නිකටේ තිබූ උපන් ලපයෙන් අල්ලාගත් 'නින්ජා' කල්ලිය

නිකටේ තිබූ උපන් ලපයෙන් අල්ලාගත් 'නින්ජා' කල්ලිය

ධර්මපුරම් පොලිසියේ සේවය කළ කොස්තාපල් ජනක කලින් සේවය කළේ හික්කඩුව පොලීසියේය. ඔහු එහි රාජකාරි කළේ අධිකරණ කටයුතු භාරවය. ඔහු ඊට ඉතා දක්ෂය. ඒ අතරතුර ඔහුට මාරුවීමක් ලැබිණ. ඒ ධර්මපුරම් පොලීසියටය. හික්කඩුවේ මෙන් ධර්මපුරම්හි රාජකාරි එතරම් අපහසුතාවයක් නැත. හික්කඩුවේ පාතාලයේ මෙන් ධර්මපුරම්වල පාතාලයක් ද නැත. නුහුරු පරිසරයක් වූ ධර්මපුරම්වලට පැමිණි කොස්තාපල් ජනකට ටික කලක් යද්දී සැහැල්ලු සිතින් රාජකාරි කිරීමට හැකියාවක් ලැබිණ. ඒ ස්ථානාධිපතිවරයාගේ හා සේවය කළ සෙසු කොස්තාපල්වරුන්ගේ සුහදතාවය නිසාය.

වැඩිකල් යන්නට මත්තෙන් ජනක ධර්මපුරම් පොලිසියේ අපරාධ විමර්ශන අංශය බාරව කටයුතු කරමින් අධිකරණ කටයුතු ද මෙහෙයවීය.

පසුගිය කාලයේ යාපනයේ ඇති වූ නොයෙකුත් සිද්ධීන් සමථයකට පත්වීමත් සමඟ ඒ අවට සෙසු ගම්මානවල ද්‍රවිඩ වැසියෝ ද සතුටට පත් වූහ. එහෙත් කිලිනොච්චි පොලිස් වසමේ වැසියන්ගේ සිත් සතන් එසේ සතුටට පත් වී තිබුණේ නැත.

ඊට හේතුව වූයේ මුහුණු වසාගෙන කඩු රැගත් පිරිසක් මුදල් යහමින් ඇති ද්‍රවිඩ ජාතිකයන්ගේ නිවෙස්වලට කඩා වැදී නිවැසියන්ට පහරදී ඔවුන් සතු රන් හා මුදල් පැහැරගැනීම නිසාය.

කිලිනොච්චි පොලිස් වසමෙන් මෙවන් සිද්ධියක් වාර්තා විය. කිලිනොච්චි භාරතිපුරම් ප්‍රදේශයේ ධර්මපුරම් පොලීසිය අයත් වන්නේ කිලිනොච්චි පොලිස් කොට්ඨාශයටය. එහි ස්ථානාධිපතිවරයා උප පොලිස් පරික්ෂවරයකු වුවද ප්‍රදේශයේ ද්‍රවිඩ ජනතාවගේ මහත් පැසසුමට ලක් වූ නිලධාරියෙක් විය. ඔහු සිය නිලධාරීන්ට ද රාජකාරි කිරීමේදී මහත් සහයෝගයක් දක්වයි. ඒ නිසා නිලධාරින්ද ඔහුට බොහෝ සමීපය.

නිවෙසකට කඩා වැදී පොරෝ පහරක් එල්ලකොට ඉදිරිපස දොරට පහරදී නිවෙස තුළට ගොස් නිවැසියන්ගේ අත් පය ගැටගසා පහරදී නිවසේ තිබූ රත්තරන් පවුම් 35 ක් හා රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් පැහැර ගැනීම එම සිද්ධිය විය.

ප්‍රහාරය එල්ල වි තිබුණේ පූසාරිකෙනකුගේ නිවෙසකටය. ඔහුගේ අතපය ගැටගසා තිබූ අතර පැමිණි පිරිස නිවෙසේ තිබූ රන් බඩු හා මුදල් කොල්ල කනතුරු එක් අයකු පූසාරිගේ බිරියගේ මුහුණ කොට්ටයකින් තද කරගෙන සිටියේය.

සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ විය. එහිදී අනාවරණය වූයේ ප්‍රහාරයට අටදෙනකු පමණ පැමිණ ඇති බවය. කිලිනොච්චි පොලිසිය මීට සම්බන්ධ වුවන් සොයමින් සිටියදී ඒ ආකාරයෙන්ම ප්‍රහාරයක් ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේ නිවසකට ද එල්ල විය. එම නිවෙසට පැමිණි පිරිස අත පොරෝ හා කඩු තිබිණ. ආයුධ සමඟ ඔවුන් මුලින්ම ඇතුළු වූයේ නිවසේ හිමිකරුගේ වෙළෙඳසළ වෙතය. එහි අස්සක් මුල්ලක් නෑර මුදල් සොයා බැලූ ඔවුනට වටිනා කියන යමක් හසු වූයේ නැත. පසුව හිමිකරුගේ අත් හා දෙපා ගැට ගැසූ සන්නද්ධ පිරිස ඔහු මීටර් 150 ක් දුරින් පිහිටි ඔහුගේ නිවෙස වෙත බිම දිගේ ඇදගෙන ගියහ. ඒ අතරතුර එකෙකු පොරෝ පහරක් දි නිවෙසේ ඉදිරිපස දොර විවර කර ගත්තේය. මුදල් හා රන් ආභරණ ඉල්ලමින් ඔවුන් නිවෙස් හිමියාට පහර දුන්නේය. ඔහුගේ හිස පැලී රුධිරය ගලා එන්නට විය. නිවෙසේ සිටි පිරිස දණ ගැස්සවූ සන්නද්ධව සැරසුණු ඔවුහු රන්පවුම් 60ක් ලක්ෂ පහකට ආසන්න මුදලක් රැගෙන පලා ගියහ.

ධර්මපුරම් කිලිනොච්චි පරන්තන් හා ඒ අවට සැරිසරමින් දන්න කියන ඔත්තුකරුවන් මාර්ගයෙන් ද නිකටේ උපන් ලපයක් ඇති පුද්ගලයකු සොයන්නට ඔවුහු මහත් වෙහෙසක් ගත්හ.

සිද්ධිය කිලිනොච්චි හා ධර්මපුරම් පොලිසිවලට වාර්තා වී තිබිණ. කිලිනොච්චි කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන දක්ෂ පළපුරුදු නිලධාරියෙකි. ඔහු වහා ක්‍රියාත්මක විය. තවදුරටත් මෙම නින්ජා කල්ලියට ඉඩ ප්‍රස්ථාව ලබා දුනහොත් යාපනයේ ආව කල්ලිය මෙන් මෙය ද ඉවක් බවක් නැතිව නිවෙස් කොල්ල කන්නට ඉඩ ඇතැයි සිතූ ඔහු වහා සිය නිලධාරින් කැඳවීය.

“මේක දිගටම වෙන්න දෙන්න බැහැ. කොහොමහරි මුන් ටික අල්ලගන්න ඕන. මුන් එන්නේ සල්ලි තියෙන අයගේ ගෙවල්වලට. ඇස් බැඳලා එන්නේ මිනිස්සු හඳුන ගනිවි කියලයි. ඒ කියන්නේ මුන් මේ පැත්තෙම කට්ටියක්වෙන්න ඕන. ඔය දෙකම කරලා තියෙන්නේ එකම කණ්ඩායමක්. පොරොවෙන් දොරට ගහලා මිනිස්සුන්ගේ අත් පා බැඳලා එක විදියටමයි කරන්නේ. මේක කොහොමහරි අල්ලන්න ඕන”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය පහළ නිලධාරින් දැනුවත් කරමින් ඔවුන්ට එක් එක් ආකාරයේ රාජකාරී පැවරුවේය. කිලිනොච්චි හා ධර්මපුරම් පොලිසියේ නිලධාරින්ට මේ සඳහා ක්‍රියාත්මක වන ලෙසත් පොලිසියේ රැඳී නොසිට ඉන් පිටතට ගොස් කෙසේ හෝ තොරතුරක් ලබාගෙන අවිගත් කණ්ඩායම් අල්ලාගත යුතු බවටත් හෙතෙම නියෝග කළේය.

එතැන් පටන් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ රැඳී සිටියේ නැත. ඒ නිතර නිතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද පොලිසියට පැමිණෙමින් තත්ත්වය සොයා බලන නිසාය.

ඉන් අනතුරුව ධර්මපුරම් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කල්ලාරු ප්‍රදේශයේ සිද්ධිය වූ නිවෙසට ගොස් පරීක්ෂණ ආරම්භ කළේය. එහිදී තුවාල ලැබු නිවැසියකු කීවේ සිද්ධිය වන මොහොතේ මුහුණ ආවරණය කරගෙන සිටි එක් පුද්ගලයකුගේ ආවරණය ගැලවුණු බවත්ය. ඒ සමඟම ඔහු ඒ ආවරණය යළි සකසා ගත් බවත් කී නිවැසියා එම පුද්ගලයාගේ නිකටේ කළු පැහැති උපන් ලපයක් තිබෙනු තමා හොඳින් දුටු බවත් නිලධාරීන් ඉදිරියෙ කියා සිටියේය.

