අත්හල සිත්තමට ජීවය දෙන අම්මා

අත්හල සිත්තමට ජීවය දෙන අම්මා

ලොව පවතින තාක් කල් මවුපියන්ට දූ දරුවන්ගේ සෙනෙහස ආදරය අප්‍රමාණ සැපතකි. දරුවන්ටද මවුපිය සෙනෙහස මුළු ලෝකයටත් වඩා අමිල සැපතකි. ඒ හදවත ගැහෙන රිද්මය එකිනෙකට ඇසෙන තරම්ය. යම් හෙයකින් ඒ සුන්දර ළමා වියේ මට සිලිටි හැඟීම්, ඒ ආදරය අහිමි වීමෙන් කැඩී බිඳී නොදන්නා දුරකට අතහැරී ගියා නම් ඒ සිත් සතන් සුවපත් කිරීමට ඔසුවක් ඇත්තේ කොහේද? දස මසක් කුස දරා බිහිකළ දරු පැටවුන් මහමඟ දමා ගිය මවුවරු මෙලොව කෙතරම්ද? දරු සෙනෙහසේ ළමැදේ කිරි උල්පත් මෝදු වී අතොරක් නොමැතිව ගලා බසිද්දී ඒ දරුවන් මහමඟ කිලිටි රෙදි කඩකට ගුලි වී දෙඇඟිලි උරාබොමින් නිරාහාරව මොරදෙමින් ඉල්ලා සිටියේ මවු උණුසුමය. රුදුරු මිනිසුන්ගේ ග්‍රහණයෙන් ජීවිතය වරද්දාගත් පුංචි කෙල්ලකට අවසානයේ හිමි වුයේ මේ නිවහනයි. මවුපිය උණුසුම තිබුණත් ඒ රැකවරණයේ සිටින්නට වරම් අහිමි වු දූ දරුවන් ඇගේ සෙනෙහසින් යළි ජීවිතය ලබන්නට තරම් පින් කර තිබුණි. මේ සියලු දරුවන් ඇයට බරක් නොවීය. කාටත් ඇගේ සෙනෙහස සමබරය. මේ කියන ඇගේ රාජකාරිය මායිම් වන්නේ බස්නාහිර පළාත තුළට පමණකි. සැබැවින්ම ඒ සියලු දරුවන්ගේ අම්මා ඇය ය. ඇය බස්නාහිර පළාතේ ළමා හා පරිවාස කොමසාරිස් තුමියයි. චන්දිමා දිසානායක මහත්මිය, අත්හල දරුවන් වෙනුවෙන් මහඟු කැප කිරීමක යෙදී සිටින රාජ්‍ය නිලධාරිනියකි.

ඔබේ වෘත්තීය කෙබඳුද?

"මම බස්නාහිර පළාත් පරිවාස හා ළ මාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් ළමා හා පරිවාස කොමසාරිස්වරිය ලෙස කටයුතු කරනවා."

සැබැවින්ම අත්හළ දරුවන් ලෙස අදහස් කරන්නේ කෙබඳු දරුවන් ද?

"මෙහිදී මහමඟ දමා ගිය, අලුත උපන් දරුවන් වගේම අධිකරණ නියෝග මඟින් අපගේ ළමා නිවාසවලට ඇතුළත් කළ දරු දැරියන් රැකබලා ගන්නවා. මවුපියන් ජිවත්ව සිටියත් ඔවුන්ට ආර්ථිකමය සහ වෙනත් පීඩාකාරී ගැටලු නිසා දරුවා රැකබලා ගැනීමට නොහැකි අවස්ථාවක මවුපියන් ඉල්ලීමක් කළොත් ඒ දරුවන් ද අප යටතේ පවතින ළමා නිවාස වෙත ඇතුළත් කර ගන්නවා. ඒ සඳහා යම් නීතිමය පරිපාටියකට යටත්ව ක්‍රියා කළ යුතු වෙනවා. මෙහිදී බිළිඳු දරුවන් රැකබලා ගැනීමට අප පානදුර ප්‍රජාපතී ළමා නිවාසයටයි යොමු කරන්නේ."

මේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කර ඇති වැඩපිළිවෙළවල් මොනවාද?

"ඇත්තටම මේ දරුවන් හුදකලා වුණු දරුවන්. දරුවෙකුට මොනවා තිබුණත් මවුපිය සෙනෙහස අහිමි වූ විට ඇතිවන කම්පනය වේදනාව මොන වගේද කියලා පැහැදිලි කරන්න අමාරුයි. ඒත් ඒ හුදකලා වේදනාව අතරේ යම් යම් කුසලතා ඇති දරුවන් සිටින බව පෙනෙන්නට තිබුණා. මේ දරුවන් චිත්‍ර අඳින්න කැමතියි. එය මනසට යම්කිසි සහනයක් ගෙන දෙන ක්‍රියාකාරකමක්. ඒ අනුව අපි බස්නාහිර පළාතේ ළමා නිවාස 4800 ක දරුවන් එක්රැස් කොට වැඩමුළු 10 ක් පැවැත්වූවා. ඉන් පසු එම චිත්‍ර යොදාගෙන කළ ප්‍රදර්ශනය අපි නම් කළේ “අත්හල සිත්තම්” ලෙසින.් 2014 ජූනි මාසෙ තමයි පැවැත්වුයේ. ඉන්පසු 2017 ලෝක ළමා දිනයට සමගාමීවත් අප චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වුවා. පරිපාලන නිලධාරි සරත්, සුනේත්‍රා (නොගුචි) යන නිලධාරින් සම්පත් දායකත්වය ලබා දුන්නා. 2015 වසරේ නෙළුම් පොකුණ රඟහලෙන් මේ දරුවන්ගේ කුසලතා දැක්මක් තිබුණ. “නෙළුම් විලේ කැකුළු පිපේ” යනුවෙන් අප එය නම් කළා. 2014 අපේ ගම පරිශ්‍රයේදීත් පැවැත් වූවා. ආයේමත් 2017 දි බණ්ඩාරනායක සමරු රඟහලේදීත් පැවැත්වූවා."

මේ දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු ලබා දීමක් සිදු වෙනවාද?

"ඔව්. බස්නාහිර පළාතට අයත් ළමා නිවාස 120 ක දරුවන් 4811 ක් පමණ සිටිනවා. මුළු ලංකාවේම නිවාස 280 කට වැඩියෙන් තියෙනවා. ඒ දරුවන් ගණනින් 13000 ක් පමණ සිටිනවා. ඒ අතරින් රම්මුතුගල රැඳවුම් නිවාසයේ දැරියන් සඳහා විශේෂයෙන්ම සාරි හැඩගැන්වීමේ පාඨමාලාවක් දියත් කළා. පිරිමි ළමුන් කොණ්ඩා කැපිම වැනි පාඨමාලා සඳහා යොමු කළා. අද වනවිට දරුවන් කිහිපදෙනකු තමන්ගේම කියා කොණ්ඩා කැපීම් ආයතන පවත්වාගෙන යනවා. සාරි හැඩගැන්වීමේ පාඨමාලාව සමඟම චිත්‍ර ප්‍රදර්ශනයක් ද කළුතර කැලිඩෝ වෙරළේදී පැවැත්වූවා.

ඒ අවස්ථාවට ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනිය මරිනා, බස්නාහිර පළාත් සභාවේ ලිවේරා, ප්‍රධාන ලේකම් දයා සෙනරත්, ලෝක විවාහක රූ රැජින චන්දි දෙල්වල, ලේකම් ධර්මසේන යන මහත්ම මහත්මීන් ආරාධිතයන් ලෙස සහභාගි වුණා."

මේ දරුවන් පාසල් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරනවාද?

