ඌටි වල ' පාරමී '

ඌටි වල ' පාරමී '

කොයිතරම් සදාචාර සංස්කෘතියේ යළු පිළි පළන්දන්නට උත්සාහ කළත් ආසියාතික රටවල් මුහුණදෙන සමාජ ප්‍රශ්න බොහෝය. ගණිකා වෘත්තිය ඉන් ප්‍රබලතම සමාජ ප්‍රශ්නයකි. දකුණු ආසියාවේ පමණක් මිලියන තුනකට ආසන්න ගණිකාවන් පිරිසක් ජීවත්වන බව මේ පිළිබඳ කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත.

ළමයින් පිරිමින් කාන්තාවන්සේම ලිංගික විපරිතයන්ට ලක් වූ අයද මේ පිරිසට අයත් වන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අතර ගණිකා වෘත්තියේ යෙදෙන යුවතියන්ට ඇත්තේ මහත් වූ ඉල්ලුමකි. ළාබාල වියේ පසුවන ඔවුන් අකමැත්තෙන් වුවත් ගණිකා වෘත්තියට ඇදගෙන යාම මෙම රවටල වෙසෙන සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් සිදු කරනු ලබන්නකි.

එලෙස මෙම ව්‍යාපෘතියට එන මෙම යුවතියන් නිශ්චිත කාලයක් ජීවත්වන්නේ සුරඟනන් ලෙසටය. එහෙත් මෙවන් සුරඟනන් බොහෝ දෙනා අන්ත අසරණ පවුල්වල අයවෙති. කුල පීඩනය, ආර්ථික පීඩනය දරාගත නොහැකිව මහ මඟට පිලිපන් අයද කුලයෙන් නෙරපීමෙන් පසු අතවරයට ලක් වූ යුවතියෝද ඒ අතර වෙති. තවත් සමහර ළාබාල දැරියන් ඈත දුෂ්කර ගම්මානවල පදිංචි දෙමාපියන් රවටා පැහැරගෙන එනු ලැබු අයවෙති.

බිමට වැටුණු සුරඟනන් කෘතිය ඇසුරෙන් සැකසු එම ලිපි පෙළ ගණිකා මඩම් හා ලිංගික වෙළදාමේ නියුතු තැනැත්තන්ගෙන්ම ලබාගත් තොරතුරු මත සම්පාදනය වී තිබේ. මෙම කෘතිය ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 14 දෙනකු විසින් රචනා කරන ලද්දෙකි.

ලිංගික වෙළඳාම, ළමා ගණිකා වෘත්තිය, ගණිකා මඩම් සංස්කෘතිය ගැඹුරින් විමසා බලන්නට මේ කෘතිය උත්සාහ දරා ඇත. බොහෝ මාධ්‍යවේදීන් මෙවන් බියකරු ගුප්ත ලෝකයක සැරිසරන්නට බිය වන්නේ මත්ද්‍රව්‍ය, පාතාලය හා මැරකල්ලි මේ පිටුපස ක්‍රියාත්මක වීම නිසාය.

බිමට වැටුණු සුරඟනන් තුළින් ඔබ කියවන මේ අහිංසකාවියන් ගේ කතා අපේම සමහරක් සොයුරියන් ගේ කතා හා සමාන නොවන්නේද?

පාරමී කියන්නේ රූමත්කමින් අගතැන්පත් ගැහැනියක්.ඇය ඇත්තෙන්ම හින්දි චිත්‍රපටියක ප්‍රධාන නිළියකට සමානයි. ඒත්.. පාරමී ගේ ජීවිතයෙත් කඳුළු ගංගාවක්ම තියෙනවා. අපි හැමෝගෙම ජීවිතවල කඳුල දුක සතුට සම සමව බෙදිල ගියාට පාරමීගේ ජිවිතයේ නම් ඉතිරිවෙලා තිබුණේම කඳුළු විතරමයි.

රාමනාදන්පුරම් කියන්නේ මධුරෙයි නගරේ ඉඳල කිලෝමීටර දහයකට විතර එහායින් තියෙන දුම්රිය පොලක් ආසන්නයේ තියෙන ගමක්. ගොඩාක් කෝවිල් වගේම සාස්තර කියන ඇත්තත් ඉන්න නිසා හුඟාක් සෙනඟ මේ පැත්තේ ගැවවෙසනවත් වැඩියි.

“බාධුජි ආරම්” කියල හැඳින්වෙන මගල් නිවාසයක තුන්වැනි මහලේ ඉන්න කාන්තාවන් කට්ටයක් එක්ක තමයි මට පාරමී හම්බ වුණේ. “ඔයාගේ ගම කොහේද”

මම එයාගෙන් ඇහුවා.