ස්ථානාධිපතිවරයා නිලධාරින්ගේ මුහුණු දෙස බැලුවේ එය කිසියම් හෝඩුවාවක් දෙන පෙර නිමිත්තක් ලෙසය. නිවැසියන්ගේ ප්‍රකාශ ලබාගත් නිලධාරින් එතැන් පටන් උපන් ලපයක් නිකටේ ඇති පුද්ගලයකු සොයා ප්‍රදේශය පීරූවේය.

“අපි දිගටම තොරතුරු හෙව්වා. ඒ අතරේ අපි ගෙදර අයිතිකාරයා ගේ තත්ත්වය බලන්න ඉස්පිරිතාලේට ගියා. මිනිහගේ ඔළුව පැලිලා බෙහෙත් දාලයි තිබුණේ. තුවාල කාරයා බලලා ඉස්පිරිතාලෙන් එළියට එද්දී පාරේ මිනියක් අරගෙන යනවා. මිනියට ඉස්සරහින් බෑන්ඩ් එකක් ගියා. ඔය අතරතුර අපි දැක්කා බෑන්ඩ් එකේ බෙරේ ගගහ යන පුද්ගලයාගේ මුහුණේ නිකට ගාව ලපයක් තියෙනවා. අපිට ඒ මොහොතේම අර සිද්ධිය මතක් වුණා.”

සැකකරුවන් අල්ලාගත් ආකාරය ඇරඹී හැටි ධර්මපුරම් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියන්නට වුයේ එළෙසය. අවමඟුල් උත්සවය අවසන් වනතුරු ඇඟිලි ගනිමින් සිටි නිලධාරින් ඉන් අනතුරුව “මිනි බෑන්ඩ්” එකේ බෙරය ගැසූ ධර්මලිංගම්ව පොලිසියට ගෙනාවේ ඇත්තටම ප්‍රහාරයට පැමිණියේ ඔහු දැයි දැනගන්නටය.

“ඇත්ත කියපන් අපි ඔක්කොම සොයාගෙන ඉන්නේ.”

ස්ථානාධිපතිවරයා රඟපෑමක යෙදෙමින් සැකකාර ධර්මලිංගම්ගෙන් ප්‍රශ්න කරන්නට විය. අවසානයේ ඔහු මුව විවර කරමින් තමාද ප්‍රහාරයට ගිය බවත් තමන් සමඟ ගිය අනෙක් හත් දෙනාගේ නම් ගම් සියල්ල හෙළි කළේය.

“කෝ උඹලා හොරකම් කරපු රත්තරන්.”

ස්ථානාධිපතිවරයා ධර්මලිංගම් ගෙන් විමසුවේය.

“සර්. ඒ ඔක්කොම සදානන්දන් ළඟ තියෙනවා.”

ධර්මලිංගම් දන්නා කියන හැම දෙයක්ම නිලධාරින් ඉදිරියේ වැමෑරුවේය. ඉන්පසුව පොලිසියේ උපාය වූයේ සදානන්දන් අත්අඩංගුවට ගැනීමය. ඒ අතරතුර සිද්ධියට සම්බන්ධ වූ සෙසු පිරිස එකා දෙන්නා ද පොලිසිය වරින් වර කොටුකර ගත්තේය. පොලිසිය සදානන්දන් පසුපස පැන්නුවේ ඉන් පසුවය.

“සර්. සදානන්දන් හැංගිලා ඉන්නේ. ඌ තමයි මේන් මෑන්. අනිත් එවුන් අහුවුණු නිසා ඌ එළියට එන්නේ නැහැ.”

කොස්තාපල් ජනක සොයාගත් තොරතුරක් ස්ථානාධිපතිවරයා හමු වේ තැබීය.

“කොහොමහරි මුව එළියට ගන්න ඕන. ඌ යන එන තැනක්වත් හොයාගන්න ඕන”

ස්ථානාධිපතිවරයා නිලධාරින් දැනුවත් කරන්නට විය.

ඒ අනුව සදානන්දන් සැඟව සිටින තැනින් පිටතට ගැනීම සඳහා පොලිසිය දන්නා කියන හිතවතුන් හරහා නොයෙකුත් උපායන් යෙදුවද ඒ සියල්ල සාර්ථක වුයේ නැත.

“ඔය අතරේ තමයි අපිට දැනගන්න ලැබුනේ මිනිහා කෑම කන්න එන්නේ එයාගේ හොඳම හිතවතකුගේ ගෙදරට කියලා. ඒක දැනගත්තට පස්සේ අපි ගියා ඒ හිතවතාගේ ගෙදරට. ගිහින් මිනිහට කිව්වා. උඔ කොහොමහරි මිනිහට කියපන් අද කෑම කන්න එන්න කියලා. අපේ බලකිරීමට මිනිහා සදානන්දන්ට කෝල් කරලා කිව්වා දවල්ට කන්න මෙහෙ එන්න කියලා.”

