"මන්නයෙන් ගහද්දි 'පත්තා' වැටුණා ඊට පස්සේ ගහගෙන ගහගෙන ගියා"

"මන්නයෙන් ගහද්දි 'පත්තා' වැටුණා ඊට පස්සේ ගහගෙන ගහගෙන ගියා"

ඉකුත් සැප්තැම්බර් මස හයවනදා පානදුර වෙරළ දෙසට ඒ අවට පිරිස දිව ගියේ පුද්ගලයකු කපා කොටා මරා දමා ඇති බවට ලැබුණු තොරතුරක් නිසාය. වේලාව ඒ වන විට සවස හයයි තිහට පමණ ඇත. සාමාන්‍යයෙන් සති අන්ත නිවාඩුවලට පානදුර වෙරළ තිරයට බොහෝ පිරිස් ඇදී එති. දරු මල්ලන් රැගත් මාපියෝ ද තරුණ පෙම් ජෝඩු ද ඒ අතර වෙති.

“කාවද කපලා මරලා”

පැතිරී ගිය ආරංචියත් සමඟ විනෝද වන්නට පැමිණි බොහෝ පිරිස් එතැනින් ඉවත්ව ගිය අතර ඒ අවට පදිංචි පිරිසගේ උත්සාහය වුයේ මරා දමා ඇත්තේ කවුදැයි දැනගන්නටය. සිද්ධිය වූ ස්ථානයට නුදුරින් පානදුර පොලිස් අධිකාරි කාර්යාලය පිහිටා තිබිණි. දෙතුන් දෙනෙකු මේ බව එතැන සිටි ආරක්ෂක නිලධාරින්ට දැන් වූ අතර ඔවුන් මේ බව පානදුර මුලස්ථාන පොලිසියට දන්වා සිටියේය. ඒ සමඟම 119 හදිසි ඇමතුම් අංශය මගින් ද පානදුර දකුණ පොලිසිය දැනුම්වත් කෙරිණ.

මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරින් සිද්ධිය වූ ස්ථානයට පැමිණියේ ඉන් පසුවය. පුද්ගලයකු දරුණු කැපුම් තුවාල සහිතව බිම වැටී සිටී. එතැන වට වී සිටි පිරිස අයින් කළ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහා සොකෝ අංශය හා ඇඟිලි සලකුණු නිලධාරින් දැනුම්වත් කොට ඉහළ නිලධාරින්ට මෙන්ම මහෙස්ත්‍රාත්වරයා ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළේය.

මරා දැමුණු පුද්ගලයා කවුදැයි ඒ වනවිටත් බොහෝ දෙනා හඳුනාගෙන තිබිණි. ඒ ඔහු ද පානදුර අවට කරක් ගසන අයකු වීම නිසාය. බොහෝ අය ඔහු හැඳින්වුයේ “පත්තා” යන නමිනි. පත්තා ද හොඳ චරිතයක් ඇත්තකු නොවේ. ඔහු වරෙක බන්ධනාගාර ගත වී සිටි අයෙකි.

මහේස්ත්‍රාත්වරයාගේ පැමිණීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ සිරුර පානදුර රෝහල වෙත රැගෙන යන ලදී. මරා දැමුණු ඔහුගේ සිරුර පුරා කැපුම් තුවාල 25ක් පමණ තිබිණි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටි පානදුර පොලිසියේ නිලධාරින්ට ඒ වන විටත් එතැන සිටි අයගෙන් බොහෝ තොරතුරු ලැබිණි. දෙතුන් දෙනෙක්ම කීවේ ඊට මොහොතකට කලින් “පත්තා” ඇතුළු මිතුරන් ඊට නුදුරු හෝටලයක් ආසන්නයේ මත්පැන් පානය කරමින් සිටි බවය. පත්තාට පහර දුන් පිරිස ත්‍රිරෝද රියක නැඟ පලා ගිය බවද ඔවුන් පානදුර මුලස්ථාන පොලිසියේ නිලධාරින්ට දන්වා සිටියේය.