“මං ඉපදුනෙත් හැදුනෙ වැඩුනෙත් ඌටීවල. එයා එහෙම කියද්දී එහෙනම් ඇයි ඔයා මෙච්චර දුරක් ආවේ.... කියලා මම එයාගෙන් ඇහැව්වා.

මං ඇහුවේ ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. “ඌටි වල තමයි ගොඩාක් සුව පහසුව විඳින්නත් ජීවත් වෙන්නේ. හුඟාක් චිත්‍රපට රූගත කරන්නෙත් ඌටි වල සිසිල චමත්කාරය, සුන්දරත්වය මේ ඔක්කොම ඌටිවල තියෙනවා. තවත් වැදගත්ම කාරණයකුත් තියෙනවා. ඌටිවල තමයි ඉන්දියාවේ කාන්නාවන් ඉන්න පළාත...

මගේ ප්‍රශ්නෙන් පස්සේ පාරමී කතා කරන්නට පටන් ගත්තා.

“අපේ ගෙදර හිටියේ මල්ලියි මමයි විතරයි. තාත්තා කම්කරු රස්සාව කළේ. අම්මා කෝවිලක වැඩට ගියා. මට බොහොම අමාරුවෙන් තමයි ඉගෙන ගත්තේ. අපේ ගේ අද්දරම තිබුණා ලස්සන දිය පාරක්. බොලිවුඩ් චිත්‍රපට වල රූගත කරන්න එන අය මෙතැන නැවතිලා යන්න ගොඩාක් ආසායි. මල්ලියි මමයි මසාල පාල් (කරදමුංගු, කජු, මිදි ආදිය එකතු කරනු ලැබු කිරි) එයාලට හදලා දීලා සල්ලිත් හොයාගත්තා. අපේ පුංචි බිස්නස් එක ඩිංග ඩිංග ඩිංග සරු වුණා. සීසන් එකට (දෙසැම්බර් ජනවාරි) ගොඩාක් අය මෙතැනට ආවා. එහෙම ආපු කෙනෙක් තමයි විජේරාජ්....

“එයා කවුද බිස්නස් කරන කෙනෙක්ද”

මං පාරමීගෙන් ඇහුවා.

“ එයා තමයි මගේ ලස්සන ජීවිතේ සම්පුර්ණයෙන්ම විනාශ කළේ.”

පාරමී ගේ ඇස්වල කඳුළු හිරවෙලා දෝරේ ගලන්න ඔන්න මෙන්න.

“ එයා බිස්නස්කාරයෙක් නෙවෙයි. මෙතැනට චිත්‍රපටයක් කරන්න හදපු කණ්ඩායමක හිටපු කැමරා අධ්‍යක්ෂවරයෙක්...

“ඉතින් ඔයා චිත්‍රපටයකටවත් ගන්න එයා ඉඩ සලස්වලා දුන්නද?”

“ආයෙත් මං එයාගෙන් ඇහුවා... “

“එයාල දවස් ගානක් මේ දියපාර ගාව ෂුටින් කළා. අපේ කඩේවත් ආවා ගියා. එහෙම යන අතරේ එයාල මාත් මල්ලිත් එකකලා හොඳ මිතුරු වුණා.

“පාරමී” ඔයාට ගොඩක් ලස්සන ඇස් දෙකක් තියෙනවා. මේ ෆිල්ම් එකේ රඟපාන එවුන්ට වඩා ඇත්තටම ඔයා ලස්සනයි. කැමති නැද්ද ටෙලි නාට්‍යක හරි චිත්‍රපටයක හරි රඟ පාන්න.”

විජේරාජ් මගෙන් ඇහුවා.

ගමේ හිටපු මං වගේ කෙල්ලකට ඒ වගේ පිනක් හිනකින්වත් හිත්නන පුළුවන් ද? මං ඒක අපේ අම්මටත් කිව්වා. මල්ලිත් ගොඩාක් සතුටෙන් හිටියා.

“ඒත් අම්මා නම් කිව්වේ අනේ පුතේ උඹ තාම පොඩියි පරිස්සම් වෙයන් කියලයි.” සතියකට විතර පස්සේ ලස්සන පොඩි කාරෙක විජේරාජුයි තවත් නිළියකුයි ඩ්‍රැයිවර් කෙනෙකුයි අපේ ගෙදරට ආවා. පාරමී අපි ළඟදී ටෙලි ඩ්‍රාමා එකක් කරනවා. එකේ අපිට නිළියන් දෙන්නෙක් ඕන වෙලා තියෙනවා. අනුපමා තමයි ඒ එක්කෙනක් අනිත් කෙනා තමයි ඔයා. මං කිව්වනේ මං ඔයාව කවදහරි ඇක්ට්‍රස් කෙනෙක් කරනවා කියලා. විජේරාජ් සිනාසෙමින් කිව්වා. එදා අපේ අම්මත් මමත් මල්ලිත් එකතු වෙලා රස කෑමක් හදලා විජේරාජ්ටත් අනිත් කට්ටියටත් කන්න දුන්නා.

