“කළ වරදට දඬුවම් දුන්නා දැන් ඉතින් සමාව දෙන්න”

“කළ වරදට දඬුවම් දුන්නා දැන් ඉතින් සමාව දෙන්න”

අප දන්නා දේවල් ඉතා අල්පය, නොදන්නා දේවල් බොහෝය. විශ්ව දැනුමක් ලබන්නට විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන විශ්ව කර්ම සමහර දරුවෝ වුවද මේ නොදන්නා දේවල් පසුපස හඹායාම නිසා ජීවිතය නැති කර ගන්නට තරම් සැහැසි වෙති. සුළු ප්‍රශ්නයකට මුහුණදී ගත නොහැකිව ඔවුන් සියදිවි හානි කරගන්නේ ඒ නිසාය. එය කොතරම් හාස්‍යජනකද? අවාසනාවන්ත ද? කාලාන්තරයක සිට පැවත එන සම්ප්‍රදායයන් හේතු රහිතව ප්‍රතික්ෂේප කිරීම ද මෙවැනි පරිහානියට තවත් කාරණයකි.

කලවානේ දේවපි‍්‍රය නාමාර්ථයෙන්ම දෙවියන්ට පි‍්‍රය වූ දරුවෙකැයි මව්පියෝ සිතූහ. විසි හත් හැවිරිදි ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි. පියා ජීවතුන් අතර නැත. මව සහ වැඩිමහල් සහෝදරයා දේවපි‍්‍රයගේ පවුලේ අනිත් සාමාජිකයන් වූහ. විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පළමු වසරේම ඔහු විප්ලවීය අදහස් දරන්නට විය.

දේවපි‍්‍රය හිටි හැටියේ සිහි විකල් ගතියකින් පෙළෙන්නට විය. අසාමාන්‍ය වේදනාවන්ගෙන් පීඩාවට පත් විය. වෛද්‍යවරු ඔහුට විශාදයට ප්‍රතිකාර කළහ. ඊට අමතරව ඔහුගේ මවත් සහෝදරයාත් ඔහුට වත් පිළිවෙත් කළහ. අසනීපයෙන් සිට වුවද දේවපි‍්‍රය ඒවාට සමච්චල් කළේය. වෛද්‍ය ප්‍රතිකාර වලින් සතුටු දායක සහනයක් නොලද බැවින් මවත් සහෝදරයාත් මාංචු පත්‍රයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා දේවපි‍්‍රය කැඳවා ගෙන ගියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසී පුතාගේ රෝග තත්ත්වය පැහැදිලි කළහ.

ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට දේවපි‍්‍රය ගැහෙන්නට විය. එදිනම ඔහුගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී ඉතා රෞද්‍ර ලෙස ගොරවන්නටත්, රවන්නටත් විය. අනතුරුව ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ ගොරවන්නේ?”

“මූගේ සීයා” භූතාත්මය කීවේය.

“අම්මගේ තාත්තද?”

“තාත්තගෙ තාත්තා”

“මොකක්ද නම”

“රත්තරන් හාමි”

“ජීවත්ව ඉන්දැද්දී මොනවද කළේ?”

“අපේ පරම්පරාව කපු පරපුරක්. මමත් කපු මහත්තයෙක්.”

“ඉතින් දේවාලෙක කපු මහත්මයෙක් නම් මළාට පස්සෙ දෙවියන් අතරට යන්න ඕනෑ නේද?”

“කොහේද? එහෙම යන්නේ. මම දේවාලයට ආසාවෙන් මළේ. මෙතන තමයි උපන්නේ?”

“කපු මහත්තයා දැන් රත්තරන් හාමි නොවෙයි. දේවාලෙට අරක් ගත්ත පේ‍්‍රතයෙක්. ඒ බව දන්නවාද?”

“................... “ පේ‍්‍රතතාත්මය නිහඬය.

“ඇයි මේ මුණුපුරාගෙන් පළිගන්නේ?”