පත්තා හොඳ චරිතයක් ඇත්තකු නොවන බව බොහෝ දෙනකු හොඳින් දනී. කලකට පෙර පානදුර පිංවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් මරා ගත්හ. ඒ කල්ලි සාමාජිකයන් කිහිපදෙනකු පත්තා ගේ ද හිතවතුන්ය. පත්තා හිරේ විලංගුවේ වැටුණු විටද පරණ යාළුවෝ ඔහුට උදව් කළහ. ඒ නිසා ඇතැම්හූ මෙන්ම සමහර මාධ්‍යද පත්තා පාතාලයකු ලෙස හැඳින්වුහ.

කෙසේ වෙතත් පත්තා මරා දැමුවේ ඇයි? ඒ කවුරුන් විසින් ද යන්න පොලිසිය හමුවේ තිබු ප්‍රශ්න විය. ඒවා නිරාකරණය කරගැනීම සඳහා විමර්ශනයක් ඇරැඹු නිලධාරින් පත්තා ළඟින් ඇසුරු කළ කිහිප දෙනෙකුගෙන් පත්තා ඝාතනය පිළිබඳ විස්තර සොයන්නට විය. එහිදී පොලිසියට ලැබුණු තොරතුරු වුයේ බහින් බස් වීමක ප්‍රතිඵලයක් ලෙස පත්තා ඝාතනය වී ඇති බවය. ඒ වන විට පත්තා සිට ඇත්තේ මත්පැන් පානය කරමින් බවද පොලිසියට තොරතුරු ලැබිණි.

එහෙත් ඝාතකයන් පිළිබඳ හෝඩුවාවක් පානදුර මුලස්ථාන පොලිසියට නොලැබිණ. මේ අතරතුර මෙම ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පානදුර නීතිය බලගැන්වීමේ ඒකකයට ද භාර දීමට පානදුර කොට්ඨාශ බාර පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය. ඒ අනුව එහි ස්ථානාධිපතිවරයාගේ මෙහෙවීයමෙන් පරීක්ෂණ ඇරැඹිණි.

පත්තා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මියගිය තැනැත්තා පානදුර සාගර මාවතේ පදිංචිව සිටි තිස් එක් හැවිිරිදි ඉන්දික උදය කුමාර නමැත්තාය. ඔහු පානදුර වෙළෙඳපොළ තුළ නොයෙකුත් රැකියා කරමින් ජීවත් වූ අයෙකි.

විමර්ශන ඇරැඹි නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සිද්ධිය වූ දා පත්තා සමඟ මත්පැන් පානය කළ බව කියන පුද්ගලයන් සොයමින් ඔවුන්ගෙන් තොරතුරු ලබාගත් අතර එහිදී හෙළි වූයේ පත්තා ඇතුළු මිතුරන් මුහුදු වෙරළට යාබදව හෝටලයක් ආසන්නයේ මත්පැන් බොමින් සිටියදී ඊට එහායින් තවත් තිදෙනෙක් මත්පැන් පානය කර ඇති බවත් එතැන සිටි පුද්ගලයකු හා පත්තා අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග යාම නිසා එම පුද්ගලයා එතැනින් ඉවත්ව ගොස් නැවත ත්‍රිවිලරයකින් පැමිණ පත්තා කපා කොටා ඝාතනය කළ බවත්ය. එළෙස පැමිණියේ කවුදැයි යන්නද නීතිය බලගැන්වීමේ ඒකකයට තොරතුරු ලැබී තිබිණි. ඉන් එක් පුද්ගලයකු යුද හමුදාවෙන් පැන ආ සෙබළෙකු වන ලහිරු නමැත්තෙකු බව අනාවරණය කර ගැනීමට ඒකකයට හැකිවිණි.

“ඔය අතර මට තොරතුරක් ලැබුණා. ඔය හමුදාවෙන් පැනපු ලහිරු කියන කෙනා පානදුර බස් ස්ටැන්ඩ් එකේ ඉන්නවා කොහේට හරි යන්න කියලා. අපි ටිම් එකක් ගිහින් මිනිහව අල්ලගෙන ආවා. ඇවිත් ප්‍රශ්න කරද්දී තමයි හෙළි වුණේ මේක පාතාල ගේමක් නෙමේ වෙනත් ආරවුලක් කියලා. මිනිහගේ තොරතුරු මත ක්‍රිෂෝක් කියන පුද්ගලයා හිරණ දී අල්ල ගන්න අපිට හැකිවුණා. පස්සේ මිනිහගෙන් ප්‍රශ්න කරනකොට පත්තා ඝාතනයේ සුලමුල හෙළි කරගන්න පුළුවන් වුණා.”

නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති රාජකරුණා, පත්තා ඝාතනයේ සැකකරුවන් අල්ලාගත් ආකාරය එසේ හෙළි කළේය.

මෙහි ප්‍රධාන සැකකරු වුයේ ක්‍රිෂෝක්ය. ඔහු හා පත්තා අතර මීට කලින් ද ආරවුල් තිබිණ. සිද්ධිය වූ දා පත්තා වරින් වර ක්‍රිෂෝක් ඇතුළු පිරිස මත්පැන් බොමින් සිටි තැනට පැමිණ ඔහුව මරා දමන බවට තර්ජනය කර ඇත.

අද නම් මූ ගේමටම තමයි එන්නේ” යැයි සිතු ක්‍රිෂෝක් වහා ලහිරුගේ නිවෙසට ගොස් තියුණු මන්නයක් ගෙනැවිත් පත්තා කපා කොටා මරා දමා තිබිණි. ක්‍රිෂෝක්ගේ බිරිය සමඟ තිබු අනියම් සබඳකමක් ද මීට හේතු වී ඇතැයි පොලිසිය කීවේය.

ඒකකයේ නිලධාරින් පත්තා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිෂෝක්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර පත්තා ඝාතනයට හේතු වූ කරුණු ක්‍රිෂෝක් ඒකකයේ නිලධාරින් ඉදිිරියේ මෙසේ කියා සිටියේය.

ක්‍රිෂෝක් රැකියාව කරන්නේ පානදුර එළවළු මාර්කට් එකේය. ඔහු එළවළු වෙළඳාම සිදුකරනුයේ ඔහුගේ සොහොයුරකු හා තවත් පුද්ගලයන් තිදෙනකු ද සමඟය.ක්‍රිෂෝක්ගේ පදිංචිය ද පානදුර සාගර පාෙර්ය. ඔහුට දරුවන් තිදෙනෙකි. මියගිය ඉන්දික නොහොත් පත්තා ද පදිංචිව සිටින්නේ සාගර මාවතේය. ඒ නිසා ක්‍රිෂෝක් හා පත්තා හොඳින් දැන හඳුනන්නෝය. ඔවුන්ගේ දැන හැඳුනුම්කම වසර විස්සක සිට පැවත එන්නකි.

“මගේ මාමගේ පුතෙක් හිටියා ලසන්ත කියලා. 2000 අවුරුද්දේ සුජිත් කියලා කෙනෙක් එයාට ගැහැව්වා. පස්සේ ඒ රංඩුව දුරදිග ගියා. ඒ රණ්ඩු වෙන අවස්ථාවේ මගේ කරේ තිබුණු පවුම් පහක රත්තරන් මාලය කඩාගෙන ගියා. පස්සේ හොයලා බලද්දී ඒකට ඉන්දිකගේත් සම්බන්ධයක් තිබුණු බව දැන ගත්තා. එදා ඉඳලා ඉන්දික මාත් එක්ක තරහෙන් හිටියේ.

“මම දැනට විවාහ වෙලා ඉන්න බිරිඳ සමඟත් ඉන්දික අනියම් සම්බන්ධතාවයක් පත්වාගෙන යන බව මට ආරංචි වුණා.

මගේ නංගි කෙනෙක් ඉන්නවා නෙරංජලා කියලා එයා හිටියේ රට. එයා ලංකාවට ඇවිත් ත්‍රිවිලර් රියැදුරකු එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යන බව මගේ බිරිය දැනගෙන හිටියා. ඒත් එයා මට ඒක කිව්වේ නැහැ.”

