හොරුත් අල්ලන කුඩුත් හොයන “ජෝයි”

හොරුත් අල්ලන කුඩුත් හොයන “ජෝයි”

අවිස්සාවේල්ල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවයේ යෙදී සිටින “ජෝයි”ද එවැනිම දක්ෂතා රැසකින් සමන්විත සුනඛ දේනුවකි.

බෙල්ජියම් මැලනොයිස් වර්ගයට අයත් ජෝයි මුලින්ම පුහුණුකර තිබුණේ මත් ද්‍රව්‍ය සෙවීම සඳහාය. ඇය.... ඒ කාර්යය ඉතා හොඳින් සාර්ථක ලෙස කරගෙන යාම හේතුවෙන් ඇයට තවත් අංශයක පුහුණුවක් ලබාදීමට පොලිස් නිල සුනඛ ඒකකයේ බලධාරිහු කටයුතු කළහ.

ඒ අනුව අපරාධ පරීක්ෂණය සඳහා ද පුහුණු කර වූ ජෝයි දැන් අවිස්සාවේල්ල කොට්ඨාසයේ මත් ද්‍රව්‍ය මෙන්ම අපරාධ පරීක්ෂණයේ ද යෙදී සිටී. දෙවනුව ලබා දුන් පුහුණුවෙන් අනතුරුව ජෝයි ට මෙන්ම ජෝයි ගේ හිමිකරු වන කොස්තාපල් (74505) ක්‍රිෂාන්ත බණ්ඩාර ට ද වැඩ රාජකාරී බහුල වී ඇත. එහෙත්.... දෙදෙනා එක්ව ඒ සියලුම රාජකාරි අකුරටම ඉටු කරන්නේ ක්‍රිෂාන්තට විටෙක වැඩ වැඩි යැයි සිතුණත්, ජෝයි එවැන්නක් නොසිත පැවරෙන ඕනෑම රාජකාරියකට යාමට කියන ඕනෑම වේලාවක සුදානමින් සිටින නිසා විය යුතුය.

පසුගිය දිනෙක යටියන්තොට පොලිසියෙන් ක්‍රිෂාන්ත බණ්ඩාරට ඇමතුමක් ලැබිණි. ඒ.... නිවෙසක් බිඳ රුපියල් දෙලක්ෂ තිස් දහසක් වටිනා රන් ආභරණ හා රුපියල් එකොළොස් දහසක මුදල් සොරා ගැනීමේ සිද්ධියක පරීක්ෂණ වලට සහභාගී වන ලෙස දැනුම් දෙමිනි.

මෙම සොරකම සිදුව තිබුණේ යටියන්තොට පොලිස් වසමේ ගරාගොඩ ප්‍රදේශයේය. සොරකම වූ නිවෙසට සොරා ඇතුලුව තිබුණේ දිවා කාලයේදීය.

එම නිවැසියන් එදින උදේ නවය පමණ වන විට නිවෙසින් පිටව ගොස් තිබු අතර සවස දෙක පමණ වෙද්දී යළි නිවෙසට පැමිණ විට දුටුවේ නිවෙස සොරුන් විසින් බිඳ දමා ඇති බවයි.

ජනේලයක් කඩා එහි ගි‍්‍රල් එක නවා සොරා නිවෙසට ඇතුලව තිබිණි. නිවෙසේ වූ නිදන කාමර දෙකෙන්ම බඩු භාණ්ඩ ඇද දමා තිබු අතර රන් ආභරණ සහ මුදල් තිබු අල්මාරියේ දොර විවර කර තිබිණි.

එහි වූ රන් බඩු සියල්ලම බහාලුම් ද සමඟ රැගෙන ගොස් තිබු අතර මුදල් ද රැගෙන ගොස් තිබිණි.

නිල සුනඛයා රැගෙන එම නිවෙසට ගිය ක්‍රිෂාන්ත බණ්ඩාරට දැන ගන්නට ලැබුණේ ඉව ඇල්ලීම සඳහා කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

එහෙත්.... නිල සුනඛයකුට ඉව ඇල්ලීමට දීම සඳහා අපරාධකරු යමක් ඉතිරි කර යා යුතුව නැත. අපරාධකරු අත පත ගෑ ස්ථාන වලින් මෙන්ම පා සටහන් වලින් පවා ඉව ගෙන අපරාධකරු සෙවීමේ හැකියාව මේ නිල සුනඛයන් සතුය.

මේ අතර මෙම සොරකමේ පරීක්ෂණ සඳහා එක්ව සිටි යටියන්තොට පොලිසියේ අපරාධ අංශයේ කණ්ඩායම නිවෙස අවට කැලෑ ප්‍රදේශයේ කළ සෝදිසියේ දී යමක් හමුව තිබිණි.