“මූගේ තාත්තා මළාට පස්සේ ලේ උරුමය මූටයි, ඒත් මූ දේවාලය බාර ගත්තේ නෑ. මූ ජේ.වී.පී කාරයා. දෙවියන්ට අපහාස කරනවා. මුන් දැනටත් ජීවත් වෙන්නේ දේවාලයේ නින්දගම්වලින් ලැබෙන ආදායමෙන්. එහෙම ඉඳගෙනත් අපහාස කරනවා. ඒ නිසා මම මූගෙන් පළිගන්නවා.”

“තමන්ගෙ මුණුපුරාට අනුකම්පා කර සමාව දෙන්න බැරිද....?”

“බැහැ.... බැහැ...... මූට සමාව දෙන්න බැරි පාහර අසමජ්ජාති වැඩකුත් කළා.”

“ඒ මොකක්ද?”

“දෙයියොයි කියලා කෙනෙක් නැහැ. දෙයියෝ මට බම්බු ගහයි කියලා දවසක් මූ දේවාලෙ මළපහ කළා.”

“චී.... චී.... ඒක නම් ඉතාම කැත වැඩක්.” ගවේෂකවරයා කියන්නට විය.

“අනන ඒ බලු වැඩේට තමයි මට කේන්ති. ඒ නිසා දේවාලෙ අනුහස් පෙන්නන්න මම මූව මරනවා මරනවා මයි.”

භූතාත්මය තදින්ම කීවේය.

මේ පිළිබඳ කාරණා ඇත්දැයි ගවේෂකවරයා දේවපි‍්‍රයගේ මවගෙන් හා සොහොයුරාගෙන් ඇසීය.

“ඔව් මහත්තයා, පොඩි පුතා විශ්ව විද්‍යාලෙ ගියාට පස්සෙ හුඟක් වෙනස් වුණා. දෙවියන්ටත් දේවාලයටත් නිතර අපහාස කළා. දැන් මේ ලොකු පුතා තමයි දේවාලය බාරව කටයුතු කරන්නේ. අපි ජිවත්වෙන්නෙත් දේවාලෙ නින්දගම්වලින්. පදිංචිත් දේවාලෙ ඉඩමෙමයි, පොඩි පුතාට වියදම් කරන්නෙත්, අපි තුන් දෙනාම කන්නෙ බොන්නෙ අඳින්නෙත් මේ දේවාලය නිසයි. ඒත් පොඩි පුතා අයියටත් බනිනවා කපුකම කරනවයි කියලා.”

දේවපි‍්‍රයගේ අම්මා එසේ පවසද්දී අයියා ද ඒවා අනුමත කළේය.

ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා මිය ගිය සීයාට පින් අනුමෝදන් කොට නැවත පැමිණෙන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද දේවපි‍්‍රය ට භූතාත්මය ආවිශ්ට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කොහොමද බෝධි පූජාවට මේ අයත් එක්ක ගියාද?”

“ගියා.... ගියා... අම්මයි ලොකු පුතයි හොඳට බෝධි පූජාව තියලා මට පින් දුන්නා. ඒත් මූ බෝ මළුවෙ තාප්පෙට හේත්තු වෙලා පෙරේතයා වගේ හිටියා.”

“දැන්, කවුද දේවාලයෙ වැඩ කරන්නේ?”

“මේ ලොකු කොලුවා. ඒත් මේ දරුවට බලයක් නෑ. ලේ උරුමය මූට නිසා.”

“ඔබතුමා පින් අනුමෝදන් වුණා නම් මේ ප්‍රේතාත්මයෙන් මිදී දේවාත්මයකට යන්න අධිෂ්ඨාන කරගන්න. මේ තරුණ ජීවිතයට අනුකම්පා කරන්න.”

ගවේෂකවරයා භූතාත්මයට කීවේය.

“අනේ ඔව් තාත්තේ අපි දේවාලයටත් දෙවියන්ටත් තාත්තටත් ගරු කරනවා. අපි වෙනුවෙන් මෙයාට අනුකම්පා කරන්න”

දේවපි‍්‍රයගේ අම්මා ද අඬමින් භූතාත්මය ඉදිරියේ කියන්නට වූවාය.

