ඊවා මැරුවේ ඇයි ?

 ඊවා මැරුවේ ඇයි ?

තණපත් තුඩක දිදුලමින් සිටින පිනි බිඳක් හිරු පායා එද්දී වියලිව නොපෙනී යන්නාක් මෙන් ජීවිතය ද පිනිබිඳක් සේ දිනක වියැකී යන්නේ නොසිතූ මොහොතකය.

එලෙසම තවත් කෙනකු මෙලොවින් තුරන් කර අප ලබන විමුක්තිය කුමක්ද? සංසාරයේ කොතැනකදී හෝ දවසක අපට එහි වන්දිය ගෙවීමට සිදු නොවේ යැයි සිතිය හැකිද? එසේ නොමැති නම් මෙලොවදීම දිට්ඨ ධම්මවේදනීය කර්මයට අනුව එහි පළ විපාක විඳින්නට සිදු වනු ඇතිද? අප බිය විය යුත්තේ ඒ පාපයටය.

මෙලොව වසන ඕනෑම ප්‍රාණියකු තම ජීවිතයට ආසා කරයි. “සබ්බේ සං ජීවිතං බියං” යන බුදු වදන ලොව හැම කාලයකටම වලංගුය.

ඇල්පිටිය පොලිස් වසමේ ජීවත් වූ ඊවා චාන්දනී නම් 42 හැවිරිදි ඇය එක් දරු මවක් වූවාය. ඇය විවාහ වී තිබුණේ බූස්ස නාවික කඳවුරේ සේවය කළ දිනේෂ් වීරරත්න නම් නාවික සෙබළා සමඟය. එහෙත් ජීවිතයේ අඳුරු ඉසව්වකට ඊවාගේ ජීවිතය තල්ලු කර දමා ඔවුන්ගේ යුග දිවියට කනකොකා හඬන්නේ ඇය මිය යන්නට වසර 13කට පෙරදී අවාසනාවන්ත ලෙසය. දුර බැහැර සේවය කළ දිනේෂ් බූස්ස නාවික කඳවුරට මාරුවක් හදාගෙන එන්නේ ඔවුන්ගේ දියණිය පාසලට ඇතුළත් කිරිමේ පී‍්‍රතිය ඇතිවය. එහෙත් ඔවුන් හා උරණ වූ ඔවුන්ගේ දෛවය ඔවුනට අකාරුණිකවන්නේ නොසිතූ මොහොතක සහාසික වෙමිනි. ඔවුන් දෙදෙනාම එක දවසක් නිවෙසින් බැහැරට යන්නේ දියණියගේ පාසල් ගමනට අවැසි ලියකියවිලි සකස් කර ගැනීමටය. එවන් ගමනකදී දෙදෙනා ගමන් කළ යතුරු පැදිය කතරගම බලා ගිය බස් රථයක වැදී අනතුරට ලක්වන්නේ ඉතා බිහිසුණු අනතුරක් බිිහි කරමිනි. ඒ අනතුරින් පාදයක් බිඳී ගියද ජීවිතය රැක ගැනීමට ඊවාට වාසනාව තිබුණි.

එහෙත් ඇගේ සැමියා ජීවිතයෙන් සමුගත්තේ කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය. එතැන් පටන් ශෝචනීය මතකයන් අතර සිරගතවන ඊවා තම සැමියා මත්තේම ජීවිතය ගත කරමින් අනාගතයට මුහුණ දුන්නේ තම එකම දියණිය හදා වඩා ගනිමින්ය. ඇයට කෙතරම් යෝජනා ආවත් ඇය නැවත විවාහයකට හිත හදාගත්තේ නැත. තම සහෝදර සහෝදරියන් ගේ ඇප උපකාර ඇතිව ඇය දියණිය වෙනුවෙන්ම ජීවත් වූවාය. අනතුර සිදුවීමෙන් පසු ආබාධිත වූ පාදය සුවපත් වුවත් එහි අඩුව එලෙසම තිබිණි. එහෙත් ජීවිතයට ලැබුණු සියල්ල දෝත පා පිළිගත්තා මිස ඇය එයට එරෙහි වුයේ නැත. රිදවු වේදනාබර මතකයන් අතැතිව ජීවිතයෙන් ටිකෙන් ටික ගෙවී ගියේ පියඹා යන කාලයත් සමඟම ය.