“හොඳයි අපි අදට යනවා. තව දවස් දෙකින් හරියටම අපි එනවා. ඌටී රම්‍ය භවන් වලට යන්න ඔයාව එක්කගෙන සතියක් අපි එහේ ඉන්නවා. අම්මාගෙනුයි තාත්තාගෙනුයි අවසර අරගෙන ඉන්න.”

“එහෙම කියපු විජේරාජ් අපේ අම්මගේ අතට රුපියල් දාහකුත් දුන්නා. දුවට හිඟපාඩු ඇතිනේ සල්වාර දෙකකුත් සාරියකුත් ගන්න” විජේරාජ් අම්මාට එහෙම කිව්වා.

“මට දරාගන්න බැරි සතුටක් ආවා. එක් එක දේවල් මගේ හිතේ වැඩ කළා. නිළියෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද?ඒත් දෙවියෝ ඒක මට මගේ අත් දෙකටම ගෙනත් දුන්නාමම විජේරාජ්ට කොයිතරම් ණය ගැතිද මට කවදහරි රඟපාලා හම්බවෙන සල්ලිවලින් එයාට ෂර්ට් එකක් අරගෙන දෙනවා. මට එහෙම හිතුවා. “එතකොට ඔයා විජේරාජ්ට හිතෙන් ආදරය කළා.”.?

මං පාරමී ගෙන් ඇහුවා.

“ඇත්තටම ඔව් එතකොට මගේ වයස අවුරුදු දහ අටයි. ඒ වෙනකොට ඕනෑම කෙල්ලෙක් ගේ හිතේ ආදරයක් මෝදු වෙනවා. මටත් ලොකු ආදරයක් විජේරාජ් ගැන ඇතිවුණා. එයා මට කරපු උදව්වත් එකට ගොඩක් බලපාන්න ඇති.”

“සතියකට විතර පස්සේ අපි ඌටිවල ලස්සනම කෝවිල් තියෙන “රම්‍ය භවන්” වලට ආවා. මටත්, විජේරාජුත් අනුපමාත් තවත් ගොඩාක් දෙනෙක්. මට එයාගේ නඩේ හිටපු කට්ටිය විහිළු කළා. “ආ ආ විජේරාජ්ට අළුත් හඳක් පායලා වගේ නේද කියලා,” මට මේවා තේරුණේ නැහැ. මටත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක ඉස්කොලේ යන ගමන් පේ‍්‍රම කරන්නට පටන් ගත්ත පුංචි කෙල්ලෙක් ගේ චරිතයක්. මට පුළුවන් තරම් හොඳින් එයාල කියලා දෙන විදිහට රඟපෑවා.

“යු ආර් එක්සලන්ට් ගර්ල්” විජේරාජ් මගේ අතින් අල්ලගෙන කිව්වා. අනුපමාත් මට සුබ පැතුවා. එදා රෑ අනුපමාත් මමත් නිදාගත්තේ එක කාමරේක. “විජේරාජ් ගොඩාක් හොඳ කෙනෙක්. එයා හරියට අනුන්ට උදව් කරන කෙනෙක් මිනිහා ලස්සන කෙල්ලටන්ට නම් ගොඩාක් කැමතියි.” එයා කිව්වා. “ඒ කිව්වේ එය නරක කෙනෙක්ද?” මං අනුපමාගෙන් ආයෙත් ඇහුවා. නෑ පාරමී එහෙම නොවෙයි එයා දක්ෂ අයට රඟපාන්න පුළුවන් අයට උදව් කරනවා. එකයි අනුපමා කිව්වා.

“සතියකට විතර පස්සේ මං ගෙදර ආවා. එහෙම එනකොට රුපියල් දහ දාහක් විජේරාජ් මට දුන්නා. මේක මට මුළු ජීවිතේදීම හම්බ වෙච්ච ලොකුම මුදල “ඔයාට ගොඩාක් ස්තූතියි විජේරාජ්” කියලා මම එයාට කිව්වා. හරි සතියකට පස්සේ ආපහු අපි “අමරපුරම්” වලට යමු ඔයා හරියටම ලබන සඳුදා ලැස්තිවෙලා ඉන්න. එයාල ආපු වාහනේ ඈතට යනතුරුම මං බලාගෙන හිටියා. ඇත්තටම විජේරාජ් කොයිතරම් හොඳද?

