වසර එකොළහකට පසු හෙළිවූ අබිරහස් ඝාතනය

වසර එකොළහකට පසු හෙළිවූ අබිරහස් ඝාතනය

කොලින්ට ඒ දිනවල හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. ඒත් කුමක් හෝ සුළු වැඩක් කර එදා වේල සොයා ගැනීමට ඔහු පුරුදු වෙලා හිටියේ. මොනවා වුණත් ඔහුදිනපතාම තමාගේ සුරතල් බල්ලව රැගෙන ඇවිදින්න පුරුදුවෙලයි හිටියේ. එදා 1992 ජුලි 15 වැනිදාත් ඔහු බල්ලව ඇවිද්දවන්න සිතාගෙන එළියට බැස්සත් වෙනදා යන දිග රවුම එදා ඔහු නොගියේ හසේ කැක්කුමක් හටගත් නිසයි.

එංගලන්තයේ රෝහැම්ප්ටන් පළාතේ පංදිචි කොලින් එදා ගමන කෙටිකර ඉක්මනට ඇවිත් වේදනා නාශයක් බී නිදා ගත්තා. එවිට වෙලාව උදෑසන 9.25ට විතර ඇති.

එදා හොඳින් හිරු එළිය වැටුණු උණුසුම් දිනයක්. විම්බල්ඩන් කොමන් පළාතේ පදිංචි රේචල් ද සිය පුත්‍රයා ඇලෙක්ස් සමඟ ඇවිදින්න ගියේ ඔවුන්ගේ බල්ලා ද කැටුවයි. රේචල්ට වයස අවුරුදු 23 යි. පුතා ඇලෙක්ස්ට යන්තම් අවුරුදු 3යි. රේචල් සහ ඇලෙක්ස් උද්‍යානය කරා වැටී ඇති විසල් ගසින් සෙවණ දුන් මාර්ගය හරහා ඔවුන්ගේ බලු සුරතලා මොලී සමඟ ඇවිද ආවා. මොලී සමහර වෙලාවට ඇලෙක්ස්ගේ අතින් මිදී දිව යද්දී ඇලෙක්ස් ඌ පසුපස පන්නා යනවා.

රේචල් සහ ඇලෙක්ස් මොලී ද කැටිව ඇවිද යමින් සිටි තැනට ඔබ්බෙන් තවත් මවුවරු කිහිප දෙනෙක් සිය දරු පැටියන් සමඟ විවේකය ගත කරමින් සිටියා. හිටි හැටියේම රේචල් ඉදිරියට පැන්න පුද්ගලයෙක් ඇයට පිහි පහර කීපයක් එල්ල කළා. ප්‍රහාරයෙන් බිම ඇද වැටුණු රේචල් කෑගසද්දී ඔහු ඇයට තවත් පිහි පහර එල්ල කරමින් අතවර කළා.

ඇලෙක්ස් පුංචි පුතා මේ සියල්ල බලා සිටියේ තැතිගත් සිතින් යුතුවයි. වැඩිවෙලා ගියේ නැහැ. සාහසිකයා පලා ගියා. ඇලෙක්ස් මව ළඟ බිම දණ ගසාගෙන ඇගේ සාක්කුවෙන් විසිරී තිබු මුදල් නෝට්ටු අහුලද්දී ඇගෙන් ගලා ගිය රුධිරයෙන් දරුවා නැහැවී ගියා. ඔහු ඇහිලු මුදල් නෝට්ටුවක් මවගේ නළලත එළුවේ නොහිතාමයි.

“මමී... මමී.. මමී... නැගිටින්න.”

මේ වෙද්දී රේචල් අවසන් ගමන් ගොස් තිබුණා. ඇගේ සිරුරේ පිහිපහර 49ක් වු බව මරණ පරීක්ෂණයේ දී හෙළි වුණා.

රේචල් වැටි සිටි පළාතම ආවරණය වන පරිදි අක්කර 1000ක් පමණ ප්‍රදේශයක් පුරා පොලිස් දැල එලා ඝාතකයා සෙව්වත් සොයා ගත හැකි වුයේ නැහැ. ඒ පොලිසිය 500ක ගෙන් පමණ ප්‍රශ්න කර තිබුණා.

කොලින් නිදා සිටියේ මේ කිසිවක් නොදැනයි. හිස කැක්කුම අඩු වී තිබු බැවින් ඔහු සිය ඇඳුම් මාරු කරගෙන යළිත් පාරට බැස්සේ ඇවිදීමට යෑමටයි. හොඳින් හිරු පායා දවස උණුුසුම් වෙද්දී ඔහු බල්ලාත් කැටුව පාරට බැස්සා.

