ස්විස් පෙම්වතිය

ස්විස් පෙම්වතිය

මාරියා මට මුණගැසුණේ අහම්බෙනි. ඒ මා විදේශ රටකට ගිය මොහොතකය. මා ගමන් ගත් ගුවන් යානයේ මට යාබද අසුනේ සිටියේ ඇයයි. සුදු ජාතික යුවතියක් වූ ඇය සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටියාය. යානය කටුනායකින් නික්මෙන්නට පෙර සිටම අපි කතාබහට වැටුණෙමු.

ඇය මගේ රට ගැන වර්ණනාවෙන් කතා කළාය. ස්විස් ජාතික යුවතියක් වූ ඇය මට ඇගේ රටට එන්නට ද ඇරයුම් කළාය. නිවාඩු ගත කිරීමට නිතර නිතර ලංකාවට එන බව කී ඇය ඒ වනවිටත් එම රටේ උසස් අධ්‍යාපනය ලබන බවද කීවාය.

එදා පටන් අපි දෙදෙනා බොහෝ හිතවත් වූයෙමු. ඒ නිසා නිතර නිතර දුරකථනයෙන් කතා කිරීමට අපි පෙළඹුණෙමු. ටිකෙන් ටික අපි දෙදෙනා අතර ආදර කතාබහ ද ඇති වුණෙමු. විදේශික යුවතියකට ආදරය කිරීම ගැන මම ද ආඩම්බරයට පත් වූණෙමි.

ඇය සමඟ දින කිහිපයක් මෙරට සංචාරය කිරීමට ද මට හැකි වූණේ අපි දෙදෙනා ඒ වන විටත් පෙම්වතුන් වී සිටි නිසාය.

මම මගේ රට ගැන ඇයට කියා දුනිමි. රටේ සුන්දර තැන් මම ඇයට පෙන්වා දුන්නෙමි. ඒ සියල්ලෙන්ම සතුටට පත් වූ මා ඇය සමඟ හෝටල් කිහිපයක ද නතර වූයේ කවදා හෝ ඇය සමඟ ස්විස් බලා යන අදහසනි.

ඇය කී පරිදි ඇගේ පියා එරට ගුවන් තොටුපළ බාර ඉංජිනේරුවකු ලෙස සේවය කරන්නෙකි. මවද රැකියාවක් කරන බව ඇය කීවාය. ඔවුන්ට සිටින එකම දරුවා ඇය යි. ඒ නිසා දෙමවුපියන් ඇයට සලකන්නේ මහත් ආදරයෙන් බව ඇය මට නිතර නිතර කීවාය. ඔවුන් ඇගේ අධ්‍යාපනය ගැන හොඳින් සොයා බලන බවද ඇය කියන්නට වූවාය. නිවාඩුවට ලංකාවට ඒමට ඇගේ මවුපියන් ඉතාම කැමැත්තෙන් සිටින බවද ඔවුන් මා දැන හැඳින ගැනීමට ආශාවෙන් සිටින බවද ඇය නිතරම මට කීවාය.

කෙමෙන් ඇයට සිංහල වචන කතා කිරීමට හැකියාව ලැබිණි. සිංහලෙන් කතා කිරීමේදී ඇය කතා කරන විලාසය බෙහෙවින් මගේ සිත් ගත්තේය. ඒ නිසා ඇයත් මාත් අතර ඇයි හොඳයිකම මෙන්ම පේ‍්‍රම සබඳකමද දිනෙන් දින දලුලා වැඩෙන්නට විය.

මාසයකට සැරයක් වත් ඇය නිවාඩුවට මෙරටට පැමිණියාය. ඇය ඒ හැම වාරයක්ම ආවේ තනියෙන්ය.

“ඔයාලාගේ අම්මා ඔයා මෙහෙම තනියෙන් එනවට කැමතිද?”

“මගේ අම්මට මාව විශ්වාසයි. ඒකයි එයාලා මට ඔයාලගෙ රටට එන්න දෙන්නේ.”

“ඔයා මෙහෙ මොනවද කරන්නේ?”

“මම ව්.ට්.ර්‍ණ එකට සම්බන්ධ වෙලා වැඩ කරනවා.”