දැන් ඊවාගේ දියණිය මධුහංසි ද ලොකු මහත් වූ තරුණියකි. පිය සෙනෙහස අහිමිව ගියද ඇගේ ලෝකය පිරී තිබුණේ අම්මාගේ උණුසුම තුළය. කාමර තුනකින් සමන්විත නිවෙසෙහි ඉදිරිපස කාමරය පාවිච්චි කළේ ඊවා චාන්දනීය. ඊට යාබද කාමරය දියණියගේය. ඊට ඈතින් පිහිටි කාමරයේ ඊවාගේ වයෝවෘද්ධ මවත්, ඊවාගේ බාල නැගනියත් දියණියත් පදිංචි වී සිටියහ. මේ කාමරවල දොර පියන් දමා තිබුණ ද ගි‍්‍රල් කම්බි දමා තිබුණේ නැත.

ගෙවී ගිය බිිහිසුණු මොහොතක දහවලේම ඊවාගේ ගෙල කැපී ගියේ කිසියම් ඝාතකයකු අතින්ය. ඇගේ ගෙල කැපී ගලා ගිය රුධිර ධාරා සිරුර දිගේ බිමට රූටා යද්දී ඇය හඬා නඟාගෙන සාලයට එනු දුටුවේ ඇගේ දියණියයි. කාමරයට පිවිසි ඝාතකයා ගි‍්‍රල් යකඩ නොමැති ජනේලයේ පියන විවරකරගෙන ඇවිත් ඔහුට අවැසි ‘බිල්ල’ ගෙන තිබුණි. ඔහුගේ ඉලක්කය සපුරාගෙන ඉදිරිපස දොර විවරකරගෙන ඔහු පලා ගිය අයුරු පෙනේනට තිබුණි.

“මගේ බෙල්ල කැපුවා. හොරෙක් මගේ බෙල්ල කැපුවා. අනේ මට වතුර ටිකක් දෙන්න. ලේ ගලන තුවාලය අතින් මිරිකාගෙන ඊවා අවසිහියෙන් මෙන් විලාප නැගුවාය. මවට වූ විපත දුටු දියණිය ඇය වහාම වාරුකොට පුටුවක ඉන්ඳ වූවාය. දියණිය අතින් ගෙනැවිත් දුන් දිය බඳුන ඇය බීගෙන බීගෙන ගියාය.

“කවුද අම්මේ මේ අපරාදෙ කළේ.” දියණිය හඬමින් අම්මාගෙන් විමසුවද ඇය සිටියේ පිළිතුරක් දීමටවත් නොහැකි තත්ත්වයක බව දියණියට වැටහී ගියාය.

119 ඔස්සේ මීටියාගොඩ පොලිසියට ඇමතුමක් ලැබෙද්දී තෙල්වත්ත. මැටිවල, අංක 54 දරණ නිවෙසේ පංදිචිව සිටි ඊවා චාන්දනී අතිශය වේදනාබර ලෙස බිහිසුණු ඝාතනයක් උරුමව අවසන් හුස්ම හෙළා තිබුණේ අනුවේදනීය ලෙසය. පොලිසිය පැමිණ විමර්ශන කටයුතු අරඹන විටත් සිද්ධිය වී එතරම් කාලයක් ගත වී නොතිබිණි. ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා පැමිණ මරණ පරීක්ෂණය පවත්වා සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය. ඇල්පිටිය සොකෝ අංශය ද පොලිස් නිල සුනඛයන් ද කැඳවා තිබිණි. නිල සුනඛයන් කැඳවා යම් තොරතුරක් ලබාගත හැකි දැයි විමසා බැලුව ද සොයාගත හැකි යමක් නොවීය.

ඝාතකයා පැන යද්දී ඇගේ ජංගම දුරකථනය ද රැගෙන ගොස් තිබුණි. ඒ දුරකථනයෙහි සිම්පත් දෙකටම ඇමතුම් දුන්නද ඒවා ක්‍රියා විරහිත කර තිබුණි. ඇගේ ගෙලට අමතරව මුහුණෙහි හා නිකටෙහි තුවාල දක්නට ලැබිණි. ඇගේ ඝාතනය සිදු වී ඇති ආකාරය ය ම් යම් සැක සංකා ගෙනදෙන්නක් විය. එහිදී පොලිසියට නිරීක්ෂණය වූ බොහෝ දේ විය. ඊවා ඝාතනය කිරීමෙන් යම් ප්‍රතිලාභයක් හිමිවන අයකු විසින් මෙය කළ යුතු බවට පොලිසියේ නිගමය විය. ඇගේ ගෙල බැඳි සුරය කැපී වැටී තිබුණේ ඇඳ මතටමය. ඉන් වැටහෙන්නේ ඇගේ ගෙල කපා ඇත්තේ ඇඳමත නිදා සිටියදී බවය.