ඔහු අතුරු මාවතක් ඔස්සේ ඉදිරියට යද්දී මුළු පළාත ම පොලිස් මුර දාලා.

“ඔබට මෙතැනින් එහාට යන්න බැහැ.”

පොලිස් නිලධාරියා පැවසුවා.

“ඇයි ඒ?”

“කාන්තාවක් මරා දාලා. ”

“මං අද උදෙත් ඒ පළාතෙ හිටියනෙ. එහෙම දෙයක් දැක්කෙ නැහැනේ.”

මෙසේ පැවසු කොලින් ඒ පළාතේ ඇවිදීමට යෑමට නොහැකි නිසා ආපසු ආවා. වැඩි හොඳට ඔහු සිය නම ලිපිනය පොලිස් නිලධාරියාට ලබා දුන්නා.

පහුවදා මුළු රට පුරාම පත්තරවලින් මේ සිද්ධිය වාර්තා වුණේ ලොකු අකුරින්. පොලිසියට පැවරුණේ මේ වනවිටත් පලාගොස් සිටි ඝාතකයා සෙවීමේ වගකීමයි. වහාම රෝහල් ගත කළ ඇලෙක්ස්ට කම්පනය මඟ හරිනු වස් වෛද්‍යවරුන් නින්ද යෑමට බෙහෙත් දුන්නා. එදින හවස රෝහලේ දී ඇලෙක්ස් දෑස් විවර කරද්දී ඔහු දුටුවේ තම ඇඳ ළඟට වී අඬමින් සිටින තම පියා ඇන්ඩෲයි.

රේචල් කුඩා කල සිටම ක්‍රිඩාවලට දක්ෂයි. ඒ දක්ෂකම නිසාම පසුකලෙක ඇය ලන්ඩනයේ රිච්මන්ඩ් ප්‍රදේශයේ සුප්‍රසිද්ධ නාන තටාකාංගනයක ජිවිතාරක්ෂක නිලධාරිනියක ලෙස රැකියාවක් ලැබුවා. ඇයට ඇන්ඩෲ මුණ ගැසුණේ එලෙස රැකියාව කරද්දීයි. වැඩි කාලයක් ගත වුණේ නැහැ ඔවුන්ට ඇලෙක්ස් පුතා ලැබුණා. ඉන් පසු ඔවුන් බැල්ෆම් ප්‍රදේශයේ පදිංචි වුණා. පුතා පුංචි නිසා රේචල් තමන්ගේ වැඩිදුර අධ්‍යාපනයට තාවකාලිකව සමුදුන්නා. ඉන්පසු ඇය කළේ දිගට ම ගෙදරට වී පුතා බලා කියා ගැනීමයි.

ඇලෙක්ස් පුතා සිය මව මරා දමන ඝාතකයා සියැසින් දුටු එකම සාක්කිකරු වුවත් කුඩා දරුවකු නිසා ඔහු වෙහෙසවමින් ප්‍රශ්න ඇසීමට පොලිසියට හැකි වුයේ නැහැ. අගෝස්තු මාසය වෙද්දී පොලිසිය රේචල්ගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් 14දෙනකු සැකපිට අත්අඩංගුවට ගත්තා. එහෙත්, පොලිසියට මේ හැමෝම නිදහස් කරන්න වුණේ සාක්කි නොමැතිකම නිසයි. මින්පසු පොලිසිය සැක කළේ ඝාතකයා අනිවාර්යෙන්ම ලිංගික අපරාධකරුවකු විය හැකි බවයි. පරීක්ෂණ පහසුවීම සඳහා ස්කොට්ලන්ඩ්යාර්ඩ් රහස් පරීක්ෂකයකු ද ඉන්පසු පරීක්ෂණ සඳහා සම්බන්ධ කෙරුණා. දිගින් දිගටම ලද තොරතුරක් ඔස්සේ මීළඟට පොලිසිය සැක කළේ ඝාතනය සිදු වු දා සිය බල්ලා ද කැටුව ඒ පළාතේ ඇවිදීමට පැමිණි කොලින්වයි. එහෙත් ඔහුට විරුද්ධව ඉදිරිපත් කිරීමට පොලිසියට අධිකරණමය සාක්කි තිබුණේ නැහැ. පොලිසිය මීළඟට කළේ වෙස්වලාගත් පොලිස් නිලධාරිනියක් ව්‍යාජ නමකින් කොලින් සමඟ ආදර සබඳතාවකට පටලා ඇය මඟින් කොලින් ලවා පාපොච්චාරණයක් කර ගැනීමයි.