කල්යත්ම මෙරටට පැමිණීමෙන් පසු ඇය මා හමුවන්නේ වරක් හෝ දෙවරකි. යළි අප හමුවන්නේ ඇය මෙරටින් සිය රට බලායන්නට ඔන්න මෙන්න තිබියදීය. මේ නිසා ඇගේ ගමන් බිමන් ගැන මා සිත තුළ ඇතිවූයේ සැකයකි. ඒත් ඇය ගැන සැක කරන්නට මට හේතු සාධක නොතිබිණි. මීට මාස 4 කට පමණ පෙර ඇය මට මුණගැසුණේ කොළඹ තරුපහේ හෝටලයක ඇගේ රටේ තරුණයකු ද සමඟිනි. ඒ මොහොත වන විටත් ඇය මෙරටට පැමිණ සිටින බව මම දැනගෙන නොසිටියෙමි. මා දුටු සැණින් ඇය තිගැස්සී ගියාය.

ඇය මට තරුණයා හඳුන්වාදුන්නේ ඇය සමඟ එන්.ජී.ඕ හි සේවය කරන අයකු ලෙසය.

“මම දන්නෙත් නැහැ. ඔයා ලංකාවට ආවා කියලා.”

මම ඇයට කීවෙමි.

“ඔව් මම හදිසියෙන් ආවේ. ඔයාට කියන්න බැරිවුණා. අයි ඈම් වෙරි සොරි...”

කෙසේ හෝ ඇය එදින මාත් සමඟ එතරම් කුලුපගව කතා නොකරන බවක් මට වැටහිණි. ඇගේ වෙනස් වීම ගැන මා සිත තුළ ඇති වූයේ කුකුසකි. විනාඩි කිහිපයකින් පසු ඇය මගෙන් සමුගත්තේ යලි සියරට බලා යන්නට මත්තෙන් මා හමුවන බව කියමින් වුවද දින සති ගණන් ගෙවී ගියද ඇගෙන් කිසිදු පණිවුඩයක් මට නොලැබුණි. ඇය සම්බන්ධ කරගන්නට මා ගත් උත්සාහ සියල්ලලක්ම අපතේ ගියේය. “සමහර විට ඒ මාරියාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න ඇති.”

මම එසේ සිතුවෙමි. පසුව ඇගෙන් කිසිදු තොරතුරක් හෝ නැති තැන මම ද නිහඬ විමි.

කාලය මෙසේ ගෙවී යද්දී මාරියා ගැන මා සිතේ වූ ඇල්ම ද පහව යන්නට විය. මාරියා ගැන මාගේ මතකය ගිලිහෙමින් තිබිණි. ඒ අතර මා නොසිතූ දෙයක් සිදු විණි. පෞද්ගලික සංචාරයක් සඳහා මා ඊට මාස දෙකකට පෙර විදේශ ගත වන්නට සූදානම්ව සිටි අතර මගේ මතකයට මාරියා නැවත පැමිණියේ බලාපොරොත්තු නොවූ විලසිනි. ඒ නිසා කෙසේ හෝ මාරියා මේ ගමනට සම්බන්ධ කරගන්නට උත්සාහ ගත්තෙමි. ඒ සියලු උත්සාහයන් සඵල වෙමින් මා වෙත ලැබුණේ ඉර්ඉ පණිවිඩයකි.

“මම හදිසියේ ලංකාවට එනවා... අපි කොළඹ එයාපොර්ට් එකේ දි හමුවෙමු.”

ඒ කෙටි පණිවුඩය මගේ හිතට ගෙන දුන්නේ සතුටකි. මම ඇය ගැන යළිත් සිතන්නට වීමි. ඒත් ඇය ලංකාවට එන බව කියන දින මමම ද විදේශගත වන්නට ගුවන් ටිකට්පත් ලක ලෑස්ති කර ගෙන සිටියෙමි. ඒ නිසා ඇගේ අංකයට මම ද ඉර්ඉ පණිවිඩයක් යවමින් කියා සිටියේ සිංගප්පූරු ගුවන් තොටුපළේදී අපට හමුවිය හැකි බවය.

“එහෙනම් සිගප්පූරුවේ දී හමුවෙමු.”