ඒ... රන් ආභරණ බහාලු පෙට්ටියක් සහ රන් ආභරණ ඔතන ටිෂූ කඩදාසියකි. එම කණ්ඩායම කැලෑවේ තිබි හමු වූ මේවා අපරාධය වූ නිවෙස වෙත රැගෙන විත් තිබු අතර නිවැසියන් ඒවා හඳුනා ගත්තේය.

අනතුරුව ජෝයි ට ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේ එම බහාලුව සහ ටිෂූ කොළ කැබැල්ලය.

ඒවා හොඳින් ඉව කළ ජෝයි කාමර දෙකේම ඇවිද නිවෙස පිටුපස මුලුතැන්ගෙයි දොර අසලට ගියාය. එම දොර විවර කර දුන් පසු එයින් පිට වූ ජෝයි නිවෙස පිටුපස වූ කැලෑව දෙසට මීටර් හාරසියයක පමණ දුරක් ගොස් වට පිට ඉවකොට නතර වුවාය.

තව ඉදිරියට යන ලෙස ක්‍රිෂාන්ත බණ්ඩාර ජෝයි ට අණ කළ ද ඉන් එහාට යාමට ජෝයි සුදානම් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

වෙහෙස නිවා ගැනීම සඳහා ජෝයි ට ටික වේලාවක් ඉඩ දුන් ක්‍රිෂාන්ත යළිත් රන් බහාලුම සහ ටිෂූ කොළය ඉව ඇල්ලීම සඳහා ලබා දුන්නේය.

ඒවා හොඳින් ඉව කළ ජෝයි කැලෑ මන්ඩියෙන් පිටව රබර් කැල්ලකට ගොඩ විය. රබර් කැල්ල අවසන් වෙද්දී හමු වූ අතුරු පාරෙන් දකුණට හැරී ඉදිරියට යද්දී කොන්ක්‍රීට් පාරක් හමුවිය.

කොන්ක්‍රීට් පාරේ ඉදිරියෙන් තුන්මං හන්දියක් හමුවිය. එතැනින් දකුණට හැරුණ ජෝයි මීටර් සියයක් පමණ ඉදිරියට ගොස් එක වරම වම් පසට හැරිණි.

එම මාර්ගය දිගේ මීටර් පන්සියයක් පමණ ඉදිරියට යද්දී මල්වැටක් සහිත අඩි පාරක් ඇත. එම අඩි පාර කෙලින්ම වැටී ඇත්තේ නිවෙසකටය. ඉදිරියට යද්දී මල් වැටක් සහිත අඩි පාරක් දකුණු දෙසට ද තිබු නමුත් ජෝයි ගියේ කෙලින්ම ඇති පාර අවසන් වන නිවෙසටය.

එහෙත්.... ජෝයි එම නිවෙස ට ගොඩ වුයේ නැත. වත්තට ඇතුලුව වත්ත හරහා දකුණට තිබු අඩි පාරට පිවිස ඉදිරියට ගිය අතර ඒ පාර අවසානයේ තවත් නිවෙසක් හමුවිය.

ඒ නිවෙසේ පඩි පෙළක් තිබිණි. පඩි පෙළ දිගේ ඉහළට ගිය ජෝයි ආපසු හැරී පහළට පැමිණ ඒ අසල වූ දොර අඩවල් කර තිබු කාමරයට ඇතුලු විය.

එම නිවෙසට යන විට යටියන්තොට පොලිසියේ අපරාධ බුද්ධි අංශ සාමාජිකයන් මේ කාගේ නිවෙසදැයි හොඳින් දැන සිටියහ. ඒ..... ජෝයි ඇතුලු වූ කාමරයේ පදිංචි පුද්ගලයා ප්‍රදේශයේ ප්‍රසිද්ධ සොරකු වීම නිසාය.

“මහත්තයෝ.... ඔය කාමරේ මගේ පුතයි පුතාගේ පවුලයි හිටියේ. ඊයේ හවස තුනට විතර මම දැක්කා ඇඳුම් බෑග් එකකුත් අරගෙන දෙන්නා යනවා. මටත් නොකියමයි ගියේ.”

හොරාගේ මව එලෙස පැවසුවාය. දින දෙකකට පසු හොරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. පසුව ඔහු විසින් සොරාගත් රන් ආභරණ ද සොයා ගත් බව පසුව දැනගන්නට ලැබිණි.

තක්ෂිලා ජයසේකර