සෙනෙවි අයියා මැරූ පොල් කඩන්නා වසර තුනකට පසු අල්ලයි

සෙනෙවි අයියා මැරූ පොල් කඩන්නා වසර තුනකට පසු අල්ලයි

ඇහැළියගොඩ පොලිස් වසමේ දෙහිඕවිට මුරුත්තෙට්ටුව ගමේ පදිංචිව සිටි සෙනෙවි අයියා අබිරහස් ලෙස මරා දමා තිබුණේ මීට වසර තුනකට පමණ පෙරදීය. මෙම ඝාතනයේ පරීක්ෂණ ඇහැළියගොඩ පොලිසිය විසින් සිදුකරගෙන ගිය අතර පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එම පරීක්ෂණ පැවරිණි.

කලක් ගෙවී ගියද සෙනෙවි අයියාගේ ඝාතකයා සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් වූයේ නැත. මාස කිහිපයක් පුරා රහස් පොලිසිය ඉතා රහසිගතව කරගෙන ගිය පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස සෙනෙවි අයියා මරා දමා වසර තුනකුත් මාසයක් ගෙවෙද්දී අපරාධකරු අත්අඩංගුවට ගැනීමට ඔවුනට හැකිවිය.

තිදරු පියකු වූ සෙනෙවි අයියාගේ ඝාතනය ගැන පොලිස් පොතේ සටහන් වූයේ විජේකෝන් මුදියන්සේලාගේ සෙනෙවිරත්න නොහොත් සෙනෙවි අයියා ලෙසිනි. සෙනෙවි අයියා මරා දමා තිබුණේ 2014 වර්ෂයේ මැයි මසදීය. ඒ ඝාතනය වෙසක් පොහෝ දිනක සිදු වූ හෙයින් දෙහිඕවිට අවට හුඟ දෙනකුට සෙනෙවි අයියාගේ මරණය තවමත් හොඳින් මතකය.

සෙනෙවි අයියා මරා දමා තිබුණේ නිදි ඇඳේදීම ගෙල සිරකර දමාය. ඔහු මැරූ ඝාතකයෝ අපරාධ ස්ථානයේ සාක්ෂි වශයෙන් කිසිවක් ඉතිරි නොකරන්නට තරම් සූක්ෂ්ම වූහ. එහෙයින් ඇහැළියගොඩ පොලිසිය මේ ඝාතනයේ සුල මුල හෙළි කර ගැනීමට මඟක් සොයමින් කල් මැරීය.

කාලය දින සති මාස ගණනින් එකතු වී අවුරුදු ගණනක් ගෙවී ගියේය. එහෙත් සෙනෙවි අයියාගේ ඝාතකයත් අල්ලා ගැනීමට හැකි වුයේ නැත. මේ අතරතුර සෙනෙවිගේ පවුලේ ඥාතීන් මෙම ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නට වූයේ ඇහැළියගොඩ පොලිසියෙන් මේ ඝාතනයේ පරීක්ෂණ හරිහැටි නොවන බව කියමිනි. ඒ අනුව රහස් පොලිසිය මේ පිළිබඳ විමර්ශනයක් ඇරඹීය.

එයද වසර ගණනාවක් තිස්සේ සිදු කෙරෙමින් පවතින විට ඇතැමුන් රහස් පොලිස් පරීක්ෂණ ද ඵලක් නොවන බව සිතන්නට ඇත. නමුත් සැබැවින්ම සිදු වූයේ වෙනකකි.

මුලින් මුලින් සතියකට, මාසයකට පමණ වතාවක් සෙනෙවි අයියාගේ නිවෙසට පැමිණි රහස් පොලිස් නිලධාරිහු සෙනෙවි අයියා මියගිය කාලයේ වගතුග මෙන්ම අතීත තොරතුරු හාරා අවුස්සන්නට වූයේ මෙම ඝාතනය පිළිබඳ සාක්ෂි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ නිසාය.

සෙනෙවි අයියාට තරහකාරයන් නොවූ බවත්

දන්නා තරමින් අහල ගම් හතකවත් සෙනෙවි අයියාට එදිරිවාදි කිසිවකුත් නොසිටි බව නිවැසියෝ රහස් පොලිසිය හමුවේ කීහ. කවුරුන් සමඟත් හොඳ හිත ඇති කරගෙන ජීවත් වූ සෙනෙවි අයියා ජීවිකාව වශයෙන් කළේ ඔහුගේම අත්ට්‍රැක්ටරයෙන් ගමේ ගොඩේ කාහටත් උදව් පදව් දීමය. ඒ හැරෙන්නට ත්‍රිරෝද රථයකින් කුලී ගමන් යාම ද සෙනෙවි අයියා ජීවිකාව කරගත්තේය.

හොඳ මිසෙක අහල පහළ කවුරුන් සමඟ හෝ ඇති කරගත් බහින් බස් වීමක්වත් පිළිබඳ සැකයක් හෝ රහස් පොලිසියට හෙළි වූයේ නැත. ඒ නිසා ඊළඟට රහස් පොලිසිය හැරුණේ සෙනෙවි ඝාතනයෙන් පසුව සෑහෙන වේලාවක් ඒ නිවසේ රැඳී සිටින්නට ඇතැයි අනුමාන කළ පුද්ගලයන් දෙසටය.

එවිට හෙළිදරව් වූයේ සංවේදී කරුණකි. ඒ ගෙල සිර කර සෙනෙවි මරා දැමූ ඝාතකයන් එම නිවෙසින් පැහැරගෙන ගොස් තිබූ භාණ්ඩවල වටිනාකම රුපියල් හාරදහසකටත් අඩු බවයි.

මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව හොඳින් දන්නා රහස් පොලිසිය මෙහි විමර්ශන වෙනස් මඟකට යොමු කළේය. ඒ අසල්වැසි කිසිවකු හෝ සෙනෙවි අයියා කෙරෙහි අවධානයෙන් පසු වූයේද යන්න පිළිබඳය. එහෙත් සැකකළ හැකි එවැනි කිසිවකු නොවුවත් වරින් වර මුරුත්තෙට්ටුව ගමට පොල් කඩන්නට පැමිණි පුද්ගලයකු පිළිබඳ තොරතුරක් රහස් පොලිසියට ලැබී තිබිණි.

සෙනෙවි අයියලාගේ පවුලේ අය පමණක් නොව ඒ තරුණයා මුරුත්තෙට්ටුව අවට හුඟ දෙනකුගේ වතුවලද පොල් කඩා දෙන්නෙකි. ඒ ඔස්සේ ගම පුරා මේ පිළිබඳ සොයා බලද්දී රහස් පොලිසියට ගමේම අයකුගෙන් මේ පොල් කඩන්නාගේ දුරකතන අංකය සොයා ගැනීමට හැකි විය.

එතැනින් පසුව අඟුරුවැල්ලේ පදිංචිකරුවකු බව කියන මේ පොල් කඩන්නාගේ වගතුග රහස් පොලිසිය සෙවීය. එවිට ඔහුගේ කැරැට්ටුව එතරම් හොඳ නැති වගක් හෙළි කරගත් රහස් පොලිසිය ඔහු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළේය.

පොල් කඩන මුවාවෙන් සොරකම් කිරීමේහි ද නිරතවන බවටත් බොහෝවිට තනිවම සොරකමේ නිරතවන මොහු ඒ සඳහා තවත් මිතුරකුගේ හෝ දෙදෙනෙකුගේ සහාය ලබා ගන්නා බවටත් රහස් පොලිසියට තොරතුරු ලැබිණි.

සෙනෙවි අයියා පිළිබඳ එක්තරා රහසක් මේ පොල් කඩන්නා දැන සිටි බව ද හෙළිවිය. ඒ සෙනෙවි ඝාතනය වූ දිනට පෙර දින කළ ගනුදෙනුවක් පිළිබඳවය. ගස් කැපීමක් සම්බන්ධයෙන් ගනුදෙනුවකින් යම් මුදලක් සෙනෙවි අයියාගේ අතට ලැබුණු බවට තොරතුරක් පොල් කඩන්නාට දැනගන්නට ලැබුණු බව පොලිසිය අනුමාන කළේය. ඒ අනුව සෙනෙවි අයියාගේ නිවසේ කිසිවකු නොමැති වේලාවක් බලමින් සැකකරු පසු වූ බව අනාවරණය කරගත් රහස් පොලිසිය පොල් කඩන්නා කොටු කර ගත්තේ සියලු සාක්ෂි සොයාගැනීමෙන් පසුවය.

මුලින් කිසිවක් නොදන්නා වගක් පෙන්වූ සැකකරු රහස් පොලිසියේ හරස් ප්‍රශ්න හමුවේ නිරුත්තර විය. අන්තිමේදී තමන් එදා රාත්‍රියේ මුරුත්තෙට්ටුවට ගිය බව සැකකරු පිළිගත්තේය.

දිගින් දිගට ප්‍රශ්න කිරීමේදී සෙනෙවි අයියා තනිව නිවෙසේ සිටියදී ඊට ඇතුළු වූ බවත් මෙම ඝාතනය තමන් තනිවම කළ දෙයක් නොවන බවත් පොල් කඩන්නා හෙළි කළේය. ඊට ඔහුට සහාය වූ යුද හමුදා සේවයෙන් ඉවත් වූවකු පිළිබඳත් පොල් කඩන්නා හෙළි කළේය. අනතුරුව වහා ක්‍රියාත්මක වූ රහස් පොලිසිය මීට සම්බන්ධ අනිත් පුද්ගලයා කොටු කර ගත්තේ නොසිතූ විරූ තැනකදීය. ඒ එම සැකකරුත් වෙනත් අපරාධයකට සැකපිට ප්‍රදේශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබියදීය. අන්තිමේදී ඒ සිද්ධියටත් වඩා මේ සිද්ධිය බරපතල බැවින් මොහු සෙනෙවි ඝාතන පරීක්ෂණ සඳහා රහස් පොලිසිය සිය භාරයට ගත්තේය. ඒ අනුව අදාළ පොලිස් ස්ථානයෙන් තාවකාලිකව එම සැකකරු රහස් පොලිසියට බාරදෙන ලදී.

මේ අයුරින් එම සැකකරු රැගෙන සෙනෙවිගේ නිවෙසට පැමිණි රහස් පොලිසිය සැකකරුවන් දෙදෙනා වෙන වෙනම තබා පාපොච්ඡාරණය කර ගත්තේය. පසුපසින් නිවෙසට ඇතුළු වූ අන්දමත් නිවෙසේ වූ පුංචි දරුවන්ගේ කැටවලට පවා වග කියූ සැටිත් එහිදී හෙළිදරව් විය. එහෙත් සෙනෙවි ළඟ සිතූ තරම් මුදලක් නොමැති බව මොවුන්ට වැටහිණි. ඒ රැයේ හදිසියේ නින්දෙන් අවදි වී පැමිණ සෙනෙවි අයියා සැකකාර පොල් කඩන්නා හඳුනා ගැනීම නිසා සැකකරුවන් සෙනෙවි අයියාගේ ගෙල සිරකර මරා දමා තිබිණි. රහස් පොලිසිය පසුගියදා අවිස්සාවෙල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

නුවන් මහේෂ් ජයවික්‍රම