අවසානයේ ඇගෙන් ලැබුනේ එවැනි පණිවුඩයකි. දහසකුත් බලාපොරොත්තු මැද සති දෙකක විදේශ සංචාරයක් සඳහා පිටත්ව යෑමට ගුවන් තොටුපළට ගිය මම මාරියා දැක ගැනීමේ මහත් ආශාවකින් පසු වූයෙමි. මා රැගත් ගුවන් යානය පැය හතරක් පමණ සිංගප්පූරුවේ නතර කර තිබෙන බව දත් මම ඒ පැය කිහිපය මාරියා සමඟ ගත කිරීමට ලැබීම ගැන ද සතුටින් සිටියෙමි. පැය කිහිපයක ගමනකින් පසු මම සිංගපුපූරුවට ළඟා වූයෙමි. තවත් පැය හතරක කාලයක් ඇති බැවින් මා යානයෙන් බැස සිංගප්පූරු අන්තර් ජාතික ගුවන් තොටුපලේ සක්මන් කළේ මාරියා කොයි මොහොතක හෝ මා දැක මා වෙත එනු ඇතැයි සිතමිනි.

පැයක කාලයක් ගියද මාරියා පෙනෙනතෙක් මානනයක සිටියේ නැත. මම ඇය අමතන්නට උත්සාහ කළෙමි. ඉර්ඉ පණිවිඩ යැවීවෙමි. ඒත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.

ගතවූයේ මොහොතකි.

මා වෙත පැමිණි ආරක්ෂක නිලධාරියෙකි. ආරක්ෂක මුරපොළකට මා රැගෙන ගිය ඔවුන් මගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූයේ මා ගැන කිසියම් සැකයක් ඇති කර ගනිමිනි. මම ඔවුන්ට ඇත්තම කීවෙමි. මා සතුව ඇති ගුවන් ගමන් බලපත්‍රය ද මගේ ජංගම දුරකථනය ද මගේ ගමන් මලු ද දැඩි ලෙස සෝදිසි කළ ඔවුන් අවසානයේ මා සොයන ඇය මට දක්නට සලස්වන්නට තීරණය කළේ මා කියන කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමේ අටියෙනි.

“මාරියා”

හිස බිමට පහත් කරගෙන සිටි ඇය දුටු මට ඉබේටම කියැවිණි. ඇය මා දෙස හිස ඔසවා බලන්නට වූවාය. ඇගේ දෙනෙත්වලින් කඳුළු ගළා හැළෙන්නට විය. මේ කිසිවක් මට තේරුම් ගත නොහැකිය. ඇගේ දෑතට මාංචු දමා තිබිණි.

“අයි ඈම් වෙරි සොරි...”

ඇය හීන් සැරේ කියන්නට වූවාය. මා ළඟ සිටි ආරක්ෂක භටයෝ ද ඇය දෙසත් මා දෙසත් වරින්වර බලන්නට වූහ. කරකියා ගත හැකි දෙයක් නොවූ මම ඇයට මෙලෙස හිරිහැර කරන්නේ මන්දැයි එතැන සිටි ආරක්ෂක නිලධාරියාගෙන් විමසුවෙමි.

“ෂී ඊස් අ ඩ්‍රග් ඩීලර්”

ඔහුගේ කතාවෙන් මම විමතියට පත් වූයෙමි. ආරක්ෂක නිලධාරියෙක් මා එතැනින් පිටතට කැටුව රැගෙන ගොස් මගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නට විය. මම ඔහුගෙන් මාරියා ගැන විමසුවෙමි.

“එයා තමයි හුඟ කාලයක් ඉඳලා රටවල් අතරේ “කුඩු” ගෙනිහින් තියෙන්නේ. එයා “කුඩු” වලට ඇබ්බැහි වෙච්ච කෙල්ලක්. අපට තොරතුරක් ලැබුණා එයා අද ලංකාවට යනවා කියලා. අපි එයාර්පෝට් එකේදිම අල්ලගත්තා.”

ඔහු කී විස්තරය අසා මමද පුදුමයට පත් වූණෙමි. ඇය වෙනුවෙන් මට කළ හැකි කිසිවක් නැති බව මම දනිමි. මා මෙතෙක් ආදරය කල සූරූපි ඇය මත්කුඩු ජාවාරමේ නියැලෙන්නියක් බව මා දැන ගත්තේ එලෙසිනි. ඇය නිසා මා ද අමාරුවේ වැටෙන්නට ඉඩ තිබිණි. එය දැනගත් මා දෙවියන්ට ස්තූති කරමින් එතැනින් ඉවත් වන්නට සූදානම් වුවද ඒ වෙද්දී මා යෑමට නියමිත යානය ගුවන් ගත වී තිබිණි.

කීර්ති මෙන්ඩිස්