“නංගි ආපහු රට ගියා. එයා රට ගිහින් මගේ පවුල ඉන්දිකත් එක්ක තියෙන සම්බන්ධකම මට කිව්වා. පස්සෙ මේ ගැන මම දන්න බව ඉන්දිකත් දැනගෙන තිබුණා. ඉන්දික මීට පෙරත් ආයුධයක් සමඟ පොලිසියට අහුවෙලා රිමාන්ඩ් කරලයි හිටියේ. ඒ කාලයේදී එයාට අයිති ඉඩමක් මම සල්ලි දීලා ගත්තා. ඒත් එක ආපහු දෙන්න කියලා ඉන්දික හිරේ ඉන්න දෙතුන් දෙනකු ලවා මට තර්ජනය කළා. ඉන්දික හිරේ ඉඳන් ආවට පස්සේ මම ඉඩම නොදුන් එකට මාව මරනවා කිය කිය තමයි හිටියේ. ඒ අතරතුර ඉන්දික මගේ බිරිඳගෙනුත් සැරින් සැරේ මුදල් ඉල්ලගෙන තිබුණු බව මට ආරංචි වුණා.”

ක්‍රිෂෝක් නිලධාරින් හමුවේ ඉන්දික ඝාතනයට හේතු වූ කරුණු කාරණා කියන්නට විය. ක්‍රිෂෝක්ට ඉන්දිකගෙන් මරණ වරෙන්තු පවා ලැබිණ. ඒත පසු කාලයේදී ඒවා යළි සමථයකට පත්විය. දෙපාර්ශවයේ මිතුරන් මොවුන් දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් වී ඔවුහු සමථයකට පත්කළහ. ඒත් ඉන්දිකගේ සිතේ පැලපදියම් වූ වෛරය පහවී ගොස් තිබුණේ නැත.

"බුරුපිටි වලදි හරි පාටි වලදී හරි අපි දෙන්නා මුණ ගැහුණාම එයා එයාගේ යාළුවන් මාර්ගයෙන් මට තර්ජනය කළා. මට ගහන්නත් ආවා. දැනට අවුරුද්දකට කලින් සමීර කියන මගේ යාළුවගේ ගෙදර පාටියක් තිබුණා. එදා ඉන්දික එයාගේ යාළුවන් දාලා මාව මරවන්න හැදුවා. ඒත් මම එතැනින් බේරිලා පැනලා ගියා. පස්සේ අපේ යාළුවෙක් අපි දෙන්නටම කතා කරලා අවවාද කළා රංඩු සරුවල් අතහැරලා හොඳින් ඉඳපන් කියලා. ඉන් පස්සේ මම මගේ පාඩුවේ හිටියා.”

ක්‍රිෂෝක් පොලිසිය හමුවේ කියන්නේය.

එදා 2017 සැප්තැම්බර් දෙවැනිදාය. සෙනසුරාදා දිනයක් බැවින් පානදුර මුහුදු වෙරළ බොහෝ විනෝදවන්නගෙන් පිරී තිබිණි. සමහරු තැන තැන හොරාට මත්පැන් පානය කරන්නට වුහ. වේලාව දෙකයි තිහට පමණ ඇත.ක්‍රිෂෝක් සිය මෝටර් සයිකලයෙන් පානදුර මුහුදු වෙරළට පැමිණියේය. ඊට නුුදුරින් ඇති සංචාරක හෝටලය ඉදිරිපිට සිටික්‍රිෂෝක් අසළ මෝටරියක් නතර කෙරිණ. එහි වුයේ ක්‍රිෂෝක්ගේ මිතුරන් දෙදෙනෙකි. එක් අයකු ගයාන්ය.

“ඩ්‍රින්ක් එකක් දාමුද”

ඔවුන්ක්‍රිෂෝක්ගෙන් විමසුවේය. ක්‍රිෂෝක්ද ඊට එකඟ විය. ඔවුහු හෝටලයට නුදුරු පාළු තැනකට මෝටෝරිය රැගෙන ගොස් මත්පැන් බොන්නට වුහ. ඒත් මොහොතක් යද්දී තද අව් රශ්මිය ඔවුනට ගෙන දුන්නේ මහත් බාධාවකි. ඉන්පසු ඔවුහු එතැනින් නැගිට ඊට නුදුරින් ඇති පාළු බංගලාව අසලට වී යළි මත්පැන් පානය කරන්නට වූහ.