"ඔව්. පාසල් කිහිපයකටම යොමු කර තිබෙනවා. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය ඇතුළු මරදාන ප්‍රදේශයේ පාසල් කිහිපයකටම. මේ වනවිට දරුවන් 05 දෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනයට තේරී සිටිනවා. ගැහැනු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් දෙදෙනකු ඒ අතර සිටිනවා. ඒ අයට අයත් සියලු වියහියදම් දරන්නේ රජයෙන්. වෘත්තීය පුහුණු තත්ත්ව සහතිකය දක්වා ඒ අවස්ථාව ලබා දෙනවා."

බිඳුණු මානසිකත්වයෙන් සිටින මේ දරුවන් ඊට පිළියම් යොදන්නේ කොහොමද?

දරුවන්ට ආදරය අවශ්‍යයි. ඒ අනුව මානසික උපදේශන කටයුතු නිරතුරුවම ලබා දෙනවා. දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කළ චිත්‍රපට (හෝ ගානා පොකුණ වැනි චිත්‍රපට) මේ දරුවන්ට නැරඹීමට අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම මුහුදු වෙරළ වැනි තැන්වල ක්‍රියාකාරකම් පවා ලබා දී තිබෙනවා. කැලිඩෝ වෙරළේ අප චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ අවස්ථා පවා තිබුණා. තවත් අතකින් අප බාරයේ සිටින දරුවන්ගේ මවුපියන් ඒ දරුවන් බැලීමට එනවා. ඒ දරුවන්ට සමහරවිට අනෙක් දරුවන්ට වඩා හොඳ ඇඳුම් අඳින්න ලැබෙනවා. මේ නිසා අනෙක් දරුවන්ගේ සිත් වේදනාවට පත් විමට ඉඩ තිබෙනවා. ඒ නිසා අප යෝජනා කළා දවස් හයට දරුවන් විවිධ වර්ණයෙන් යුත් ඇඳුම් අඳින්නට සැලැස්වීමට."

ඉරිදා දිනට පමණක් ඔවුන් කැමැති ඇඳුම් අඳින්න පුළුවන්. මේ සියලු වියදම් දැරිමට අප වගබලා ගන්නවා. බොහෝ අවස්ථාවල රාජ්‍ය නොවන මෙන්ම පෞද්ගලික ආයතනත් අපට සහයෝගය ලබා දෙනවා.

ඔබේ වගකීම සීමාවන්නේ කෙතරම් කාලයටකට ද?

"මාස 7 -8 සිට වසර 18 දක්වා වූ අසරණ දරු දැරියන් රැකබලා ගැනීම අපගේ ආයතනයේ වගකීම වෙනවා. ඉන්පසු ඔවුන්ට රැකියා අවස්ථා සඳහා යොමුකොට අවශ්‍ය නම් නවාතැන් පහසුකම් පවා ලබා දීමට අප පියවර ගන්නවා. ඇතැම් දරුවන් අද විවාහ ජීවිත ගත කරනවා. තවත් දෙයක්. අපේ දියණියන්ට බාහිර සමාජයෙන් බොහෝ විවාහ යෝජනාත් එනවා. අපි ඒ ගැන සොයා බලනවා. සමහර වෙලාවට යම් යම් ආබාධිත අයත් මේ ඉල්ලීම් කරනවා. දරුවන් නැති අය අපෙන් දරුවන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අප ළඟ “පොරොත්තුª ලැයිස්තුවක්” තියෙනවා. නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කොට ඉන්පසු දරුවකු හදාවඩා ගැනීමට ඉඩදිය හැකියි."

වෙනත් වැඩසටහන් ගැන කතා කළොත්?

"ඇත්තටම, මවුපිය සෙනෙහසින් හුදකලා වූ දරුවන් යහමඟට ගෙන යහපත් පුරවැසියකු ලෙස සමාජ ගත කිරීමයි අපේ වගකීම මෙන්ම යුතුකම. ඒ සඳහා කළ හැකි සෑම දෙයක්ම අප කරනවා. අසරණ දරුවන් වෙනුවෙන් “සිසුමිණ” නමින් යුතු ශිෂ්‍යාධාර ක්‍රමයක් ද අප ක්‍රියාත්මක කරනවා. අ.පො.ස (සා. පෙළ) දරුවකුට රු. 500/- කුත් උ.පෙළ දරුවකුට රු.1000/-කුත් එයින් හිමිවෙනවා. ග්‍රාමසේවා නිලධාරි හමු වී ඒ පිළිබඳ දැනුවත් විය හැකියි."

