහු ඝාතනය කිරීමට සැලසුමක් දියත්කර තිබිණි.

එහෙත්.... ඒ සැලසුම අසාර්ථක වුව ද ගිනි අවි තුනක් සමඟ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට බද්දේගම සහ හික්කඩුව පොලිසියට හැකිවිය.

අත්අඩංගුවට පත්ව තිබුණේ පොඩි ලසී ගේ කල්ලියේ සාමාජිකයන් තිදෙනෙකි.

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්වුයේ එම හෝටලයට ඉදිරිපස පිහිටි හෝටලයට ගොස් ගිනි අවි පෙන්වා තර්ජනය කොට ඉතා මිල අධික විදේශීය මත්පැන් බෝතල් දෙකක් පැහැරගෙන යාමෙන් අනතුරුවය. ඔවුන් මෙම හෝටලයට පැමිණ තිබුණේ එහි සිට මත්පැන් පානය කොට ඉදිරිපස පිහිටි හෝටලයට පැන පහරදීමේ අරමුණ ඇතිවය.

අගෝස්තු මස දොළොස් වැනිදා රාත්‍රියේ මෙම සංචාරක හෝටලයට පැමිණි පුද්ගලයන් පස් දෙනකු අතිවිශේෂ බාගයක් ඉල්ලා ඇත. එම හෝටලයේ අති විශේෂ බාගයක මිල රුපියල් හාරදහසකි.

අරක්කු බාගයේ මිල ඉතා වැඩි බව කියමින් හෝටල් සේවකයන්ට බැන වැදුණ මේ පස් දෙනා යන්නට ගියේය.

ටික වේලාවක් ගෙවී ගියේය. අර පස්දෙනා යළි හෝටලයට පැමිණියේ ගිනි අවි තුනක් ද රැගෙනය. එලෙස පැමිණ බාර් එකේ සිටි පුද්ගලයාගේ හිසට එක් අවියකුත්, මෙම හෝටලයේ හිමිකරුගේ සහෝදරයාගේ හිසට තවත් ගිනි අවියත් තබා බිය ගන්වා පහර දෙන අතර තවත් අයකු කාටත් පෙනෙන ලෙස ඉනේ පිස්තෝලයක් රඳවාගෙන සිටි. කල්ලිය ඉන් පිටව යන්නේ එක් බෝතලයක මිල රුපියල් දාහතර දහසක් වන විදේශීය මත්පැන් බෝතල් දෙකක් ද පැහැරගෙනය.

මෙම සිද්ධිය ගැන එදින රාත්‍රියේම හික්කඩුව පොලිසියට පැමිණිල්ලක් ලැබෙන අතර පොලිසිය පරික්ෂණ ආරම්භ කරන්නේ හෝටලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේය.

මේ අතර ඊට පසුදින අලුයම් කාලයේ බද්දේගම පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. ඒ.... ගිනි අවියක් පෙන්වා බිය ගන්නවා නිවෙසට ඇතුලු වී පහර දී මරණීය තර්ජන සිදුකිරීමක් පිළිබඳය.

එලෙස පැමිණි පුද්ගලයා බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා අතර ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ පෙර දින රාත්‍රියේ හික්කඩුවේ සංචාරක හෝටලයට පැන ගිනි අවි පෙන්වා මත්පැන් බෝතල් දෙකක් පැහැරගෙන යාමේ සිද්ධියට තමා ද සම්බන්ධ බවයි. එලෙස කී ඔහු එම හෝටලයේ සිද්ධියට පැමිණි අනෙක් සිව්දෙනා පිළිබඳ ද තොරතුරු හෙළි කර තිබිණි. මේ අතර ගාල්ල කොට්ටාස බුද්ධි තොරතුරු අංශයට පසුගිය දිනෙක තොරතුරක් ලැබිණි. ඒ.... බද්දේගම සිට හික්කඩුව දෙසට පැමිණෙන බස් රථයක මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු පැමිණෙන බවය.

මෙම තොරතුරට අනුව කි‍්‍රයාත්මක වූ හික්කඩුව පොලිසියේ කණ්ඩායමක් එම බසය පිටුපසින් වෑන් රථයකින් ගොස් අච්චිකට්ටුව රෝහල අසල බස් රථය නැවැත්වීමෙන් පසු බසයට ගොඩ වී එම පුද්ගලයන් දෙදෙනාගේ දෑත්වලට මාංචු දැමීය.

මෙම සිදුවීම නිසා බස් රථයේ රියැදුරු කොන්දොස්තර මෙන්ම එහි ගමන්ගත් මගීන් ද කලබලයට පත්ව සිටියහ.

“අපි හික්කඩුව පොලිසියෙන් මේ අපිට අවශ්‍ය සැකකරුවෝ දෙන්නෙක්. කරදරයක් වුණා නම් අපිට සමාවෙන්න” යැයි කියූ සිවිල් ඇඳුමින් සිටි පොලිස් කණ්ඩායම සැකකරුවන් දෙදෙනා පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

මේ දෙදෙනාගෙන් එක් අයකු මුරුක්කාදුර වසන්ත සොයිසා නැමැති විසිතුන් හැවිරිදි තරුණයෙකි. අම්බලන්ගොඩ, ඉඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනෙක් පුද්ගලයා ද ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචි අගම්පොඩි චමින්ද ප්‍රසන්න ද සොයිසා නැමැති විසිහය හැවිරිදි තරුණයාය.

ප්‍රශ්න කිරීමේදී මේ දෙදෙනා පවසා සිටියේ මනෝජ් මෙන්ඩිස් හිතවාදී හෝටලයට පහර දීම සඳහා සුදානමින් පැමිණි නමුත් අති විශේෂ පානය රුපියල් හාරදහසක් වීම නිසා ඇති වූ ආරවුල හේතුවෙන් ඉලක්කය වෙනස් වූ බවයි.

මේ දෙදෙනා මීට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයක සැකකරුවෝය. ඊට අමතරව ගලබොඩ ප්‍රදේශයේ දී “සුසා” යන අය ඝාතනය ඇතුලු තවත් ඝාතන දෙකක සැකකරුවෝය.

ඊට අමතරව බන්ධනාගාර ජේලර් වරයකුගේ දරුවකුගේ පාද අසලට වෙඩි තැබීමේ සිද්ධියකට ද සම්බන්ධ අතර කප්පම් ගැනීම්, බුරු පිටි කොල්ලකෑම් වැනි අපරාධ වලට ද සම්බන්ධය.

මොවුන්.... මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඉහත සඳහන් අපරාධ සඳහා සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත එළියට පැමිණ සිටියදීය. තව දුරටත් කළ ප්‍රශ්න කිරීම් වල දී හෙළි වූ තොරතුරු මත ප්‍රසන්න සොයිසාගේ නිවෙසේ ලෑලි කබඩ් එකක සඟවා තිබී එක් ගිනි අවියක් ද වසන්ත සොයිසාගේ නිවෙසේ බිත්තිය හාර සඟවා තිබූ අනෙක් ගිනි අවිය ද එම උණ්ඩ හයක් ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය.

හික්කඩුව පොලිසියේ ස්ථානාධිපති සී.ටී. වෙත්තසිංහ ගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රසන්න මෙන්ඩිස් සහ කොස්තාපල් (68130) චතුරංග ද කොට්ඨාස බුද්ධි තොරතුරු අංශයේ කොස්තාපල් වරුන් වන 69483 විතාන 72779 දිනේෂ් පරීක්ෂණ සඳහා එක්වුහ.

තක්ෂිලා ජයසේකර