හෝරාවක් දෙකක් ගෙවී ගියේය. වේලාව සවස හතරට ආසන්නය. ක්‍රිෂෝක් සිටි තැනට නුුදුරින් තවත් මෝටෝරිය දෙකක් නතර කෙරිණ. ඉන් බැසගත් හත්අට දෙනෙකු ක්‍රිෂෝක්ලා මත්පැන් බොන තැනට ඉදිරියෙන් මත්පැන් පානය කරන්නට වුහ. පත්තා සමීර සුරංග ඇතුළු කිහිප දෙනෙකු එතැන සිටින බවක්‍රිෂෝක් දුටුවේය. ක්‍රිෂෝක් ඔහුගේ මිතුරන් සමඟ මත්පැන් බොද්දී පත්තා ඇතුළු පිරිස ඔවුන් ගෙනා බෝතල් හිස් කරන්නට වූහ.

සවස පහට ආසන්න වෙද්දී මෝටෝරියෙන් පැමිණි ක්‍රිෂෝක්ගේ මිතුරෝ මත්පැන් පානය අවසන් කොට එතැනින් නික්ම ගියහ. සිගරැට්ටුවක් පත්තු කරගත් ක්‍රිෂෝක් සිය මෝටර් සයිකලයට වී එය උරමින් සිටියේය.

“ඔහෙම ඉන්නකොට ඉන්දික මට කිව්වා මෙහෙට වරෙන් කියලා. මම එතැනට ගිහින් ඇයි මොකද කියලා ඇහැව්වා. මට උඹත් එක්ක පරණ ගනුදෙනුවක් තියෙනවා කියලා ඉන්දික මගේ කොලර් එකෙන් ඇල්ලුවා. ඒත් එක්කම ඉන්දික මගේ කම්මුලට එකක් ගැහැව්වා. මු අදනම් ගේමටම තමයි එන්නේ කියලා මම හිතුවා.”

මිතුරන් ඉදිරියේ තමන්ගේ කමිස කොලරයෙන් අල්ලා කම්මුලට පහරදීම ගැන ක්‍රිෂෝක්ට ඇතිවුයේ වස ලැජ්ජාවකි. ඔහුගේ කෝපය දෙගුණ තෙගුණ වන්නට විය. කෝපයෙන් බයිසිකලයට නැගගත් ක්‍රිෂෝක් කෙලින්ම ගියේ ලහිරුගේ නිවෙසටයි.

“මට මන්නයක් දීපං” ක්‍රිෂෝක් ලහිරුගෙන් ඉල්ලුවේය.

“මා ගාව නැහැ බං ඇයි මොකක්ද ප්‍රශ්නේ”

ලහිරු පුදුමයෙන් මෙන ්ක්‍රිෂෝක්ගෙන් ඇසුවේය.

"අරු මට ඔක්කොම ඉස්සරහ කම්මුලට ගැහැව්වා."

ක්‍රිෂෝක් සිද්ධිය සිය මිතුරා වු ලහිරුට කීවේය. ක්‍රිෂෝක්ගේ කෝපය තවමත් නිවීගොස් නැත. මන්නයක් නැති තැන එතැන සිටිමෙන් ඵලක් නැති බව දත ්ක්‍රිෂෝක් යළි මෝටර් සයිකලයට ගොඩ විය. ඒ සමඟම ලහිරුත් සයිකලයේ පිටුපසට නැංගේය. ඔවුන් කෙලින්ම ගියේ මාර්කට් එකේ කඩයටය. එහි මුවහත් මන්නයක් ඇති බව ඔහු දනී. එයද අතට ගත් ක්‍රිෂෝක් කෙලින්ම ගියේ පානදුර වෙරළේ සිටි ඉන්දික සොයාගෙනය.

“හෝටලය ළඟදී ළහිරු බැස්සා. මම බයිසිකලේ නතර කරලා මන්නයත් අරගෙන යද්දී ඉන්දිකයා එකපාරටම බෝතලයක් කඩලා මගේ පැත්තට දුවගෙන ආවා. එතකොට මගේ මල්ලිත් එතැනට ඇවිත් හිටියා. පස්සේ අපි දෙන්නා පාරට දුවගෙන ආවා. කඩේ පිටිපස්සට ගිහින් ආයෙත් පාරට එනකොට ඉන්දික පාර අයිනේ හිටියා. ඒත් එක්කම මන්නයෙන් මම ඉන්දිකට ගැහැව්වා.ඉන්දික බිම වැටුණා. ඉන් පස්සේ මම මන්නෙන් ගහගෙන ගහගෙන ගියා. ඉන්දිකගේ යාළුවෝ සේරම ආපසු කාර් එකෙන්ම පැනලා ගියා.”

