'රාමා' හිරගෙදරට 'මහතුන්' වළපල්ලට

'රාමා' හිරගෙදරට 'මහතුන්' වළපල්ලට

මහතුන් අයියා මැරුවාට මීගහතැන්න පොලිසිය රාමාට මාංචු දැමීය.

වත්ත උඩින් වැටුණු අඩි පාරෙන් යන්නට එන්නට ඉඩ දී තිබියදී බීමතිඩ් පැමිණි රාමා මහතුන් අයියාට හයිකාරකම් පෙන්වීමෙන් මේ දෙදෙනා අතර හබයක් ඇති විණි. ඒ පසුගිය 4 වැනිදා සවසය. මේ බහින් බස් වීමෙන් උරණ වූ රාමා ගිනිකූරු ලීයකින් මහතුන්ගේ හිසට පහර දුන් බව හෙළිවන්නේ කඳු ගැටයක් මතදී සිදුවූ මේ සිද්ධිය ඊට පහළින් පිහිටි කුඹුරක වැඩ කරමින් සිටි ගොවියකු දැකීමත් සමඟය.

මීට වසර ගණනාවකට ඉහතදී මහතුන් අයියාගේ බිරිය මිය ගියාය. එතෙක් අහල පහළ අය සමඟ හොඳින් ජිවත් වූ මහතුන් අයියා බිරියගේ වියෝවෙන් පසු හුඟාක් දුරට වෙනස් වූ බව ගම්මු කියති. ඇතැම්විට වෙනදාට වඩා කේන්ති ගන්නා සුළු ගතියකින් පෙළුනු හැත්තෑ තුන් හැවිරිදි මහතුන් අයියා වැඩිපුරම පටලැවුණේ අසල්වැසියකු වූ පොල් කැඩීම ඇතුළු විවිධ කුලී වැඩ කරමින් ජිවත් වූ තිදරු පියකු වන රාමා සමඟය.

රාමාගේ වයස අවුරුදු හතලිස් දෙකකි. මහතුන් අයියා හා රාමා දුරින් නෑදෑයන්ය. එහෙත් එතරම් ඇයි හොදැයියක් මේ දෙදෙනා අතර තිබුනේ නැත. බිරිය මිය යාමෙන් පසුව මහතුන් අයියා තනිව නිවසේ විසීය. මහතුන් අයියා කිසිදා අරක්කු සිගරට් භාවිතා කළේ නැත. අක්කර දෙකක් තරම් වන තේ ඉඩමෙන් ලැබෙන ආදායමෙන් කාටවත් අත නොපා හෙතෙම තනිව ජිවත් විය. ගමේ අය ඔහු මහතුන් ලෙස හැඳින්වූවද ඔහුගේ ඇත්ත නම ගමගේ බාරොන්ය.

මහතුන් අයියා එසේ වුවත් රාමා ඊට වෙනස්ය. නාහෙට නාහන අයකු ලෙස ගම්මු හඳුන්වන රාමා ඒ තත්ත්වයට වැටෙන්නේ කට ගොන්නක් බීගත්තාට පසුවය. රාමා කොතරම් නම් බීමට ඇබ්බැහි වී සිටියේ ද කියා මේ දෙදෙනා ජීවත් වූ මීගතැන්න කටුකැලේ ගම්මු අපට පෙන්වුයේ අරක්කු බෝතල් දහසකටත් වැඩි ගණනක් තැන තැන විසිරී තිබෙන රාමා ගේ ගෙවත්ත පෙන්වමිනි.

පුංචි මඩුවක් තරම්වත් සෙවණක් නැති ගරා වැටෙමින් තිබෙන රාමාගේ නිවෙසට ඒ ඉරණම අත්ව තිබෙන්නේ ද ඔහුගේ බිමත්කම නිසාය.