එසේ වුවත්, නොකළ වරදකට කොලින්ව පටලැවීමට පොලිසියට හැකි වුණේ නැහැ. කොලින් වරදකරු කිරීමට පොලිසිය කළ මේ මෙහෙයුමට නම් තබා තිබුණේ “ඔපරේෂන් එස්ඩෙල්” ලෙසයි. අවසානයේ මේ මෙහෙයුම බිඳ වැටී කොලින් නිදහස් වුයේ පොලිසිය ද අපකීර්තියට පත් වෙමින්. කොලින් පස්සේ පන්නමින් සිටි පොලිසිය 1994 වසරේ ඔහුට නඩු පැවරුවද අධිකරණය ඔහු නිදහස් කර හැරියා.

කොලින් මේ අපරාධයට පැටලවීම සඳහා මෙට්‍රොපොලිටන් පොලිසිය කළ මෙහෙයුමට ඒ වෙද්දී පවුම් මිලියන 3ක් වැය වී තිබුණා. ඉන් පසු කොලින් කළේ ඔහු අත්අඩංගුවට පත්කර ගෙන තබාගත් 14 මාසයත් ඇතුළුව පොලිසියට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පවුම් මිලියනයක වන්දි ඉල්ලා නඩු පැවරීමයි. ඒ අතර කොලින් මේ ගැන පොත් දෙකක් ද ලියා පළ කළා.

මේ අතර කොලින් අල්ලා ගැනීම සඳහා යෙද වූ පොලිස් නිලධාරිනිය ද පොලිසියෙන් ඉවත් වීමේ පරීක්ෂණයට හවුල් වීම නිසා සිදු වූ හානි වෙනුවෙන් පොලිසියෙන් වන්දි ඉල්ලා නඩු දැම්මා. කෙසේ හෝ පොලිසිය සියල්ල උසාවි නොයා සමථයකට පත් කර ගත්තේ පොලිස් නිලධාරිනියට පවුම් 125,000ක් හා කොලින්ට පවුම් ලක්ෂ 7ක වන්දි මුදලක් ගෙවමිනුයි. එහෙත් රේචල්ගේ පුතා ඇලෙක්ස්ට ලැබුණේ පවුම් 90,000ක වන්දියක් පමණයි.

රේචල් ගේ මරණය දරාගත නොහැකි තැන ඇන්ඩෲ කළේ පුතු ද රැගෙන රටෙන් පිටව යෑමයි. ඔහුගේ අභිප්‍රාය වුයේ මව නැති සිය පුත්‍රයා හොඳින් හදාවඩා ගැනීමයි. රේචල්ගේ මරණයෙන් සය මාසයකට පසු ඇන්ඩෲ ප්‍රංශයේ ගොවිපොළක් කුලියට ගෙන කල්ගත කර පසුව ස්විඩීනයට ගියා. එහෙත්, ඔහු යළිත් විවාහ වුයේ නැහැ.

“ඇන්ඩෲ මගේ දුවගේ දරුවා අපෙන් වෙන් කළා.” කියමින් මුලදී රේචල්ගේ මව ඇන්ඩෲට චෝදනා කළා. ඇලෙක්ස් වයසින් වැඩෙත්ම මවගේ ඝාතනය ගැන මතකය ඔහුගෙන් ඇත් වී ගියා. දරුවකු ලෙස වැඩෙද්දී රේචල්ගේ නෑයන් ද ඇන්ඩෲ ගත් පියවර නිවැරදි බව පිළිගත්තා. පස්හැවිරිදි ඇලෙක්ස්ට ඒ වෙද්දී සිය මව කොයි වගේ ද යන මතකය නැතිව ගොස් තිබුණා. එවිට රේචල්ගේ මව කළේ පාසල් නිවාඩුවක දී යළි පියා ද සමඟ සියරට පැමිණි ඇලෙක්ස්ට රේචල් භාවිත කළ සුවඳ විලවුන් බෝතලයක් තෑගි කිරීමයි.

“චුටි පුතා විලවුන් බෝතලය මගේ අතින් ගෙන මුඩිය හැර එය ඉඹ බැලුවා. එතකොට ඔහුගේ දෑස බැබළුණා. ඉන්පසු බෝතලය පපුවට තුරුලු කරගෙන මගේ මමීගේ සුවඳ එනවා යැයි පැවසුවා.” යනුවෙන් රේචල්ගේ මව ඒ මොහොත සිහිපත් කර පැවසුවා.