ඉන්දික කපා දැමු ආකාරය ක්‍රිෂෝක් ඒකකයේ නිලධාරින් හමුවේ පැවසුවේ එළෙසය. ඉන්දිකගේ යාළුවන් නිකම්ම පලා ගියේ නැත. ඔවුන් ගියෙ ්ක්‍රිෂෝක්ගේ සොහොයුරාවද හප්පාගෙනය. ඉන් ඔහු බිම ඇද වැටිණ. පසුව යළි නැගිට ගත් ඔහු සිය ත්‍රිවිලරය එතැනට රැගෙන ආවේය. සොහොයුරාගේ ත්‍රිවිලරයට නැඟගත් ලහිරුත් ක්‍රිෂෝක් කෙලින්ම ආවේ සාගර මාවත දෙසටය.

“ඒ එන ගමන් හන්දියේ තියෙන බුදු පිළිමය ළඟදී මම ත්‍රිවිලර් එකෙන් බැහැලා ගිහින් ඉන්දික කපපු මන්නය බුදු පිළිමය පිටිපස්සේ හැංගුවා. පස්සේ අපේ මල්ලී කෙනෙකුගේ ගෙදරට ගිහින් ඇඟ පත සෝදගෙන මල්ලිගේ කලිසමකුයි කමිසයකුයි ඇඳගෙන මගේ ලේ ගැවුණු ඇඳුම් හංගලා එතැනින් ආවා.”

ක්‍රිෂෝක්ගේ ප්‍රකාශය සටහන් කරගත් නිලධාරින් ඔහුගේ ප්‍රකාශය මත බුදු පිළිමය පිටුපස සඟවා තිබු තියුණු මන්නය සොයාගත්තේය. තියුණු මන්නයෙන් දැඩි ලෙස පහරදීම නිසා එය කඩතොළු වී ඇතැයි ඒකකයේ නිලධාරීන් කියයි.

ලහිරු නමැති දෙවෙනි සැකකරුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගත් අතර ඔහුද සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත්තේ කිණිස්සක් රැගෙන බවටද තොරතුරු ලැබී ඇති බව ද ස්ථානාධිපතිවරයා කීය. එහෙත් මේ වන විටත් එවැන්නක් සොයා ගැනීමට ඒකකයට හැකි වී නොතිබිණි.

ජයසිකුරු මෙහෙයුමට පවා සම්බන්ධ වූ ඔහු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වූ අයෙකි. පානදුර අධිකරණයේ හෙරොයින් නඩු දෙකක් ද ඔහුට එරෙහිව තවමත් විභාග වේ. මොහුට වරෙන්තු දෙකක් ඇති බවත් ඔහු හමුදා සේවයට නොගොස් සැඟ වී සිටින බවත් නීතිය බලගැන්වීමේ එකකය සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පති රත්මල් කොඩිතුවක්කු හා පානදුර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී පී.ආර්.පී සේනානායක යන මහත්වරුන් ගේ උපසේ මත පානදුර නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති අසංග රාජකරුණා ප්‍රමුඛ සැරයන්වරුන් වන ආනන්ද (17605) වීරසේන (55202) අජිත් අමරතුංග (3464) හා කොස්තාපල්වරුන් වන චමින්ද (38049) වසන්ත (69918) ජයසුරිය (69915) මධුරංග (85049) විජේකෝන්(88317) ධර්මසේන (34502) දේවපි‍්‍රය (18707) යන නිලධාරිහු මේ පිළිබඳ විමර්ශනයට එක්වුහ.

(පොලිස් විමර්ශන ඇසුරෙන් ලිපිය සකස් විය)

කීර්ති මෙන්ඩිස්

ඡායාරූප

විනිතා මානෙල් - හල්තොට සමුහ