“සදානන්දන් ඒකට හා කිව්වට මිනිහා ගෙදරට ආවේ නැහැ. හිතේ තියන සැකයට වෙනත් දෙන්නෙක් එව්වා හිතවතාගේ ගෙදරට. ඒ වෙනකොට ජනකයි තව කෙනෙකුයි ඒ ගෙදරම ඇඳ යට හැංගිලා හිටියේ සදානන්දන් අල්ල ගන්න. අර ආව දෙන්නා ඇඳ උඩ වාඩි වෙලා ගෙදර අයිතිකාරයත් එක්ක කතා කරනවා අපේ දෙන්නා එතැනම ඇඳ යට. ලොකු වගකීමක්. හදිස්සියේ කිවිසුමක් හරි ගියොත් හරි මාට්ටු වුණොත් හරි මුන් අපේ රාළහාමිලා කපනවම තමයි.

“කොහොම හරි ඒ දෙන්නට සැකයක් හිතුණේ නැහැ. පස්සේ ඒ දෙන්නා කතා කරලා සදානන්දන්ට කිව්වා. හරි උඹ වරෙන් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා.”

ඉන් අනතුරුව පැමිණි දෙදෙනා එම නිවෙසින් පිටව ගියහ. ඒත් සමඟම සදානන්දන් මෝටර් සයිකලයකින් එම නිවෙසට පැමිණියේය. ඒ වනවිට නිවෙස හිමි මිතුරා හිටියේ බියර් බෝතලයක් හිස් කරමින්ය. එය ඔහුට ලබා දුන්නේද පොලිස් ස්ථානාධිපතිවරයා විසින්ය. බියර් එකක් බීබී ඉන්න කොට සදානන්දන් තම හිතවතා ගැන සැකයක් ඇති නොකරගනී යැයි ස්ථානාධිපතිවරයා සිතන්නට ඇත.

“තියෙනවා නම් මටත් දියන් බං බියර් ටිකක්”

එසේ කියමින් සදානන්දන් ඇඳ මත වාඩි විය. ඒ සමඟම ක්‍රියාත්මක වූ ඇඳ යට සිටි ජනක හා අනෙකා එකවර පැන සදානන්දන් අල්ලා ගත්තේය. නිලධාරීන් දුටු සදානන්දන් අන්දුන්කුන්දුන් විය. ඒ සමඟම ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරින් ද එතැනට පැමිණ සදානන්දන් ට මාංචු දමා පොලිසියට රැගෙන ගියහ.

“දැන් ඉතින් බොරු කියන්නේ නැතිව හොරකම් කරපු රත්තරන් ටික දීපන්”

ස්ථානාධිපතිවරයා සදානන්දන් ට කීවේය. මුලින් මුලින් ඒ ගැන කිසිවක් නොදත් බව කීවත් පසුව ඔහු රත්තරන් සඟවා තිබූ ස්ථානය කීවේය. ඔහු රත්තරන් වළ දමා තිබුණේ වැවකය. වළ දමූ තැන කුඩා කෝටු කෑල්ලක් සවිකර තිබුණේ හඳුනා ගැනිම සඳහාය. පොලිසිය රන් බඩු සොයා ගත්තේ එලෙසය. සොරාගත් මුදල් වලින් ජ්ඛ වර්ගයේ නවීන පන්නයේ යතුරු පැදියක් ඔහු මිලදී ගෙන තිබූ අතර සෙසු මුදල් ප්‍රහාරයට ගිය පිරිස අතර බෙදා දී තිබිණ.

සදානන්දන් ප්‍රහාරයේ නායකයාය. ඔහු සමඟ අත්අඩංගුවට ගත් සෙසු හත්දෙනාම කිලිනොච්චි දිසා මහේස්ත්‍රාත් ආනන්ද මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණයේ නියමයෙන් සැකකරුවෝ බන්ධනාගාර ගත කිරීමට වෑන් රියට රැගෙන යද්දී මොවුන් පොලිස් හා බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගියද නැවතත් ඔවුන් සියල්ල කොටු කර ගැනීමට නිලධාරින්ට හැකිවිය. සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ. ප්‍රහාරයට ගෙනා කඩු හා මන්නා පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

කිලිනොච්චි කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙසින් ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති චතුරංග මොරමුදලි ප්‍රමුඛ කොස්තාපල්වරුන් වූ ජනක (75704) ශශිකරන් (88999) තවචන්ද්‍ර(34011) දිසානායක (56442) යන නිලධාරිහු මෙම වැටලිමට සහභාගි වූහ.

පුනරින් පොලිසියේ ශශිකරන් හා මුලක්කාවිල් පොලිසියේ තවචන්ද්‍ර මෙම විමර්ශනයට මහත් දායකත්වයක් ගෙන දුන්හ. ඔවුන් ඊට කලින් සේවය කළේ ධර්මපුරම් පොලිසියේය.