“බැහැ.... බැහැ.... මූ තවමත් උගේ අදහස් වෙනස් කරලා නැහැ. මූට නම් දඬුවම් කරන්නම ඕනෑ. මූ අති පණ්ඩිතයා”

භූතාත්මය යළි තදින්ම කීවේය.

ගවේෂකවරයා දේවපි‍්‍රය පියවි සිහියට පත් කොට තදින් අවවාද කළේය.

“මේ තරුණ ජීවිතය වටිනා එකක්. අඳුරු කර ගන්න එපා. විශ්ව විද්‍යාලයට යන්නේ උගත් ළමයි, දෙවියන් හිටියත් නැතත් මිනිස්සු වැඳුම් පිදුම් කරන දේවාලයක මළ පහ කරනවා කියන එක දීන ක්‍රියාවක්, මිනිස්සු බස් හෝල්ට් එකකවත් එහෙම කරන්නේ නෑ. දැන් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න. කළ වරදට සීයාගෙන් සමාව ඉල්ලා මාසයක් දේවාලය පිරිසිදු කරන්න. දවසකට තුන් වරක් සෝදලා පවිත්‍ර කරලා කහ දියර ඉහින්න. දේවාලය අවට භූමිය අතුපතු ගාලා පිරිසිදු කරන්න. නැවතත් මනුස්සයෙක් වගේ ඉන්න නම් මේ ටික කරන්න. හැබැයි අනුන් ලවා කරවන්න එපා. එහෙම නොකොළාත් හැමදාම පිස්සෙක් වගේ ජීවත් වෙන්න වෙයි.”

ගවේෂකවරයා දේවපි‍්‍රයට අවවාද දෙමින් තත්ත්වය ද පැහැදිලි කළේය.

“ඔව් මහත්තයා, මෙයා එක්ක යාළු වෙලා හිටපු කෙල්ලත් දැන් මෙයාට පිස්සුයි කියලා වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා.” දේවපි‍්‍රයගෙ අයියා ගවේෂකවරයා ඉදිරියේ කියන්නට විය.

ගවේෂකවරයා කී පරිදි දේවාලයේ කටයුතු නියම ආකාරයෙන් සිදු කළ දේවපි‍්‍රය මාසයකට පසු මව හා සහෝදරයා සමඟ නැවත ගවේෂකවරයා හමුවට ආවේය. ඒ වන විට ඔහු සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටියේය.

“මහත්තයා මේ වගේ හිතේ තියෙන දෙයක් නේද මේ ක්‍රියාත්මක වුණේ?” දේවපි‍්‍රය ගවේෂකවරයාගෙන් ඇසීය.

“ගොන් පණ්ඩිතකම් දැන්වත් අතහරින්න. සමාජයේ ප්‍රායෝගිකත්වයත් එක්ක ජීවත් වෙන්න. ආයෙත් පිස්සු හදා ගෙන මෙහෙට නම් එන්න එපා”

ගවේෂකවරයා දේවපි‍්‍රයට තදින්ම කීවේය.

එදාද භූතාත්මය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා යළි කතා කරන්නට විය.

“ඔන්න කළ වරදට දඬුවම් දුන්නා. දැන් ඉතින් සමාව දෙන්න. ඔය අතරෙ තමන් දෙවියන් අතරට යන්න හිතාගන්න. ඒ වගේම නැවත වැරදි කළොත් මොහුට දඬුවම් කරන්න”

ගවේෂකවරයා භූතාත්මයට කීවේය.

දේවාලයට සංඝයා වහන්සේ දහ නමක් වඩම්මවා සාංඝික දානයක් පිරිනමා සීයාට පින් අනුමෝදන් කරන්නැයි ද ගවේෂකවරයා දේවපි‍්‍රයගේ මවට හා සොහොයුරාට උපදෙස් දෙමින් කීවේය. ඒ සියලු වත්පිළිවෙත් ඉෂ්ට කිරීමත් සමඟ භූතාත්මය ද දේවපි‍්‍රයගේ සිරුරෙන් ඉවත්ව ගියේ කාටත් නොදැනුවත්වමය.

මතුගම මහින්ද විජේතිලක