“රාමාට උදේට කාලක් කටේ හලාගන්නට ඕන. නැතිනම් මිනිහට නැගිට ගන්න බැහැ. ඒ ටික බීගෙන මිනිහා එක්කෝ ගස් බඩගනවා. නැතිනම් කුලි වැඩකට යනවා”

“කොහොමත් මිනිහා දවස ගානේ රුපියල් 1200ක් විතර හොයනවා. එකෙන් ආපහු අරක්කු බාගයකුත් කිහිලි ගහා ගෙන තමයි මිනිහා ගෙදර යන්නේ. අතේ ඉතිරි වෙන සල්ලිවලින් දරු තුන්දෙනාටයි ලෙඩ ගානේ ඉන්න ගැනිටයි කන්න ටිකක් අරන් යනවා. උන් එහෙම ජීවිතයක් ගෙව්වේ....”

ගම්මු මේ කියන කතාව සත්‍ය බව අපටත් පසක් විය. ලෙඩ ගානේ එක්තැන්ව සිටින රාමාගේ බිරිය තරබාරුය. ඇයට නිවෙසේ වැඩපළක්වත් හරිහැටි කරගත නොහැකිය. එක් ඇසක් ද නොපෙනෙන ඇය ගැහැනු දරුවන් දෙදෙනකු සහ බිළිඳු පිරිමි දරුවකු රැකබලා ගන්නේ රාමා බීමත්ව නැති නාස්ති කොට අන්තිමේදී ගෙදරට ගෙන එන සොච්චමෙන්ය.

ඊටත් වඩා ඛේදවාචකය වූයේ රාමාගේ බාලම දරුවා වන තවමත් වයස අවුරුදු දෙකක් තරම් වන නිසාය. ඒ බිළිදාගේ හදවතේ සිදුරකි. දරුවා ජීවත්වන්නේ ජිවිතයත් මරණයත් අතරය. ඉගෙන ගන්නා වයසේ සිටින ගැහැනු දරුවන් දෙදෙනකුගේ පියකුට ඔබින හැසිරීමක් රාමාට නැත. ඒ සියල්ල ඔහුගේ මත් වතුර ඇබ්බැහියෙන් යට වී ගොසිනි.

මේ තරම්ම ඛේදවාචක පෙළකට මැදිව ජීවත්වන රාමා පසුගිය 4වැනිදා සවසත් කටගොන්නාක් බීගෙන සිටි බවක් ගම්මු කියති. ඒ අතරවාරයේ රාමා මහතුන් අයියා සමඟත් පටලැවුණේය. ඉඳහිට ඒ දෙදෙනා අතර එවන් සිද්ධි වුවත් පසුගියදා එය දුර දිග ගියේය. බහින් බස් විමකින් පසුව මහතුන් අයියා ළඟින් මඳකට දුරස් වූ රාමා ඊට ටික වේලාවකට පසුව ආවේ පොලු කැබැල්ලක් අතැතිවය.

“රාමා මුලින් මහතුන්ගේ ඔළුවේ ඉස්සරහට ගහලා තියෙනවා. ඒ පාරට මහතුන් මුනින් අතට වැටිලා. ඒ වැටිච්ච පාර තමයි මේකා එක පිට එක මහතුන්ගේ ඔළුවට තඩිබාලා තියෙන්නේ.....,

මීගහතැන්න පහළ හෙවිස්සේ කටුකැලේ ඇතැම් ගම්මු ඇසින් දුටු දෙය එලෙස විස්තර කර තිබිණි.

මහතුන්ට පහර දී පැන යාමට රාමාට ඉඩක් ලැබුණේ නැත. ගොවියෙක් කැකෝ ගසමින් එතැනට පැමිණ රාමා අතැති පොල්ල උදුරා කැලෑවට විසිකර දැම්මේය. ඊළඟට ඔහු සිහිසුන් මහතුන් අයියාව රෝහල්ගත කරන්නට කටයුතු කරන අතරවාරයේ රාමා ද යාප්පුවෙන් එතැනින් මාරු වී ගියේය.