එකිනෙකට පරස්පර තොරතුරු ඇගේ මරණය සිදු වූ ස්ථානයෙන් හෙළි දරව් වෙද්දී පොලිසිය තවත් පැතිකඩ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන්නට යෙදිණි.

“මීට අවුරුදු දෙක තුනකට කලින් ඉඳන් අක්කට ප්‍රශ්න එන්න ගත්තා. ඒකට මුල් වුණේ අක්කා දන්න හඳුනන අක්ක කෙනක් එයාගේ ෆෝන් එක දීලා තිබුණා කෝල් එකක් ගන්න. එයාගේ මල්ලිට. ඊට පස්සේ යාළුවාගේ මල්ලි අක්කට දිගට හරහට කෝල් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අක්කට ප්‍රශ්න ඇතිවුණා. වෙන අය දාලාඅක්කට අපහාස කරනවා කිව්වා.” එලෙස කීවේ ඊවාගේ නැගණියකි.

“ටික දවසකට කලින් ඉන්ද්‍රනි නැන්දගේ නෑනා කාන්තියි තව ගෑනු කෙනකුයි පිරිම කෙනකුයි ආවා. කාන්ති කියන කෙනා ගෙට ඇවිත් මුළු ගේ හැම තැනම ඇඳන් යට පවා කාවද හෙව්වා. මගේ මිනිහ මේ ගෙදර තියාගෙන ඉන්නවද කියලා අපි බැලුවේ කියලා යන්න ගියා. අම්මා කිව්වා අපි පොලිසි යනවා කියලා. ඒ ගොල්ලො කිව්වා එපා. අපි පොලිසි ගිහිල්ලයි ආවෙ කියලා. ඒත් අපි පහුවෙනිදා ඉඳලා බලාහිටියා පොලිසියෙන් එයි කියලා. ආවෙ නැහැ. ඊට පස්සේ අපට ඒක අමතක වෙලා ගියා.”

තම මවගේ අවසානය දෙනෙත් ඉදිරියේ දකින්නට තරම් අවාසනාවන්ත වූ ඊවාගේ දියණිය හඬමින් කීවාය. කාන්ති නම් කාන්තාවගේ සැකය වී තිබුණේ ඇගේ සැමියා හා ඊවා අතර අනියම් සබඳකමක් ඇති බවටය.

ඊවාගේ ඝාතනය ගැන පරීක්ෂණ පැවැත් වූ පොලිසියට බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී තිබිණි. ඝාතනයට උපයෝගී කරගත් පිහිය ද හමුවිය. අපරාධකරු ඇසින් දකින්නට හැකි සාක්ෂි ඉතිරිකර නොතිබුණද විද්‍යාත්මක සාක්ෂි මකා දමන්නට හැකියාවක් ඔවුනට නැත. ඊවාගේ ඝාතනය පිටුපස ඇති කතාව මේ වන විටත් පොලිසිය හෙළි දරව් කරගෙන ඇත. අපරාධයක් සදා කාලිකව වසන් කළ නොහැකිය. මිනීමරුවාට ද කිසිදා සුවබර නින්දක් ලැබිය නොහැකිය. බියෙන් සැකෙන් කම්පාවෙන් දැවි දැවී ජීවත්වීමට සිදුවේ. එය මැරුණ හා සමානය.

මෙම පරික්ෂණ සඳහා ඇල්පිය සොකෝ අංශයේ පොලිස් පරීක්ෂකවරුන් වන ජයවීර, චන්දිමාල් ද, නිල සුනඛ අංශයේ සැරයන් (28855) හරිස්චන්ද්‍ර මෙහෙයවන (793) නිල සුනඛ ලීසා ද, ඇඟිලි සලකුණු අංශයේ සැරයන් (7702) වික්‍රමසිංහ ද එක්ව සිටියහ.

ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී ආනන්ද වීරසේකර, සහකාර පොලිස් අධිකාරී ඪඪ විජිත රණබාහු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මීටියාගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සුසන්ත කුමාර ප්‍රමුඛ අපරාධ අංශය පරීක්ෂණ වල නියැලී සිටිති.

නන්දි අලුත්ගේ රත්නවීර