අම්මාත් මල්ලිත් ගමන ගැන ගොඩාක් තොරතුරු මගෙන් ඇහුවා. මගේ කටත් රිදුනා ඒ තොරුතුරුම කියලා. ලබන සතියේ කොච්චර ලස්සන දේවල් සිද්ධ වෙයිද? ඒත්.... එදා රෑ එකපාරටම අම්මා රාත්‍රියේම අවදිවෙලා මගේ ඔළුව අතගෑවා.” ඇයි අම්මේ, මං අම්මාගෙන් ඇහුවා. දුවේ මං දැක්කා තාරුකා ගොන්නක් එක පාරටම අහසෙන් බිමට කඩාගෙන වැටෙනවා. ඒක භයානක හීනයක් දුවේ. අම්මා ගොඩාක් බයවෙලා හිටියේ... අම්මා බයවෙන්න එපා. ඔය හීතලට පේන දේවල්. මම එයාව අස්වැසුවා.”

සඳුදා දවසත් උදාවුණා. පුංචි කාර් එකෙන් අනුපමාත් විජේරාජුුත් අපේ ගෙදරට ආවා. මං ඇඳුම් බෑග් එකත් අරගෙන කාරෙකට නැග්ගේ අම්මා ගේ කකුල් දෙක අල්ලලා දෙවියන්ගේ ආශිර්වාදයත් අරගෙන. “පරිස්සමින් මගේ පුතේ.... අම්මා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන කිව්වා.”

අමරපුරම් වල අපි ගත කරපු දෙවන දවසේ රාත්‍රියේ මාව කාමරේ තනි කරලා දාලා අනුපමා එයාගේ ලැප්ටොප් එක අරගෙන එළියට ගියා. මං නිදාගත්තා. රෑ දොළහට විතර කවුදෝ කෙනෙක් මගේ කොණ්ඩේ අතගානවා දැනිලා එක පාරටම ගැස්සිලා මට ඇහැරුණා. “දෙයියනේ විජේරාජ් මේ මොකද මහ රෑ මගේ කාමරේ ඔයා... මම එයාගෙන් ඇහුවා. “බයවෙන්න එපා පාරමී... මේ ෆිල්ඩ් එකේදි රැයක් දවාලක් නැහැ. දැන් තමයි මට නිදහසක් හම්බ වුණේ. “එතකොට කෝ අනු... මම එයාගෙන් ඇහුවා. මම අනුපමාට කිව්වා එහා කාමරේට යන්න කියලා විජේරාජ් කිව්වා.

“මොනවා ඒ ඇයි මොකටද ඔයා එහෙම කළේ? “ මම බයෙන් ඇහුවා. “මට ඔයත් එක්ක නිදහසේ කතා කරන්න ඕන.” කියපු විජේරාජ් මාව තුරුල් කර ගත්තා. මාව දඬු අඬුවකට හිරවුණා වගේ වුණා.... මගේ ජිවිතයේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඔක්කොම එදා පොඩි පට්ටම් වෙලා ගියා. පහුවෙනිදා පාන්දරම මං අඬ අඬා ඉන්නවා දැකපු විජේරාජ් “අනේ පැටියෝ දැන් මං ඔයාගෙ නේ.

ඔය කඳුළු පිහිදාගෙන ෂුටිං වලට යන්. දැන් අපි දෙන්නම එක් කෙනෙක්. දිගටම මං ඔයත් එක්ක ඉන්නවනේ...” මම බයවුණා ගොඩාක් හදිසියේ හරි විජේරාජ්ට තරහ ගියොත්. මාව දාල ගියොත් මං මොනව කරන්නද? මං එයා කියන විදියට ඉන්න තීරණය කළා. ඒත් පහුවෙනිදා අනු මගෙන් ඇහුවා. “කොහොමද ඊයේ රාත්‍රිය විජේරාජ් ඔයාගේ කාමරේ නේද නිදා ගත්තේ.

ඔයා කොහොමද දන්නේ?

මං අනුගෙන් ඇහුවා.

“පාරමී ඔයා වගේම මටත් ඔය විදියටම විජේරාජ් එක්ක ඉන්න සිද්ධ වුණා. එහෙම නැතිනම් මේ ෆීල්ඩ් එකේ ඉන්න අමාරුවෙනවා.” අනුපමා එහෙම කිව්වාම මට මං ගැනම ලොකු කලකිරීමක් ආවා.