වයස අවුරුදු හත වනතුරුත් ඇලෙක්ස් රුධිරය දුටු විට බියවන දරුවෙක් වුණා. එහෙත් ඇන්ඩෲ සිය පුතා සමඟ ම කල් ගත කරමින් ක්‍රමයෙන් දරුවා සොම්නස් තත්ත්වයට පත් කර ගත්තේ පුදුමාකාර කැප කිරීමක් කරමින්. ඔහු ද සිය බිරිය ගැන පොතක් ලියා පළ කළ අතර ඉන්පසු ළමා පොත් ලිවීම සිය වෘත්තිය කර ගත්තා.

මේ අතර පොලිසිය රේචල්ගේ ඝාතකයා සොයා ගත නොහැකිව 2000 වසරේ දී මේ ඝාතන සිද්ධිය නොවිසඳුණු අපරාධ ගොන්නට දමා සියලු ලිපිගොනු වසා දැම්මා. එහෙත් වාර්ෂිකව රේචල් ඝාතනය වූ දා ඇය වෙනුවෙන් කෙරෙන සැමරුම්වලදී දිගින් දිගටම පොලිසියට පහර පිට පහර වදිමින් විවේචන එල්ල වුණා. ඒ සියල්ලේ ප්‍රතිඵලය වුයේ ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය රේචල්ගේ ඝාතනය පිළිබඳ සියලු ලිපිගොනු යළි විමර්ශනය කරමින් පරීක්ෂණ ආරම්භ කිරීමයි.

රේචල් මිය ගොස් වසර 10කට පසු 2002 දී ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය රේචල්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කළා. ඒ රේචල්ගේ ඇඳුම් දැඩි පරීක්ෂාවකට ලක් කරමින්. රේචල් මිය ගොස් දස වසකරකට පසු ඩී.එන්.ඒ. පරීක්ෂණ ද දියුණු වී තිබුණා. දකුණු ලන්ඩනයේ රහසිගත ප්‍රදේශයක සිට ඉතා දක්ෂ පළපුරුදු පරීක්ෂකයන් සුළු පිරිසක් මේ විමර්ශන කරගෙන ගියා. ඔවුන් සාක්කි සටහන් සැකකළ හැකි විස්තර සහ මේ ඝාතනයට සමාන කළ හැකි සහ සම්බන්ධ කළ හැකි වෙනත් ඝාතන ගැන ද පරීක්ෂණ හා නිරීක්ෂණ සිදුකළා. ඒ අතරම වැඩි දියුණ වූ ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥ සහාය ලබා ගත්තා.

මේ සියලු පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස 2003 වසරේ ජුලි මාසයේ දී එනම් රේචල්ගේ ඇඳුම් දහ අට මසක් තිස්සේ පරීක්ෂා කර බැලීමෙන් පසු පරීක්ෂකයන් ඇගේ ඇඳුම් වල තිබි ඇලෙක්ස් පුතුගේ හෝ සැමියා ඇන්ඩෲ ගේ නොවන පිරිමි ඩී.එන්.ඒ. සාම්පලයක් සොයා ගත්තා.

මේ සාම්පලය එකල සැකකරුවකු ස්ථිරවම හඳුනා ගැනීමට ප්‍රමාණවත් නොවුවත් එම ඩී. එන්.ඒ. අදාළ නොවන සැකකරුවන් සැකයෙන් මුදා ලීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වුණා.

ඉන්පසු පොලිසිය කළේ දිගින් දිගටම කාම අපරාධකරුවන් සොයා ගොස් ප්‍රශ්න කිරීමයි. මෙසේ ප්‍රශ්න කිරීම් වලදී පරීක්ෂකයන්ට බර්ක්ෂයර් හි දැඩි ආරක්ෂාව මධ්‍යයේ පවතින බ්‍රෝඩි මුවර් මානසික රෝහලේ සිටින කාම අපරාධයක් සිදුකළ ඝාතකයකු සොයා ගත හැකි වුණා. 40 හැවිරිදි පුද්ගලයකු වූ ඔහු දස වසරක් තිස්සේ මේ ස්ථානයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ රඳවා ගෙන සිටි අයෙක්. පොලිසිය ඔහුගෙන් දෙදිනක් තිස්සේ ප්‍රශ්න කළා.