ඇත්තටම මේ කටයුත්තේදී හැඟීම්බර සිදුවීම් වලින් ඔබ කම්පනයට පත් වූ අවස්ථා ඇති?

“ඕනෑ තරම් තියෙනවා. මමත් කාන්තාවක් නිසා ඔබටත් මතක ඇති පසුගියදා ජනමාධ්‍ය තුළින් පවා හෙළිවුණ එක්තරා ද්‍රවිඩ ජාතික යුවළක් ගැන. නවාතැන්පලකදී අනියම් සැමියා විසින් එම අනියම් බිරිය ඝාතනය කොට ගමන් මල්ලක අසුරා පිටකොටුව බෝධිය අසල එය දමා ගොස් තිබුණා. ඇගේ දරුවා පරිවාස බාරයට පත් කර තිබුණ. මේ දරුවා අප රැගෙන එන විටත් රෝගී ලක්ෂණ පෙන්වූවා. කාත් කවුරුත් නැති මේ දරුවා අන්තිමේ පිළිකා රෝගයෙන් මිය ගියා. ඒ කාලය තුළ කිසිවකු ඔහු බලන්න ආවේ නැහැ. මියගිය පසු ඔහුගේ නෑයන් කිහිපදෙනෙකු ආවා. එය මගේ සිත කම්පනයට පත් කළ මොහොතක් වුණා. තවත් දැරියක් සිටියා එයා දැරණියගල පැත්තේ. මවුපියන් වෙනත් විවාහ කරගෙන තිබුණා. ඉතින් මේ දැරිය හුඟක් හැඩකාරයි. අප ළඟ ඉඳලා මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාවක් හදාරලා එයා දස්කම් පෙන්නුවා. මනාලියක් හැඩ ගන්වපු දවසේ අපි ඒ අවස්ථාව ඡයාරූප ගත්තා. ආච්චි ගාව තමයි එයා ඉඳලා තියෙන්නේ. අවාසනාවකට වාගේ මේ දැරියත් පිළිකා රෝගයට ගොදුරු වුණා. අවසානයේ ඇය මිය ගියා. පෙනුමට ලස්සනට හිටිය දැරිය ඒ වෙනකොට හඳුනා ගන්නත් අපහසු වෙලා තිබුණේ. ඇගේ මෘත දේහය ගෙදරට ගෙන ගියත් විරූපි වෙලා හිටිය නිසා කාටවත් ඒ ගැන හැඟීමක් තිබුණෙ නැහැ වාගේ. ඒ දරුවාගේ පින්තූරයක්වත් තිබුණෙ නැහැ ගෙදර. අපි නිකමට වාගේ එදා ගත්තු පින්තූරයක් සකස් කරලා එයාගේ මිනීපෙට්ටිය උඩින් තිබ්බා. ඒක හරිම ලස්සනයි. එතකොට තමයි ආච්චිට සිතට දැනුණේ මේ අපේ දුව නේද කියලා. ආච්චි අඬන්න පටන් ගත්තා. ඒත් අවමඟුලටවත් ඇගේ මවුපියෝ ඇවිත් හිටියෙ නැහැ. මේක රාජකාරියක් රැකියාවක් පමණක් නොවෙයි. මේක සමාජ සද්කාර්යයක්. මොනතරම් දුෂ්කර කටුක දේට මුහුණ දුන්නත් අපි නිතරම කටයුතු කරන්නේ අයාලේ යන ජීවිතයක් ලස්සන කරන්න. ඒ තුළින් ලස්සන සමාජයක් ගෙඩනගන්න.

නන්දි අලුත්ගේ රත්නවීර