සවස විජේරාජ් හම්බ වුණහම මං කිව්වා මට ගෙදර යන්න ඕන කියලා.

“මොනවා, ඇයි මේ.. හදිසියේම විජේරාජ් කලබල වෙලා ඇහුවා.”

මගේ ජීවිතේ ඉවරයි මට ගෙදර යන්න ඕන.... මං තදින්ම කිව්වා. හරි හරි යං ඉක්මනට ඇඳගන්න. එයා කිව්වා. මමත් ඇඳගෙන කාරෙකට නැග්ගා කාරෙක ගියේ ඌටි වල තියෙන පටු පාරක... මට දැන් ගෙදර යන්න බැහැ. විජේරාජ් දන්නවනේ මොකද කාරණේ කියලා. ඒ හින්දා ඔයා මාව බඳින්න ඕන. නැත්තම් මං මොනවා හරි කරගෙන මැරෙනවා. මං හිතේ ආවේගය දරාගෙනම කිව්වා. ටිකක් වෙලා කල් ගත කරපු විජේරාජ් හරි හරි අපි මං දන්න යාළුවෙකුගේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. එකේ ඉඳලා පහුවෙනිදා ගමට ගිහිල්ලා රෙජිස්ට්‍රාර් හම්බවෙමු.

“මට විජේරාජ් ගැන ආදරයක් ඇති වුණා. අනේ මගේ දෙවියෝ මාව අමතක කරන්න එපා. මාව මැරෙයි. මම හීන් හඬින් කිව්වා. අපි විජේරාජ්ගේ යාළුවෙක්ගේ නවාතැනට ආවා. එයා මාව කාමරයකට එක්කගෙන ගියා. ඔයා වොෂ් එකක් ගන්න මම කාර් එක පාර්ක් කරලා එන්නම්. එහෙම කියපු විජේරාජ් පහළට ගියා. වාහනය ස්ටාට් කරනවත් මට ඇහුණා.

මම නාන කාමරයට ගියා. නාගෙන ආපහු ආවත් විජේරාජ් පෙන්න හිටියේ නැහැ. ටික

ව්ලාවකින් සුදු සරමක් ඇදගත්තු උස මහත නපුරු මිනිහෙක් මගේ කාමරයට ආවා. “නිළියක් ලූ නේද?” බොහොම ලාබාලයි නේ...” එහෙම කියපු ඒ මනුස්සයා මාව පෙරල ගත්තා. “අත ඇරපං වනචරයා මාව මම කෑගහල කිව්වා. “වනචරයා අපි නොවෙයි වනචර උඹලා චිත්‍රපටි කාරයොත් එක්ක මගුල් නටලා වැරදුනාම උන් අපිට උඹලව විකුණනවා උඹලාව සල්ලි දිලා ගත්තු අපිද වනචරයෝ නැත්නම් විකුණනු උඹලද වනචරියෝ?” ඒ මහත මිනිහා මගෙන් ඇහුවා.

සතියක් විතර ඒ රෙසටොරන්ට් එක අයිතිකාර මිනිහා ගෙන් මං අනන්ත දුක්වින්දා. ඊට පස්සේ කාමරයක් මට දුන්නා. කෑම බිමත් දුන්නා. මීට පස්සේ උඹ ගාවට එන කස්ටමස්ලාට හොඳින් සලකපන්. ඒකෙන් කොමිස් එකක් උඹට දෙන්නම්. විජේ උඹව රුපියල් 50,000කට මට විකුණලා ගියා. ඌ හොඳ එකා. උඹ වගේ චිත්‍රපට නිළියෝ කී දෙනෙක් ඌ මට විකුණල තියෙනවද මේ හෝටලේ අයිතිකාරයා මාත් එක්ක කිව්වා. එදා ඉඳලා මේ ජරා ජිවිතේ මං ගත කරනවා. මහත්තයා. පාරමී මුණ බදාගෙන අඬනවා...

මට පාරමීගේ කඳුළු කතාව අහල ඉවර වුණ ගමන්ම මතක් වුණේ එයාගේ අම්මා දැක්ක අර හීනේ... තරු කඩාගෙන බිමට වැටෙන එක... “අපේ ජීවිත වල අපි හිතාගෙන ඉන්න ප්‍රාර්ථනා බලාපොරොත්තු අර තරු වගේ එක පාරටම බිමට කඩාගෙන වැටුණොත් ආයෙත් ඒ තරු පොකුරු අහසේ උඩට ගෙනියන්න අපිට කොයිතරම් නම් අමාරු වෙයිද?

නිදා ගත්තේ ?

ඩබ්ලිව්.ඒ.සරත්චන්ද්‍ර