රොබට් නමැති ඔහු 1993 දී එනම් රේචල් ඝාතනය කර මාස 13 කට පසු මවක් සහ දියණියකට කාම අපරාධයක් සිදු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී දස වසරක් තිස්සේ මෙහි රඳවා සිටි අයෙක්. 2007 දී ස්කොට්ඩන්ඩ්යාර්ඩ් පොලිසිය රේචල්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කළා. එහෙත් ඔහු පැවසුවේ තමා චෝදනාවට නිවැරදිකරු බවයි. එසේ වුවත් 2008 දී එංගලන්තයේ සුප්‍රසිද්ධ ඕල්ඩ් බෙයිල් අධිකරණය ඔහු වරදකරු කරමින් තීන්දුව දුන්නා.

“මොහු ඉතා භයානක මිනිසෙක්. එ නිසා දැඩි ආරක්ෂිත විධි විධාන මධ්‍යයේ දින නියමයක් නොමැතිව මොහු බ්‍රෝඩ් මුවර් මානසික රෝහලේ රඳවා තැබිය යුතුයි.” තීන්දුව දෙමින් විනිසුරු ප්‍රකාශ කළා.”

මුළු මහත් එංගලන්තය පුරා දැඩි අවධානයකට ලක් වූ මේ ඝාතන පරීක්ෂණයෙන් පසු පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් කොමිසම මඟින් වාර්තාවක් නිකුත් කළා. සියල්ල අවසානයේ රොබට් තමා මේ ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළා. ඔහු ඉතා දරුණු මානසික ආබාධයකින් පෙළෙන්නකු වීම නිසා අධිකරණය ඔහු සදාකාලිකව මානසික රෝහල් ගත කරමින් තීන්දුව දුන්නා.

සිය මව මිය යද්දී තුන් හැවිරිදි දරුවකු වූ ඇලෙක්ස් දැන් 19 හැවිරිදි තරුණයෙක්. සිය මව ඝාතනය කළ මිනිසා දෙස බැලීමට ඔහු කැමති නොවු නිසා ඇලෙක්ස් අධිකරණයට පැමිණියේ නැහැ. සිය මව මියගොස් වසර එකොළහකට පසු ඔහු ප්‍රථම වරට පුවත්පත් සාකච්ඡාවක් ලබා දුන්නා. ඇලෙක්ස් සහ පියා ඇන්ඩෲ පසුගිය වසර 10ම ගත කර ඇත්තේ එංගලන්තයෙන් පිටවී ස්වීඩනයේයි.

ඉතා පැහැදිලිව ආත්ම විශ්වාසයෙන් යුක්තව ඔහු සිය මවගේ අවසන් මොහොත දුටු ආකාරය සිහිපත් කළේ අසා සිටි අය වේදනාවට පත් කරමිනුයි.

“මමී ලේ වලින් නැහැ වී සිටියා. මම බය වුණේ නැහැ. මට දැනුණු එකම දේ මගේ මමී මට සදහටම අහිමි වෙන බව විතරයි.” ඇලෙක්ස් පැවසුවා.

වසර ගණනාවක් තිස්සේ ඇලෙක්ස්ගේ සිහිනවල ඔහුගේ මිනීමරුවා සිටියත් ඔහු ඒ බවක් අඩුම වශයෙන් පොලිසියටවත් ළමා මානසික වෛද්‍යවරුන්ටවත් සිය පියාටවත් පැවසුවේ නැහැ.

පියා ඇන්ඩෲ සිය මුළු ජීවිතයම ගත කළේ ඇලෙක්ස් හදා ගැනීමටයි. ඒ නිසාම තරුණයකු වූ පසුවත් මේ පුතා පියාගෙන් ඉවත්ව නොයා ඔහු සමඟම ජීවත් වෙනවා.

“මගේ ජීවිතයේ මමී ඕනෑම වුණු වටිනාම කාලයේ ඇය මට නැතිව ගියා. ඉන් සිදු වූ හානිය ඩැඩී නිසා මට දැනුණේ නැහැ. ඒ සිදුවීමෙන් මා කේන්ති ගත්තේවත් කලකිරුණේවත් නැහැ. මගේ මමීගේ ඝාතකයා කවුදැයි හඳුනා ගැනීමට පෙරම මා ඔහුට සමාව දුන්නා. එසේ නොකළා නම් මට ජිවිතය ගෙන යෑමට නොහැකි වේවි.” යැයි ඇලෙක්ස් පැවසුවා.

ස්කොට්ලන්යාර්ඩ් පොලිසිය අවසානයේ ඇලෙක්ස් සහ ඇන්ඩෲ ගෙන් සමාව ඉල්ලුවේ ඝාතකයා මුලදී හඳුනාගැනීමට අපොහොසත් වීම ගැනයි.

සේමාලි කැල්ලපත