ගම්මු එක්වී මීගහතැන්න ග්‍රාමීය රෝහලට ඇතුළු කළ මහතුන්ව එතැනින් කළුතර මහ රෝහලට මාරු කර යැවුණේ තත්ත්වයේ බරපතලකම නිසාය. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මහතුන් අයියා එදිනම රාත්‍රි හතට පමණ අවසන් ගමන් ගියේය. මහතුන් අයියාගේ අවසන් කටයුතු සිදු කරද්දී රාමා සිටියේ කිසිත් නොදත්තෙකු ලෙසය. ඔහු ඉන් පසුවද ගස් බඩ ගැවේය. ඒ හොඳ හැටි බීමතින්ය. ඒ පැය කිහිපය ඇතුළත ගස් නැගීමෙන් රුපියල් අටසියයක් ඔහු සොයා ගත්තේය.

බොහෝවිට මේ සල්ලිත් අතමිට මොළවාගෙන රාමා ගමෙන් පනින්නට සිතුවා විය හැකිය. එය එසේ සිතන්නට තුඩුදෙන තවත් කාරණයක් වන්නේ රාමා මේ මිනිමැරුම් සිද්ධිය හා සම්බන්ධ වැදගත්ම නඩු භාණ්ඩයක් වන මහතුන් අයියාට පහරදුන් පොලු කැබැල්ල ද සැඟවීම නිසාය.

මහතුන් අයියාට පහර දුන් තැනදී ගැමියෙක් රාමා අතින් උදුරා ගත් පොල්ල ඒ ළඟ කැලෑවට විසිකර දැමීය. නමුත් පසුව ආපිට අපරාධ ස්ථානයට පැමිණි රාමා එය එතැනින් ගෙන ගොස් වෙන තැනක සැඟ වූ බව සොයාගත්තේ කැලෑ වැඳිි සිටි රාමාව මීගහතැන්න පොලිසිය එදිනම රාත්‍රිය වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුවය.

මේ වන විට රාමාගේ බිරිය ඔවුන්ගේ අතු පැළත් අතහැර දරුවන් ද රැගෙන ගමෙන් පිටව ගොසිනි. තනිව ජීවත් වූ මහතුන් අයියාට ද දරුවන් නොවීය. මේ නිසා මහතුන්ගේ දේහය බාර ගැනීමට කෙනකු වුවමනා විය. ඊට ඉදිරිපත් වුයේ මහතුන්ගේ සොහොයුරාගේ දරුවන් පිරිසය. ඔවුහු මහතුන්ගේම වත්තේ කොනක දේහය මිහිදන් කළහ.

දැන් රාමා මහඋළු ගෙදරය. මහතුන් අඩි අටක් යට මහ පොළොවේය. රාමා වත්ත උඩින් යන එනවාද බලන්නට මහතුන් කෙනකු දැන් ඉතිරිව නැත. මහතුන් සමඟ පැටලී පැටලී ජීවත් වන්නට රාමා කෙනකු ද නැත. දවස පුරා බීමතට හුරු වූ රාමා මෙයින් වත් පාඩමක් ඉගෙන ගනිදැයි සැක සහිත බව කටුකැලේ ගම්මු කතාවෙති.

කළුතර කොට්ඨාශය භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්නගේ අධීක්ෂණය යටතේ මීගහතැන්න භාර සහකාර පොලිස් අධිකාරි පළිහවඩන ගේ උපදෙස් මත මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපති එම්.එම්. ජේ ආරියවංශ ප්‍රමුඛ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සෙනවිරත්න ඇතුලු සැරයන් 54768 විජේදාස කොස්තාපල්වරුවන 54768 බුද්ධදාස, 33052 ක්‍රිශාන්ත, 34449 ඒකනායක, 82450 කුමාර ආදීහූ වැඩිදුර විමර්ශනවල නිරතව සිටියහ.

- නුවන් මහේෂ් ජයවික්‍රම